lakbima.lk

ස්ලෝවැකියාවේ ජනාධිපති ධුරයට පළමු වරට කාන්තාවක්

 
ලෝකයේ තවත් රාජ්‍යයක  පළමු වතාවට කාන්තාවක රාජ්‍ය නායිකාව බවට පත් වූවාය. ඒ නැගෙනහිර යුරෝපයේ පිහිටි රාජ්‍යයක් වන ස්ලෝවැකියාවේය. 1990 දශකයේ ස්ලෝවැකියාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ දින පටන් මේ තාක් කාලයකට කාන්තාවක එරට ජනාධිපති ධුරයට පත්ව නොතිබුණි.
 
එම අඩුව පුරවමින්, පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් සුසානා කැපුටෝවා එරට   පළමු ජනාධිපතිනිය ලෙස ඉතිහාසයට එක් වූවාය. සුසානා දේශපාලන ක්‍ෂේත්‍රයේ අත්දැකීම් නැති නවකයකු වීමද මෙහිදී කැපී පෙනෙන කාරණයකි. ඇය අතින් ජනාධිපතිවරණයේදී පරාජය වූයේ කීර්තිමත්, පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස නමක් දිනා සිටි මරෝස් සෙෆ්කොවික්ය. ඔහු ඉදිරිපත් වූයේ ස්ලෝවැකියාවේ වත්මන් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා වශයෙනි. 
 
ලෝකයේ බොහෝ රටවල ජනතාව මේ වනවිට සිටින්නේ තම රටවල සාම්ප්‍රදායික දේශපාලනඥයන් ගැන මෙන්ම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ගැනද කලකිරීමෙන් බවත් දැකිය හැකි වෙයි. මේ නිසා බොහෝ තැන්වල අලුත් මුහුණු දේශපාලන තලයේ විශාල ජයග්‍රහණ ලබා ගනිමින් සිටින ආකාරයක් පෙනේ. පසුගිය දිනවල පැවැති තවත් මැතිවරණයක් වූ තායිලන්ත මැතිවරණයේදීද එවැනිම නවකයෙක් කැපී පෙනෙන ආකාරයෙන් පෙරට ආවේය. 
 
ඒ 'ෆියුචර් ෆෝවර්ඩ්' නැමැති අලුත් පක්ෂයකින් ඉදිරිපත් වූ තනාතෝන් ෂුවෙංග්රුංග්රුයෙංග්කිත් නම් අපේක්ෂකයෙකි. දින කිහිපයකට පෙර යුක්රේනයේ පැවැති ජනාධිපතිවරණයේ පළමු වටයෙන්ද ජයගත්තේ කිසිදු දේශපාලන පළපුරුද්දක් නැති ටෙලි නාට්‍ය නළුවෙකි. ඔහු මෙම ටෙලි නාට්‍යයේ නිරූපණය කර තිබුණේ වංචා දූෂණවලට එරෙහිව ක්‍රියාකරන ජනාධිපතිවරයකුගේ චරිතයකි. එම චරිතය ජනතාව අතර මහත් ජනප්‍රියත්වයට පත්ව තිබිණි.
 
සුසානා කැපුටෝවා ස්ලෝවැකියාවේ ජනාධිපති ධුරයට පත්වීමද නවකයන් ඉදිරියට ඒමේ මෙම ප්‍රවණතාව පිළිබිඹු කළ තවත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. නීතිඥවරියක  වන සුසානාද වඩාත් කැපී පෙනෙන්නේ වංචා දූෂණවලට එරෙහිව ක්‍රියාත්මක වූ චරිතයක් ලෙසිනි. බලයේ සිටි සහ සිටින සාම්ප්‍රදායික දේශපාලනඥයන්ගේ වංචා දූෂණවලට එරෙහිව හඬ නගන ක්‍රියාකාරිකයන් මේ කාලයේ වඩාත් ජනප්‍රිය වීමද තවත් ප්‍රවණතාවක් ලෙස සැලකිය හැක්කකි. 
 
සුසානා කැපුටෝවාගේ වයස මේ වනවිට අවුරුදු 45 කි. සිය විවාහයෙන් දික්කසාද වී සිටින ඇය දරු දෙදෙනෙකුගේ මවක බවද සඳහන් වෙයි. ඉවාන් කැපුටෝවා සමග විවාහ වී සිටි ඇය පසුගිය වසරේ ඔහුගෙන් දික්කසාද වූවාය. ලිබරල් අදහස් දරන කෙනෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන සුසානා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ස්ලෝවැකියාවේ ප්‍රගතිශීලී පක්ෂය නම් කුඩා පක්ෂයකිනි. 
 
මෙම පක්ෂය මේ වනවිට එරට පාර්ලිමේන්තුව තුළ එකද ආසනයක්වත් නියෝජනය නොකරන පක්ෂයක් වීමද තවත් විශේෂත්වයකි. මේ කාලයේ බොහෝ යුරෝපා රටවල ප්‍රබල ව්‍යාපාරයක් ලෙස මතුව ඇති සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් දිනාගැනීමේ ව්‍යාපාරවලටද සුසානා සම්බන්ධ බව පැවැසේ. සමරිසි පුද්ගලයන් අතර විවාහයන් නීතිගත කිරීම සඳහා ගෙනයන ව්‍යාපාරවලටද ඇය සහය දක්වන්නීය.  
 
සුසානා කැපුටෝවා වැනි අලුත් චරිතවලට වාසිදායක වන දේශපාලන පරිසරයක් ස්ලෝවැකියාව තුළ වඩාත් කැපී පෙනෙන ලෙස මතුව ආවේ 2018 පෙබරවාරි මාසයේ සිදු වූ බිහිසුණු ඝාතනයක් නිසාය. එහි දී ඝාතනය කරන ලද්දේ ගවේෂණාත්මක මාධ්‍යවේදියකු ලෙස ගෞරවයට පාත්‍ර වී සිටි ෂාන් කුසියැක්ය.
 
ඔහු ස්ලෝවැකියාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි සහ දේශපාලනඥයන් අතර ඇති සබඳතා ගැන අනාවරණය කරමින් මාධ්‍ය කටයුතුවල නිරත වූ අයෙකි. 2018 පෙබරවාරි 21 වෙනි දින කුසියැක්ට වෙඩි තබන ලද්දේ ඔහු සිය පෙම්වතිය වූ මාටිනා කුෂ්නිරෝවාද සමග ඔහුගේ නිවසේ සිටියදීය. මෙහිදී ඔහු සමග මාටිනාද ඝාතනයට ලක් විය. පවතින ආණ්ඩුවට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතා රැල්ලක් මතු කිරීමට මෙම සිදුවීම සමත් විය. සාම්ප්‍රදායික දේශපාලන බලවේගවලට එරෙහිව හඬ නැගූ සුසානා වැනි චරිතයකට ඉදිරියට ඒම සඳහා පසුබිම සැකසුණේ ඒ ආකාරයෙනි.
 
ස්ලෝවැකියාවේ ජනාධිපතිවරණය වට දෙකකින් සමන්විත විය. පළමු වටය සඳහා අපේක්ෂකයෝ 15 දෙනෙක් ඉදිරිපත් වූහ. එම වටයේ ඡන්ද විමසීම පැවැතියේ මාර්තු 16 වෙනිදායි.  එහිදී සුසානා සියයට 40.6 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත්තාය. ඇයගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ  මරෝස් සෙෆ්කොවික්ට හිමි වූයේ සියයට 18.7ක් පමණි. කෙසේ වෙතත් කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට වඩා ඡන්ද ලබා ගැනීමට නොහැකි වූ විට දවෛනි වටයක් පැවැත්වීමට සිදු වෙයි. ඒ අනුව දෙවැනි වටයේ ඡන්ද විමසීම මාර්තු 30 වෙනි දින පැවැත්විණි. එහිදී තරග වදින්නේ පළමු වටයේදී මුල්  ස්ථාන දෙක හිමි කරගත් දෙදෙනා පමණි. මෙම වටයේදී සුසානාට සියයට 58.4 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි වූ අතර මරෝස්ට සියයට 41.6  ක් හිමි විය. 
 
1973 වසරේ සුසානා උපත ලැබුවේ චෙකොස්ලෝවැකියාවේ බ්‍රැටිස්ලාවාහිදීය. ඒ වනවිට ස්ලෝවැකියාව චෙකොස්ලෝවැකියාවේ කොටසක් විය. ඇයගේ මව්පියන් සාමාන්‍ය කම්කරුවන් ලෙස කටයුතු කළ අය බවද සඳහන් වේ. කලක් සමාජවාදී කඳවුරේ රාජ්‍යයක් ලෙස පැවැති චෙකොස්ලෝවැකියාව චෙක් සහ ස්ලෝවැකියා යන ජනරජයන් දෙකක් ලෙස වෙන් වූයේ 1993 වසරේය.
 
නිහාල් පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.