lakbima.lk

කැඩුණු අමුණ බැඳගන්නට මුදල් නැතිව අකලට මහලු වෙන ගමක්

ඩී.එම්. කිරිවන්තේ දික්කුඹුර ගොවි සංවිධානයේ සභාපතිය. මේ දිනවල ඔහුගේ උයනගෙයි වතුර කේතලය කොයි මොහොතේත් ලිප තැබූ ගමන්ය. ඒ නිතර නිතර අමුත්තන් එහි එන යන නිසාය. ඒ එන අමුත්තන්ට හපන්නට හෙප්පුව පුරවන නිසා මිදු‍ලේ බුලත් වැල්ද හොඳටම කේඩෑරි ගැහිලාය. කිරිවන්තේලාගේ ගෙදරට මෙතරම් උදවිය ගොඩවෙන්නේ ඔහුගේ දුක සැප බලන්නටම නොවේ මුළු ගමේම දුක කියාපාන්නටය.

දික්කුඹුර ගොවි සංවිධානය ඇත්තේ මහ ආණ්ඩුවේ මායිම්වල හැටියට කන්දේකැටිය ප්‍රාදේශීය ‍ලේකම් වසමේ ඉලුක්පැලැස්සේය. මේ ගමේ ඇත්තෝ කොයි කවුරුත් ගොවිකමේ යෙදෙන්නෝය. ගොවියා රජ වූ පෙර රජ දවස මෙන් නොව මේ විපරීත කාලයේ ගොවියන්ට සිදුව ඇත්තේ වස බොන්නටය.

එවන් කාලයක ගමක ගොවිහු ගොවි සංවිධානයේ සභාපතිගේ නිවසට දුක කියන්නට එන්නේ ඇයිදැයි සොයන්නට අපි පසුගියදා එහි ගොඩ වැදුණෙමු.
අපි එහි යන විටත් ඩී.එච්. සමන්ත නම් ගොවි මහතා එහි විය. ඉලුක්පැලැස්ස උළු ‍පෝරණුව හා බත්මැඩිල්ල ගොවි ජනපදවල ගොවියන්ගේ දුක ඩී.එම්. සමන්ත එක හැල්මට කියාගෙන ගියේය.

අපි මහත්තයෝ කුඹුරු කළේ හුණුකොටුව අමුණෙන්. පහුවුණු එක වැස්සට අමුණයි ඇළයි කැඩුණා. මේ වෙනකොට මේ විනැම්බෑසිය වෙලා මාස දෙහෙකට ළඟයි. යන්න තියෙන හැම තැනටම ගියා. අද වෙනකම් කිසිම වැඩක් නෑ හුණුකොටුවේ අමුණේ ජල පාරට වඩා වැඩි සැරෙන් සමන්ත දුක කියාගෙන යන්නේය.

මේ ගමේ මිනිස්සු ඔක්කොම බඩවියත රැකගත්තේ ඔය අමුණෙන් කුඹුරු කොරලා. සමහරු ඉරිඟුත් වැව්වා. අස්වද්දපු මුළු බිම අක්කර පනක් හැටක් විතර ඇත. බලං ඉන්දැද්දී වගාව පරඩැල් ගැහෙනවා. මුන්ට ඉතින් ‍පොළවේ පස් තමයි කන්න වෙන්නේ කිරිවන්තේ තම සමන්තගේ දුක් අඳෝනාව ස්ථීර කළේය.

ගමේ කෙත් යායට දියවර සැපයූ අමුණු කැඩීයාම ඉලුක්පැලැස්ස බත්මැඩිල්ල ගැමියන්ට මහ මෙරක් වුවද බලධාරීන්ට එහි වගක් නැත. ඔවුහු නියමිත අණපනත් චක්‍ර‍ලේඛනවලට යටවී අකුරට රාජකාරි කරති.
ඩී.එම්. මුතුබණ්ඩා කිරිවන්තේගේ ගෙපිළට ගොඩවූයේ ‍පොද වැස්සද සමගිනි. ඔය මහත්තැන් ඉන්න එක හොඳයි කියමින් පසෙකින් ඉඳඟත් ඔහු විටක් ඒදන ගමන් කතාවට එක්වූවේය.

මේ අමුණ කැඩුණේ පහුවුණ මහ වරුසාවට අපි හැම මුලෑදෑනියාටම කීවා. ඒත් පලක් වුණේ නෑ. අන්තිමට රුපියල් 500 ගානේ එකතු කරලා සිමෙන්ති ගල් එහෙම ළංකරගෙන අපිම වැඩට බැස්සා. හෙරළි ගෙඩියක් මඤ්ඤාෙක්කා ටිකක් තම්බාගෙන කාලා අපි වැඩේ කරා. අමුණ තාවකාලිකව හදාගෙන වගාව පටන් ගත්තා.

ඒත් මීට මාසයකට උඩදී වැටුණු මුරුගසං වරුසාවට අපේ අමුණ ඔරොත්තු දුන්නේවත් නෑ මහත්තයෝ. ඒක ගලවං ගියා.  දැන් අපේ බඩ ඉරිඟු පීදෙන්න ළඟයි. ඒත් කෝ හරවන්න වතුර. ඔක්කොම කේඩෑරි ගැහිලා මුතුබණ්ඩා පවසන්නේය.
ඉතින් මෝටරයක් ගෙනැල්ලා වතුර ගහන්න බැරියැ මම විමසීමි.

අපිට ඒකට හයියක් නෑ මහත්තයෝ  මෝටර් ගේන්නැයි, ඒවාට තෙල් ගහන්නයි අපිට කෝ කාසි. අනික එහෙම වවලා ගන්න කරල් කීයකට විකුණන්නද? දළඹුවාගෙන් බේරුණු හින්දා අපි හිතුවා මේ පාර මිලක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒකත් ඉවරයි කිරිවන්තේ පවසන්නේය.

එස්.එම්. ජයසේකර ගොවි මහතා ගියවර රු.500 ගානේ එකතු කර අමුණ හදාගන්නට මුල් වූ අයෙකි. මේ ඔහුගේ කතාවයි.

අපි ගිය වාරේ රුපියල් 500 එකතු කරලා පැලැස්තරයක් හරි ගැහුවා. මේ වංගියේ ඒකත් බෑ. වේලකන්න නැති මිනිසුන්ගෙන් වැව් අමුණු බන්දවන්න බලං ඉන්න එක පව්කාර වැඩක්. මේ මුලෑදෑනින්ට ඒක තේරෙන්නේ නෑ. අපි උද්ඝෝෂණයක් කරා. ඒත් වැඩක් වුණේ නෑ. දැන් ඉතින් අමුණ ළඟට ගිහින් මැරෙනකං උපවාසයක් පටන් ගන්නවා. මොකද අමුණ හැදුවේ නැත්තං කොහොමත් වෙන්නේ අපිට බඩගින්නේ මැරෙන්න ජයසේකර පවසන්නේය.

ගොවි ගම්මාන දෙකක පවුල් 60ක පමණ පිරිසක් මේ වන විට හුණුකොටුවේ අමුණු කැඩී යෑමෙන් බරපතළ ගැටලුවකට මුහුණ දී සිටිති. ඔවුහු එක කන්නයක් වවා කපා ගන්නා අස්වැන්නෙන් කොටසක් පරිභෝජනයටත් තව ටිකක් අලෙවියටත් තබා ගනිති.

එසේ අලෙවි කර ලබාගන්නා සොච්චමෙන් ණයතුරුස් පියවා ගත් කළ ඔවුනට ඉතුරුවෙන දෙයක් නැත. ඒත් අපේ කුඹුරු කරගත් නිසා කැඳ බොන්න පුළුවන් යැයි ඔවුහු සිත හදාගත්තෝය. අද වන විට ඔවුනට එකී සිතුවිල්ලෙන්ද මිදීමට සිදුව ඇත. ඒ රට පුරා ගම් පෙරළිය, එන්ටර්ප්‍රයිස් ලංකා වැනි ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙද්දීය.

ආපසු එන ගමනේදී අපට මුණ ගැහුණු බත්මැඩිල්‍ලේ සුමනානන්ද හිමියෝ මෙසේ පවසා සිටිහ.
මමත් මේ ගමේ වැඩඉන්නේ. ඒ නිසා මේ මිනිස්සුන්ගේ දුක නිතර දකිනවා. අර අමුණ හදාදෙන්නේ නැතිව මේ ලොකු ලොක්කෝ කරන විගඩම දැක්කම පුදුම කළකිරීමක් ඇතිවෙනවා.

තව සති දෙකක් යද්දී මුළු යායම පරඩැල් ගැහිලා යයි සතෙකුට කන්න බැරි ගානට. ඔය බන්ට් එක හදාදෙන්න යන මුදලට වඩා ලොකු මුදලක් එක ඇමැති කෙනෙකුගේ වාහනයකට යනවා. පවුල් රැසක් සාගින්නේ තියලා මේ මිනිස්සු ‍පොඩි වැඩේට නැකත් හදනවා සුමනානන්ද හිමියෝ පවසති.

ගම් දෙකක ජනයා විඳින මේ දුක නිමන්නට ගෙන ඇති පියවර කුමක්දැයි අපි කන්දේකැටිය ගොවිජන සේවා නිලධාරී දුමිඳු අහංගමගෙන්ද විමසා සිටියෙමු. ඔහු පවසනුයේ මේ අමුණ හිතන තරම් ‍ලේසියෙන් සැදිය නොහැකි බවය.

මේක හදන්න රුපියල් ලක්ෂ 70ක් විතර යයි. මේ වෙලාවේ හදිසියේ ඒක අනුමත කරන්න බෑ. එම නිසා ගොවි සංවිධානයෙන් මුදල් අරගෙන අමුණ තාවකාලිකව හදන්න අපි බලා‍පොරොත්තු වෙනවා. එහෙම කරලා වගාව රැකගන්න වෙයි. බලා‍පොරොත්තුව පසුව එම ලබාගත් මුදල ආපසු ලබාදෙනවා.

ගොවිජන සේවා නිලධාරී තැන පවසන්නේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.