lakbima.lk

පෞද්ගලික ආරක්ෂිකාවගේ ආරක්ෂාව තායිලන්ත රජු යටතට

ගැමුණු රජ පුත් සාලිය කුමරුට මාළිගය සැදුණේ ඔහුට වඩා බොහෝ පහළ සමාජ තලයක සිටි අශෝකමාලා නම් යුවතිය තුරුලේ බව අපි අසා ඇත්තෙමු.  හිත ගිය තැන මාලිගාව යන අපූරු කියමන යළි සිහිගන්වන තවත් රජ කුමාරයකුගේ විවාහයක් ගැන පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ තායිලන්තයෙනි.

මහා වජිරලොංකෝන් නමැති මේ කුමරු එරට රජු ලෙස ඔටුනු පැලැන්දේ මැයි 04වෙනිදාය. ඔහුට සිහසුන උරුම වූයේ 2016 වසරේ පදවිබෝල් රජුගේ අභාවයත් සමගය. එහෙත් පියා හා දැඩි බැඳීමකින් සිටි පුත් කුමරු වසරක ශෝක කාලයක් අවශ්‍ය බව නිවේදනය කර තිබුණි. රටවැසියන්  පවා මහරජුගේ වියෝවෙන් කෙතරම් ශෝක වී ද යත් එකල එරට කළුරෙදි හි`ගයක් ද වූ බව වාර්තා විය.

වජිරලොංකෝන් කුමරු භූමිබොල් අදුල්යදේජ් රජු හා සිරිකිත් දේවියගේ පළමු පුත‍්‍රයාය. ඔහුට වැඩිමහලූ සොයුරියක් ද සිටී. එක්සත් රාජධානියෙන් හා ඔස්ටේ‍්‍රලියාවේ ඉගෙනුම ලැබූ කුමරු තායි හමුදාවට එක්වූවේ කැන්බරාහි රාජකීය හමුදා පාසලෙන් ලද පුහුණුවකින් අනතුරුවය. හේ පුහුණුව ලත් සිවිල් හා ප‍්‍රහාරක ගුවන් නියමුවෙකු ද වේ.

කෙසේ වුවත් ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තේ හැටහය හැවිරිදි කුමරුගේ අභිෂේකය නොව ඊට දෙදිනකට පෙර සිදුකෙරුණු ඔහුගේ විවාහයයි. ඔහු අත ගත් රාජිනිය වූයේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරිනිය වූ ජෙනරාල්වරියකි. සුතිදා තිද්ජ්‍යායි නමැති ඇය රජු සමග වසර කිහිපයක් තිස්සේම ප‍්‍රසිද්ධියේ සිිටියත් ඒ සබඳතාව නිල වශයෙන් කිසිදා පිළිගැනී නොතිබිණි.

මහාවජිරාලොන්ගෝන් රජු ඔහුගේ රාජකීය ප‍්‍රියම්බිකාව මෙන්ම පෞද්ගලික ආරක්ෂක බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරිනිය වන ජෙනරාල් සුතිදා වජිරාලොංගෝන් නා අයුධ්‍යා බිසොව ලෙස ප‍්‍රකාශයට පත්කරන බවත් තායිලන්තයේ රාජකීය පදවියක් උරුම වන ඇයට රාජකීය පවුලේ සාමාජිකාවකට හිමි   සියලූ වරප‍්‍රසාද ආදිය ලැබෙන බවත් සඳහන් නිවේදනයක් රජ  මාලිගයෙන් නිකුත්කර තිබුණි.


ශුද්ධවූ ජලය රැජිනගේ හිස මත ඉසීමෙන් අනතුරුව දෙදෙනාගේ නීත්‍යනුකූල විවාහය සිදුකෙරී ඇත.
රජකුමරුගේ පෞද්ගලික ආරක්ෂක බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරිනිය ලෙස පත්කර ගැනීමට පෙර සුතිදා තායි ගුවන් සේවිකාවක ලෙස කටයුතු කර ඇත. පූර්ණ බලතල සහිත ජෙනරාල් පදවියක් ඇයට පිරිනැමුණේ 2016 වසර අගදීය.

පියරජු තරම් ජනතාව අතර හැඳිනීමක් නැතත් නව රජුට තායිලන්ත වැසියන්ගේ ගෞරව සමාදර හිමිවෙනු ඇත. රජ පවුල නෛතිකවම ආරක්ෂාවේ. එය විවේචනය කිරීම වැසියන්ට සපුරා තහනම්ය.

දැහැමිව රට පාලනය කරන බවට පොරොන්දු වෙමින් මහාවජිරාලොංකෝන් රජු තම පළමු රාජකීය නිවේදනය නිකුත් කළේ ඔහුගේ පියරජු වසර 69කට පෙර ඔටුනු පලන් දින කළ ආකාරයෙන්ම බව සඳහන්වේ. ලොව වැඩිම කාලයක් (වසර 70ක්) රජ කිරුළ දැරීමේ වාර්තාව හිමිවන්නේ භූමිබෝල් රජුටය. තායි රජු බෞද්ධාගමේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා හා පෘථිවියේ නියෝජිතයා සේ සැලකේ.

තායි ජනතාව සතියක් තිස්සේ මෞලි මංගල්‍යයේ සතුට සමරනු ඇත. රජු සඳළුතලයේ පෙනී සිටිනු නැරඹීමටත් පෙරහරින් වීථි සංචාරය කරනු බැලීමටත් විශාල ජනකායක් එක්ව සිට ඇත. රජුට ගෞරව පිණිස සැම දෙනා කහ පැහැ වස්ත‍්‍රවලින් සැරසී සිට ඇත.

ස්ථාන සියයකට වැඩි ගණනකින් ලබාගත් ශුද්ධවූ ජලය මෞලි මංගල්‍යය සඳහා යොදාගෙන ඇත. නව රජුගේ හිස මත පැලඳුණේ රාත්තල් 16ක් (කි. ග‍්‍රෑ. 7.3) බරුති කිරුළකි. එය විජයග‍්‍රහණයේ මහා කිරුළයි. එය පැලඳීමත් සමග ඔහු දසවෙනි රාමා යනුවෙන් හැඳින්වෙනු ඇත. එනම් චක‍්‍රී රජ පෙළපතේ දසවැන්නා වේ. සුතිදා ඔහුගේ සිව්වන බිරියයි.

රජු පළමුව විවාහ වී ඇත්තේ 1977දීය. ඒ ඔහුගේ නෑනා වූ සොම්මවාලි කිතියකාරා දේවිය සමගයි. ඔවුනට දියණියක ලැබී ඇත. ඒ අතර යුවාධිදා නම් නිළියක හා සබඳතාවක් ඇති කර ගත් ඔහු පුතුන් හතර දෙනෙකුට පීතෘත්වය ලබා ඇත. ඇය හා එක්ව විසුව ද කිතියකාරා දේවිය ඔහුට දික්කසාදයකට එකගව නැතත් 1993දී ඊට එකගව ඇත. රජු යුවාධිදා සමග විවාහ වී වසර දෙකකට පසු ඇය රජුගෙන් මිදී එක්සත් රාජධානියට පැනගිය බව වාර්තා විය.


ඔහුගේ තෙවන විවාහය 2001දී රහසේ සිදුකෙරුණකි. ඇය 1992සිට ඔහුට සේවය කළ යුවතියකි. 2005 වසර තෙක් එය රහසක්ව තබා ගනිමින් ඇය පුතෙකු බිහිකර ඇත. විශාල වන්දියක් හා චෝදනා රැසක් සමග ඇය දික්කසාද කළ රජු ඇගේ දෙමාපියන් ද වසර දෙකහමාරක් සිරගෙයි දැමූ බව සඳහන්ය. නව රැජින ද මේ සියල්ල නොදන්නවා විය නොහැක.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.