lakbima.lk

අවුරුදු විසිපහක්ම රෝදපුටුවේ ගිය හමුදාවේ ධෛර්යය

යුද බිමේදී ආබාධිත වන රණවිරුවෝ ටික කාලයක් යද්දී තිරයෙන් මැකී යන්නෝය. එහෙත් බ්‍රිගේඩියර් සරත් ඇඹව උඩුගං බලා පිහිනුවේය. ඔහු විශිෂ්ට සෙන්පතියකු ලෙස වැඩියෙන් ගරු සම්භාවනාවට පාත්‍ර වූයේ යුද බිමේදී වෙඩි වැදී රෝද පුටුවට වැටීමෙන් පසුවය. ඒ තමා ආබාධිත විරුවෙකු බව අමතක කරමින් රෝද පුටුවේ සිට දැක් වූ අධිෂ්ඨානය නිසාය.

සැබවින්ම ඔහු තමා නියෝජනය කළ විශේෂ බළකායේ තේමා පාඨය වූ “අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා” යන වදන පසක් කළ සාක්ෂිය විය. ඔහුගේ අධිෂ්ඨානයට සම කළ අයෙක් නොමැති තරම්ය.

කුරුණෑගල මලියදේව විදුහ‍ලේ කීර්තිමත් ආදි සිසුවෙකු වූ සරත් ඇඹව පාසල් වියේ රග්බි ක්‍රීඩාවේද, කැඩෙට් කණ්ඩායමේද, කැඩේට් තූර්ය වාදක කණ්ඩායමේද කැපී පෙනෙන චරිතයක් විය. පසුකලක ත්‍රිවිධ හමුදාවේ හා ‍පොලීසියේ පතළ වූ චරිත වන  ජෙනරාල් දයාරත්නායක, මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, මේජර් ජෙනරාල් දුමින්ද කැප්පිටිවලාන, 1990 අලිමංකඩ සටනේ දිවි පිදූ මේජර් ලලිත් බුද්ධදාස, ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල, එයාර් වයිස් මාර්ෂල් විජිත ගුණරත්න ආදීහු සහ සරත් ඇඹවගේ පාසල් කැඩෙට් කණ්ඩායමේ සමකාලිකයෝ වූහ.

ඔහු පිළිබඳව මේ මතක සැමරුම ලියන්නේ බ්‍රිගේඩියර් සරත් ඇඹව නියෝජනය කළ යුද හමුදා විශේෂ බළකායේ සිටින තවත් කීර්තිමත් සෙන්පතියකුටය. ඔහු විශේෂ බළකායේ හිටපු බළසේනාධිපතිවරයකු මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්නය. ඔහු සිය සමීප මිතුරා ගැන ලියූ මතකාවර්ජනයය. 

“අන් කවරෙකුටත් වඩා සාමය ප්‍රාර්ථනා කරන්නේ සෙබළාය.
මන්ද යත් යුද්ධයක පීඩාව හා එහි වේදනාව විඳින්නට සිදුවන්නේද එහි තුවාලවල හා ලප කැලැල්වල සදාතනික හිමිකරුවන් බවට පත්වන්නට සිදුවන්නේද ඔහුට බැවිනි.”
- ඩග්ලස් මැක් ආතර්

බ්‍රිගේඩියර් සරත් ඇඹව පසුගිය පෙබරවාරියේ දහ අටවැනිදා අප අතරින් වෙන්ව ගිය පුවත ඔහුගේ අපූරු චරිතය ද ඔහු විසින් දක්වන්නට යෙදුණු අතිවිශිෂ්ට දස්කම්ද මැනවින් දැන හඳුනාගෙන සිටි සියල්ලන්ගේම කම්පාවට හේතු විය. ශාරීරික වශයෙන් දුබලතාවකට පත්ව සිටියද අති විශිෂ්ට හමුදා නිලධාරියකු වශයෙන් ඔහු ශාරීරිකව මෙන්ම මානසිකවද පෙන්වා සිටි අප්‍රතිහත ධෛර්යය බ්‍රිගේඩියර් සරත් ඇඹව මේ සා අන්‍යයන් අතර ප්‍රසාදයට ලක්වීමේ කාරණාව විය.

එබඳු අති විශිෂ්ට ධෛර්යයකින් හෙබි පුද්ගලයෙකු මේ ආකාරයෙන් අවුරුදු පනස් ගණන්වල අගභාගයේ මෙලෙසින් ගිලන්වීම අපට විශ්වාස කරන්නට පවා නුපුළුවන. බ්‍රිගේඩියර් සරත් ඇඹවයන්ගේ ජීවිතයේ වඩාත් අගය කළ යුතු හා විශ්වාසජනක

කාල පරිච්ජේදය ලෙස සැලකෙන්නේ යුද පෙරමුණේදී තුවාල ලබා එක්තැන්ව අවුරුදු විසි පහක් මුළුල්‍ලේ රෝද පුටුවකට බර දී ගෙවූ කාලයයි.

“යුද බිමේදී ලද තුවාල කිසි විටෙකත් සොල්දාදුවකු නතර කරන්නට සමත් නොවේ”
1994 අප්‍රේල් 19 වැනිදා නැගෙනහිර පළාතේ මඩකලපුවේ අංගොඩවිල්ලු මහ කැලයේදී එල්.ටී.ටී.ඊ.ය සමග සිදුවූ සටනේදී තුවාල ලබා අර්ධ වශයෙන් ශාරීරික අකර්මණ්‍ය තත්ත්වයකට පත් වූයේ වුව එයින් අධෛර්යයට පත්වූයේ ඔහු නොවේ. එවක පටන් ඔහු ගත කළේ නීරෝගී, ආබාධ රහිත පුද්ගලයකු ගත කරන අන්දමේ දිවියකි; තම ශාරීරික ආබාධය තඹයකට ගණන් නොගෙන සාමාන්‍ය මිනිසකු ගෙවූ ජීවිතයකි. අධ්‍යාපන ක්ෂේත්‍රය කළේ ඔහු තුළ වූ ඇල්ම මෙවේ‍ලේ ඉස්මතු වූයේ ඔහු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ වූ උසස්  උපාධිය සම්පූර්ණ කරන්නට සමත් වූයේය.

එතෙකින් නතර වන්නට කැමති නොවූ ඔහු නීතිවේදී උපාධිය සඳහා හැදෑරුම් ආරම්භ කළ අතර අවාසනාවන්ත ලෙස මෙසේ දිවියට සමුදෙද්දී ඔහු පසුවූයේ එහි අවසන් අදියරේ අධ්‍යයන කටයුතුවලය. යුද හමුදාවේ මෙන්ම ඉන් පරිබාහිර ආයතනවලද දෙසුම් සඳහා ඔහු ලද ඇරියුම්වල අඩුවක් වූයේ නැත. සැබැවින්ම ඔහු ගත කළේ හිත මිතුරු ආශ්‍රයෙන් සපිරි, ක්‍රියාශීලී හා සමාජශීලී ජීවිතයකි.


ආරාධනා ලද හෝ වේවා නිල බලයෙන් සහභාගී විය යුතු හෝ වේවා යම් උත්සව අවස්ථාවක් ඔහු අතින් මගහැරුණේ නම් ඒ කලාතුරකිනි. එබැවින් බ්‍රිගේඩියර් ඇඹව වූ කලී ඕනෑම යුද හමුදා උත්සව අවස්ථාවකදී දකින්නට ලැබෙන චරිතයක් වූයේය. ඔහු කිසිවිටෙකත් සිය ශාරීරික අපහසුතා හේතුකොට ගෙන අන්‍යයන්ගේ විශේෂ අවධානයක් ලබන්නට කැමති නූයේය. එබැවින්ම අපටද නිබඳවම ඔහු පෙණුනේ සාමාන්‍ය පුද්ගලයකු වශයෙනි. ආගම  හා බැඳී අධ්‍යාත්මිකතාව මෙන්ම ‍ජ්‍යොතිෂයද ඔහුගේ ජීවිතයට බොහෝ සෙයින් ඇදී බැඳී තිබුණේය.

කිසිවිටෙකත් මුළුගැන්නී සිටින්නට නොකැමති වූ ඔහු හැකි සෑමවිටම උත්සාහ කළේ සිහින හඹා යන්නටය; සිහින සැබෑ කර ගන්නටය. තමා අපේක්ෂා කළ ජීවිතය සැබෑවක් කර ගනු වස් අප්‍රතිහත ධෛර්යෙන් යුතුව කටයුතු කිරීමය. ඔහුගේ මේ අතිවිශිෂ්ට ශක්ති සම්පන්න බවත් ඔහු පෙන්වූ ධෛර්යයන් වෙත කිසිවකුගේ ආභාෂයෙන් හෝ දිරිගැන්නුමකින් ලද්දේ නොවේ. ඒ සියල්‍ලේ හිමිකරු ඔහුම වූයේය ඔහු මේ සියල්ල සිදු කළේ සාමාන්‍ය තත්ත්වයෙන් පරිබාහිරව ඊට අභියෝග කරමින් වීම එහි අගය තවත් ඉහළ නංවන්නට හේතු වෙයි.


එසේ වුවද ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් බඳවා ගැනීමේ පාඨමාලා අංක 19 යටතේ 1984 මාර්තුවේ පස්වැනිදා හමුදා දිවිය  පටන් ගෙන දරුණුූ ලෙස තුවාල ලද 1994 අප්‍රේල් 19 දක්වා අතර කාලයද කිසි ලෙසකිනිදු අමතක කර දමන්නට පුළුවන් කමක් නැත්තේ වෙයි. එයද බොහෝ කාර්යශූර හා පරමාදර්ශී සේවා කාලයක් වූ බව කිව යුතුය. 1985 නොවැම්බරයේ දහසය වැනිදා අධිකාරිලත් ඔහු ඉනික්බිති ශ්‍රී ලංකා පාබළ හමුදාවට බඳවා ගන්නා ලදී.

සටන් බිමට පිවිසුමේ  ඇරඹුම වූයේ මේ එක්වීමයි. 1990 දී තරුණ කපිතාන් ඇඹව යටතේ නැගෙනහිර තීරයේ කලවංචිකුඩියේ අනු ඛණ්ඩයක් පැවතුණ අයුරු අපට මතකය. මෙය තනිකරම හුදෙකලා කඳවුරක් ලෙස එවක සලකන්නට යෙදුණේ අහල පහළක කිසියම්ම ආකාරයක මූලික කඳවුරක් නොතිබූ බැවිනි. ඒ බැවින් එය නිරන්තරවම පාහේ කොටි ත්‍රස්තවාදීන්ගේ නියත ඉලක්කයක් බවට පත්ව තිබුණි. 1990 ජුනි මාසයේ රජය සමග ඇති කරගෙන තිබුණු සටන් විරාමය ඒක පාර්ශ්විකව කඩ කිරීමෙන් පසුව කොටි ත්‍රස්තවාදීන් කළේ නැගෙනහිර පළාතේ සියලු හමුදා කඳවුරුවලට පහර දීමයි. ‍

පොලිස් ස්ථාන ගණනාවකට පහර දීමෙන් පසු ‍පොලිස් නිලධාරීන් හයසියයක් පමණ ත්‍රස්ත අත් අඩංගුවට පත්වූ අතර පසුව එල්.ටී.ටී.ඊ.ය විසින් ඒ සියලු දෙනා ඝාතනය කරන ලද්දේ අති අමානුෂික අන්දමිනි.

එහෙත් කපිතාන් ඇඹව යටතේ වූ කලවංචිකුඩි කඳවුර එසේ කොටි ත්‍රස්තවාදීන්ගේ බහට නතුවන්නට කැමති වූයේ නොවේ. ඒ වෙනුවට ඔවුන් තෝරා ගත්තේ අන්තිම සෙබළා දක්වා සටන් කරන්නටය; අවසන් උණ්ඩය දක්වා සටන් කරන්නටය. කෑම් බිම් පමණක් නොව වෙඩි උණ්ඩ පතරොම් ආදියේද අන්ත හිඟයට මුහුණ පා අතිශය දුෂ්කර තත්ත්වයන් දරා ගනිමින්, සහයක විශේෂ බළකා සෙබළු ත්‍රස්තවාදීන්ගේ වටලෑම මැඩ එහි ළඟාවන තෙක්, දින 19ක් මුළුල්‍ලේ කඳවුර අල්ලාගෙන ඉන්නට කපිතාන් ඇඹව සහ සෙබළ පිරිස සමත් වූවෝය.

කපිතාන් ඇඹවගේ යුදහමුදා ජීවිතය උඩු යටිකුරු කළ නිමේෂය කලවංචිකුඩි සටනින් පසු තමාගේත් තම සෙබළුන්ගේත් ජීවිත බේරාගත් විශේෂ බළකාය ගැන කපිතාන් සරත් ඇඹවගේ සිතේ ඉමහත් පැහැදීමක් ඇති විය.

මේ අභිමානවත් බළකායට එක්වන්නට හැකිනම් වඩා ඉහළ සේවයක් කරන්නටද එමෙන්ම වඩා වැඩි  ආත්ම තෘප්තියකින් යුතුව සේවයෙහි යෙදෙන්නටද තමාට හැකි බවක් ඔහු කල්පනා කළේය. මේ අදහස ඔහු අතින් ඉහළ අධිකාරීන්ට දක්වන ලද අතර ඊට අවසර ලැබුණේ ප්‍රසාදයෙන් යුතුවය. විශේෂ බළකායද ඔහු එහි එක්කර ගත්තේ සතුටු සිතිනි. බාගවිට ශ්‍රී ලංකා පාබළ හමුදාවේ දිගටම සේවයේ යෙදී සිටියේ නම් ඔහුගේ ජීවිත කතාව මෙසේ නොලියවෙන්නට ද ඉඩ තිබුණි.

විශේෂ බළකාය සඳහා තෝරා ගැනීමේ මූලික පුහුණුව ඉතා අසීරු එකකි. සාමාන්‍යයෙන් ඊට මුහුණ දෙන්නන් දහදෙනෙකුගෙන් හතර දෙනෙකු පමණ ප්‍රමාණයක් ඉන් සාමර්ථ වන බව සාමාන්‍ය පිළිගැනීමයි. සාමාන්‍යයෙන් මේ පුහුණුවලට මුහුණ දෙන උප ප්‍රධාන නිලධාරින් වයස අවුරුදු විසි ගණන්වල මුල පසුවන්නන්ය. එබැවින් වයස තිස් ගණනක් වූ ‍‍‍ජ්‍යෙෂ්ඨ කපිතාන් සරත් ඇඹවට මේ දීර්ඝ හා කර්කශ පුහුණුව ඉතා තීරණාත්මක විය.

කපිතාන් ඇඹව 1992 වර්ෂයේදී මේ අභියෝගය භාර ගන්නට තීන්දු කළේය. එපමණක් නොව විශේෂ බළකාය සටන් බිමේදී මුහුණ දෙන්නා වූ අතිශය අසීරු සංග්‍රාමික තත්ත්වයන් පිළිබඳවද ඔහු පැහැදිලි අවබෝධයක පිහිටා සිටියේය. ඔහුගේ පුහුණුව හා සම්බන්ධ වූ නිලධාරීන් මේ පුහුණුවේ අග භාගයේදී වරක් පවසා තිබුණේ සරත් ඇඹව තරුණයන්ට නොදවෛනිව ඒ සියලු කටයුතු ප්‍රගුණ කළ බවකි.

මේ පාඨමාලාවේදී ඔවුනට ලැබෙන්නේ කෙතරම් අසීරු අඩියකට පත් වූයේ වුවද තම දිවි රැක ගැනීම එතුළින් මෙහෙයුමේ සාර්ථකත්වයට උපකාරී වන්නා වූ අතිශය අසීරු මෙන්ම සුවිශේෂී සටන් පුහුණුවකි. විශේෂ බළකා නිල සලකුණු සිය නිල ඇඳුමේ වම් පස පලඳා ගැනීමේ අභිමානය හිමිවන්නේ එබඳු පුහුණූවක් සාර්ථකව සම්පූර්ණ අයුරකින් කළ අයෙකුට පමණි. තවත් පවසතොත් මේ වනාහී යුද හමුදාවේ ඉතාම වටිනා බළකායයි.

විශේෂ බළකායේ  “Determined dared and Done”(අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා) තේමා පාඨය අනුවම සිය ජීවිතය හැඩ ගස්වා ගනිමින් මාතෘභූමිය වෙනුවෙන් කැප වන්නට සරත් ඇඹව කටයුතු කළ ආකාරය ඔහු තුළ සැඟව තිබුණ අධිෂ්ඨානය පෙන්වන කැටපතකි.

පුහුණුව අවසන් කිරීමෙන් පසුව ඔහු විශේෂ බළකායේ රාජකාරි සඳහා එක් කරන ලද්දේ එතැන් පටන් 1994 අප්‍රේල් මාසයේ අනතුරින් එක් තැන් වන තුරු දිගින් දිගටම ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරියේ යෙදුණේය. අනතුරින් පසුව ගුවනින් රෝහල වෙත ගෙන ආ මොහොතේ වෛද්‍යවරුන් පැවැසුයේ ඔහුගේ තත්ත්වය බරපතළ බවයි. ඔහුගේ සගයන්ම පවසන පරිදි ඔහුගේ දිවි බේරුණේ වෙන යම් හාස්කමක් නිසා නොව ඔහුගේම අධිෂ්ඨාන ශක්තිය නිසා බවයි. ඉනික්බිති මේජර් ඇඹව වැඩිදුර ප්‍රතිකාර සඳහා එක්සත් රාජධානියට යවන ලද්දේ රජය මගිනි. පුරා වසරක් මුළුල්‍ලේ එහි ප්‍රතිකාර ලද ඔහු විශ්වාස කළ නොහැකි අන්දමේ සුවයක් ලද්දේය.

ඔහු දිවි පරදුවට තැබුයේ වරක් දෙවරක් නොවේ
බ්‍රිගේඩියර් සරත් ඇඹව යුද පිටියේදී නූලෙන් බේරී ගිය අවස්ථා ඇත්තේ එක දෙකක් පමණක් නොවේ. ජීවිතය හා මරණය දෑතේ තබාගෙන කළ කලවංචිකුඩි සටන හා අංගොඩවිල්ලු සටනට අමතරව ඔහු නූලෙන් දිවි බේරා ගත් අවස්ථා දෙකක් පිළිබඳව අපට සිහිපත් වෙයි.

1986 වරක් ඔහු මඩකලපුව දෙසට මුර සංචාරයක යෙදෙමින් සිටියදී  මීයන්කුලම්හිදී බිම් බෝම්බයකට හසුවිය. හමුදා රියෙහි රියැදුරු එතැනදීම මිය ගිය අතර ලුතිනන් ඇඹවගේ පාදය බිඳී ගියේය. වාකරේ මෙහෙයුම අතරවාරයේදීද ඔහු යළිත් වරක් එබඳුම තත්ත්වයකට මුහුණ දුන්නේය. එහිදී ග්‍රේනේඩ් ප්‍රහාරයකට ලක්වූ ඔහු දිවි බේරා ගත්තේ යන්තමිනි. කිසිවිටෙකත් යුද පෙරමුණෙහි “බිය” යන වචනය නොදැන සිටි ඔහු නිබඳවම සිය යටත් නිලධාරීන්ගේ ධෛර්ය වඩවන අපූරු සම්පතක් වූයේය.

“යුද සමයෙක සෙබළකු අගයනු ලැබෙන්නේ වීරත්වයෙනි; ඇතැම් විට ඒ යුද බිම තුවාල ලද්දකු සලකනු ලැබෙන්නේ ඊටත් ඉහළ වීරත්වයකිනි.

මේජර් ජනරාල් නිර්මාල් ධර්මරත්න

- ජැක් හිගිංස්

පරිවර්තනය - පාලිත ජයකොඩි

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.