lakbima.lk

දේශපාලන කුණාටුවකට මුල පිරූ මෝදි පිළිබඳ සිනමා පටය

 
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි විවාදාත්මක චරිතයකි. උග්‍ර හින්දු අන්තවාදියෙකු ලෙස ප්‍රකට ඔහුට එරට ජාතිකවාදීන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙයි. එමෙන්ම ඔහු දේශපාලන පවුල් පසුබිමකින් නොව පුංචි තැනක සිට ඉහළටම නැගුනු අයෙකි.හින්දු, මුස්ලිම් අරගලවලදී හින්දුන්ගේ පැත්තගෙන කටයුතු කිරීම ගැනද ඔහුට ඇතැම් පාර්ශ්වවලින් චෝදනා එල්ල වෙයි. මේ වනවිට ඉන්දියාව සිටින්නේ මැතිවරණයක් අත ළඟය.
 
පසුගියදා පැවැති කාශ්මීර ගැටුම්වලදී මෝදි රජය ක්‍රියා කළේද මේ බව සිහියේ තබාගෙනය. ඒ අතර නරේන්ද්‍ර මෝදිගේ ජීවිත කතාව ඇතුළත් පී.එම්. නරේන්ද්‍ර මෝදි පසුගිය සිකුරාදා ප්‍රදර්ශනය ඇරඹෙන්නට නියමිතව තිබුණේ විරුද්ධ පාක්ෂිකයන්ගේ විශේෂයෙන් කොංග්‍රසයේ දැඩි විරෝධය මැදය.
 
මෙහි මෝදිගේ චරිතය රඟපාන්නේ මෝදි හිතවාදියෙකු ලෙස ප්‍රකට ජනප්‍රිය බොලිවුඩ් නළු විවේක් ඔබ්රෝයි වන අතර 2014 වසරේ මෝදි වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නියැළුණු විවේක් අගමැති ලෙස මෝදි දිවුරුම් දීමේ උත්සවයටද එක්ව සිටියේය. මුලින්ම මෝදිගේ චරිතය රඟපෑම සඳහා ප්‍රවීණ නළු  පරේෂ් රාවල් තෝරාගෙන තිබූ අතර පසුව ඔහු ඉවත්කොට විවේක් තෝරාගෙන තිබිණි. විවේක් මෙහි සම තිර රචකයෙකුද වෙයි.
 
   කොංග්‍රසය ඇතුළු විරුද්ධ පාක්ෂිකයන් මෙයට ප්‍රබල විරෝධයක් දක්වන්නේ මෝදි වීරයෙකු ලෙස ඉස්මතු කොට දැක්වෙන මෙම චිත්‍රපටය මැතිවරණ කටේදී ප්‍රදර්ශනය කරවීම මැතිවරණයේදී තම පක්ෂවලට අහිතකර බලපෑමක් ඇතිකරන නිසාය. විශේෂයෙන් ජාතිකත්වය ඉස්මතු කරගත් බහුතරය සිටින ඉන්දියාව තුළ මෙවන් චිත්‍රපටයක් මැතිවරණයකට බලපෑමක් එල්ලකරන බව බොරුවක් නොවේ.
 
කොංග්‍රසය තර්ක කළේ මෙය ශීලාචාර වැඩක් නොවන බව කියමිනි. මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට මැතිවරණයට පසු මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරවන ලෙස ඉල්ලා නවදිල්ලි අධිකරණයේ පැවරූ නඩුවකින් චිත්‍රපටය ප්‍රදර්ශනය කරවීමට කොළ එළියක් නිකුත් කොට තිබුණේ ප්‍රදර්ශන දිනය පසුකරන ලෙස කළ ඉල්ලීම නිෂ්ප්‍රභ කරමිනි. අප්‍රේල් එකොළොස් වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයේ ප්‍රචාරක කටයුතු මාර්තු විසිතුන්වැනිදා අවසන් විය.
 
මේ චිත්‍රපටය දේශපාලන අරමුණකින් නිෂ්පාදනය වී ඇති බව කියමින් කොංග්‍රසය එහි ප්‍රදර්ශනය අත්හිටුවන ලෙස ඉල්ලා එරට මැතිවරණ කොමිසම වෙතද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. ඊට ප්‍රතිචාර දක්වන චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් වෙනුවෙන් ඉදිරිපත් කළ නීතිඥ කණ්ඩායම පවසා තිබුණේ චිත්‍රපටයට සම්බන්ධ වූ ඇතැමෙක් භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වූවන් බවට කොංග්‍රසය නගන චෝදනාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසා තිබුණේ මැතිවරණ සමයේ මෝදි ගැන චිත්‍රපටයක් පෙන්වීම හා ඔහු ගැන ‍පොතක් නිකුත්වීමේ වෙනසක් නැති බවය.
 
දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන්ගේ ජීවිත කතා ඇතුළත් ‍පොත් මැතිවරණ ආසන්නයේ නිකුත්වී ඇති බව පෙන්වා දෙන ඔවුහු මේ මොහොතේද අගමැති මෝදිගේ ජීවිත කතාව ඇතුළත් ‍පොත් වෙළෙඳ‍පොළෙහි ඇති බව පෙන්වා දෙයි. මාධ්‍යයන් දෙකකට මෙය දෙයාකාරයකට ක්‍රියාත්මක නොවියයුතු බව පෙන්වාදෙන ඔවුහු මෙම චිත්‍රපටය තහනම් කිරීම මගින් එහි නිෂ්පාදකවරුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වළක්වන බවද, මැතිවරණයකට මිනිස් අයිතිවාසිකම් කඩකළ නොහැකි බවද වැඩිදුරටත්  පෙන්වාදී තිබේ.
 
ගුජරාතයේ කුඩා නගරයක තේ විකුණූු කොලුවෙකු ඉන්දියාවේ දාහහතර වැනි අගමැතිවරයා වීම දක්වා පැමිණි ගමන චිත්‍රපටයට ඇතුළත්ය. පූර්ව ප්‍රචාරක පටය ඇරඹෙන්නේ තේ විකුණු කොලුවෙකුට රටේ අගමැති විය නොහැකි බවට පසුබිමින් ඇසෙන හඬක් සමගය.ඉන්පසු ඇසෙන්නේ ජනතාව මෝදිගේ නම කියන හඬයි. ගැටවර වියේ පසුවන මෝදි ජාතික කොඩියට ආචාර කරන ආකාරය, අධ්‍යාත්මික සුවය පතා හිමාලයට ගිය ගමන මෙහි වැඩිදුරටත් අඩංගුය.
 
පූර්ව ප්‍රචාරක පටය අවසන්වන්නේ ඉන්දියාවේ බහුතරයට ගැළපෙන සටන් පාඨයක් වන තම රටට ත්‍රස්තවාදී තර්ජන එල්ල නොකරන ලෙස පාකිස්තානයට මෝදි කරන අනතුරු ඇඟවීමකිනි. ඔබලා අපට පහර දුන්නොත් ඊට වැඩි ප්‍රහාරයක් අපි එල්ලකරනවා” ඔහු කියයි.
 
පූර්ව ප්‍රචාරක පටය අවසන් වන්නේ තරුණ මෝදි ජාතික කොඩිය රැගෙන භාරත මාතාවට ජයවේවා යැයි හඬ නගද්දී ඔහු වටා හිම ඇදවැටෙන ආකාරය දක්වමිනි. මෙය බහුතරයක් ඉන්දියානුවන් කූල්මත් කරවන චිත්‍රපටයක් බව වටහාගන්නට මෙම පූර්ව ප්‍රචාරක පටයම සෑහෙන අතර චිත්‍රපටය නරඹන්නට සියලුදෙනාම පාහේ සිනමාහල් වෙත ගෙන්වා ගැනීමටද ‍පොළඹවන්නකි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට ඇත්තේ මේරී කොම් හා සර්බ්ජීත් වැනි ඉන්දියානුවන් සම්බන්ධ ජාතිකත්වය ඉස්මතු කරවන චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ජාතික සම්මානයන්ගෙන්ද පිදුම් ලැබූ අධ්‍යක්ෂවරයෙකු වන ඔමන්ග් කුමාර්ය.
 
විවේක්ට අමතරව බමන් ඉරානි ප්‍රකෝටිපති ව්‍යාපාරික රතන් ටාටා ලෙසද, සරීනා වහාබ් මෝදිගේ මව ලෙසද, මනෝජ් ජෝෂි භාරතීය ජනතා පක්ෂයේ සභාපති අමිත් ෂා ලෙසද, කිෂෝරි  ෂහානේ ඉන්දිරා ගාන්ධි ලෙසද, මෝදිගේ බිරිය ලෙස බර්කා සෙන්ගුප්තා ද මෙහි රඟපාති. 
 
 චිත්‍රපටයට විරෝධය දක්වන කොංග්‍රසය මෑත කාලයේදී අගමැති මෝදි වීරයෙකු කොට දක්වන ඌරි-ද සර්ජිකල් ස්ට්‍රයික් චිත්‍රපටය ප්‍රදර්ශනයවූ බවද පෙන්වා දෙයි. එයට ඇතුළත් වන්නේ පාකිස්තානයට ප්‍රහාරයක් එල්ල කිරීමට 2016 වසරේදී මෝදිගේ අනුමැතිය ලැබුණු හමුදා මෙහෙයුමයි. රාජත් කපුර් මෙහි මෝදි ලෙස රඟපෑවේය. ද ඇක්සිඩන්ටල් ප්‍රයිම් මිනිස්ටර් නමින් පසුගියදා ප්‍රදර්ශනය කළ චිත්‍රපටයෙන්ද කොංග්‍රසයේ අගමැති මන් මෝහන් සිං සම්බන්ධ අසුබවාදී චිත්‍රයක් මැවීම මෙන්ම කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි සහ කොංග්‍රසය විවේචනය කිරීමෙන් කොංග්‍රසයට අවාසියක් වූ බවද ඔවුහු වැඩිදුරටත් කියති.
 
මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය තම ට්විටර් ගිණුම හරහා ප්‍රචාරය කරවීමටද භාරතීය ජනතා පක්ෂය පියවර ගත්තේය. එම චිත්‍රපටයෙන් පසු ඉන්දියාවේ අගමැතිවරයෙකුගේ ජීවිත කතාව ඇතුළත් දෙවැනි චිත්‍රපටය පී.එම්. නරේන්ද්‍ර මෝදිය. අප්‍රේල් දොළොස් වැනිදා තිරගත වීමට නියමිතව තිබූ චිත්‍රපටය සතියකට පෙර තිරගත වන්නේ දැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත බවද, බිලියන 1.3ක ජනතාවගේ කතාව නැරඹීමට ජනතාව පුල පුලා බලා සිටින බවද මෝදි නිෂ්පාදකවරු කියති.
 
චිත්‍රපටයේ එක් නිෂ්පාදකවරයෙක් වන්නේ ප්‍රධාන චරිතය රඟපාන විවේක්ගේ පියා සුරේෂ් ඔබරෝයි වසර ගණනාවක සිට උග්‍ර භාරතීය ජනතා පාක්ෂිකයෙකි. දේශයට ඇති ආදරය මගේ ශක්තියයි යන්න චිත්‍රපටයේ ප්‍රචාරක පාඨයයි. චිත්‍රපටයේ රූපගත කිරීම් ඇරඹීමට පෙර පළමු ‍පෝස්ටරයද නිකුත් කරන ලද්දේ   මහාරාෂ්ට්‍ර මහ ඇමැති දේවේන්ද්‍ර ෆැඩ්නාවිස් විසිනි.
 
මෙහිදී ඔහු අගමැතිවරයා අගයමින් හා චිත්‍රපටයේ කණ්ඩායමට සුබපතා ප්‍රකාශයක් කොට තිබිණි. පී.එම්. නරේන්ද්‍ර මෝදි භාෂා විසිතුනකින් නිර්මාණය කොට තිබේ.
 
කලක සිට විවිධ නිෂ්පාදනවලට තම චිත්‍රපට හා ඒවායේ ඇතුළත් ගීතමය ජවනිකාවලට ඉඩ ලබාදී මුදල් සොයන බොලිවුඩයේ නවතම මුදල් ඉපැයීමේ මාර්ගය අගමැති මෝදි බව ඇතැම් විචාරකයන්ගේ අදහසයි. මෙය ආරම්භ වූයේ මේ වසර මුලදී අගමැතිවරයා කරන් ජොහාර්, ඒක්තා කපූර් හා රන්වීර් සිං ඇතුළු බොලිවුඩයේ ප්‍රබලයන් කිහිපදෙනෙක් හමුවී රට ගොඩනැංවීමට සිනමාව උපයෝගීකර ගන්නා ආකාරය ගැන ඔවුන්ගේ අදහස් විමසීමත් සමගය. එතැන් සිට බොලිවුඩ් චිත්‍රපටවල වරින්වර නරේන්ද්‍ර මෝදි වීරයෙකු කොට දැක්වෙන හා ඔහුගේ ව්‍යාපෘතීන් අගයන කියුම්, කෙරුම් ඇතුළත් විය.
 
මින්    ''කමාන්ඩෝ 2'' චිත්‍රපටයේ තැනක නරේන්ද්‍ර මෝදි ඉන්දියාවට ලැබුණු හොඳම අගමැතිවරයා” බවට දෙබසක් ඇතුළත් වෙයි. එයට අමතරව විවිධ අධ්‍යක්ෂවරුන් අගමැතිවරයා සම්බන්ධ නිර්මාණය කරන චිත්‍රපට බව කියමින් පූර්ව ප්‍රචාරක පට නිකුත් කිරීමද විලාසිතාවක් වූ අතර ඉන් බොහෝ චිත්‍රපට ගැන ඉන්පසු හැලහොල්මනක් නැත. 2014 මැතිවරණයට පෙර එවකට අගමැති අපේක්ෂක මෝදිගේ කතාව ඇතුළත් ගුජරාත චිත්‍රපටයක් ''නමෝ සාවුනේ ගාමෝ'' නමින් ප්‍රදර්ශනය ඇරඹුණු අතර මැතිවරණ කොමිසම ඉදිරිපත්වී එය එක් දර්ශනයකට පමණක් සීමාකොට ඉවත්කර දමන ලදී. ඇත්ත වශයෙන්ම එහි ප්‍රධාන චරිතය සෘජුවම නරේන්ද්‍ර මෝදි ලෙස දක්වා නොතිබුණු අතර මෙය ඔහුගේ චරිතය නොවන බව නිෂ්පාදකවරු කියා සිටියහ.
 
නමුත් මැතිවරණ කොමිසම කියා සිටියේ එය මෝදිගේ චරිතයට බෙහෙවින් සමාන බැවින් ප්‍රදර්ශනය සඳහා ඉඩදිය නොහැකි බවය. එසේනම් මෙවර අගමැතිවරයා වීරයෙකු කොට දක්වන  ''පී.එම්. නරේන්ද්‍ර මෝදි'' මැතිවරණයට පෙර ප්‍රදර්ශනය කරවීම නතර කළ නොහැක්කේ ඒ සඳහා රාජ්‍ය බලය යොදාගෙන ඇති නිසාද? අධිකරණයට රජය බලපෑම් කොට ඇතිද? යන්න මෙහිදි ප්‍රශ්නයක් නැගෙයි. 
 
කොංග්‍රසය ඇතුළු වෙනත් විරුද්ධ පක්ෂවලට අමතරව මෝදි චිත්‍රපටය නිසා කැළඹීමට පත් තවත් පිරිසක් විය. ඒ ජනප්‍රිය නළු ජෝන් ඒබ්‍රහම් ප්‍රධාන චරිතය රඟපාන “රෝ” චිත්‍රපටයේ  නිෂ්පාදකවරුන්ය. පසුගිය මාර්තු මාසයේදී මුලින්ම හා පසුව අප්‍රේල් දොළොස් වැනිදා තිරගතවීමට නියමිතව තිබූ පී.එම්.නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මාසයේ පස්වැනිදාට එනම් ''රෝ'' චිත්‍රපටය තිරගත වන දිනයටම නියමවීම නිසා නොඅනුමානවම එය රෝ චිත්‍රපටයේ ආදායම් වාර්තාවලට බලපානු ඇත. රෝ 1971 ඉන්දියා-පාකිස්තාන යුද්ධය පසුබිම් කරගත් සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූවක් බැවින් බොහෝදෙනෙක් ඒ ගැන විශාල බලා‍පොරොත්තු තබාගෙන සිටි බව වාර්තා වෙයි.
 
 නිශානි දිසානායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.