lakbima.lk

කාදිනල්තුමා නිවූ ජාතිවාදී ගින්න යළි ඇවිළුණු හැටි


අන්තවාදීහු ඉකුත් 21දා පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කළේ තවත් බෝම්බයකට පාර කපමිනි. මේ බව හෙළිවන්නේ ඔවුන් බෝම්බ පිපිරවීමට තෝරාගත් පල්ලි තුනේ පසුබිම ගැන බලන විටය. එම පල්ලි පිහිටා ඇත්තේ මුස්ලිම් ජනතාව බහුතරයක් සිටින ප්‍රදේශවලය. එමගින් අන්තවාදීන් බලා‍පොරොත්තු වූයේ කතෝලිකයන් පෙරළා මුස්ලිම් ගම්මානවලට පහරදී ජාතිවාදී බෝම්බය පුපුරවනු ඇතැයි යන්නයි. එසේ වූයේ නම් 83 කළු ජූලියෙන් පසුව රටේ උද්ගත වූ තත්ත්වය වැනිම තත්ත්වයක් යළි උදාවන්නට ඉඩ තිබුණි.

නමුත් එම ජාතිවාදී බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ඉවසීම හා කරුණා ගුණයට හැකි විය. කෙසේ නමුදු පාස්කු බෝම්බය පිපිරී තෙසතියක් ගතවන තුරුත් නොපිපිරුණු ජාතිවාදී බෝම්බය ගිය සතියෙදී පිපිරී ගියේ මහා විනාශකට මුල පුරමිනි. ඒ ඉකුත් 5දාය.

මීගමුවේ බිමත් පුද්ගලයන් දෙදෙනෙක් අතර බහින් බස්වීමක් ඇතිවිය. ඒ වචන හුවමාරුව කෙළවර වූයේ ‍පෝරුතොට හා පළඟතුරේ යන දෙගම් අතර ඇති වූ ගැටුමකිනි. මෙහිදී පහරදීම් හා දේපළවලට ගිනි තැබිම් සිදුවිය. අවසානයේදී ඒ ගින්න නිවා දැමීමට දෙපාර්ශ්වයේම ආගමික නායකයන්ට මැදිහත්වීමට සිදුවිය.

මෙම තත්ත්වය වහාම මැඩලීමට මීගමුව ‍පොලිස් කොට්ඨාසයට ඇඳිරි නීතිය පැනවුණි. ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදා යෙදවීමට පියවර ගැණුනි. එම සිද්ධිය නිරාකරණය වී සතියක්වත්ගත වූයේ නැත.

හලාවත නගරයෙන්ද ජාතිවාදී ගිනිදැල් මතුවිය. ඒ ඉකුත් 12දාය. හලාවත ව්‍යාපාරිකයකු විසින් මුහුණු ‍පොතට එක්කර තිබූ සටහනක් නිසා මේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති වී තිබුණි. තිස්අට හැවිරිදි ඔහු ‍පොලිස් අත්අඩංගුවට ගත් නමුදු ප්‍රකෝපකාරී වූ පිරිස් ඒ වන විටත් නගරයේ දේ‍පොළවලට හානි කර තිබුණි.

මේ නිසා හලාවත නගරයටද ‍පොලිස් ඇඳිරි නීතිය පනවා ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව ලබාදීමට සිදුවිය. හලාවත සන්සුන් වෙද්දී නැවත ගිනි ඇවිළී ගියේ කුරුණෑගල - කුලියාපිටිය ප්‍රදේශයේය. දෙපාර්ශ්වයක් අතර හටගත් ගැටුමක් මීට හේතු වී තිබුණි. එම සිද්ධිය හටගත්තේ බිංගිරිය, වීර‍පොකුණ වැව්තාවුල්‍ලේ තිබි ටී 56 ජීව උණ්ඩ තොගයක්ද, උළු කර්මාන්ත ශාලාවක තිබි බෝර 12 ගිනි අවි උණ්ඩ 54ක්ද හමුවීමත් සමගය. මේ සිද්ධියත් සමගම අසල කිනිගම ගමේ ජනතාව ප්‍රකෝපකාරී වූහ.

මෙම තත්ත්වය මැඩපැවැත්වීමට බිංගිරිය ප්‍රදේශයට ‍පොලිස් ඇඳිරිනිතිය පැනවීය. ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවේ එය නොතකා මහමග ගමන්කරමින් සිටි හයදෙනෙකු බිංගිරිය ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් හෙට්ටි‍පොළ ‍පොලීසියේ රඳවා තැබූ අතර ප්‍රදේශවාසීන් ඉකුත් 13දා හෙට්ටි‍පොළ ‍පොලීසිය වටකර උද්ඝෝෂණයේ යෙදුණේ අත්අඩංගුවට පත්වූවන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමිනි.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හෙට්ටි‍පොළ ‍පොලිස් ස්ථානය වෙත පැමිණ තිබුණි. එම අවස්ථාවේ උද්ඝෝෂකයන් අතර සිටි දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂක යැයි කියාගන්නා නාමල් කුමාරද සිටි අතර මෙහිදී ඔහු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අතර උණුසුම් සංවාදයක්ද ඇති විය.

මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ මේ මගේ ආසනේ මේක මං බලාගන්නම් යැයි යනුවෙනි.මෙම සිද්ධියද යම් ආන්දෝලනයකට තුඩු දුන්නේය. මේ අතර හෙට්ටි‍පොළ, වාරිය‍පොළ ප්‍රදේශයේද දේපළවලට හානි කිරීම්, පහරදීම් ඇති වන්නට විය. උද්ගත වී ඇති තත්ත්වය සෙසු ප්‍රදේශවලට පැතිර යාම වැළැක්වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි වයඹ පළාතටම ඇඳිරිනීතිය පැනවීමට ‍පොලීසිය පියවර ගත්තේය. එමෙන්ම ‍පොලිස් විශේෂ කාර්ය බළකාය යුද හමුදාව යොදවා ප්‍රදේශවල ආරක්ෂාව තරකරනු ලැබිය.

වයඹ පළාතේ ඇවිළුණු ගින්න නිවන්නට රජය උත්සාහ දරද්දී ඉකුත් 13දා එක්වරම ඇවිළී ගීයේ ගම්පහ මිනුවන්ගොඩ නගරයයි.

මිනුවන්ගොඩ නගරයේ බොහෝ කාලයක් පුරා වෙළෙඳ ව්‍යාපාර කළේ මුස්ලිම් ජාතිකයන්ය. මිනුවන්ගොඩ සති‍පොළ පැවැත්වෙන්නේ ඉරිදාවේය. මේ නිසා පසු දින වූ සඳුදා මිනුවන්ගොඩ නගරයට නිල නොවන නිවාඩු දිනයකි. එබැවින් සිරිත් පරිදි ව්‍යාපාරිකයන් තම කඩ සාප්පු වසා දමා නිවෙස්වල විවේක සුවයෙන් සිටියෝය. එහෙත් එක්වරම සිද්ධ වූයේ අනපේක්ෂිත සිද්ධියකි.

යතුරුපැදි හා ලොරි රථවලින් පැමිණි පිරිසක් ‍පොලු මුගුරු ගෙන වෙළෙඳසල්වලට පහරදී ජාතිවාදි ගින්නෙන් මිනුවන්ගොඩ අළු කළෝය. එම ගින්නට සිංහල, මුස්ලිම්, දෙමළ කියා භේදයක් තිබුණේ නැත. මුලින්ම අන්තවාදීන් පහරදී ගිනි තැබුවේ මිනුවන්ගොඩ - ගුවන්තොටු‍පොළ පාරේ පිහිටි මුස්ලිම් ජාතිකයකුට අයත් අවන්හලකටය. එම ගින්න නැවතුණේ සිංහල කඩ කීපයක්ද දවා අළුකරමිනි. ඒ අතර වාහනවල නැගුණු පිරිසක් මිනුවන්ගොඩ දිවුලපිටිය පාරේ බල්ලපානේ ඇති පැස්ටා කර්මාන්ත ශාලාවකට පහරදී ගිනි තැබූහ. රුපියල් කෝටි 7ක ආයෝජනයක් වූ එහි සේවය කළේ සිංහල සේවකයින්ය. ඔවුන්ට දැන් රැකියාව කරන්න කම්හලක් නැත.

ගිනිගෙන දැවෙන වෙළෙඳසල් නිවීමට ගිනි නිවන ඒකක කැඳවා තිබුණද පසුදා දහවල් වනතුරුත් ඒවා නිවීමට හැකිව තිබුණේ නැත.

මේ අතර මිනුවන්ගොඩ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගම්පහ ‍පොලිස් බල ප්‍රදේශයට ‍පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ අතර ප්‍රදේශයේ ආරක්ෂාවට යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු සෙබළු මෙන්ම යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුව, සන්නාහ සන්නද්ධ වාහන (ඩබ්ලිව්.එම්.ඉසෙඩ්) මිනුවන්ගොඩ නගරයට කැඳවීය. එහෙත් ඒ වන විට සියල්ල සිදුවී හමාරය. ව්‍යාපාරිකයන් චෝදනා කරන්නේ කලහකාරීන් තම දේපළවලට ගිනි තැබුවද ‍පොලීසිය බලා සිටියා මිස කිසිවක් නොකළ බවය.

මෙහිදී බොහෝ මුස්ලිම් ජාතිකයන් සිය ජීවිතය රැකගැනීම සඳහා ගල්ලොලුවේ සිටින සිය ඥාතීන් වෙත ගොස් සිටිනු ආකාරයක්ද දැකගත හැකි විය.

මේ අතර නාත්තණ්ඩිය දේවස්ථානයක් පිටුපස ප්‍රදේශයේ ඇළක තිබි කඩු ඇතුළු අවි ආයුධ රැසක් සොයා ගනිද්දී ප්‍රකෝපකාරී වූ ගම්වැසියන් අතර ගැටුමක් ඇතිව පහරදීමකින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ කොට්ටාරමුල්ල ප්‍රදේශයේ පදිංචි එම්.එම්.ඒ. අමින් (43) හැවිරිදි පුද්ගලයෙකි. එමෙන්ම මෙම ගැටුම් බේරීමට ගිය යුද හමුදාවේ සෙබළු පස්දෙනෙකු පමණද තුවාල ලැබූහ.

නාත්තණ්ඩිය ඇතුළු ප්‍රදේශ රැසක සිදුවූ මෙම ගැටුම්වලින් ආරක්ෂක අංශයේ ඇතුළු පුද්ගලයන් දසදෙනෙකු පමණ තුවාල ලබා තිබුණේය. එමෙන්ම මෙම තත්ත්වය මත දිනපතාම පාහේ නැවත වරක් රාත්‍රී 9.00 සිට පසුදා අලුයම 4 දක්වා ඇඳිරි නීතිය යෙදවීමටද ‍පොලීසියට සිදුවිය.

මේ අතර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් වූයේ මිනුවන්ගොඩ ගැටුම අවස්ථාවේ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මිනුවන්ගොඩ නගරයේ පාලම මතින් ගමන් කරන ආකාරයකි. මෙය සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇති කරවීමට සමත් විය. නමුත් ඔහු කොළඹදී ප්‍රකාශ කර තිබුණේ තමන් දිවුලපිටියට යන අවස්ථාවේ නැවතී වාහනයෙන් බැස උද්ගතව තිබූ තත්ත්වය කුමක්දැයි බැලීමට ගිය බවය.

මේ සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනවලදී හෙළිව ඇත්තේ මෙම ප්‍රහාර එල්ල කළේ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගෙන බවය.

පටු අරමුණු කිහිපයක් මත ක්‍රියාකරන පිරිසක් විසින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති කර ඇති බවත් කිසිසේත්ම මෙය ජාතීන් අතර ගැටුමක් නොවන බව ‍පොලීසිය පවසයි.

දැනට අනාවරණය වී ඇති කරුණු අනුව ‍පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් ඉකුත් 14දා දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක යැයි කියන නාමල් කුමාර නමැත්තා වරකා‍පොළදීද මහසෝන් බළකාය නම්
සංවිධානයේ නායක යැයි කියන අමිත් ජීවන් වීරසිංහ තෙල්දෙණියේදීද අත්අඩංගුවට ගත්තේය. නව සිංහල ජාතික සංවිධානයේ ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් යන අය කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ බාර වූ බවද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර ඉකුත් 14දා සවස ප්‍රකාශ කර සිටියේය.

කෙසේ නමුදු ඉකුත් 15දා වන විට මිනුවන්ගොඩ ගැටුම සම්බන්ධයෙන් පුද්ගලයන් 14ක් අත්අඩංගුවට ගෙන මේ මස 29 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. වයඹ පළාතේ වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හා ඇඳිරිනීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 60කට අධික පිරිසක් අත්අඩංගුවට පත්ව තිබුණි.

කෙසේ නමුදු මෙහි මුලින් සඳහන් කළ 1983 කළු ජූලිය සිදුවන විටදී කොටි සංවිධානය සතුව තිබුණේ ගිනි අවි හැටක් පමණි. කළු ජූලියේ ජාතිවාදී කලබලවලින් පසු විපතට පත් දෙමළ ජාතිකයෝ ලක්ෂ ගණනක් විදෙස්ගත වූහ. ඔවුහු ඩයස්‍පෝරාවට එකතු වී එල්.ටී.ටී.ඊ.යට අරමුදල් සැපයූහ. මෙරට ඉතිරි වූ බොහෝ තරුණ පිරිස එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැඳුනහ. අවසානයේදී ගිනි අවි හැටක් පමණක් තිබූ එල්.ටී.ටී.ඊ.ය ගුවන් යානා, කාලතුවක්කු ආදී ආයුධ ගැනීමට තරම් සමත් සංවිධානයක් වූයේ කළු ජූලියෙන් පසු වූ විපර්යාසය නිසාය.

ශානිකා මාධවී පීරිස්
ඡායාරූප - ලක්රුවන් වන්නිආරච්චි (AFP)

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.