lakbima.lk

අඳුරේ ආ ඇමෙරිකානු හෙලිකොප්ටරය ගොවි බිමකට ගොඩ බසී

ඇෆ්ගනිස්ථාන බිමෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ අරමුණින් යුතුව ලහි ලහියේ සැලසුම් කරන ලද මේ මෙහෙයුම් මාලාව හඳුන්වනු ලැබුයේ Task Force Dagger නමිණි. ඒ යටතේ මුලින්ම එහි පිටත් කර යවන ලද්දේ CIA හි විශේෂිත ක්‍රියාකාරකම් ඒකකයෙහි කණ්ඩායමකි. හත් දෙනකුගෙන් සමන්විත මේ කණ්ඩායමට කවුන්ටර් ටෙරරිස්ට් සෙන්ටර්  හි සාමාජිකයන් කිහිප දෙනෙක්ද ඇතුලත්ව සිටියෝය.

සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් දින පහළොවකට පසු ඔවුන් එහි පිටත්ව ගියේ මේ මෙහෙයුමට අවශ්‍ය පසුබිම සකසන්නටය. අවශ්‍ය කවර සහයක් හෝ මිළට ගනු පිණිස ඇමෙරිකානු ඩොලර් සියයේ විනිමයපත් පිරවූ කාඩ්බෝඩ් පෙට්ටි තුනක් ඔවුන් එහි රැගෙන ගිය බව කියවෙයි. එදිනෙදා වියදම පිනිස ඔවුන් අත පත් කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක් ඉක්ම වූ ප්‍රමාණයකි.

12 Strong සිනමා පටයට පාදක වූ 12 දෙනාගේ කණ්ඩායම එහි පිටත්ව යන්නේ ඉනික්බිතිවය. මෙබඳු 12 දෙනාගේ කණ්ඩායම් දෙකක් ඇෆ්ගනිස්ථානය කරා පිටත්ව ගිය අතර ඉන් එකක් ODA (Operational Detachment Alpha) 555 වශයෙන්ද අනෙක් ODA 595 වශයෙන්ද හඳුන්වන්නට යෙදින.

සැබැවින්ම පවසතොත් ත්‍රස්තවාදය නාශනය කිරීමේ මෙහෙයුමක් පිණිස පළමුව ඇෆ්ගනිස්ථානයට ගොඩබැස්සෙත් ඔවුහුය. මේ මෙහෙයුමේ කැපී පෙණුනු චරිතයක් වූ බොබි පෙනිංටන් පවසන්නේ ජීවත්වන්නට පළමුව ඔවුනට සපුරාගත යුතු වෙනත් කාරණා තිබුණු බවයි.

“ඇත්තටම කිව්වොත් අපි තුන්වතාවක් විතර මේ ගමන පිටත් වෙන්න ලැහැස්ති වෙලා අත හැර දැම්මා. අපට මුලින්ම අවශ්‍ය වුණේ අපේ කණ්ඩායම නියම විදිහට එකට එකතු කර ගන්නටයි. විශේෂයෙන්ම නෂ් (එවක කපිතාන් මාක් නෂ්) අපේ කණ්ඩායමට එක් කර ගන්නටයි. ඔහු තමයි මේ කාරියට කවුද එකතු කරගන්නට ඕනෑ කියලා හරියටම දැන හිටියේ.”

මේ ආකාරයෙන් ODA 595 කණ්ඩායම සූදානම් වූ අතර බොහෝ විට එය සැලකෙන්නේ අවශ්‍යතාව හා අවබෝධය මත ගොඩනැගුණු සෙබළ එකමුතුවක් ලෙසය. පරිණත හා අත්දැකීම් සපිරි පිරිසක් වූ ඔවුන් ඇෆ්ගනිස්ථානයේ උතුරුදිග අසල්වැසි රාජ්‍යය වූ උස්බැකිස්තානයේ සාර්ථක ක්‍රියාන්විතයක් අවසන් කොට එහි පැමිණ තිබුණේ ඒ ආසන්නයේදීම පාහේය.

එකමුතුවක් වශයෙන් ගත් කළ ඔවුනගේ වයස්වල සාමාන්‍යය, අවුරුදු 32වූ බව කියැවෙයි. එමෙන්ම ඒ හැමකෙකුටම පාහේ අවුරුදු අටක් හෝ ඊට ඉහළ පළපුරුද්දක් සතුවිය. ඒ සියල්ලටත් වඩා මෙහිදී වඩාත් වැදගත් වූයේ යැයි සිතිය හැකි කරුණක් ද වෙයි.  එනම් ඔවුන් සියලු දෙනා අවුරුද්දක් මුළුල්‍ලේ එකට එක්ව මෙහෙයුම්වල යෙදෙමින් සිටීමය.

අනෙක් අතට සෝමාලියාවේ හා කොසෝවේ වැනි උග්‍ර අසීරු ත්‍රස්තවාදී බිම් කඩවල කටයුතු කළ ඔවුන් එහිදී ද පෙන්වා තිබුණේ  විශිෂ්ට දක්ෂතාවකි.

මෙහෙයුමට සූදානම් වීම සඳහා ද ඔවුන්ට හිමි වී තිබුණේ සීමිත කාල සීමාවකි. එරට   පිළිබඳව යම් පුවත්පතක සඟරාවක යම් තොරතුරක් වී ද ඒ සියල්ල කියවන්නට ඔවුහු අමතක නොකළෝය. අනෙක් අතට ඇෆ්ගනිස්ථානයේ යුද සිතියම් කිසිවක් ඔවුන් අත තිබුණේ නැත. ඒ අඩුව පුරවා ගැනීම සඳහා ඔවුන් කළේ එවක ඇෆ්ගනිස්ථානයේ භාවිත වුණු සංචාරක සිතියම් පරිශීලනය කිරීමයි. වසර සියයකට අධික කාලයක් පටන් හා ගැටුම්වලින්ම ගෙවා දැමූ ඇෆ්ගනිස්ථානය ගැන හැකි පමණක අවබෝදයක් ලබා ගන්නට මේ කෙටි කාලය තුළ ඔවුහු යුහුසුළු වූවෝය.

“ඒත් අපි හිතන්නේ නැහැ අපට ඇෆ්ගනිස්ථානය ගැන හැම දෙයක්ම අවබෝධ කර ගන්නට පුළුවන් වුණාය කියල. පස්වැනි බල ඇණිය ඓතිහාසික වශයෙන් නමක් දිනාගෙනයි හිටියේ මැදි පෙරදිග කලාපයත් එක්ක. ඒත්  ඒ එක්ක සංසන්දනය කරලා බලද්දී අපි ඇෆ්ගනිස්ථානය ගැන මොනවත්ම දැනගෙන හිටියේ නැහැ වගේ කිව්වොත් වැඩිය නිවැරදියි. ඒත් අපට කලින් එහි ගිය CIA කණ්ඩායම ඒ අවාසිය මඟහැරලා දෙන්න උපකාර වුණා. ඔවුන් අපට පෙන්වා දුන්නෙ ඇෆ්ගනිස්ථාන බිමේදී අපට කවුරුන්ද විශ්වාස කරන්න පුළුවන්, කා එක්ක එකතු වෙලා ද මේ වැඩේ කරන්න පුළුවන් කියලා.”

විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් ජොන් මුලෝලන්ඩ් පවසයි.

2001 ඔක්තෝබරයේ 19වැනිදා ODA 555 හා 595 ඇෆ්ගනිස්ථානය බලා ගමන් ආරම්භ කළෝය. ඔවුන්ගේ ගුවන් ගමනද ඇෆ්ගනිස්ථානු මෙහෙයුමට නොදවෛනි අන්දමේ ත්‍රාසජනක එකක් වීය. විශේෂ බලකාය  විසින් K2 නමින් හඳුන්වන්නට යෙදුණු කාෂි ඛානාබාද් මූලික ගුවන් කඳවුරෙන් (Karshi-Khanabad Air Base) ඔවුන් පිටත් වූයේ විශේෂ මෙහෙයුම් ගුවන් රෙජිමේන්තුවට අයත් ද්විත්ව එංජින්වලින් යුතු වූ MH-47E චීනුක් හෙලිකොප්ටර් දෙකකිනි. ඔවුන්ගේ අමතර සහාය පිණිස තවත් MH-60L බ්ලැක් ගෝක් යාත්‍රා දෙකක්ද පියාසර කරමින් තිබුණි.

ඔවුන්ගේ ගමන වඩාත් අසීරු වූයේ මේ යානා අධිකතර සීත පරිසරයකට සර්ව සම්පූර්ණ ලෙස ඔරොත්තු දෙන්නට අසමත් වූ බැවිනි. මධ්‍යගත ඔක්සිජන් සැපයුම් ක්‍රමයක් එහි ගමන් කරන්නන්ට නොසැපයුණු බැවින් බොබි හෙවත් බෙල් අවුට් සිලින්ඩර වෙසෙසක් පාවිච්චි කරන්නට ඔවුනට සිදුවිය. මෙය එක්තරා අන්දමකින් කිමිදුම්කරුවන් භාවිත කරන ස්කුමා සිලින්ඩරයට සමාන වූ බව කිවහැකි විය. විශේෂයෙන්ම එබඳු අසීරු ඉසව් මග හරිමින් වට රවුම් ගසන්නට ගුවන් නියමුවන්ට සිදුවූ බව පැවැසෙයි. එමෙන්ම කිහිපවිටක්ම පාහේ ගුවන් යානාවලට යළි ඉන්ධන සපයන්නට ද සිදුවිය.


අනෙක් අතට ඔවුන් මේ ඉසව්වේ මේ හෙලිකොප්ටර් යන්ත්‍ර පැදවූයේ නයිට් විෂන් තාක්ෂණය (Night Vision  Goggles)   භාවිත කරමිනි. එපමණක් නොව කිහිප වතාවක්ම පුරුදු පුහුණූව සිටි අන්දම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින් ඔවුන් මේ මෙහෙයුමේදී හෙලිකොප්ටර් යාත්‍රා පැදවූයේ රෙඩියෝ සංඥාවල උපකාර නැතිවය. මෙය ඉතා අසීරු ගමනක් වූ බව අමුතුවෙන් කිව යුතු වූයේ නැත. එහෙත් මෙතැනින් පසු MH-47E හෙලිකොප්ටර් යන්ත්‍ර දෙකට තනිවම ඉදිරියට යන්නට සිදුවූයේ බ්ලැක් ගෝක් යාත්‍රා දෙකට ගමනේ අපහසුව නිසා ආපසු හැරෙන්නට සිදුවූ බැවිනි.


යාත්‍රා දෙක ගොඩබැස්වීම සඳහා ඔවුන් කොපමණ වෙහෙසක් ගත්තේ ද යත් MH-47 ගුවන් යානා කාර්ය මණ්ඩලය ලෝක වාර්තාවක්ද පිහිටුවන්නට සමත් වූ බවද පැවැසෙයි.  ඒ ගුවන් මෙහෙයුමක් තුළ හෝරා 11 ක් ඇතුළත තුන් වාරයක්ම නැවත ඉන්ධන සපයා ගන්නට සිදුවීම තුළිනි. වැලි කුණාටු ද අධිකතර මීදුමද ඔවුනගේ ගමන තව තවත් අපහසුවට පත් කළ බව පැවැසෙයි.


මේ යාත්‍රා දෙකින් තමන්ගේ භට පිරිස් පළමුව ගොඩ බස්වන්නට සමත් වූයේ ODA  555 කණ්ඩායම ගමන්ගත් හෙළිකොප්ටර යානයයි.  ODA  555 පිරිස ගොඩ බැස්සේ පංජ්ශීර් ගංගා නිම්නය ආශ්‍රිත බිමකටය. ඒ වූ කලී කාබුල් නගරයේ සිට සැතපුම් විස්සක් පමණ මෑතකින් පිහිටි ඉසව්වක් වූයේය. ඒ කාලයක් තිස්සේම ත‍ලේබාන් ත්‍රස්තවාදීන් සමග පැටලෙමින් සිටි උතුරු මිත්‍ර හමුදාවට හා එක්වන්නටයි.

උතුරු මිත්‍ර හමුදාවේ (Northern  Alliance Forces)  හා මේ සම්බන්ධය ඔවුන් කල්තබා ගොඩනගාගෙන තිබුණකි. ඒ ජෙනරාල් අබ්දුල් රෂීඩ්    දොස්තොම්ගේ සබඳතා හරහාය. ඉරානයේ, රුසියාවේ, තුර්කියේ, කජිකිස්තානයේ මෙන්ම ඉන්දියාවේද ආධාර උපකාර ලද Northern Alliance Forces ඵහි ප්‍රාදේශීය නායකයකු වු ෆාහිම් ඛාන් සමග සබඳතා ගොඩනගා ගන්නට ODA 555  හැකි විය.


දැන් ඉතිරිව තිබුණේ ODA 595 හෙවත් 12 Strong කතාන්දරයට පාදක වූ පිරිස ගොඩබැස්වීම පමණකි. එහෙත් ඔවුනට ගොඩබසින්නට ලැබුණේ තම මිත්‍ර කණ්ඩායම ගොඩබට ඉසව්වෙන් බොහෝ ඈතකය. සැබවින්ම පැවැසුවහොත් එයින් මයිල සියයකටම පමණ ආසන්න එපිටකිනි. ඇෆ්ගනිස්ථානයේ නගර අතුරින් හතර වැනි ප්‍රධාන නගරය ලෙස සැලකන ලද මසාර් (Mazar-i-Sharif) නගරය ආසන්නවය. බාල්ක් ප්‍රාන්තයේ අගනුවරද වූ මෙය සංචාරක කර්මාන්තය සඳහා ද ප්‍රසිද්ධියක් ඉසිලුවකි.


අතීතයේදී කපිතාන් මාක් නාච්ගේ ODA 595 නඩය නිව්යෝක් ප්‍රහාරයෙන් හරියටම දින 39කට පසුව ඇෆ්ගනිස්ථාන ‍පොළොවේ පය ගැසුයේ දාරි-ආ-සවුෆ් නිම්නයේ කෙළවරක පිහිටි වගා බිමකටය.

 පාලිත ජයකොඩි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.