lakbima.lk

ගෝඨාට එරෙහි ෆොන්සේකා කැඳවයි

රට නිමක් නැති දේශපාලන හා ආර්ථික අර්බුද රැසක ගිලී සිටියද, ඒවා විසඳීම පැත්තකට තබමින් ලංකාවේ සියලු දේශපාලන ඉහළ ස්ථර වැඩි බරක් තබා ඇත්තේ ඊළඟ ජනපතිවරණයට බවට රහසක් නොවේ. ඊට හේතුව වන්නේ මහජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම නොව තමන්ගේ දේශපාලන අනාගතයේ හැරවුම් ලක්ෂ්‍යය මීළඟ ජනපතිවරණය බව ඔවුන් දන්නා බැවිණි. මේ නිසා ජනපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහට මෙන්ම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවු‍ලේ සාමාජිකයන් මීළඟ ජනපතිවරණය පිළිබඳ බලා‍පොරොත්තු දල්වාගෙන සිටීම අරුමයක් නොවේ.

ඒ අතරේ ජනපතිවරණය ගැන අලුත් කතා කීපයක් කොළඹ දේශපාලනය අතර ගිය සතියේ පැතිර ගියේය. ඉන් එක් කතාවකින් කියැවුණේ ජනපතිවරයා සිය ධුර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නට සැරසෙන බවය. බළලා මල්ලෙන් එළියට පැන්නේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ශ්‍රීලනිප මහ‍ලේකම් දයාසිරි ජයසේකර කීවේ ජනපතිවරයාගේ ධුර කාලය පටන් ගන්නේ 2009 ජනවාරි 9 වැනිදායින්ද එසේ නැතිනම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර කථානායක ඊට අනුමැතිය දුන් දවසද යන්න පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගැනීමට බලා‍පොරොත්තු වන බවය.

සිරිසේන ජනපතිවරයා මින් පෙරද විධායක ජනපති ධුරයට පමණක් හිමිවන සුවිශේෂී  බලය පාවිච්චි කරගෙන එවැනි කරුණු පැහැදිලි කිරීමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීය. ඒ තමාගේ ධුර කාලය වසර හයක්ද එසේ නැත්නම් පහක්ද යනුවෙනි. ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී ජනපතිවරයාට දැනුම් දුන්නේ ජනපතිවරයාගේ ධුර කාලය වසර පහක් බවය. දැන් විමසීමට යන බව පැවැසෙන්නේ එම ධුර කාලය ඇරඹෙන්නේ 2015 වෙන්ද එසේ නැතිනම් 19 වැනි සංශෝධනයෙන් පසුවද යනුවෙනි.

මේ අතර මෙම කතාවන්ට හාත්පසින්ම වෙනස් කතාවක්ද දේශපාලන ක්‍ෂේත්‍රයේ ඉහළ ස්ථර අතර පැතිර ගියේය. ඒ සිංහල අලුත් අවුරුද්ද අවසන් වනවාත් සමග හදිසි ජනපතිවරණයක් කැඳවීමට යන බවය. ඒ සඳහා අද (14) මැදියම් රැයේ රජයේ මුද්‍රණාලයට සූදානම් වී සිටින ලෙසට දැනුම් දී ඇති බවද පැතිර ගිය ආරංචිවල සඳහන් විය. එනමුත් එම කතාව කිසිවෙකු තහවුරු කළේ නැත. මෙවැනි කතා පැතිර යාමෙන් එක් දෙයක් පැහැදිලිය. ඒ ඉදිරි ජනපතිවරණය පිළිබඳ පීඩනය දිනෙන් දිනම වැඩි වෙමින් තිබෙන බවය. එය හොඳටම පැහැදිලි වන්නේ එක්සත් ජාතික පක්ෂ නායකයා ඉකුත් 10දා ජනපතිවරයාට කළ නිර්දේශයයි. අගමැතිවරයා ජනපතිවරයාට නිර්දේශ කළේ අභ්‍යන්තර කටයුතු ඇමැති ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදෙන ලෙසය.

මෙපමණ කලක් අභ්‍යන්තර කටයුතු ඇමැති ධුරය දැරුවේ අගමැතිවරයාගේ තවත් සමීප හිතවතෙකු වන වජිර අබේවර්ධනය. මේ මොහොතේ ඔහුගෙන් ඇමැති ධුරය ගැලවීමට තරම් විරසකයක් ඇමැති වජිරත් අගමැතිත් අතර නැත.

එහෙත් ඉදිරි ජනපතිවරණය ගැන සලකා බලන කල මේ මොහොතේ ඇති වටිනාම අමාත්‍යාංශයක් වන්නේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයයි. පුරවැසි නීතිය අයත් වන්නේ එම අමාත්‍යාංශයේ විෂය පථයටය. ලංකාවේ උපන් අයෙකු ද්විත්ව පුරවැසියකු ලෙස කටයුතු කරන්නේ නම් ඔහු ගැන වගකීම ඇත්තේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයටය. ඒ අමාත්‍යාංශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට දෙන්නට හදන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකු බාවා ගැනීමට බව පැහැදිළිය.

මේ මොහොත වන විට ගෝඨාභය රාජපක්ෂ සිටිනනේ ඊළඟ ජනපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සුදුසුකම් සපුරමිනි. ඔහු සිය ඇමෙරිකන් පුරවැසිකම ඉවත් කිරීමට අවශ්‍ය ලියකියවිලිද භාරදී අවසන්ය. ඔහුගේ ඇමෙරිකානු පුරවැසිකම ඉවත් කරගත් පසු ඒ බව ඔහු මෙරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට දැන්විය යුතු අතර ලියකියවිලිවල අවසන් බලධාරියා වනු ඇත්තේ  විෂය භාර ඇමැතිවරයාය. ඒ අනුව පැහැදිලි වන්නේ අගමැතිවරයා ඉතා උපක්‍රමශීලීව ගෝඨාභය සමග සටනට යළිදු වරක් ඔහුගේ පරම සතුරා වන ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කැඳවා ඇති බවය.

එක අතකින් එය ඉතිහාසය යළි ගෝඨාභයට කැරකැවී ආ භූමරංගයක් සේය. 2010 ජනපතිවරණයෙන් ෆොන්සේකා පැරදුණු මොහොතේ ඔහු අත්අඩංගුවට ගැනීමට ගෝඨාභයගේ තේරීම වූයේ මේජර් ජෙනරාල් සුමිත් මානවඩුය. ෆොන්සේකා හමුදාපති ධුරය දැරූ සමයේ 57 වැනි සේනාංකාධිපති ධුරයෙන් ඉවත්කර තමා හමුදාවේ මුල්ලකට තල්ලු කිරීම ගැන සුමිත් මානවඩු සිටියේ දැඩි කෝපයෙනි.

මේ නිසා ඔහු හමුදාවේ ෆොන්සේකාට සිටි අංක එකේ හතුරා විය. ආරක්ෂක අමාත්‍යාංශයේ ‍ලේකම් ධුරය දැරූ ගෝඨාභය, ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස තෝරා ගන්නේ මේජර් ජෙනරාල් සුමිත් මානවඩුය. ඒ මොහොතේ ඔහු ෆොන්සේකාගේ හිසට පා පහරක් ගැසූ බව ප්‍රසිද්ධය. අවාසනාවකට මෙන් හමුදාවෙන් විශ්‍රාම ලැබිමට දෙතුන් සතියකට පළමුව මේජර් ජෙනරාල් මානවඩු මරණයට පත්වූයේද තමන් අලුතින් හදන නිවසේ පරාලයක් හිස මත කඩා වැටීමෙනි.

කෙසේ නමුදු ගෝඨාභයට එරෙහිව ෆොන්සේකා යොදා ගැනීමේ අගමැතිගේ උපක්‍රමය සාර්ථක වීමට නම් ෆොන්සේකාට අභ්‍යන්තර කටයුතු ධුරය ලැබිය යුතුය. එය දෙනවාදැයි නොදෙනවාදයි තීරණය ඇත්තේ ජනපතිවරයාගේ අතේය.

ඉදිරි ජනාධිපතිවරණයට රාජපක්ෂ කඳවුර නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂාවෙන් සිටින ගෝඨාභය රාජපක්ෂ දෙසතියකට ඉහතදී ඇමෙරිකාව බලා පිටත්ව ගියේ තමන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමටය. ඇමෙරිකානු පුරවැසිභාවය ගැනීමේදී ලෝකයේ කුමන රටක පුරවැසිභාවය ගෙන සිටියත් එම පුරවැසිභාවය අතහැරීමට සිදුවේ. ඉන් පසුව ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගැනීම සඳහා වන දිවුරුම ලබාදිය යුතු අතර එහි පැහැදිලිව සඳහන් වන්නේ තමන් මතෛක් දරමින් සිටි පුරවැසිභාවයන් අහෝසි කරගන්නා බවත්, මෙතැන් සිට ඇමෙරිකාවට පක්ෂපාතීව සිටින බවත්ය. ඒ අතරම දෙවැනිව ලෝකයේ කුමන රටක පුරවැසිභාවය ලබාගත්තද තමන් ඇමෙරිකාවට ඇති පක්ෂපාතීත්වය නැති කර නොගන්නා බවත් සෑම විටම ඇමෙරිකාවට පක්ෂපාතීව සිටින බවත් එම දිවුරුමේ දැක්වේ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂගේ පළමු පුරවැසිභාවය ඇත්තේ ඇමෙරිකාවටය. ලංකාවේ පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ දෙවනුවය. ඒ අනුව පළමු පුරවැසිභාවය ඇත්තේ ඇමෙරිකාවටය.

ගෝඨාභය සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා වන ‍ලේඛන ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට ලබාදී ඇති බවට වාර්තා පළවී තිබූ අතර මාර්තු හය වැනිදා ඔහු ඇමෙරිකානු තානාපති කාර්යාලයට කැඳවා තිබුණේය. ඔහු ඇමෙරිකානු තානාපති කාර්යාලයට කැඳවා තිබුණේ සිය පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා වන ‍ලේඛන ලබාදීමට යැයි පළමුව අදහස් මතුවුවත් ඔහු කැඳවා ඇත්තේ පුරවැසිභාවය ඉවත් කරගැනීම සම්බන්ධයෙන් වන ‍ලේඛන තානාපති කාර්යාලයට ඉදිරිපත් කර නොතිබිම නිසාය.

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා වන ‍ලේඛන ඇමෙරිකානු කොන්සියුලර් නිලධාරියෙක්ට හෝ තානාපති නිලධාරියෙක් වෙත භාරදිය හැකිය. විදේශයක නම් තානාපති කාර්යාලයට හෝ කොන්සියුලර් කාර්යාලයට භාරදිය හැකිය. නැතිනම් පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා වන දිවුරුම් ප්‍රකාශයක් මගින් පුරවැසිභාවය ඉවත් කරගැනීමේ ‍ලේඛන භාරදිය හැකිය.

කෙසේ වෙතත් ගෝඨාභය ඇමෙරිකාවට ගොස් ඇත්තේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සඳහා වන ‍ලේඛනද සමගය. ගෝඨාභය ඇමෙරිකාවට ගොඩ බැස්ස අවස්ථාවේ සිටම ඇමෙරිකානු බුද්ධි අංශ ඔහුගේ ගමන් බිමන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය. ඒ අතරම ඔහුට විරුද්ධව ඇමෙරිකානු අධිකරණය ඉදිරියේ නඩු දෙකක්ද ගොනු කර තිබිණි. එක් නඩුවක් පවරා තිබුණේ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසිනි. ඇය ඇමෙරිකානු පෙඩරල් අධිකරණය හමුවේ පවරා තිබුණේ සිවිල් නඩුවකි. ඒ තමන්ගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ගොනු කළ නඩුවකි.

මේ ගැන ගෝඨාභය වැඩිදුර තොරතුරු දැන සිටියාද නැද්ද යන්න ගැන වැඩි යමක් තොරතුරු අනාවරණය නොවන නමුත් ඔහු ඒ ගැන වැඩි උනන්දුවක් දක්වා තිබුණේ නැත. සිවිල් නඩුවක් පැවරූ විට තමන්ගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති නොවන නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවයක්ද පැන නැග තිබුණේ නැත. මේ අතර දෙමළ ඩයස්‍පෝරා කණ්ඩායම් ගෝඨාභය ඇමෙරිකාවට පැමිණෙන තෙක් මග බලාගෙන සිටියහ. 2015 ජනවාරි මාසයේදීත් ඉන් පසුවත් ඇමෙරිකාවට ගොස් නැවත පැමිණි නමුත් ගෝඨාභයට ඇමෙරිකාවට යාමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ ඔහුට විරුද්ධව අධිකරණය හමුවේ නඩු කිහිපයක් ගොනුවීමත්, ඒ නිසා විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමත් නිසාය.

ගෝඨාභය ඇමෙරිකාවට ගිය අවස්ථාවේදීම දෙමළ ඩයස්‍පෝරාව ක්‍රියාත්මක විය. ගෝඨාභයට විරුද්ධව අපරාධ නඩුවක් ගොනු කරමිනි. අධිකරණයේ නඩු කටයුත්තක් ඉදිරියට ගෙනයාම සඳහා සිතාසි භාරදිය යුතු අතර එම සිතාසි ගෝඨාභයගේ අතටම භාරදී තිබුණේය. එහෙත් ඒ ගැන මාධ්‍ය වාර්තා පළවන විට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ ප්‍රකාශයක් සටහන් කරමින් සඳහන් කර තිබුණේ ගෝඨාභයට සිතාසි භාරදී නොමැති බවය. එයට ප්‍රතිචාර දක්වමින් දෙමළ ඩයස්‍පෝරාව ගෝඨාභයට සිතාසි භාරදෙන ඡායාරූපයක්ද ප්‍රසිද්ධියට පත් කළේය. එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ එම ඡායාරූප සමග පළවූ වාර්තාව ප්‍රතික්ෂේප කර තිබිණි.

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රශ්න අතරේ ජනපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේදී අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම අවස්ථාවේදී ගත යුතු ඉදිරි පියවර ගැන සාකච්ඡා කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සමගය.

පසුගිය සතිය මැදදී ජනපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සමග සාකච්ඡා කරන විට මන්ත්‍රීවරු අතර බෙදීමක් තිබුණේය. ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ වැනි එක්සත් ජාතික පක්ෂය සමග සමීපව කටයුතු කිරීමට කැමැත්තක් දක්වන කණ්ඩායමේ අදහස වූයේ අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමය. එහෙත් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, තිලංග සුමතිපාල කණ්ඩායම සිටියේ ඊට වඩා වෙනස් ස්ථාවරයකය. එක්සත්  ජාතික පක්ෂ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමේ අදහසක ඔවුහු සිටියහ. එහෙත් අවසන් දිනයේදී මේ ගැන තීරණයක් ගැනීමේ එකඟතාව මත ඒ සාකච්ඡා අවසන් වුවත් අවසානයේදී කණ්ඩායමක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර කිහිප දෙනෙක් ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව අයවැයට විරුද්ධව ඡන්දය දුන්හ.

අයවැය ඡන්ද විමසීම අවසන්වීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ අනුරාධපුරයට පිටත්ව ගියේ ජනපති සමගය. ඒ අලුත් සහල් මංගල්‍යයට එක්වීමටය. අනුරාධපුර අටමස්ථානාධිති නා හිමියන් බැහැ දුටු රනිල් අටමස්ථානවලින් කිහිප ස්ථානයකට ගොස් වැඳ පුදාගැනීමට අමතක කළේද නැත. අනුරාධපුරයට පැමිණ සිටි ජනතාව සමගත් අදහස් හුවමාරු කරගත් රනිල් සෙල්ෆි ඡායාරූපවලටද පෙනී සිටියේය.

පසුගිය සිකුරාදා වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් සමග සිටියේ තරමක කේන්තියෙනි. අයවැයට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය භාවිත කරද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම ඔවුන්ගේ කෝපයට හේතුවී තිබුණි. මේ නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ශ්‍රීලනිප කණ්ඩායමට බලවත් විරෝධය දැක්විය.

අයවැය ඡන්ද විමසීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හමුවූයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු මේ වෙලාවේ විරුද්ධ වුණා නම් ඒක ආණ්ඩු විරෝධයක් පෙන්වන්න හොඳ අවස්ථාවක් වෙනවා. ඒත් ඒ අවස්ථාව ගත්තේ නෑශෙහාන් සේමසිංහ කීවේය.

කොහොමද සර් මේ අය තවත් විශ්වාස කරන්නේ. මම නම් කියන්නේ මේ අයත් එක්ක සන්ධාන ගහන්න කතා කරන එකම මෝඩ කමක් ප්‍රසන්න රණතුංග කීවේය.

නෑ.. නෑ.. කලබල වෙන්න එපා. අපි මොකද වෙන්නේ කියලා බලමුකෝමහින්ද ප්‍රසන්න අස්වසමින් කීවේය.

දිවංගත ජෙයාරාජ් ප්‍රනාන්දුපුල්‍ලේගේ එකොළොස්වන ගුණ සමරු පිංකමට සහභාගීවීමට ගියේය. මහින්ද සමග දීර්ඝ කාලයක් එකට සිටි ඔහුගේ දේශපාලන මිතුරා වූ ජෙයරාජ් සමග මහින්ද අවසන් කාලයේ සිටියේ එතරම් හිත හොඳකින් නොවේ. එකට නීති විද්‍යාලයේ සිටි මිතුරා මහින්ද සමග තරමක් ඈතින් සිටි කාලයේදී ඔහු කොටි බෝම්බ ප්‍රහාරයකට හසුව මිය ගියේය. මහින්ද ජෙයරාජ්ගේ ගුණ සමරුවට පැමිණ සුදර්ශනී සමග දීර්ඝ වේලාවක් කතා කරමින් සිටියේය.

ජෙයරාජ් යුද්ධය කා‍ලේ කිළිනොච්චියට ගියා. කොටි නායකයෝ හමුවෙන්න. ඒක දැනගෙන හිටියේ නෑනේදමහින්ද සුදර්ශනීගෙන් ඇසුවේය

නෑ සර්. මම දන්නේ ජෙයරාජ් නැතිවුණාට පස්සෙයිසුදර්ශනී කීවාය.

මෙයා ගිහින් කොටි නායකයෝ එක්ක රණ්ඩුවෙලා ඇවිත් තිබුණේ. මම හැබැයි ඒ වෙලාවේම පරිස්සම් වෙන්න කියලා කිව්වා. කෝ ඇහුවේ නෑනේමහින්ද කීවේය.

අපිත් කිව්වා සර්. පරිස්සම් වෙන්න කියලා කිව්වට ඇහුවේ නෑනේසුදර්ශනී කීවාය..

ජෙයරාජ් හිටියා නම් ආණ්ඩුවට විරුද්ධව ඉස්සරවෙලාම මාත් එක්ක හිටගන්නේ එයාමහින්ද කීය.

ජෙයරාජ්ගේ ගුණ සමරුවට සහභාගීවූ මහින්ද කෙළින්ම ගියේ ‍පොළොන්නරුවටය. ඒ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයාගේ නව නිවසට ගෙවදීමේ උත්සවයට සහභාගීවීමටය. ඒ උත්සවයට සහභාගීවූ මහින්ද නැවත කොළඹ පැමිණියේය. ඒ ‍පොදුජන තරුණ පෙරමුණ මගින් අවුරුදු නැකැත් සීට්ටුව මහින්දගේ නිල නිවසේදී ඔහුට භාරදීමට කටයුතු සංවිධානය කර තිබිම නිසාය. එයට සහභාගීවූ මහින්ද නැවත රොෂාන්ගේ නිවසේ පැවැති පිරිත් දේශනාවකට සම්බන්ධවීමට ‍පොළොන්නරුවට පැමිණියේය. එහිදී ස්වාමින්වහන්සේ තමන්ගේ අනුශාසනාවලදී රොෂාන්ට මීළග ආණ්ඩුවේ කැබිනට් ඇමැතිධුරයක් ලබාදිය යුතු බවට යෝජනා ඉදිරිපත් කර තිබුණේය.

මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තනිකඩව සමරන අවසන් උපන්දිනය මේ වසරේදී සැමරුවේය. උපන්දිනය දවසේ උදෑනස නාමල් සිටියේ මහින්ද සමග නිවසේ නොවේ. ඒ නිසා මහින්ද නාමල්ට දුරකථන ඇමතුමක් දී සුභපැතුවේය.

කොහේද ඉන්නේ? තවම සිරීපාදේද?මහින්ද ඇසුවේය.

ඔව් තාත්ති. මම දැන් ඉන්නේ උඩ මළුවේනාමල් කීවේය.

හරි හරි. ඉක්මනට එන්න. ඔයාට සුබ පතන්න කට්ටිය එනවාමහින්ද නාමල්ට කීවේය.

මම දැන් සිරීපාදෙන් බහින්න සූදානම් වෙන්නේ. ඉක්මනට එනවානාමල් උත්තර දුන්නේය.

නාමල් කොළඹ පැමිණ පවු‍ලේ අය සමග උපන්දින කේක් ගෙඩිය කැපුවේය. ඒ අතරම කොළඹ සිට ධාවනය වූ දුම්රියේ ගමන් ගත් නාමල් එහිදීද කේක් ගෙඩියක් කැපුවේය.

තනිකඩ ජීවිතේ අවසන් උපන්දිනය සමරන නාමල් මන්ත්‍රීතුමාට සුබ පතනවාකංචන විජේසේකර මන්ත්‍රීවරයා කීවේය

නාමල් මේ සමරන්නේ තමන්ගේ ජීවිතයේ තනිකඩව ගෙවන අවසන් උපන් දිනයයි. නාමල් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී විවාහ වීමට සූදානමින් සිටින්නේය. දේශපාලන කරළියේ කතාබහ වන්නේ නාමල් ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ දියණියක් විවාහ කරගන්නා බවය. ඇය වසර හයක් පමණ විදේශ ගතව සිට ඇති අතර මේ දිනවල නාමල් විවාහයට සූදානම් වෙමින් සිටින බවද ඔහුගේ සමීපතම ආරංචිමාර්ග සඳහන් කරයි.

තිලකජය
කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.