lakbima.lk

ඔබ කැමතිද මැරි කරන්න අපි කැමතියි ගෙයක් දෙන්න

යූඑන්පිය ගඟට හත් ගව්වක් තියා මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ලෑස්ති වෙයි. ඔවුන් ඊළඟ ඡන්දයකදී පාවිච්චි කිරීම සඳහා ටෙලිවිෂන් දැන්වීමක් අයවැයට සතියකට කලින් ෂූට් කළේය. දැන්වීම මෙසේයි.

නිවාස හිමියා ගෙදර ඉස්සරහ උළුවස්සට අතක් තබාගෙන උස් හඩින් කතා කරයි.

රෑ ජාමයක් වෙනතුරු මේ ගේ පැත්තෙන් ගෝසාවල් ඇහෙනව කියල අහල පහල මිනිස්සු මට ඇවිත් කියනව.

කුලී නිවැසියා ඒ අසා ඔළුව කසයි.

ඉඳල හිටල යාළුවෙක් දෙන්නෙක් ආවම අපි ‍පොඩි පාටියක් කාරිය දානව, නැතුව ලොකු සද්දයක් කරන් නෑ.

නිවාස හිමියා රවා බලයි.

ඉස්සරහට සද්ද බද්ද අඩු කරගන්න වෙයි, ඕං මට ආයෙත් කියන්න තියන්න එහෙම එපා.

මේ දෙබස අසා සිටින කුලී නිවැසියාගේ බිරිඳ කඳුළු සලයි.

අනේ අපිටම කියල ගෙයක් තිබුණ නම් ඔහොම එක එක්කෙනාගෙ කතා අහන්න වෙන්නෑනෙ.

මංගල සමරවීර මෙහිදී හිනා කටක් පුරවාගෙන ජවනිකාවට ඇතුල් වෙයි.

තවදුරටත් දුක්වෙන්න ඕන නෑ, යූඑන්පී ආණ්ඩුවක් ආපු ගමන් අලුත බැඳපු හැම ජෝඩුවකටම ගෙයක් හදාගන්න අඩු ‍පොළියට, ලොකු ණයක් දෙනවා.

අඹු සැමි යුවළ එකිනෙකා උණුසුම් ලෙස වැළඳ ගනිති. ඊළඟට ඔවුන් දෙදෙනා මනරම් නව නිවසක් ඇතුළේ එකිනෙකා වැළඳගෙන සිටින ජවනිකාවකට මාරු වේ. ගෙදර බිත්තියක රනිල් වික්‍රමසිංහගේ ඡායාරූපයක් එල්ලා තිබේ.

දැන්වීමේ පූර්ව දර්ශනයක් නැරඹූ රනිල් ඒ ගැන බොහෝ සේ පැහැදෙයි.

අනතුරුව ඔහු මංගල කැඳවා මෙසේ කියයි.

මේ දැන්වීම ඡන්දයක් එනකම් තියාගෙන ඉන්න හොඳ වැඩියි ඔහු කියයි. දැන්ම මේක ජනතාව අතරට අරගෙන යන විදියක් හිතන්න.

මංගල එය අයවැය යෝජනාවක් කළේ එවිටය.

එසේ වුවද කුලී ගෙයි දැන්වීම ගැන දැනගත් ගවේෂණාත්මක පත්‍ර කලාවේදියෙක් මෙහි පතුළටම කිමිදී බැලීමට තීරණය කරයි. ඔහු මුලින්ම දැන්වීමේ රඟපාන අඹුසැමි යුවළ සොයා යයි.

ඔය අයවැය යෝජනාව මුලින් දැන්වීමක් හැටියටනෙ හැදුණෙ පත්‍ර කලාවේදියා කියා සිටී. දැන්වීම යට ගිහිල්ල අයවැය යෝජනාවක් හැටියට ඒමෙන් ඔබට වුණු අසාධාරණය ගැන කණගාටුද?

නෑ, අපිට ඒක අදාළ නෑ.

දැන්වීම ප්‍රචාරය නොවෙච්ච පාඩුවට පිරිමැහෙන්න ඔබ දෙපළට මේ කෝටිපති නිවාස යෝජනාවේ මුල්ම ණය පිරිනැමෙනව කියල ආරංචියක් තියෙනව.

ඒත් අපේ බලා‍පොරොත්තුවක් නෑ එහෙම. අපි අපේ වගකීම ඉෂ්ට කරා, එච්චරයි.

පත්‍ර කලාවේදියාගේ ඇස්වලට කඳුළු පිරේ.

කිසිම ලාභ ප්‍රයෝජනයක් බලා‍පොරොත්තු නැතුව රටේ සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් පෙනී සිටීම උදාර කර්තව්‍යයක්. ඒකට මුළු රටම ඔබ දෙපළට ස්තුතිවන්ත වෙයි.

අපි එහෙම ස්තුතියක් බලා‍පොරොත්තු වෙන්නෑ. රඟපෑම අපේ රස්සාවනෙ.

පත්‍ර කලාවේදියා ඇඹරෙන්නට ගනී.

ඒ කියන්නෙ සල්ලි දෙනව නම් ඕන දැන්වීමක ඉන්නවද?

නැතුව, නැතුව. ඇයි මතක නැද්ද අපි 2015 දී මහ වැස්සෙ අගුපිලක මෝටර් සයික‍ලේ තියාගෙන හූල්ලන ගමන් කිව්ව යූඑන්පී ආණ්ඩුවක් ආවම අපිටත් කාර්රෙකක් ගන්න පුළුවන් වෙයි කියල ඔවුහු කිය සිටියහ. දැන් ආණ්ඩුව ඇවිත් අවුරුදු හතරක් වෙනව. අපි කවදාවත් මාධ්‍ය ඉස්සරහට ගිහින් කිව්වද අපිට කාර් ලැබුණෙ නෑ කියල. රඟපෑමයි, හැබෑ ජීවිතෙයි දෙකක්. හරියට මංගල සමරවීරයි, එයාගෙ බජට්ටෙකයි වගේ.

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.