lakbima.lk

මහින්ද ජවිපෙ හමුවට විමල්ගේ දැඩි විරෝධය

මුදල් ඇමැති මංගල සමරවීර පසුගිය දිනවල වැඩි කාලයක් ගත කළේ තමන්ගේ පානදුර බොල්ගොඩ ගඟ අසල පිහිටි නිවසේය. තමන්ගේ දේශපාලන ජීවිතයට වසර හතළිහක් සම්පූර්ණ වීමෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයේ සංවිධාන කටයුතු සිය ‍ලේකම්වරුන්ට භාරදුන් මංගල, අමාත්‍යාංශ ‍ලේකම්වරයා නිවසට කැඳවා ගත්තේය. ඒ මේ වසර සඳහා වන අය වැය ‍ලේඛනය සකස් කිරීමටය.

මංගල පුරුද්දක් ලෙස අයවැය ‍ලේඛනය සකස් කරන්නේ තමන්ගේ නිවසේ සිටය. ඒ පුරුද්ද කීර්තිමත් මුදල් ඇමැතිවරයෙකුව සිටි රොනී ද මැල්ටද තිබුණේය. ඔහු අය වැය සකස් කළේ බුලත්සිංහල ගී කියන කන්දේවත්ත බංගලාවේ සිටය. බොල්ගොඩ ගඟටම යා කර සකස් කළ පිහිනුම් තටාකයක් ඇති නිස්කලංක පරිසරයක පිහිටි නිවසේ සිය සුරතල් බලු පැටවා සමග කාලය ගත කරමින් සැහැල්ලුවෙන් සිටින මංගල අයවැය බර කරට ගන්නේය. සිය නිවසේ සිට අයවැය සකස් කිරීම ඔහුගේ මනසට සැහැල්ලු සෙයකි.

මංගල අය වැය ‍ලේඛනය බහාගෙන එන්නේ කුඩා ලිපි කවරයකය. මංගල මෙදා පාර්ලිමේන්තුවට පැමිණියේ පාර්ලිමේන්තු ‍පොලීසියේ නිලධාරීන් සමගය.  මංගල අයවැය ඉදිරිපත් කරන විට කථානායක ගැලරියට වෙනදා නොපැමිණෙන අමුත්තියක්ද පැමිණ සිටියාය. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. ඇය මුදල් ඇමැතිවරිය ලෙස අයවැය යෝජනා ඉදිරිපත් කර තිබුණත් ජනාධිපතිධුරයෙන් ඉවත්වීමෙන් පසුව කිසිම දිනෙක අයවැය කතාවක් බැලීමට පැමිණ තිබුණේ නැත.

මංගල පාර්ලිමේන්තුවට පැමිණ අයවැය ‍ලේඛනය ඉදිරිපත් කරන විට බොහෝ දෙනා සිතුවේ ඉදිරි මැතිවරණයක් ඉලක්ක  කරගෙන ඉදිරිපත් කරනු ලබන අයවැයක් කියාය. රාජ්‍ය සේවකයන්ට රුපියල් දෙදහස් පන්සියක වැටුප් වැඩි කිරීමක් හැරෙන්නට වැඩි වැටුප් වැඩිවීම් අය වැයේ තිබුණේ නැත.

මංගල අය වැය ඉදිරිපත් කිරීමේදී විපක්ෂයේ මන්ත්‍රීවරු සමගත් විටින් විට විවාදයට ගියේය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසිකිළි ලක්ෂයක් ඉදිකිරීමට කටයුතු කරන බවට යෝජනාවක් ඉදිරිපත් කිරීම නිසාය.

හම්බන්තොට ගෙවල් පහළොස් දහකට වැසිකිළි හදනවා කියලානේ තියෙන්නේ. ගෙවල් ලක්ෂයක් ගැන කතා කරන්නේ නෑනේ මහින්ද විපක්ෂයේ සිට හඬ නගා කීවේය.

හම්බන්තොට පැත්තේ එක ගෙදරක හතර පස් දෙනෙක් ඉන්නවානේ. එහෙම වෙනකොට ලක්ෂයකට තමයි ඔය වැසිකිළි හදන්නේ මංගල කීවේ සභාවම සිනා ගන්වමිනි.

අය වැය ඉදිරිපත් කිරීමෙන් පසුව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය පසුගිය කාලයේදී ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් අය වර්ජනය කර තිබුණත් මෙවර අයවැය තේ පැන් සංග්‍රහයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත් පැමිණ සිටියේය. එහෙත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු තේ පැන් සංග්‍රහයට පැමිණියේ නැත. ඒ අයවැය මගින් ජනතාවට සහනයක් ලැබි නැති බව කියමිනි. මහින්ද තේ පානය කරමින් සිටින අතරවාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ එතැනට පැමිණියේය. මහින්දත් අසුනෙන් නැගිට රනිල් සමග කතා කළේය. කෝපි තරමක් තිත්ත රසක් ගෙන තිබූ බැවින් මහින්ද සිනාසෙමින් කීවේ මේවා කෙහෙන්ද දන්නේ නෑ යනුවෙනි. මහින්දගේ ඒ කතාවට රනිල්ද මහ හඩින් සිනාසුණේ ගිය දෙසතියක් එ.ජා.ප. රත්කළ මාතෘකාව කොකෙන් බැවිනි.

සර් මොනවාද බොන්නේ පාර්ලිමේන්තු සේවකයෙක් පැමිණ රනිල්ගෙන් ඇසුවේය.

මට කෝපි එකක් ගේන්න රනිල් තමන්ගේ සුපුරුදු කළු කෝපි පානය ඉල්ලුවේය.

මම ටිකක් මෙතැන ඉඳලා මූණ පෙන්නලා යන්න ඕන මහින්දට කී රනිල් එතැනින් පිටත්ව ගියේ තමන්ට ලැබුණ කළු කෝපි කෝප්පයේ එක් උගුරක් පානය කරමින්ය.

අය වැය ‍ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසුව රනිල් අරලියගහ මන්දිරයට පැමිණියේ අය වැය ගැන එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු සමග සාකච්ඡා කිරීමටය. අගමැතිවරයා ගිය සැණින් තිරුපති ගිය ගමන ගැනද කතාබහක් ඇති විය.

අගමැතිතුමා තිරුපති ගිහිල්ලා තරාදියක වාඩිවෙලා ඉන්න හොඳ ෆොටෝ එකක් ෆේස් බුක් එකේ දැක්කා. බර බැලන්ස් කරන්න තරාදියේ අනික් පැත්තට දාලා තිබුණේ රත්තරං, මුතු මැණික් කියලත් ප්‍රචාරයක් ගියා නවීන් කීවේය.

මගේ බරට රත්තරං දෙන්න තරම් මම ‍පෝසතෙක් නමෛයි. අපේ රටේ පරණ කාසි, අලුත් කාසි, හාල්, හකුරු, සූකිරි වගේ ඒවා තමයි දැම්මේ රනිල් නවීන්ගේ සැකය දුරු කළේය.

ඒ අතර රනිල් සරමක් ඇඳගෙන සිටීම ගැන තවත් අයෙකු ඇසුවේය.

මම සරම් අඳින්නේ නෑ කියලා සමහරු හිතාගෙන ඉන්නවානේ. මම සරම් අඳින්න දන්නේ නෑ කියලා සමහරු කියනවානේ. ඒක නිසා තමයි මම සරමක් ඇඳලා පෙන්නුවේ. ඒ ඉන්දියාවේ ඇඳුම සරම නිසයි. මම එංගලන්තයට ගියාම සරම් අඳින්නේ නෑ. මම ඉතිං සරම් අඳින හැටි පෙන්නපු ෆේස් බුක් එකට ස්තුති කරනවා හැර මට කරන්න වෙන දෙයක් නම් නෑ රනිල් කීවේ කාගේත් සිනා මැදය.

නැවත කතාව අය වැය දෙසට ඇදී ආවේ පාලිත රංගේ බණ්ඩාර කළ යෝජනාවක් නිසාය.

අගමැතිතුමනි, අපිට ‍පොඩි ප්‍රශ්නයක් තිබෙනවා අයවැය ගැන. මේකේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයත් තිබෙනවා. ජනාධිපතිවරයා හැමදාම එක්සත් ජාතික පක්ෂයේ කකුලින් අදිනවා. අපිට වැඩක් ්කරන්න දෙන්නේ නෑ. ඒ නිසා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන්න ඕන කියන අදහසේ පසු පෙළ මන්ත්‍රීවරු ඉන්නවා පාලිත රංගේ බණ්ඩාර යෝජනා කළේය.

ඒක හරි. ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය පරාජය කරන්න ඕන කියලා අපි යෝජනා කරනවා සිඩ්නි ජයරත්න මන්ත්‍රීවරයා පසුපෙළ මන්ත්‍රීවරු වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු නැවත වරක් පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනාව ඉදිරිපත් කරන විට මන්ත්‍රීවරු අත්‍පොළොසන් දෙමින් එය අගය කළේය.

එහෙත් රනිල් එයට පැහැදිලි  පිළිතුරක් දුන්නේ නැත. ඒ සාකච්ඡාව අවසන් වූයේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට සහය දෙන්නේද නැද්ද යන්න ගැන අවසන් එකඟතාවකින් තොරවය.

එහෙත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටින්නේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්මත කිරීමට නම් අයවැයට සහාය ලබාදිය යුතු බව කියමිනි. දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරු මේ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු මේ ගැන ජනාධිපතිවරයාගේ අවධානයත් යොමු කර තිබුණා. ඒ අනුව පාර්ශ්වය දෙකටම ජය ලැබෙන ආකාරයේ විසඳුමකින් එය අවසන් වීමට බොහෝ විට ඉඩ කඩ තිබෙන බව පෙනෙන්නට ඇත.

 මහින්ද - ජවිපෙ  සාකච්ඡා බිඳ වැටේද?

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට විපක්ෂනායක කාර්යාලයට ගියේ ජනතා විමුක්ති පෙරමුණේ තවත් මන්ත්‍රීවරු දෙදෙනකු සමගය. ඔහු මේ සාකච්ඡාවට පිටත්ව ගියේ මීට සති දෙකකට පමණ පෙරදී ඇතිවූ කතාබහක් අතරවාරයේදීය. පාර්ලිමේන්තුවේ කොරිඩෝවේදී අනුර කුමාර දිසානායක මහින්දට හමුවූ විටදී ඔවුන් දෙදෙනා ටික වේලාවක් කතා කර තිබුණේය. අනුර විටින් විට මහින්දට ඇනුම් පද කියන නිසා අනුර සමග වැඩි කතාවක් නැතිව ලිස්සා යන මහින්ද කුමක් හෝ හේතුවක් නිසා මෙදින අනුර කුමාර සමග දීර්ඝ වේලාවක් කතා කළේය. තමන්ට මහින්ද හමුවීමට අවශ්‍ය බව අනුර කුමාර ඉතා පරිස්සමින් මහින්දට කියා තිබුණේය. 

විස්ස ගැන නම් පරිස්සමින් කතා කරන්න ඕන. ඒකට අපේ අය විරුද්ධයි මහින්ද පැවැසුවේය.

අපිට කතා කරලා එක තැනකට එන්න පුළුවන්. අපිට ඒකට වෙලාවක් දෙන්න අනුර කුමාර පැවැසුවේය. ඒ අනුව පසුගිය බදාදා දිනයේදී මහින්ද  - අනුර සාකච්ඡාවට දින වෙන් කර ගත්තහ. ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡාවකට මහින්ද කැමැතිවීම ගැන ‍පොහොට්ටුවේ දේශපාලනඥයන් අතර වැඩි ප්‍රසාදයක් තිබුණේ නැත. ඊට දැඩිව විරෝධය පළ කළේ විමල් වීරවංශය. ඔහු පවසා තිබුණේ 20 සම්මත කිරීමට සහය වුණොත් ඔහු මහින්ද අතහරින බවය. එහෙත් මහින්ද කියා තිබුණේ විපක්ෂයේ ඕනෑම පක්ෂයක් සමග සාකච්ඡා කිරීමට තමන්ට සිදුවන බවය. එහෙත් ‍පොහොට්ටුවේ පිරිසගේ අදහස වූයේ විසිවැනි සංශෝධනයේදී කතා කළ යුතු දේ ගැනත් අවධානය යොමු කළේය.

ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කළ යුතු දේ ගැන තීරණය කිරීමේ වගකීම් පැවරුණේ ඩලස් අලහප්පෙරුමටය. මේ සාකච්ඡාවල මහ මොළය වූයේ ඩලස්ය. මහ මොළකරු මහින්ද සමග සාකච්ඡාවට එක් වූයේ දිනේෂ් ගුණවර්ධනද සමගය.

මුලින්ම අදහස් දක්වන්නට වූයේ අනුර කුමාර දිසානයකය.

මේක අපි හැමෝම එකතුවෙලා සම්මත කරන්න ඕන. මහින්ද මහත්තයා නැවත දේශපාලනයට සම්බන්ධ වීම ගැන විවිධ කතා තිබෙනවා. ජනතාව කැමැතිනම් ඔබතුමාට දේශපාලනයට එන්න පුළුවන්. ඒත් දැන් තිබෙන ව්‍යවස්ථාව අනුව ඔබතුමාට ජනාධිපතිවරණයට ඇවිත් ජනාධිපති වෙන්න බෑ. ඔබතුමාට නැවත එන්න නම් විස්ස සම්මත කරන්න ඕන. විස්ස සම්මත වුණොත් මහින්ද මහත්තයාට ඕන නම් ආණ්ඩුවක් අරගෙන, ආණ්ඩුවක් කරගෙන යන්නත් පුළුවන්අනුර කුමාර මහින්දට බලා‍පොරොත්තුවක් දුන්නේය.

මේකයි ප්‍රශ්නය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන කියලා මම දිගටම කිව්වා. ඒක ගැන කතා කරන්න ඕන නම් දිගටම කතා කරමු. හැබැයි විස්ස ඇතුළේ තිබෙන අනෙක් යෝජනා ගැන නම් ඒකාබද්ධ විපක්ෂය ඇතුළේ ඉන්න අනෙක් නායකයන්ගේ අදහස් අනුව කටයුතු කරන්න ඕන. අපි ඇතුළේ තියෙන එකඟතා බිඳගෙන අපි වෙන පක්ෂ එක්ක සාකච්ඡා කරන්නේ නෑ මහින්ද ඩලස්ට කතා කිරීමට අවස්ථාවක් දුන්නේය.

විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ 13 වැනි සංශෝධනය, මැතිවරණ ක්‍රමය සමග සමබන්ධවෙලා තිබෙන දෙයක්. මේ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනම අරගෙන අපිට සාකච්ඡා කරන්න බෑ. එහෙම වුණොත් ව්‍යවස්ථාව අර්බුදයට යනවා. විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කරනවා නම් මේ සියල්ලම සංශෝධනය කළ යුතු වෙනවා. එහෙම නැතිව මේ ප්‍රශ්නය විසඳගන්න බෑ. අද තියෙන්නේ අස්ථාවර ආණ්ඩුවක්. එක එක්කෙනාගේ පෞද්ගලික වුවමනාවන් මත, කල්ලි කණ්ඩායම්වල බලා‍පොරොත්තු මත ආණ්ඩුව ක්‍රියාත්මක කරනවාඩලස් ආණ්ඩුවට පහරක් ගැසුවේය. ඔහු කීවේ විසි වැනි සංශෝධනය ගැන තීන්දු ගත යුත්තේ අස්ථාවර ආණ්ඩුවකින් නොව ස්ථාවර ආණ්ඩුවකින් බවයි.

ඔබතුමාගේ කතාව ඇතුළේ අලුත් යෝජනා තිබෙනවා. මේ අලුත් යෝජනා අපි ඇතුළත් කරලා සාකච්ඡා කරමු විජිත හේරත් යෝජනා කළේය.

ප්‍රශ්නය තියෙන්නේ එතැන නමෛයි. මේ ආණ්ඩුව තව මාස කීයද තියෙන්නේ. මේ කෙටි කාලය ඇතුළත එකක්වත් කරන්න බෑ. මේවා ගැන කතා කරමින් හිටියොත් ජනතාවට අපි එපා වෙනවා. ජනතාවට අද අවශ්‍ය ඡන්දයක්. අපි ඉක්මනට ඡන්දයක් අරගෙන මීළඟට හදන ආණ්ඩුවේදී මේක ගැන කතා කරමු. සේරමට කලින් අපි ඡන්දයක් අරගෙන ඉමු ඩලස් යෝජනා කළේය.

අපිට විසි වැනි සංශෝධනය ඇතුළෙන්ම යෝජනා ගෙනත් මැතිවරණයක් ගනිමු විජිත යෝජනා කරන විට ඩලස් නැවත වරක් අවධාරණය කළේ සංශෝධන කළ යුතු වන්නේ අලුත් ආණ්ඩුවකින් බවය. ඔවුන් දෙදෙනා එකම තැන කැරකැවෙමින් සිටින විට මහින්ද හා දිනේෂ් එයට මැදිහත් වූහ.

නිල සාකච්ඡාව එතැනින් අවසන් වුවත් සුහද සාකච්ඡාව එතැනින් අවසන්වූයේ නැත. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මහින්ද සමග තේ පානයට එක්වූයේ නැවත වරක් මේ ගැන සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිවය.

වෙනත් දේශපාලන පක්ෂ සමග සන්ධාන ගැසීමේ දේශපාලන කපුවා වන බැසිල් රාජපක්ෂ මෙ සාකච්ඡා දෙස බලා සිටියා මිස මැදිහත් වන්නට ගියේ නැත. ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීම නිසා ඇතිවූ අභ්‍යන්තර දේශපාලන අර්බුදය මහින්දට අමතක කර සිටින්නට නොහැකි විය. ඒ නිසා ඔහු සාකච්ඡාවට පසු දිනම ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් හදිසියේම කැඳවූවේය.

මහින්ද විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වුවත් ඒ සමග ගැට ගැසී ඇති අනෙකුත් කාරණාද සංශෝධනය කළ යුතු බව මහින්දගේ අදහස විය.

මම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක කරපු සාකච්ඡාවට තනියම ගියේ නෑ. මේ සාකච්ඡාව නම්‍යශීලී අයුරින් පැවැත්වුණා. අපි විසිවැනි සංශෝධනයට විරුද්ධ බව මම ජනතා විමුක්ති පෙරමුණට කිව්වා. හැබැයි විධායක ජනාධිපති ක්‍රමයට මම විරුද්ධ බවත් කිව්වා. මම එදා ඉඳලා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධයිනේ මහින්ද රාජපක්ෂ සිය පක්ෂ නායකයන්ට කීවේය.

විසි වැනි සංශෝධනය ගෙන එන්නේ මොන වගේ වුවමනාවකින්ද කියන එකත් අපි දන්නේ නෑනේ. ඒක ගැනත් අපි හොයලා බලන්න ඕන ප්‍රසන්න රණතුංග කළ යෝජනාවට මහින්දගේද අනුමැතිය හිමිවිය.

විමල් වීරවංශ මේ ගැන පැහැදිලි අදහසක් නොදක්වන නමුත් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මහින්ද සමග සිටියේ එතරම් හිත හොඳින් නොවේ. ඒ ඔහු මේ සාකච්ඡාවට වැඩි කැමැත්තක් නොදැක්වූ නිසාය.

මේක ගැන අපිට ජනාධිපතිතුමාගෙන් අහන්න වෙනවා වාසු කීවේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට මෛත්‍රී පක්ෂද විපක්ෂද යන්න ගැන පැහැදිලි කිරීමක් ලබාගත යුතු බව අවධාරණය කරමිනි.

මොකටද ජනාධිපතිතුමා එක්ක කතා කරන්නේ. මම විපක්ෂ නායකනේ. මට විපක්ෂයේ ඕනම දේශපාලන පක්ෂයක් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් මහින්ද වාසුට තමන්ගේ නායකයා කවුරුන්ද යන්න සිහිපත් කළේය.

ඒ වුණාට මේක ගැන ජනාධිපතිතුමාගේ මතය දැගන්න ඕන වාසු නැවත එකම ප්‍රශ්නය යොමු කළේය.

වාසු, කලබල වෙන්න එපා. මම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධයි. හැබැයි ඒකත් එක්ක මැතිවරණ ක්‍රමය, දහ තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න ඕන. මේවා වෙනස් කරන්න ඕන ශක්තිමත් ආණ්ඩුවකින් මහින්ද, ජනතා විමුක්ති පෙරමුණ සමග ඇතිවී තිබෙන කපුකමට විය හැකි දේ ගැන ඉඟි පළ කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ දිනවල වැඩි අවධානයක් යොමු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කටයුතු කෙරහිය.

 වගකීම් දයාසිරිට

පක්ෂයේ විවිධ මට්ටමේ සාකච්ඡා පවත්වන ඔහු පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ කටයුතු බොහෝමයක් පවරා ඇත්තේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාටය. දයාසිරි පක්ෂ මූලස්ථානයේ එක් එක් දිස්ත්‍රික්කවල ආසන සංවිධායකයන් හා පළාත් පාලන මැතිවරණයට ඉදිරිත්වී ඇති අපේක්ෂකයන් හමුවී ප්‍රතිසංවිධානය ගැන සාකච්ඡා කළේය. ඒ සාකච්ඡාවල සමාරම්භක සාකච්ඡාවට මෛත්‍රී එන නමුත් ඉදිරි වගකීම් දයාසිරිට පවරා ඔහු පිටත්ව යයි.

පසුගිය සතියේදී පක්ෂ මූලස්ථානයට පැමිණි පළාත් පාලන අපෙක්ෂකයන් අතරින් බොහෝ දෙනෙක්ට මන්ත්‍රීධුර හිමිව තිබුණේ නැත. ඒ පසුගිය මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනාගැනීමට හැකිවූයේ සුළු ආසන සංඛ්‍යාවක් නිසාය. දින පනස් එකේ ආණ්ඩුව පිහිටුවූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ සහයට පැමිණි මන්ත්‍රීවරුන්ගේ ආසනවලට අයත් ප්‍රාදේශීය සභා හා නගර සභාවල සිටින මන්ත්‍රීවරු ඉවත් කර තමන්ට මන්ත්‍රීධුරයක් ලබාගැනීම ගැන ඩාලි පාරට එන බොහෝ දෙනාගේ සිහිනය වී තිබේ. ආසන සංවිධායකයාගේ කැමැත්ත අනුව ආසන දිනාගැනීමට නොහැකිවූ එහෙත් ලයිස්තුවෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු ඉවත් කිරීමට මේ පිරිස නොගන්නා උත්සාහයක් නැත.

සමහර ආසනවල අපේ සංවිධායකයා එක්සත් ජාතික පක්ෂයට ගිහින්. එයා පත් කරපු අය තමයි දැන් මන්ත්‍රීවරු විදියට ඉන්නේ. මේ මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයට වැඩ කරන්නේනාගරික මන්ත්‍රීධුරය අහිමිවූ අයෙක් අදහස් දක්වන්න විය.

එහෙම නම් අපි ඒ ගැන බලමුදයාසිරිත් ඇතැම් නාගරික මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධුරය අහෝසි කිරීමට හැකියාවක් ඇත්දැයි සොයා බැලුවේය. එහෙත් එසේ නම් කරන විට ඇතැම් මන්ත්‍රීවරු තවමත් සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය ලබාදෙමින්ය.

මේ අතර මෛත්‍රී තමන්ට අවශ්‍ය දේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු හරහාද කරගැනීමට කටයුතු කරමින් සිටී. පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයට මෛත්‍රීට අවශ්‍ය කරන යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ අධිකරණ ඇමැති තලතා අතුකෝරළය. ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාවය. බන්ධනාගාරවල සිදුවන නීතිවිරෝධී කටයුතු නතර කිරීමට අසමත් වීම ගැන අපැහැදීමකින් සිටිති. මෛත්‍රී දිගින් දිගටම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙනස් කළ යුතුය යන අදහසේ සිටි අතර ඔහු තම අවශ්‍යතාව එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරියක් ලවා ඉටු කරගත්තේය.

තිලකජය 
කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.