lakbima.lk

මිලේනියම් චැලේන්ජ් ආධාර සමග එන අනාදරය තේරුම් ගනිමු

ඇමෙරිකා එක්සත් ජනපදය සහශ‍්‍රකයේ අභියෝග අරමුණු කරගත් ආයතනයක් පිහිටුවා තිබේ. "Millennium Challenge Corporation" යනුවෙන් එය හැඳින්වෙයි. ද්වි පාර්ශ්වික ආධාර සම්පාදනය කරන එම ආයතනය ලෝකයේ ආධාර අවශ්‍ය රටවල තෝරාගත් යටිතල පහසුකම් නංවන සහ ආධාර ලබන රටවල දුප්පත් ජනතාව දරිද්‍රතාවෙන් මුදා ගන්නා වැඩසටහන් ක‍්‍රියාත්මක කරයි. ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් ආයතනය මෙකල රට තුළ කතා බහට ලක්වන්නේ ඉකුත් දා සිදුවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ඉතා අවිනිශ්චිත තැනක සිටි රටට ලැබුණ මිලේනියම් අරමුදලේ ආධාර සමගය. විපත සමග වෙස්වලාගෙන එන හොඳ පැත්තක් ද ඇති බව මෙම ඇමෙරිකන් ආධාර ලැබෙන බව පුවත් පත් සාකච්ඡුාවක් පවත්වා ප‍්‍රකාශයක් නිකුත් කළ මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේය.

ඇමෙරිකාව 2004 වසරේ දී මෙම ආයතනය ස්ථාපිත කළේය. එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ යූඑස් ඒඞ් නමැති ප‍්‍රකට ආධාර වැඩපිළිවෙළට පරිබාහිරව පිහිටුවන ලද මෙම ආයතනය එවකට ජනාධිපතිව  සිටි ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ යෝජනාවකි. දුප්පත් හා පොහොසත් රටවල් එකිනෙකාට වගකියන විනිවිද පෙනෙන අරමුදලක් සේ යෝජනා කළ අතර ඊට කොංග‍්‍රස් මණ්ඩල අනුමැතිය ලැබිණි. පළමු වතාවට නිකුත් කරන ලද ප‍්‍රදානවලට වඩා දෙගුණයක් 2006 වසරේ දී නොයෙක් රටවලට බෙදා දුන් ඇමෙරිකාව එය නැවත වතාවක් 2010 වසරේ දී දෙගුණ කළේය. බුෂ් පාලන කාලය තුළ සැප්තැම්බර් එකොළොස්වැනි දා ප‍්‍රහාරය එල්ල විය. එය දරුණු විපතකි. ඒ වන විට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 500 පමණ ආරක්ෂක වියදම් වෙනුවෙන් වැය කරමින් සිටි බුෂ් පාලනය එතැන් සිට ත‍්‍රස්තවාදීන් එළවා ගොස් විනාශ කරන මෙහෙයුම් ඇරඹිය. ඉරාකයට හා ඇෆ්ගනිස්ථානයට යුද ප‍්‍රකාශ කරන ලද අතර එතැන් සිට ඔබාමා පාලනය අවසන් වන කාලය දක්වා යුද ගැටුම් වෙනුවෙන් ඇමෙරිකාව එරට මුදලින් ටි‍්‍රලියන 2.4 ක් වැය කර තිබේ. රට තුළ නොකඩවා අයවැය හිඟය ඉහළ නගින වාතාවරණයක් තිබිය දී බුෂ් පාලනය ත‍්‍රස්තවාදීන් යැයි කියමින් ලෝකයේ නොයෙක් තැන ගැටුම් ඇතිකරන්නට වියදම් කරන ලද ධනය අතිවිශාලය. දුප්පත් රටවලට ආධාර දෙන මිලේනියම් වැලේන්ජ් අරමුදල ආරම්භ කළ බුෂ්ගේ කාලය තුළ සුළි කුණාටු නිසා ආර්ථිකය අර්බුදයකට පත් වූ අතර එය එසේ තිබිය දී බැංකු අර්බුදයක් ද පැන නැගිණ. මෙම ප‍්‍රශ්න නිසා මුලින් සඳහන් කළ තොරතුරු සනාථ කරමින් එරට අයවැයි හිඟය ටි‍්‍රලියන 3.3 ඉක්මවා පැවැති බව එරට මූල්‍ය වාර්තා පෙන්වයි.

බුෂ්ගේ පාලන කාලය තුළ ලෝකයේ නොයෙක් රටවල් වලින් ඔහුගේ අනුදැනුම මත ලබාගත් ණය ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ටි‍්‍රලියන 5.8 ක් බව දැක්වෙයි.

භාණ්ඩාගාරයේ ආදායම දුර්වල කළ හා විදේශයන්ගෙන් ණය ගන්නා තැනට හැරවුණ ඇමෙරිකාව එසේ කළේ අනවශ්‍ය ගැටුම් ලෝකය පුරා ඇති කිරීමෙන් බව මැදහත් විචාරකයෝ පවා දක්වා තිබේ. ඇමෙරිකානු ණයවලින් වැඩිම කොටසක් චීනයෙන් ලබා ගත් ඒවා වන අතර එම ණය එකවර ආපසු ගතහොත් ඇමෙරිකානු ආර්ථිකය බිංදුවට වැටෙන බව අද පවා පිළිගැනෙන කරුණකි. අන්තර්ජාතික මූල්‍ය විශේෂඥයෝ මෙම තත්ත්්වය ඇමෙරිකා ආර්ථික රටාවක් සේ හැඳීන්වීය.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් පිහිටුවා එමගින් දුප්පත් රටවලට ආධාර දෙන අලූත් වැඩ පිළිවෙළක් අරඹන බුෂ් පාලනය ගත කරමින් සිටි ස්වභාවය එපමණ හොඳ තැනක නොවන බව දක්වන්නට මෙම කරුණු ප‍්‍රමාණවත්ය. එවැනි නරක ආර්ථිකයක සිටි රටක් තවත් රටවලට ආධාර කරන්නට කල්පනා කරන්නේ ඇයි? බුෂ්ගේ කාලය තුළ අතින් පයින් ත‍්‍රස්තවාදීන් සමග කළ සටන ඔබාමාගේ පාලන කාලය තුළ තොරතුරු තාක්ෂණය හා කෘති‍්‍රම බුද්ධියෙන් මෙහෙයවන ලද තැනට කැ`දවන බව ජාත්‍යන්තර මාධ්‍ය කියා සිටි කරුණකි. එක පැත්තකින් තමන්ට අවනත ලෝකයක් හදාන්නට කැස කවන ඇමෙරිකාවට එරෙහිව නැගෙන රටවල් බිඳ ගැටුම් ඇති කර වනසන අතර ලෙන්ගතු අයට දුප්පත්කම නැති කරන ආධාර බව කියන මිලේනියම් අභියෝග හැන්දෙන් ස්වල්පයක් බෙදා දෙයි. සමහරවිට හමුදාව යවා විනාශ කරන ලද සමාජ වලට ද පසුව මෙම හැන්දෙන් බෙදා දී ඇති බව පෙනේ.

සැප්තැම්බර් එකොළහ එල්ල වූ ප‍්‍රහාරයෙන් මාස විස්සකට පසු බුෂ් ආණ්ඩුව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අලූත් ව්‍යුහයකට අවතීරණ වී තිබේ. දියුණු වෙමින් පවතින රටවල සමාජ තුළ ත‍්‍රස්තවාදය නැගෙන්නට කලින් යම් යම් යටිතල පහසුකම් සහිත මැදිහත්වීම් අවශ්‍ය බව හනාගෙන තිබේ. ගැටුමක් පාලනය කරන්නට වැය කරන ධනයට වඩා හැට ගුණයක අඩුවෙන් සාමකාමී රටකට මැදිහත් විය හැකි බව ඇමෙරිකානු පර්යේෂකයෝ පෙන්වා දී තිබේ. තමන්ට තර්ජනයක් වන අවස්ථා කලින් හªනාගෙන ආයෝජනයක් කරන්නට ලැබෙන ඉඩකඩ මෙකී මිලේනියම් වැලේන්ජ් කෝපරේෂන් අරමුණ අතර ඇතැයි බැහැර කළ නොහැකිය.

නෙබෝදා ශ‍්‍රී ලංකාවට මිලේනියම් චැලේන්ජ් වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ක් ලැබිණි. ගෙවුම් ශේෂ අර්බුදයක සිටි ශ‍්‍රී ලංකාවේ යහපාලන ආණ්ඩුව 2015 වසරේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් තාවකාලික ණය සංචිතයක් ලබා ගත් අතර එය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 කි. පොලියක් සහිතව ආපසු ගෙවිය යුතු හා දැන් විශාල හිරිහැරයක් වී ඇති ඉන්ධන මිල සූත‍්‍රය හා ළගදී ජනතාව මත පැටවෙනු ඇතැයි සැලකෙන විදුලිය ගාස්තු මිල සූත‍්‍රය මෙම ණය සංචිතය සමග රටට ලැබුණ නිර්දේශ වල ප‍්‍රතිඵලයකි. සහනාධාර කපා හැරීම, බදු වැඩි කිරීම හා පෞද්ගලීකකරණය යන අදහස් ද එම ණය සංචිතය සමග බැඳී තිබේ. එවැනි කොන්දේසි සහිතව ලැබුණ මුදල සමග සලකන විට මිලේනියම් වැලේන්ජ් මගින් ලැබුණ ඇමෙරිකානු ඩොලර් මිලියන 480 සැලකිය යුතු වාසියකි. එමගින් කොළඹ නගරයේ වාහන තදබදය අඩු කරන සැලැස්මක් අරඹන අතර සබරගමුව හා බස්නාහිර පළාත යා කෙරෙන මාර්ග සංවර්ධනය කෙරේ. දිස්ත‍්‍රික්ක අටක ග‍්‍රාමීය මංමාවත් සංවර්ධනය කරනු ඇත. මෙම අරමුදලේ ආධාර ස`දහා 2015 වසරේ සිට සාකච්ඡුා තිබුණ බව ද මෙහි දී ස`දහන් කරන්නට අවශ්‍යය.

ශ‍්‍රී ලංකාව සෑහෙන කාලයක් තිස්සේ ඇමෙරිකාව සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන සිටියේය. පසු කාලයක චීනය හා ඉන්දියාව වෙත වැඩි නැඹුරුවක් යොමු විය. මිලේනියම් චැලේන්ඡ් ආධාර ලැබෙන්නේ ශ‍්‍රී ලංකාවේ හැසිරීම අනුව කරන ලද විශේෂඥ අධ්‍යයනයකට පසු විය හැකිය. රටකට ආධාර දෙන හේතුව නිරායාසයක් නොවේ. කොංගෝ සෙනගල්, ටොංගෝ යන රටවල් ශ‍්‍රී ලංකාව සමග ආධාර ලබා ගත්තේය. මැදි ආදායම් මටට්මක සිටින ශ‍්‍රී ලංකාව වෙත යොමු වෙන හේතුව ද ආධාර ලබා ගත් ආණ්ඩුව අවධානය යොමු කළ යුතු පැත්තකි. චීනය හා ඇමෙරිකාව අතර වෙළෙද යුද්ධයක් තිබේ. ඉදිරි කාල වකවානුව තුළ චීනයේ හැසිරීම ලෝකයේ බල තුලනය හමුවේ බලවත් තර්ජනයක් වනු ඇත. සාගරය ඔස්සේ ඉදිකරන සේද මාවත මගින් චීනය ආසියාව හරහා අලූත් මුතුවැලක් අමුණමින් සිටින බව විචාරක මතය වී තිබේ. ශ‍්‍රී ලංකාව මර්මස්ථානයකි. කොළඹ වරායේ දකුණ අත්පත් කරගත් චීනය ඉන් පසු හම්බන්තොට වරාය ට ආධාර දී ඉදිකරන ලද අතර පසුව එය වත්මන් ආණ්ඩුව යටතේ ණය ගෙවාගත නොහැකි බව කියා චීන ආයෝජනයක් බවට ලියා ගත්තේය. හම්බන්තොට ගුවන් තොටුපොළක් තැනීය. එය ද චීන මැදිහත්වීමෙන්ය. කොළඹ මූල්‍ය නගරය එයට එකතු වූ තවත් එකකි. එය ආසියාවේ දැවැන්ත ආයෝජනයක් වන අතර නුදුරු කාලය තුළ මහා පරිමානයෙන් චීන ආයෝජකයන් ආකර්ෂණය කරගනු ඇත. චීනයේ ප‍්‍රවේශය දෙස බලා සිටි අසල්වැසි ඉන්දියාව සාම්පූර් බලාගාරය හා තිරිකුණාමලය වරාය වෙත අවධානය යොමු කර තිබේ. කොළඹ වරායේ තවත් කොටසක් ජපානය හා සමග එකට එකතු වී ආයෝජනය කරන සැලැස්මක සිටී. ඇමෙරිකාව අභිභවා චීනය අවතීර්ණ වී ඇති බව හා එයට උත්තරයක් වශයෙන් ඉන්දියාව ද ශී‍්‍ර ලංකාව වෙත යොමු වන බව මෙම සියලූ පැතිවලින් හෙළිදරව් වන වැදගත් කාරණයකි. ඇමෙරිකාවේ අභිමතයට එල්ල වන අභියෝගය එරට බුද්ධි අංශ පෙන්වා දී ඇති බව සැකයක් නැත.

ලෝකයේ බලවත් රටවල් එකක් පෙන්වා දෙකක් තමන්ගේ පැත්තට හරවා ගැනීමට උපායශීලීය. වැසියන්ගෙන් අය කරන බදුවලින් කොටසක් ඇමෙරිකානු, චීන හා ඉන්දීය ජනතාවගේ බලවත් විරෝධය නොසලකා වෙනත් රටකට දෙන්නේ යටි අරමුණක් ඇතිවය. ශ‍්‍රී ලංකාව මෙම තුන් ඈදුතු බල පොරයකට මැදි වී සිටී. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් කිසිම දේශපාලන බලපෑමක් රහිත කාර්යයක් විය හැකිය. නමුත් එම සහන වැඩපිළිවෙළ සමග ප‍්‍රවේශයට ද අවස්ථාවක් නිර්මාණය කරගනී. පරිස්සම්වීම මෙරට පාලකයන්ගේ වගකීමකි. අහල පහල ගෙදරකට හදිස්සියේ ගොඩැවැදී තෑග්ගක් දී යන ධනවත් ඥාතීහු අපට සිටිති. පිටත්ව ගිය මොහොතේ සිට උන්නැහේලා ආවේ ඇයි දැයි කල්පනා කරන සිරිතක් අපට තිබේ. මෙරට පාලකයන්ට හා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට එහෙම හිතන්නට වෙලාවක් නැත. ලැබුණ දේ මහාර්ඝ තෑග්ගක් යැයි කියා උද්දාමයෙන් සිටිති.

ජී.කේ.ජී. සරත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.