lakbima.lk

මංගල - රවි හැප්පෙති

 

නත්තල් නිවාඩු සමයට පෞද්ගලික සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත ලංකාවට පැමිණියේ පසුගිය සති අන්තයේදීය. සිය පවු‍ලේ සාමාජිකයන් සමග නිවාඩුව ගත කරන ආකාරයේ කිසිදු ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් නොකරන ලෙස ඔහු උපදෙස් දුන්නද සිය පවු‍ලේ සාමාජිකයන් සමග සිටින ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල පළ වී තිබුණි.

අලුත් අවුරුද්ද උදාවන විට ලංකාවට පැමිණි මෛත්‍රී අනුරාධපුරය බලා පිටත්ව ගියේය. මෛත්‍රී එහි යන විට දුමින්ද දිසානායක සිටියේද අනුරාධපුරයේය. මෛත්‍රීගේ දේශපාලන පසමිතුරියක් බවට පත්වෙමින් සිටින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමග සමීපව කටයුතු කරමින් සිටින දුමින්දට මෛත්‍රී පණිවුඩයක් යැව්වේ ජනාධිපති නිල නිවසට පැමිණ හමුවන ලෙසය. ඒ අනුව දුමින්ද මෛත්‍රී හමුවී තිබුණේය.

අනුරාධපුරයේ සිට ‍පොළොන්නරුව බලා පිටත්ව ගිය මෛත්‍රී අලුත් අවුරුද්දේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයට පැමිණීමට ‍පොළොන්නරුවෙන් පිටත් විය. ඔහු   කොළඹට පැමිණෙන විට තරමක් දහවල් වී තිබූ අතර ඒ වන විට ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ අලුත් අවුරුදු වැඩසටහන් අවසන්වී තිබුණි. එදින සවස මෛත්‍රී ගංගාරාම විහාරස්ථානයට ගියේ ආගමික වතාවත්වලට සහභාගී වීමටය. මෛත්‍රී එහි යන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ද එහි පැමිණ සිටියහ.

එතැන් සිට නිවසට පැමිණි මෛත්‍රී පසුගිය දිනවලදී තමන්ට පැමිණ තිබුණ දුරකථන ඇමතුම් ගැන සොයා බැලුවේය. මෛත්‍රී සමග නිතර කතා බස් කරන බදුල්‍ලේ දැරියකගෙන් දුරකථන ඇමතුමක් ලැබි ඇති බව දැනගත් ඔහු නැවත එම දැරියට කතා කළේය.

ආ... කොහොමද යාළුවා මෛත්‍රී සුහදව කතාව ආරම්භ කළේය.

අපි කොළඹ ආවා දැරිය උත්තර දුන්නාය.

ඒ මොකටද කොළඹ ආවේ මෛත්‍රීගෙන් තවත් ප්‍රශ්නයකි.

අලුත් අවුරුද්දට ඔයා බලන්න එන්න කියලා කිව්වානේ. ඒක නිසා අපි ආවා. කෝල් කරාම ආන්සර් කළේ නැති නිසා හමුවෙන්න බැරි වේවි කියලා බයෙන් හිටියේ දැරිය කීවාය.

දැන් හරිනේ. හෙට උදේට ඇවිත් මාව බලලා යන්න මෛත්‍රී දැරියට හමුවීමට වේලාවක් දුන්නාය.

කැබිනට්ටුව උණුසුම් වේ

අලුත් අවුරුද්දේ කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ අඟහරුවාදාය. සුපුරුදු පරිදි අඟහරුවාදා උදෑසන කැබිනට් මණ්ඩලය රැස්වූයේ ආණ්ඩු පෙරළියෙන්  පසු දෙවැනි වතාවටය. කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව කෙටි කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වුවත් එය විනාඩි කිහිපයකට සීමා වූ කැබිනට් රැස්වීමක් විය. අලුත් අවුරුද්දේ කැබිනට් මණ්ඩල රැස්වීමට මෛත්‍රී්‍ර පැමිණියේ එතරම් හොඳ මුහුණකින් නොවේ. කැබිනට් රැස්වීම පැවැත්වෙන විටත් අමාත්‍යාංශවලට අයත් ආයතන බෙදා දීම පිළිබඳ මෛත්‍රීට චෝදනා කිහිපයක් එල්ලවී තිබුණේය.

මෛත්‍රී කැබිනට් රැස්වීමට පැමිණීමට පෙර රනිල් සමග වෙනම සාකච්ඡාවක් පැවැත්වූවේය. ඔවුන් දෙදෙනාගේ සාකච්ඡාවෙන් පසුව මෛත්‍රී  පැමිණියේ සිනාවක් මුවට නංවාගෙනය.

ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමාගේ අමාත්‍යාංශයේ තියෙන ආයතන මම ඉවත් කරලා තියෙනවා කියලා රැස්වීම්වල කියලා තියෙනවා. මම කාගේවත් ආයතන අයින් කළේ නෑ. මට අමාත්‍යාංශවලට දෙන්න ඕන ආයතන ගැන නිර්දේශ අගමැතිතුමා එවලා තිබුණේ නෑ. අද තමයි මට නිර්දේශ ලැබුණේ. මම ඒවා බලලා ක්‍රියාත්මක කරන්නම් මෛත්‍රී සහතිකයක් දුන්නේය.

ඔක්තෝබර් 26 වැනිදා අමාත්‍යාංශවලට ආයතන වෙන් කරපු ක්‍රමවේදයක් තිබුණා. ඒ ක්‍රමවේදය යටතේම අමාත්‍යාංශ වෙන් කරාවී කියලා අපි හිතුවා රනිල් කීය.

ඉන් පසුව අදහස් දක්වන්නට ගත්තේ මංගල සමරවීර ඇමැතිවරයාය. ආණ්ඩු පෙරළිිය සමගින් නැවතුණ ගම්පෙරළිය වැඩසටහනට අනුමැතියද ඔහු ලබාගත්තේය.

අපි අලුත් ආණ්ඩුවේ අයවැය ‍ලේඛනය ඉදිරිපත් කරන්න ඕන. මම අයවැය ‍ලේඛනය සකස් කරමින් සිටියදී තමයි ආණ්ඩු පෙරළිය සිදුවුණේ. මාර්තු 5 වැනිදා අපි අයවැය ඉදිරිපත් කරනවා මංගල පැහැදිලි කළේය. අලුතින් අයවැයක් සකස් කර ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

මේ අතර ගෙවීමට නියමිත විදේශ ණය ප්‍රමාණය ගැනත් සාකච්ඡාවට ලක්විය.

ජනවාරි 24 වැනිදා වෙනකොට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක විදේශ ණය ගෙවීමට තියෙනවා. මේ ණයවලින් සියයට අසූ තුනක් රාජපක්ෂලාගේ කාලයේදී ගනිපු ණය. රාජ්‍ය බැංකුවලින් ණය මුදලක් අරගෙන මේ ණය පියවමු මංගල ණය පියවීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය.

රාජ්‍ය බැංකුවකින් මේ වගේ ණය මුදලක් ගන්න එපා. ඒක බැංකුවට බලපාන්න පුළුවන් රවි කරුණානායක එයට විරෝධය දැක්වූවේය.

බැංකුවෙන් සල්ලි ගන්න එපා නම් සල්ලි ගන්න තැනක් මට කියන්න. එහෙම වුණොත් මම එතැනින් ගිහින් සල්ලි ගේන්නම්. පහුගිය කාලයෙදී සිදුවුණ දේවල් එක්ක අපිට අවශ්‍ය පියවර ගන්න පුළුවන් වුණේ මුදල් අමාත්‍යාංශය අපේ යටතට ලැබුණාට පස්සෙයි මංගලත් රවිට විරුද්ධව කතා කරන්න ගත්තේය.

අපි මුදල් ලබාගැනීමට ක්‍රමයක් බලන්න ඕන. මම ඉන්දියාවත් එක්කත් ඒ ගැන සාකච්ඡා කරන්නම් රනිල් මැදිහත්වීමෙන් පසුව මංගල - රවි දෙපසට වූහ.

අපි හැමෝටම අයවැය හදන්න බෑ. ඒක කරන්න ඕන මුදල් ඇමැතිවරයා රාජිත කීවේ මංගලගේ පැත්තට නැවත වරක් වැඩි බරක් දෙමිනි.

මෛත්‍රීට කේන්ති ගිහින්

මෛත්‍රී තායිලන්තයේ සිටින විට ඩාලි පාරේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය සම්පූර්ණයෙන්ම වසා දමා තිබුණේය. පක්ෂ කාර්යාලය වසා දමා කාර්යාලයේ සිටින සියලු දෙනාටම නිවාඩු දෙන්නැයි මෛත්‍රී උපදෙස් දී ඇති බව ඒ වන විට මාධ්‍ය ඔස්සේ වාර්තාවෙමින් තිබුණි. මේ ගැන මෛත්‍රී සිටියේ එතරම් හිත හොඳකින් නොවේ. පසුගිය බදාදා දිනයේදී හදිසියේම පක්ෂ මූලස්ථානයට ගිය මෛත්‍රී මේ ගැන සොයා බැලුවේය. ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ සිට පක්ෂ මූලස්ථානය වෙත යන විට වරෙන් යන්න මාත් එක්ක යැයි කියමින් ඉසුර දේවප්‍රිය මහ ඇමැතිවරයාද තමන් සමග කැඳවාගෙන ගියේය.

පක්ෂ මූලස්ථානය වහලා කියලා සමහරු පත්තරවලට කතා දීලා තියෙනවා. මේවා කළේ කවුද කියලා මම දන්නවායැයි කියමින් පක්ෂ මූලස්ථානය තුළට ගිය මෛත්‍රී කෙළින්ම ගියේ ඔහුගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ රජික කොඩිතුවක්කුගේ නිල කාමරයටය. ඒ වන විට රජික තමන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිගේ නිල නිවසට යවා තිබුණේය. මහින්ද සමග එක්වීමට විරුද්ධව ඔහු මෙසේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර තිබුණේය.

රජික දැන් අයින්වෙන්න හදනවා. වහාම මේ කාමරය අයින් කරන්න මෛත්‍රී උපදෙස් දුන්නේ තරමක කේන්තියෙනි. ඒ වන විට ඔහුගේ කාර්යාලයේ සිව් දෙනෙක් සේවය කරමින් සිටියහ.

මේ අය මොකද කරන්නේ. මේ අය මෙතැන තියාගන්න එපා. මේ අය ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ ඉඳලා ආපු අයනේ. ඒ අයත් මෙතැනින් යවන්න මෛත්‍රී රජිකගේ කාර්ය මණ්ඩලයත් එතැනින් ඉවත් කළේය.

ඉන් පසුව පක්ෂ මූලස්ථානයේ ඔබ මොබ ගිය මෛත්‍රී නැවත හෙට දිනයේදී පැමිණෙන බවත් ඒ නිසා සියල්ල පිළිවෙළට සකස් කර තබන ලෙසත් උපදෙස් දී එතැනින් පිටත්ව ගියේය.

පසුදා උදෑසන යළිත් මෛත්‍රී පක්ෂ මූලස්ථානයට පැමිණියේ එස්.බි. දිසානායක හා ඉසුර දේවප්‍රිය සමගය.

එස්.බි. මෙතැන ඉන්න අයම තමයි පක්ෂ මූලස්ථානය වහලා කියන කතාව පත්තරවලට දීලා තියෙන්නේ මෛත්‍රී කීවේ එස්.බි. දෙස බලමිනි.

මම පක්ෂයේ මහ ‍ලේකම් වෙලා ඉන්න කා‍ලේත් නත්තලට නිවාඩු දුන්නා. අලුත් අවුරුද්දට නිවාඩු දුන්නා. මේවා දන්නේ නැති අය තමයි දැන් මේ කෑගහන්නේ එස්.බි. කීය.

ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නායකයෙක්ගේ උපන්දිනයද එදිනට යෙදී තිබුණේය. මෛත්‍රී උපන්දින කේක් කැපීමට එක්වූවා පමණක් නොව ඔහුට කේක් කෑල්ලක්ද කැව්වේය. ඉන් පසුව ඔහු ගියේ පක්ෂයේ කාන්තා නියෝජිතයන්ගේ කාර්යාලයටය.

මෛත්‍රී එහි යන විට කාර්යාලයේ සේවකයන් දෙදෙනෙක්ද එහි විය.

මේ දෙන්නා මොකද මෙහේ මෛත්‍රී අසන විට ඔවුන් දෙදෙනා සිනාසෙමින් සිටියා මිස කිසිවක් කියන්න ගියේ නැත.

දැන් මේ දෙන්නා බැඳලාද ඉන්නේ මෛත්‍රී ඇසූ විට ඔවුන් දෙදෙනා කීවේ තවමත් තමන් තනිකඩ බවය.

දැන් ඉතිං බඳින වයසේ නේ ඉන්නේ. මේ ඉන්නේ කට්ටිය. ටිකක් ශිල්ප දැම්මානම් මේ අය අල්ලගන්න අමාරු නෑ මෛත්‍රී කීවේ කාන්තා නියෝජිතයන් පෙන්වමිනි.

ගැලවෙන අය

බ්‍රහස්පතින්දා උදෑසන රජික කොඩිතුවක්කු ඇතුළු මෛත්‍රී සමග එතරම් හිත හොඳින් නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකයන් පිරිසක් ජාතික පුස්තකාලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවේය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වා කණ්ඩායමක් ගොස් තිබුණේ රාජිත සේනාරත්නගේ නිවසටය. රාජිතගේ නිවසට ගොස් සිටි කිහිපදෙනා අතරින් අයෙක් මේ කතාව මෛත්‍රීගේ කනේ තබා තිබුණේය. එදින සවස පැජට් පාරේ නිවසේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැති අවස්ථාවේදී මේ ගැන කතා කර තිබුණේද දැඩි ආවේගයෙන් යුතුවය.

අද උදේ පේ‍රස් කම්ෆරන්ස් එකක් තියලා ගිහින් කියපු දේවල් මම දන්නවා. රෙජිනෝල්ඩ් කුරේත් මේවට සම්බන්ධයි කියලා තියෙනවා. අපි සන්ධානයක් හදනා එකට විරුද්ධව කතා කරලා තියෙනවා. සන්ධාන හදන එක හරිම අමාරු වැඩක්. එකිනෙකට වෙනස් මතවාද තියෙන අය තමයි එකතුකරගන්න වෙන්නේ. සමහර ත්‍රීවීල් පක්ෂ තියෙනවා. ඒවගේ ඉන්නේ සභාපතියි, ‍ලේකම්, භාණ්ඩාගාරික විතරයි. සමහර පක්ෂවල තාත්තා සභාපති, නෝනා ‍ලේකම්, දුව භාණ්ඩාගාරික. සන්ධාන හදන වෙලාවට මේ අය ඉදිරිපත් කරන ඉල්ලීම් දිහා බැලුවම පුදුම හිතෙනවා. මොනවා වුණත් මේ අය එක්ක කතා කරලා අපි සන්ධාන හදාගන්නවා. ‍පොහොට්ටුවේ අය එක්ක සන්ධාන ගහන්න බෑ කියලා සමහරු කියලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ විරෝධී සන්ධානයක් හදන්නේ කියලා සමහරු කියලා තියෙනවා. අපි හදන්නේ එක්සත් ජාතික පක්ෂ විරෝධී සන්ධානයක් නමෛයි. රටට ආදරේ සන්ධානයක් තමයි හදන්නේ. ජනතා විමුක්ති පෙරමුණ එක්ක චන්ද්‍රිකා සන්ධානය හදපු වෙලාවේ මාස නවයක් තිස්සේ සාකච්ඡා තිබුණා. ඒ වෙලාවේ චන්ද්‍රිකා සේරම දේවල්වලට එකඟවෙලා ගෙදර ගියාම ආයිමත් කකුලක් පස්සට තිව්වා. තාත්තා මරපු අය එක්ක සන්ධානයක් ගහන්නේ කොහාමද කියලා විමුක්තියි, යශෝදරයි කියලා තිබුණා. කොහොම වුණත් අපි සන්ධානය හැදුවා මෛත්‍රී දීර්ඝ කතාවක් කළේය.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න හදනවානේ. ඒකට මොකද කරන්නේ ඩිලාන් පෙරේරා ඇසුවේය.

එහෙම එකක් නෑ. සුමන්තිරන්ලා ඔය අරගෙන යන්නේ හත් දෙනාගේ කමිටුවෙන් හතර දෙනෙක් හදපු එකක් නේ. අනික් අය රට බෙදන්නේ නැති එකක් හදලා තියෙනවා මෛත්‍රී කීවේ ව්‍යවස්ථා සංශෝධන ගැන වැඩි තැකීමක් නොමැතිවය.

මේ අතර මෛත්‍රීම පක්ෂයට අලුත් මහ ‍ලේකම්වරයෙක් යෝජනා කළේය. ඒ දයාසිරි ජයසේකරගේ නමයි. අලුත් මහ ‍ලේකම්වරයෙක් පත් කරගැනීමෙන් පසුව අවධානය යොමුවූයේ ව්‍යවස්ථා සංශෝධන ගැනය. ඒ ගැන සොයා බලා කටයුතු කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය වූයේද මධ්‍යම කාරක සභාවේදීමය.

රනිල්ගේ කාමරයට ගිය අය

එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ට අලුත් අවුරුද්දේ අරලියගහ මන්දිරයට එන්නැයි දැනුම් දීමක් කර තිබුණි. ඒ අලුත් අවුරුද්දේ වැඩකටයුතු ආරම්භ කිරීමටය. එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු සමග අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කළ අගමැති රනිල් වික්‍රමසිංහ තමන්ගේ නිල කාමරයට ගියේ තමන් හමුවීමට පැමිණෙන මැති ඇමැතිවරු හමුවීමටය. රාජිත සේනාරත්න ඇමැතිවරයා රනිල්ගේ කාමරයට යන විට ජාතික පුවත්පතක කර්තෘවරයෙක් හා නියෝජ්‍ය කර්තෘවරයෙක් ඔහුගේ කාමරයට වී සිටියහ.

අපි මේ රාජිත ගැන කතා කර කර හිටියේ රාජිත එහි එන විටම රනිල් කීවේය.

මම ගැන මොනවද කතා කළේ රාජිත ඇසුවේය.

පහුගිය කාලයේදී මාධ්‍ය මගින් කළ වැඩට වඩා තරුණයෝ කරපු වැඩවල හොඳ ප්‍රගතියක් තිබුණා. ඒ ප්‍රචාරක වැඩපිළිවෙළ සාර්ථකයි. ඔබතුමාත් දේශපාලනය ගැන හරියටම කතා කළා කර්තෘවරයා කීවේය.

මෙහෙම කතා කරලා වැඩක් නෑ. අපි කරපු වැඩවලට ප්‍රචාරයක් දෙන්න රාජිත ඉල්ලුවේය.

ප්‍රචාරක කටයුතු එක එක අමාත්‍යාංශවලට පවරන්නේ නැතිව සෑම අමාත්‍යාංශයක්ම ඒකාබද්ධ කරලා දැවැන්ත ප්‍රචාරක වැඩපිළිවෙළක් ආරම්භ කරන්න ඕන රනිල් යෝජනා කළේය.

අපි කරන වැඩ ගැන ජනතාව දැනුවත් කරන්න ඕන. ඒ සඳහා ප්‍රතිපාදන දෙන්න. ජනතාව දැනුවත් කරන්නේ නැතිව දේශපාලනය කරන්න අමාරුයි. යහපාලනය නිසා අපි ප්‍රචාරක කටයුතුවලට මුදල් වැය කළේ නෑ. මාධ්‍යයත් අපි කරපු වැඩ වාර්තා කළේ නෑ. අඩුපාඩු විතරයි වාර්තා කළේ රාජිත කතා කළේ චෝදනා මුඛයෙනි.

පහසුකම් දෙන හැටි

රනිල් බ්‍රහස්පතින්දා උදෑසනම විෂය පථයක් කිහිපයක් හමුවී ඇති ඇමැතිවරු පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවූවේය. ඒ අතරම ඇමැති ධුර හෝ නියෝජ්‍ය ඇමැති ධුරය හිමිවිය යුතු, එහෙත් එවැනි තනතුරු ලැබි නැති කණ්ඩායමක්ද ඒ සමග කැඳවූවේය.

එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමකටයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිණි කණ්ඩායමකටයි ඇමැති ධුර දෙන්න ඕන. දැන් තිබෙන තත්ත්වය නිසා මේක තරමක් කල් ගියා. ඒත් දැන් මේ අය අමාත්‍යාංශවලට ඇවිත් වැඩ කරන්න. ඒවට අවශ්‍ය පහසුකම් දෙන්න රනිල් උපදෙස් දුන්නේය.

දිවුරුම් දෙන්න කලින් කොහොමද පහසුකම් දෙන්නේ රනිල්ට ප්‍රශ්නයක් යොමුවිය.

අමාත්‍යාංශ ‍ලේකම්ට තියෙන බලතල අනුව වැඩ කරන්න පුළුවන්නේ. ‍ලේකම්ට අවශ්‍ය පහසුකම් දෙන්න බලය තියෙනවා රනිල් කීවේය.

ඉන් පසුව රනිල් මාධ්‍යවේදීන් දෙදෙනකු සමග එක්සත් ජාතික පක්ෂයේ තවත් ඇමැතිවරු පිරිසක් හමුවීමට පැමිණියේය. එහි පැමිණ සිටි   ලක්ෂ්මන් කිරිඇල්ල පසුගිය දිනවල රනිල් සමග තරමක අමනාපයෙන් සිටියත් බ්‍රහස්පතින්දා වන විට ඒ අමනාපය තුරන් කරගෙන තිබුණේය.

මගේ ඇමැතිකමට තිබුණ ආයතන සේරම අයින් කරලා බංකොලොත් ආයතන හතරක් තමයි මට දීලා තිබුණේ. මම මේ ගැන කිව්වාම අපිට කලින් තිබුණ විෂයන් දෙන්න එකඟ වෙලා ජනාධිපති අපේ හිත්වල තිබුණ කහටක් අයින් කළා කිරිඇල්ල කාලයකට පසුව ජනාධිපතිවරයා අගය කළේය.

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු පත් කළාට පස්සේ ගැසට් එක ගහන්න අපි හිටියේ. ඒත් ජනාධිපතිතුමා රට ගිය නිසා තමයි ‍පොඩි අවුලක් වුණේ. ඒත් ඒවා නිවැරදි කරන්න පුළුවන් රනිල් පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ නව වසරේ රාජකාරි ආරම්භ කළේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්ය. සර්ව ආගමික වතාවත්වලින් පසුව කිරිබත් සංග්‍රහයක්ද සූදානම් කර තිබුණි.

මේ හැමෝම එක සභාවක වාඩි වුණාම පේන්නේ ලස්සන මල් ඉත්තක් වගේ. හැමෝම උත්සාහ කරන්න ඕන මේ මල් ඉත්තේ කටුවක් නොවී මලක් වෙලා ඉන්න බැසිල් අමුතු කතාවක් කීවේය.

මම මේ කාර්යාලයේ ඉන්න හැමෝටම කතා කරන්න අවස්ථාවක් දෙනවා. හැබැයි දිග කතා පවත්වන්න බෑ. කෙටියෙන් කියන්න ඕන. නැත්නම් මේ ඔක්කොම කතා පවත්වලා ඉවර වෙනකොට අවුරුද්දත් ඉවර වෙලා තියේවි බැසිල් සිනාසෙමින් කීවේය.

සර්, මම මේ ඔෆිස් එකට ආවේ මගේ පශ්චාත් උපාධිය කරන ගමන්. මම විශ්වවිද්‍යාලයට වඩා වැඩි දේවල් බැසිල් සර් නිසා ඉගෙන ගත්තා. මගේ යාළුවෝ කවුරුවත් දේශපාලනයට සම්බන්ධ අය නමෛයි. හැබැයි අලුත් පක්ෂය රටට මොනවා හරි කරාවි කියලා ඒ අයත් කියනවා දේශපාලනය ගැන තරුණියක් කතා කරන විට බැසිල් ඒ දෙස අවධානයෙන් බලා සිටියේය.

ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ පනස් එක්වැනි උපන්දිනය යෙදී තිබුණේ පසුගිය සතියේදීය. ජනවාරි පළමුවැනිදා උදෑසනම ප්‍රසන්නට දුරකථන ඇමතුමක් දෙමින් මහින්ද  ඔහුට සුබ පැතුවේය.

කොහොමද ප්‍රසන්න මහින්ද ඇසුවේය.

හොඳින් ඉන්නවා සර් ප්‍රසන්න උත්තර දුන්නේය.

එහෙනම් මම ප්‍රසන්නට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා කියමින් මහින්ද දුරකථනය විසන්ධි කළේය.

ප්‍රසන්නගේ උපන්දිනය වෙනුවෙන් සුබපැතීමට ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු පිරිසක් ප්‍රසන්නගේ නිවසට පැමිණ සිටියහ.

අලුත් අවුරුද්දකුත් ආවා. ඒත් තවම ආණ්ඩුව වැඩ පටන් අරගෙන නෑ එතැන සිටි මන්ත්‍රීවරයෙක් කීවේය.

ඔව්.. සමහරු ඇමැතිකම්වලට මරා ගන්නවා. කචල් ගොඩයි. පාර්ලිමේන්තු ඡන්දයක් තියලා ජනතාවට වගකියන ආණ්ඩුවක් හදාගත්තා නම් මේ සේරම ඉවරයි. කොහෙද ඉතිං, ඡන්දයක් කිව්වාම කකුල් වෙව්ලන අයනේ ඉන්නේ නිමල් ලන්සා කීවේය.

තිලකජය 
කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.