lakbima.lk

මැති ඇමතින්ටත් ඇරයුම් නැති ජනපති පුතුගේ විවාහය


පාස්කු ඉරිදා ප්‍රහාරය රට්ටුන්ගේ ජන ජීවිතය අඩාළ කිරීමටත්, පාසල් ළමුන්ගේ පාසල් ගමනට බාධා පැමිණවීමටත් හේතුවී  තිබුණත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ දරුවන්ගේ විවාහ මංගල උත්සව කල් දමන්නට ඔවුන් අකමැතිවී තිබුණේ වසර ගණනාවක්ම කල් යල් බලමින් යොදා ගත් හොඳම නැකැත් අතහැරීමට තිබූ අකමැත්ත නිසාය.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවී සතියක් ගතවීමටත් පෙර ආණ්ඩුවට  සහය ලබාදෙන විජිත්  විජිතමුනි ද සොයිසා ඇමැතිවරයාගේ පුතාගේ විවාහ මංගල උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණේ ප්‍රහාරයට ලක්වූ ෂැංග්‍රිලා හෝටලයේය. ප්‍රහාරයත් සමග හෝටලය වසා දැමීම නිසා ඔහුගේ පිහිටට තිබුණේ අරලියගහ මන්දිරයයි.

මේ අතර  කාටත් හොර රහසේ තවත් විවාහ මංගල උත්සවයක කටයුතු සූදානම් වෙමින් තිබුණේය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේනගේ විවාහ මංගල උත්සවයයි. ව්‍යාපාරික දියණියක් සමග අතිනතගැනීම වෙනුවෙන් පැවැත්වෙන විවාහ මංගල උත්සවයද ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වීමට අවශ්‍ය සංවිධාන කටයුතු කළේ දැනට මාස කිහිපයකට පෙරදීය. මාස ගණනාවක සිට ආරාධනා පත්‍ර සූදානම් කර තිබූ අතර බොහෝ ආරාධනා පත්‍ර ආරාධිතයන්ට යවා තිබිණි.

එහෙත් සියල්ල කණපිට හැරුණේ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවත් සමගය. ෂැංග්‍රීලා හෝටලය වසා දැමීම නිසා මංගල උත්සවය කල් දැමීමට හැකිදැයි මෛත්‍රීගේ බිරිඳ සොයා බලන්නට විය. එහෙත් ‍ජ්‍යොතිෂ්‍යවේදින් දැනුම්දී තිබුණේ ලබාදී  ඇති නැකැත් යොදා නොගන්නේ නම් මේ වසරේදී නැවත ඒ සඳහා හොඳ වේලාවක් ගැනීමට හැකියාවක් නොමැති බවය. මේ නිසා මෛත්‍රීගේ පවු‍ලේ අය පත්වූයේ උභතෝකෝටික ප්‍රශ්නයකටය. රටේ ඇතිවී තිබෙන තත්ත්වයත් සමග මෙවැනි උත්සවයක් පැවැත්වීම විවේචනයන්ට ලක්විය හැකි දෙයක් බව ජනපතිවරයා දැන සිටියේය. එහෙත්  පවු‍ලේ එකම  පුතාගේ මංගල උත්සවය කල් දැමීමටත් නොහැකි විය.

විජිත් විජිතමුනි සොයිසාගේ පුතාට අරලියගහ මන්දිරය පිහිටට සිටියාට මෛත්‍රීගේ පුතාගේ විවාහ මංගල්‍යය හිල්ටන් හෝටලයේ ගැනීමට තීරණය විය. ෂැංග්‍රිලා  හෝටලයේ පැවැත්වීමට නියමිතව  තිබූ විවාහ උත්සවය හිල්ටන් හෝටයේදී පැවැත්වීමට වහාම කටයුතු සූදානම් කළ අතර ආරාධිතයන්ට කතා කරමින් උත්සවය පැවැත්වෙන තැන ගැන දැනුවත් කෙරුණි. ඇතැම් ආරාධනා පත්‍ර ලබාදී තිබුණේ  කලින් සකස් කළ ආරාධනා පත්‍රයේ තිබූ ෂැංග්‍රිලා යන්න කපා හැර එතැන හිල්ටන් යන්න ලියමිනි.

ආරාධනා පත්‍ර යැවීමේදී කිසිදු දේශපාලනඥයෙක්ට එම ආරාධනා පත්‍ර නොයැවීමට මෛත්‍රී ඇතුළු පවු‍ලේ අය වගබලාගෙන තිබිණි. මෛත්‍රීට හිතවත් එක් දේශපාලනඥයකුගේ බිරිඳටත්, පුතකුටත් ආරාධනා කර තිබුණේ ඔවුන්ගේ දේශපාලනයට වඩා ඔවුන් මෛත්‍රීගේ පවු‍ලේ අය සමග සමීපව කටයුතු කරන නිසාය. ආරාධනා කර තිබුණ සියලු දෙනාම හෝටලය තුළට ගත්තේ දැඩි පරීක්ෂා කිරීම්වලින් පසුවය.

කිසිම අයෙකුට ජංගම දුරකතන ශාලාව තුළට රැගෙනයාමට අවසර දුන්නේ නැත. ඒ  නිසා වෙනදාට මඟුල් ගෙවල්වලදී ගන්නා සෙල්ෆි ඡායාරූප කිසිවක් ප්‍රසිද්ධියට පත්වූයේ  නැත. අඩුම තරමින් මෛත්‍රී තමන්ගේ මාධ්‍ය ඒකකයේ  කැමරා කණ්ඩායමවත් එහි කැඳවාගෙන තිබුණේ නැත. ඒ ඔවුන් හරහා හෝ ඡායාරූප ප්‍රසිද්ධියට  පත්වෙතැයි විශ්වාස කළ නිසාය. එහි සියලුම ඡායාරූප ගෙන තිබුණේ මංගල ඡායාරූප ශිල්පියා විසින් පමණි.  ඒ නිසා මේ වන තෙක් විවාහ මංගල උත්සවයේ එකම ඡායාරූපයක්වත් ප්‍රසිද්ධියට පත්වූයේ නැත.

මංගල උත්සවයේ ‍පෝරුවේ චාරිත්‍ර සිදුකිරීමට තිබුණේ උදෑසන නවයයි තිස් පහටය. ‍පෝරුවේ චාරිත්‍ර අවසන්වූ වහාම මෛත්‍රී එතැන රැඳී සිටියේ  නැත. එතැනින් පිටතට පැමිණි ඔහු ගියේ තවත් විවාහයක සාක්ෂිකරුවෙක් ලෙස අත්සන් කිරීමටය. ඉන් පසුව කවුරුත් පුදුම කරමින් රදගුරුවරුන්ගේ සමුළුව පැවැත්වීමට තිබූ බොරැල්ලට ගියේය. එහෙත් ජනපති එන වගක් කිසිවෙක් දැන සිටියේ නැත.

ජනපතිවරයා එහි පැමිණ ඇතිබව දැන ගත්තේ ඔහුගේ  වාහන පෙළ පැමිණි විටය. ජනපතිවරයා රදගුරුවරු සමග කතාකළ දේ මාධ්‍යය අගරදගුරුතුමාගෙන් විමසීමක් කළද ඊට උත්තර දීම ඒ හිමියෝ කාරුණිකව ප්‍රතික්ෂේප කළෝය. එතැන සිට නැවත උත්සව ශාලාවට එන විට නව යුවළ දිවා ආහාරය ගැනීමට සූදානමින් සිටියහ. 

සවස තුන පමණ වන තෙක් එතැන සිටි මෛත්‍රී පිටත්ව ගියේය. උත්සවයේ සංගීත, නැටුම් පටන්ගත්තේ මෛත්‍රී එතැනින් පිටත්ව යාමෙන් පසුවය. සංගීතය නතරවූයේ සවස හතරයි පහළොවට පමණ යුවළ  ශාලාවෙන් පිටත්ව යන විටය.

විවාහ මංගල උත්සව වැඩ කටයුතු අතරේ මෛත්‍රී අම්පාරේ සයින්දමරුතු බලා පිටත්ව ගියේය. එහි යාමට දින දෙකකට පෙරදී තමන්ට එහි යාමට අවශ්‍ය යැයි ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දුන්නේය.

“ජනතාව අතර තියෙන බිය නැති කරන්න ඕන. මට ඒක නිසා සයිදමරුතුවලට යන්න ඕන. අඩුම තරමේ අපේ  ඇමැතිලාවත් එතැනට ගියේ නෑනේ”මෛත්‍රී  කියන විට ආරක්ෂක අංශයෙන් එයට එල්ලවූයේ දැඩි බාධාවකි.
“එතැන ආරක්ෂාව  මදි. අඩුම තරමින් තවත් සති එකහමාරක්වත් ඉන්න” ආරක්ෂක අංශ නිලධාරීහු දැනුම් දුන්හ. එහෙත් මෛත්‍රී එම ඉල්ලීමට කන් දුන්නේ නැත. අවසානයේද ආරක්ෂක  අංශවලට සිදුවූයේ මෛත්‍රීගේ කීමට නතුවන්නටය. අන්තවාදීන් මරාගෙන මැරුණු නිවසත් බැලීමට සයිදමරුතු ගිය මෛත්‍රී මඩකලපුවේ යුද හමුදා කඳවුරෙන් දිවා ආහාරයත් ගෙන ප්‍රහාරයට ලක්වූ පල්ලිය බැලීමටත් ගියේය.

සයිදමරුතු ගිය පසු මෛත්‍රී කොළඹදී මුස්ලිම් නායකයන් හමුවිය. මේ  වන විට පල්ලිවලින් හා නිවෙස්වලින් හමුවන කඩු කිණිසි ගැනත් කතා කිරීමට මෛත්‍රී මැලි වූයේ නැත.

“දැන් කඩු කිණිසි පල්ලිවල, මුස්ලිම් ගෙවල්වල තියලා අල්ලනවා. මුස්ලිම් ගෙවල්වල විතරක් නමෛයි සිංහල ගෙවල්වලත් කඩු කිණිසි තියෙනවා. මට මතකයි අපි ‍පොඩි කා‍ලේ අපේ තාත්තා ළඟත් කඩුවක් තිබුණා. ඔය ගෙවල්වල ගෑනු ළමයි ඉන්නකොට ආරක්ෂාවට කියලා සමහරු ඕවා තියාගෙන ඉන්නවා” මෛත්‍රී මුස්ලිම් නායකයන් හමුවූ විට කියා සිටියේය.

රවුෆ් හකීම් ඇමැතිවරයා ඇතුළු දේශපාලන නායකයන්, ආගමික නායකයන් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් එක්ව පැවැත්වූ ‍පොදු ප්‍රවෘත්ති  සාකච්ඡාවකදී මුස්ලිම් සංසදයේ එන්. එම්. අමීන් මේ කතාව මාධ්‍යයට කියන්න ගියේය. එහෙත් මාධ්‍යයත් එය ප්‍රචාරය කළේ ජනපති කී කතාව නිසාය. මේ නිසා එය රටට ගියේ මෛත්‍රී කියූ දෙයක් නැවත කියන ලෙස නොව අලුත් අදහසක් ලෙසය.

මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම  මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ කාලයේදී පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේදී කටයුතු කළ ආකාරය දැන් මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන්ගේ නිල නොවන කැබිනට් රැස්වීමක් පැවැත්වෙයි. එහිදී  ඔවුන් කැබිනට් පත්‍රිකා සම්බන්ධයෙන් එල්ලවන විවේචනයන් සාකච්ඡා කරන අතර මෛත්‍රී ඉදිරියට යන්නේ පක්ෂයේ ඇමැතිවරුන්ගේ ‍පොදු එකඟතාවන් ඇතිවය.

මේ සතියේ  කැබිනට් රැස්වීමට එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරු පැමිණියේ ටැබ් පරිගණක පාසල් ළමුන්ට ලබාදීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ගේ එකඟතාවයක් ඇතිවය. කලින් අවස්ථා  කිහිපයකදී මේ යෝජනාව  අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ අතර එයට ජනපතිවරයාගේ අනුමැතිය හිමි නොවීය.
“මේක නමෛයි  රටේ අවශ්‍යතාව. ටැබ් දෙන්න කෝටි තුන්සිය පනහක් යනවා.

මේ සල්ලිවලින් ටැබ් දෙන්නේ නැතිව පාසල්වලට ආරක්ෂාවට අවශ්‍ය වන උපකරණ අරගන්න”මෛත්‍රී නැවත වරක් ටැබ් සඳහා විරෝධය දැක්වූවේය.

“අපි මේක ජනතාවට දුන්න ‍පොරොන්දුවක්. ඒ ‍පොරොන්දුව අපි ඉටු කරන්න ඕන”රනිල් තදින් සිටියේය.
“මේක නියමු ව්‍යාපෘතියක්  විදියට කරන්න කියලානේ මම කිව්වේ”මෛත්‍රී නැවත සිය ස්ථාවරයේම සිටියේය.
“මේක නියමු ව්‍යාපෘතියක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ”අකිල පැවැසුවේය.

“ටැබ් එක්ලක්ෂ අසූ තුන්දාහක් දෙන්න හදනවා. ඒක නියමු ව්‍යාපෘතියක් වෙන්නේ කොහොමද” මෛත්‍රී දිගටම  ළමුන්ට ටැබ් ලබාදීමට විරුද්ධ විය. එහෙත් මෛත්‍රීගේ විරෝධය නොතකා කැබිනට් මණ්ඩලය මේ යෝජනාව සම්මත කරගත්තේය.

ඒ අතරම විදුලිය මිලදී ගැනීමට අදාළ යෝජනාවක් රවි කරුණානායක  ඉදිරිපත් කර තිබිණි. එයට නම් විරුද්ධ වූයේ මෛත්‍රී නොව චම්පික රණවකය. එහෙත් චම්පිකගේ විරෝධය ඒ යෝජනාව හරවා යැවීමට ප්‍රමාණවත් වූයේ නැත.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම මේ සතියේදී ආරම්භ වූයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්ය. ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම පිළිබඳ පාර්ලිමේන්තු විවාද ගැන එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. රනිල් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පැමිණියේ මහ නායක හිමිවරුන් හමුවී කොළඹ පැමිණි පසුවය.
“මහනායක හිමිවරුන් මොකද කියන්නේ අගමැතිතුමා. අගමැතිතුමා තනිවම උන්වහන්සේලා එක්ක කතා කරපු එක හොඳයි”වෙනදාට රනිල් මහා නායක හිමිවරුන් හමුවීමට යන විට ඔහු සමග යන, එහෙත් මෙදා නොගිය ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“රටේ ආරක්ෂාව ගැන සේරම ඇත්ත කතාව මම කිව්වා. ආරක්ෂාව තහවුරු කරන අතරවාරයේදීම රටේ ආර්ථිකය ඇතුළු  සාමාන්‍ය ජන ජීවිතය ගොඩගැනීම සඳහා අපිට තියෙන  සැලසුම් ගැනත් කිව්වා. උන්වහන්සේ ඒකට ආශිර්වාද කළා” රනිල් කීවේය.

“අර මරාගෙන මැරෙන ත්‍රස්තතවාදියාට අයිති තඹ  කොම්පැණියේ වැඩ කළ නව දෙනෙකුට ඇප දීම ගැන ජනතාව එතරම් සතුටු නෑ. ‍පොලීසියේ අය  හරියට වැඩේ කරලා නැද්ද කියන  එක ගැන හොයන්නත් පරීක්ෂණයක් යනවා. ත්‍රස්ත විරෝධී පනත යටතේ නමෛයි ඒ නඩුව දාලා තියෙන්නේ. එහෙම වුණාම ඒ අය  ඇප ඉල්ලලා එළියට එනවා. ඒ අයට ඇප දීම ප්‍රමාද කළානම් හොඳයි කියන එක තමයි ජනතතාවගේ මතය පසුගිය සතියේදී මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී රනිල්ට කෙළින්ම ‍පොලීසිය ගැන කරුණු දක්වා සිටි නවීන් කීවේය.

“එදා මුස්ලිම් අය හමුදාවේ එකොළහක් මරලා කියලා ‍පොහොට්ටුවේ මන්ත්‍රී පියල් නිශාන්ත ටීවී එකේ කිව්වාම සී.අයි.ඩී. එක ඔහුගෙන් ප්‍රශ්න කරලා ඇප දුන්නා. ඒත් මගේ මාධ්‍ය ඒකකයේ ළමයින්ට තවම ඇප නෑ” කිරිඇල්ල තමන්ගේ නිලධාරීන් ගැන කරුණු දක්වන්න විය.

“රටේ නීතිය අනුව ජනාධිපති, අගමැතිවරයාගේ ක්‍රියා කලාපයන් විවේචනය කරන්න පුළුවන්. අනික වබේ එකක ගිහින් ලෝකෙම දැකපු ලිපියක පරිවර්තනය බෙදාහැරපු එක ලොකු නඩුවක් හැටියට හිතනවානම් ජනාධිපතිතුමාටත් ඒ නඩුවේ කූඩුවට නැගලා සාක්ෂි දෙන්න වෙනවා” රනිල් කීවේය.

මේ අතර රවි කරුණානායක ඇමැතිවරයා නැගී සිටිමින් රටේ ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡා කරන පාර්ලිමේන්තුව කල් තැබිමේ විවාදයක් පැවැත්විය යුතු යැයි යෝජනා කළේය. ඒ ගැන  විවිධ අදහස් එහිදී ඇතිවිය.
“දැනුත් මේ රටේ හැමෝටම එක නීතියක් බලපාන්නේ නෑ. රටේ ‍පොදු නීතියට අමතරව විශේෂ නීති බලපාන කණ්ඩායම් ඉන්නවා. ‍පොදු නීතිය අනුව විවාහ වීමේ වයස අවුරුදු දහ අටක් වුණාට  ඊට වඩා අඩු වයසේ ළමුන් විවාහ කරගැනීමේ අවස්ථාව මුස්ලිම් නීතිය මගින් ලබාදී තිබෙනවා.

සමහර ඒවා ළමා අපචාර. මේවා වෙනස් කරලා හැමෝටම බලපාන එක නීතියක් අරගෙන එන්න ඕන” සභාව  කල් තැබිමේ යෝජනාවක් ගැන අදහසක් මතුවිය.

“ඒ කතාව හරි. මේ වෙලාවේ මුස්ලිම් සමාජයෙනුත් මේකට අවශ්‍ය බලපෑම හා  සහය ලැබෙනවා. මේ නීති වෙනස් කරන්න ඕන කියලා මුස්ලිම් සමාජයත් කියනවා” රවුෆ් හකීම් මේ  යෝජනාවට සහය දැක්වීමට ඉදිරිපත් විය.   එහෙත් රවි සිතුවේ තමන් ඉදිරිපත් කරන්න යැයි කී යෝජනාවට හකීම් විරෝධය දක්වනවා ඇතැයි කියාය. ඒ නිසා ඔහු හකීම්ගේ කතාවට බාධා කරන්න විය.

“මම මේ ඔබතුමා කියන කතාවට විරුද්ධ වෙනවා නමෛයි. මම මේ ඔබතුමාට සහය දෙන්න හදන්නේ” හකීම් රවිගේ බාධා කිරීමට පිළිතුරු දුන්නේය.

මේ අතර වෙසක් උත්සවය ගැනත් අදහස් මතුවිය.
“වෙසක් උත්සවයට අපි සියලුම ආරක්ෂාව දෙනවා. ඒ නිසා අපි වෙසක් උත්සවය තියනවා. මේකට අවශ්‍ය ආරක්ෂාව දෙනවා කියලා  කැබිනට් මණ්ඩලයෙදීත් සාකච්ඡා වුණා” ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැතිවරයා කීවේය.
“කොහේද කොහේද කැබිනට් මණ්ඩලයේ ඒක ගැන කතා කළේ” රනිල් කලබලයට පත්විය.

“ඇයි සර් ආරක්ෂාව“ ගාමිණී ජයවික්‍රම පෙරේරා කතා කරගෙන එන විට එයට බාධා එල්ලවන්න විය.
“වැරදි  අදහස් ඉදරිපත් කරන්න එපා. හැම පන්සලකටම ආරක්ෂාව දෙනවා කියලා අපි කැබිනට් මණ්ඩලයේදී කිව්වේ නෑ. අපිට හැම පන්සලකටම  ඒ තරම් ආරක්ෂාවක් දෙන්න බෑ. ඒක ප්‍රායෝගික නෑ. ඒ නිසා පන්සල්වලට තමන්ගේම    ආරක්ෂක ක්‍රමවේදයක් හදාගැනීමට සිදුවෙනවා. අපේ ආරක්ෂක අංශවලට පුළුවන් වෙන්නේ එවාට සහය ලබාදීම පමණයි” රනිල් ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ අදහස නිවැරදි කළේය.

“ෆොන්සේකා ගෝඨාභයට සෙට්වෙලා ආණ්ඩුවට ගහනවා කියලා මතයක් යනවා. ත්‍රස්තවාදය නැති කරන්න වසර දෙකක් යනවා කියලා ඒකත් වාසි වෙන්න කරන ප්‍රකාශයක් කියලයි  බොහෝ දෙනා කියන්නේ. ඒත් රාජපක්ෂලා ගැන තමන්ගේ මතයේ කිසිම වෙනසක් වෙලා නැති බව ෆොන්සේකා පැහැදිලිවම කියලා තියෙනවා. මේ ත්‍රස්තවාදය මර්දනය කිරීමේ චාන්ස් එක අරගෙන යළිත් රටට වැඩ කරන්න උත්සාහ කරන බවයි මට නම් හිතෙන්නේ”නවීන් දිගු  විග්‍රහයක් කළේය.

ෆොන්සේකාට ‍පොලීසිය භාර ඇමැතිධුරය දීමට එක්සත් ජාතික පක්ෂයේ  පසුපෙළ මන්ත්‍රීවරුන් ගත් උත්සාහය මේවන විට අසාර්ථක තැනකට තල්ලුවී තිබේ. ඒ වෙනුවට සිදුව ඇත්තේ පාඨලී චම්පික රණවකගේ නම ඒ සඳහා යෝජනා වීමය. මෛත්‍රීගේ පාර්ශ්වයෙන් මේ සඳහා යෝජනා ඉදිරිපත්වී ඇතැයි පාඨලී චම්පික රණවකට සමීපතම ප්‍රකාශකයෙක් කතා මැද කතා තීරුවට සහතික කළේය. එහෙත් එයට මතෛක් ඉදිරි පියවරක් තැබිමට මෛත්‍රී කටයුතු කර නැත. ඒ අතරම ආරක්ෂාවට සම්බන්ධ ඇමැතිධුරයක් ලබැගැනීමට චම්පිකගේ වැඩි අකමැත්තක් නොමැති බවද සඳහන්ය.

චම්පිකට ඇමැතිකම ලබාදී ෆොන්සේකාටද යම් වගකීම් ලබාදීම ගැන සාකච්ඡා වෙයි. ඒ ඔහුට ආරක්ෂක අමාත්‍යාංශයේ  උපදේශකධුරයක් ලබාදීම ගැනය. එහෙත් ඒ සඳහා දේශපාලන එකඟත්වයන් ඇතිවී තිබෙන බවක් නම් පෙනෙන්නට නැත.

පසුගිය සතියේදී මහින්ද තමන්ගේ කාලයේ සිටි  ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිපදෙනෙක් කැඳවා තිබුණේ දින කිහිපයකට කලින් දැනුම් දුන් පරිදි රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන වාර්තාව ලබාගැනීමටය. දින කිහිපයක් තුළදී කඩිනමින් සකස් කළ වාර්තාව ඔවුහු මහින්දගේ අතට පත් කළහ.

“මේ වාර්තාවේ තවත් පිටපත් තියෙනවාද”මහින්ද ඇසුවේය.
“ඔව් සර්. අපි ළඟ කොපි කීපයක් තියෙනවා”ආරක්ෂක ප්‍රධානීහු දැනුම් දුන්හ.

“මේක මට වගේම ජනාධිපතිතුමාටත් වටිනවා. යුද්ධය කා‍ලේ අපි වැඩ කළේ කොහොමද කියලා ජනාධිපතිතුමාට තේරුම් ගන්න මේක වටිනවා. ඒ නිසා ජනාධිපතිතුමාට දෙමු”යැයි කී මහින්ද මෛත්‍රීට කතා කර මෙය ලබාදීමට හැකි ආකාරය ගැන ඇසුවේය.

එවිට මෛත්‍රී කියා තිබුණේ දැන්ම පැමිණ භාරදෙන ලෙසය. ඒ අනුව  මහින්ද මෛත්‍රීගේ නිවසට ගියේ පසුගිය සිකුරාදා රාත්‍රියේය. රාත්‍රියේම එය භාරදුන් මහින්ද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ගැන උපදෙස් කිහිපයක්ම දුන්නේ තමන්ගේ වැඩ බලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස යුද්ධය අවසන් සති දෙකේ කටයුතු කළ බවද සිහිපත් කරමින්ය.

තිලකජය

කාටූන් - අංජන ඉන්ද්‍රජිත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.