lakbima.lk

තරුණ තරුණියන් ලක්ෂ දහහතරක්, මීළඟ මැතිවරණයේදී සිය කුළුඳුල් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිති,  ඉදිරි මැතිවරණයකදී ඔවුන්ගේ ඡන්ද භාවිතාව රටේ විශාල දේශපාලන පෙරළියක් කරනු ඇතැයි, දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. එහෙත් නවීන තාක්ෂණික මෙවලම්, සමාජ ජාල වබේ අඩවි ආදිය සමඟ ගනුදෙනු කරන මෙම තරුණ පිරිස ඉදිරි මැතිවරණයකදී කෙසේ හැසිරේද යන්න සිතා ගත නොහැකි යැයි ද ඔවුන්ගේ කල්පනාවය. එම කාරණාව සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ දැක්වූ අදහස් ඇසුරෙන් මෙම ලිපිය සැකසිණි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක වඩාත්ම වැදගත් දර්ශකයක් සහ ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ පවතින බව අනෙක් අයට ඒත්තු යන ක්‍රියාවලිය වන්නේ මැතිවරණයයි. මැතිවරණයක් යනු, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සුජාතභාවය සහ එහි ‍පොදු පිළිගැනීමට බලපාන, එකම සහ වඩා වැදගත්ම සාධකයයි. එවැනි සමාජයක රාජ්‍යයේ ප්‍රධාන තනතුරේ සිට අනෙකුත් සියලු තනතුරු සඳහා පුද්ගලයන් තෝරා පත්කර ගන්නේ ද මැතිවරණ ඔස්සේය. ප්‍රජාතන්ත්‍රවාදය තුළ එය ජනතාවගේ කැමැත්තෙන් සිදුවන ක්‍රියාවලියකි.

ප්‍රජාතන්ත්‍රවාදය යන්න ද පැති කිහිපයක් ඔස්සේ විග්‍රහ කළ හැකියි. මුලින්ම  පැවැතියේ සෘජු ප්‍රජාතන්ත්‍රවාදයකි. එනම් සැමදෙනාම රාජ්‍ය පාලනයට සහ යම් යම් තීන්දු තීරණ ගැනීම සඳහා අඩුවැඩි වශයෙන් සිය සහභාගීත්වය ලබා දීමට කටයුතු කෙරෙණි. එහෙත් ජනගහනය ක්‍රමයෙන් වර්ධනය වීම තුළ එය දුෂ්කර මෙන් ම ප්‍රායෝගික නොවන කාර්යයක් බවට පත්විය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වන්නට පටන් ගන්නේ ඉන් අනතුරුව ය. ඉන් අදහස් කෙරෙන්නේ, විශාල ජන පිරිසගේ  වුවමනාවල් නියෝජනය කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම සඳහා ඔවුන් විසින්, ඔවුන්ගේ බලය තෝරා ගත් කිහිපදෙනෙකුට පැවැරීමයි. දේශපාලන ව්‍යවහාරය තුළ, ජනතා පරමාධිපත්‍ය බලය ලෙස හැඳින්වෙන්නේ එයයි.

ජනතා පරමාධිපත්‍ය බලය යනු ජනතාව සතු බලයයි. එම බලය කිසිලෙසකින් හෝ අන්සතු කිරීමට හෝ ජනතාවගෙන් පැහැර ගැනීමට නොහැකි වන  බලයකි. මෙහිදී  වෙන්නේ, සියලු ජනතාවට රාජ්‍ය පාලනයට සෘජු ලෙස දායක වීමට නොහැකි වන බැවින්, තමන් කැමති නියෝජිත පිරිසක් තෝරාගෙන ඒ ඔස්සේ පාලන කටයුතුවලට ජනතාව වක්‍රකාරව සම්බන්ධ වීමකි. මන්ත්‍රීවරයා හෝ පාර්ලිමේන්තු නියෝජිතවරයා වන්නේ, එලෙස ජනතාව විසින් තෝරා පත් කරගන්නා පුද්ගලයා යි. එම නියෝජිතයාට ප්‍රධාන වශයෙන් කාර්යයන් දෙකක් පැවැරෙයි. එනම් එක් පැත්තකින් ඔහු ව්‍යවස්ථාදායක සභාවට එනම් පාර්ලිමේන්තුවට ගිය පසු, තමන්ව තෝරා පත්කර එවූ පුද්ගලයන්ගේ අවශ්‍යතාවන් ඉටු කර දිය යුතු ය. අනෙක් පැත්තෙන්, ඔහු ව්‍යවස්ථාදායක සභාවේ ෙනෙතික කටයුතු සම්පාදනය හා නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ විය යුතුය. ඒ ඔහු සතු ඉතා වැදගත්ම කාර්යයන් දෙකයි. එමනිසා එම කාර්යයන් දෙකටම හොඳ හැකියාවක් ඇති, පුද්ගලයන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවීමට මහජනතාව වඩාත් සවිඥානික විය යුතුව ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය පෙරදිග සංකල්පයකට වඩා යුරෝපීය සංකල්පයකි. එවිට ප්‍රජාතන්ත්‍රවාදය මතුවෙන්නේ, යුරෝපීය රාජ්‍ය පාලනයේ සංකේතයක් ලෙසිනි. පසුකාලීනව අපේ රට වැනි ආසියාතික රටවලට දේශපාලන ක්‍රමයක් ලෙස සංක්‍රමණය වූයේ එයයි. යම් යම් වෙනස්කම් යටතේ, අපේ රටවල ඇති යථාර්ථයන්, මිනිසුන්ගේ අධ්‍යාපන මට්ටම්, ඔවුන්ගේ විශේෂතාවන්ට අනුව ප්‍රජාතන්ත්‍රවාදය යන්න අඩුවැඩි වශයෙන් අපේ රටවලද ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇත. වඩාත්ම වැදගත් දේ වන්නේ, එලෙස තෝරා පත්කර යවන නියෝජිතයා තෝරා ගන්නා  ජනතාව  වඩාත්  බුද්ධිමත් වීමයි. යුරෝපීය රටවල පවා මුල් කාලයේදී සියලු දෙනාටම ඡන්දය භාවිත කිරීමේ අයිතිය හිමි වූයේ නැත. අපි සර්වජන ඡන්ද බලය ලෙසින් හඳුන්වන මෙම අයිතිවාසිකම මූලික වශයෙන් හිමි වූයේ, යම් ආකාරයක සුදුසුකම් ලත් පිරිසකට පමණි. එනම්, යම් ආකාරයක දේපළක් ඇති, යම්කිසි මට්ටමක අධ්‍යාපනයක් ඇති පිරිසට පමණක් එම අවස්ථාව හිමි විය. ක්‍රමානුකූලව සියලු දෙනාට ම මෙම අයිතිවාසිකම ලබා දීමට කටයුතු කරන ලද්දේ ඉන් අනතුරුව ය. ඒ අනුව වයස අවුරුදු දහඅට සම්පූර්ණ වූ, යම් රටක පුරවැසියෙකු ලෙස සැලකෙන සියලු දෙනාට ඉන් අනතුරුව මෙම ඡන්ද අයිතිය හිමිවිය.

එහිදී ඉතා වැදගත් ස්ථානයක් හිමි කර ගන්නේ තරුණ ජනගහනයයි. පසුගිය අවුරුදු කිහිපය හා සසඳන කල, අපේ වැනි රටවල තරුණ ජනගහනයේ ප්‍රතිශතය ඉතා ඉහළ ය. අනෙක් රටවල ජනගහනයට සාපේක්ෂව  අපේ රටේ තාරුණ්‍යයේ පසුවන පිරිස ඉතා වැඩි බව පෙනී යයි. මෙය සෑම දිනකම එක ආකාරයකින් සිදුවන දෙයක් නොවේ. එය මතුවෙන්නේ, සමාජ හා ප්‍රජා පරිණාමයේ එක් අවස්ථාවකදී පමණි. එබැවින් එවැනි තත්ත්වයක් මතු වූ  කල්හි ඉන් ප්‍රයෝජන ගැනීම ඉතා වැදගත් කාරණාවක් වේ. මන්ද යත් එවැනි විශාල තරුණ ජනගහනයක් රට තුළ සිටින කාලපරිච්ජේදය ඉතා කෙටි විය හැකි ය. පසුගිය අවුරුදු ගණනාව තුළ ම එවැනි තත්ත්වයන් වරින් වර දැකිය හැකි විය. රටේ සංවර්ධනය වේගවත් කිරීම සඳහා පාලකයන්ට මෙලෙස තරුණ ජනගහනය වැඩිවීම භාවිත කරන්නට හැකියාව ලැබෙයි. උදාහරණයක් ලෙස ජපානය වැනි රටක ඇත්තේ මෙහි අනෙක් පැත්තයි. එහි වර්තමානය වන විට ඇත්තේ, වැඩිහිටි ජනගහනයේ ඉහළ ප්‍රතිශතයකි. යුරෝපීය රටවල පවා එලෙස ය. එහෙත් අපේ රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය  අනුව  මෙරට  තරුණ ජනගහනය  වැඩි  වුවද,  තම  අනාගත නියෝජිතයන් පත්කර ගැනීමේදී ඔවුන් වඩාත් බුද්ධිමත් නොවුණහොත් තරුණ ජනගහනය වැඩිවීමෙන් රටකට ඇතිවන සෙතක් නැත. ඇත්ත වශයෙන්ම ඔවුන් තම අනාගත නියෝජිතයා  වශයෙන්  තෝරා  පත්කර ගන්නේ, වර්තමානයේ ජාතික හා ගෝලීය වශයෙන් පවතින ඉල්ලීම් සහ එහි ඇති සමාජ දේශපාලන අභියෝගයකින් යුතු පිරිසක් ද යන ගැටලුව මෙහිදී මතුවේ. එනම් තමන් විසින් තෝරා ගන්නා පිරිසට තමන්ගේ අවශ්‍යතා සහ තමන් වෙනුවෙන් කටයුතු කිරීමට තරම් සවිඥානික බවක් ඇති පිරිසක්ද යන්න සම්බන්ධයෙන්, විශේෂයෙන්ම මෙම තරුණ පිරිසට අවබෝධයක් තිබිය යුතුය. මන්දයත් මෙතරම් විශාල තරුණ ජන්දදායකයන් පිරිසක් සිටිනවා යනු, ඉදිරි මැතිවරණයකදී එය ඉතා තීරණාත්මක සාධයක් වනු නොඅනුමානය.

විශේෂයෙන් ම අනාගත රට භාර ගන්නා නියෝජිතයන් රටේ සංස්කෘතිය, ජාතිකත්වය, ආගමික පසුබිම, ආර්ථික තත්ත්වය නඟා සිටුවීමෙහිලා කෙතරම් දුරට කටයුතු කරනු ඇත්දැයි නිශ්චය කර ගැනීම අපහසු වී තිබේ. පවතින සංකීර්ණ දේශපාලන පසුබිම තුළ ද එවැනි නිවැරිදි පුද්ගලයන් වෙන් කර හඳුනා ගැනීමත් දුෂ්කර කටයුත්තක් වී ඇත. ඒ සඳහා ඡන්දදායකයාට සුවිශේෂී දේශපාලන ඥානයක් අවශ්‍ය වේ. අපේ රටේ ඉතා ඉහළ සාක්ෂරතාවක් ඇතැයි පැවසුණ ද, දේශපාලන සාක්ෂරතාව සම්බන්ධයෙන් නම් අපේ රටේ ජනතාව තුළ යම් ආකාරයක ගැටලුවක් පවතින බවක් පෙනෙන්ට ඇත.

එය නිසි ලෙස වටහා නොගැනීම එක් පැත්තකින් බලන කළ, තාරුණ්‍යයේම වරදක් යැයි කිව නොහැකිය. ඊට බලපෑ කාරණා කිහිපයක් වේ. වර්තමානයේ පවතින ජාතික හා ජාත්‍යන්තර තත්ත්වයන් අවබෝධ කර ගැනීමට ඇති අවස්ථාවන් ඔවුන්ගෙන් අහිමි කර  ඇති තත්ත්වයක් පෙනෙන්නට ඇත. එම තත්ත්වය අවබෝධ කර ගැනීමට ඇති මාධ්‍යයන් වසා තිබේ. එය ද එක්තරා ආකාරයක දේශපාලනයකි. සංහතික මාධ්‍යයන්ගේ වර්ධනය, විවිධ තාක්ෂණික මෙවලම් භාවිතය වැඩි වීම, විවිධ සමාජයීය විනාශකාරී භාවිතාවන්, මිනිසුන් විභේදනය කරවීමට කටයුතු කරන මෙවලම් පද්ධති ආදිය අද වැඩි වශයෙන් වර්ධනය වී ඇත. එය තාරුණ්‍යයේ දේශපාලන සවිඥානිකත්වය වෙනස් කිරීමට මෙන් ම ඔවුන්ගේ ජීවන යථාර්ථය වෙනස් කරලීමට ද ප්‍රබලව බලපා තිබේ. අන්තර්ජාලය මුල් කරගත් විවිධ මාධ්‍යයන් නිසා අද තරුණයන් ජීවත් වෙන්නේ සත්‍ය ලෝකයකට වඩා කාල්පනික වශයෙන් මවා ගත් ලෝකයක ය. එමෙන් ම බොහෝ ජනමාධ්‍යයන් ඔස්සේ ද මානව අපගමනාත්මක තත්ත්වයන් නිර්මාණය කර ඇති අතර ම තරුණ පිරිස් ඒවා කෙරෙහි වැඩියෙන් පෙළඹීමක් ද දක්නට ලැබෙයි.

පුද්ගල නිදහස යන සංකල්පය ද අද  සමාජය තුළ වඩාත් ප්‍රචලිත වන්නට පටන් ගෙන ඇත. ඒ තුළ පුද්ගලයා හැමවිටම උත්සාහ කරන්නේ, මානව බැඳීම්වලින් නිදහස් වීමට ය. එහෙත් එය එක්තරා ආකාරයක මිරිඟුවකි. මිනිසා යනු, ස්වභාවයෙන් ම සාමුහික තත්ත්වයෙකි. එහෙත් මෙම තත්ත්වය තුළ සිදුවෙන්නේ, තාරුණ්‍ය තුළ පවතින බුද්ධිමත් බව, තීන්දු තීරණ ගැනීමට ඇති හැකියාව, තමා තුළ දේශපාලනික වශයෙන් ඇති සවිඥානිකත්වය අහිමි වී යාමකි. එවැනි තත්ත්වයක් තුළ තාරුණ්‍යය නිදහස් ඡන්දදායකයෙකුට වඩා යම් ආකාරයක පවතින ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමට අවැසි යටත්වැසියෙකු බවට පත්ව ඇත. එනම් යම් ආකාරයක රොබෝ චරිතයක්  බවට  පත්කර  ඇත. එවන්  තත්ත්වයක් තුළ ඡන්ද අපේක්ෂකයා ඡන්දය ඉල්ලන්නේ, මෙම සමාජය විසින් දේශපාලනික වුවමනාවන් මත කාලාන්තරයක් තිස්සේ නිර්මාණය කරන ලද මෙම රොබෝ පිරිසගෙනි. ඔවුන්ට සිය බලය අඛණ්ඩව පවත්වා ගත හැකි වෙන්නේ එවිට ය.

එමෙන් ම මෙම තත්ත්වයට බලපාන අනෙක් කරුණ වන්නේ, සමාජය තුළ ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රමයෙන් නැති වී යාම ය. පසුගිය කාලය තුළ විශාල මූල්‍ය ප්‍රාග්ධනයන් තුළින් ජනතා පරමාධිපත්‍ය බලය මුළුමනින්ම විනාශ කර දමනු පැහැදිලිව දැකිය හැකි විය. ජනතාව විසින් තෝරා පත් කර යවන පිරිස් ජාතික තලය තුළ රුපියල් කෝටි ගණනට විවිධ පැතිවලට විකිණෙනු ඒ ජනතාවට ම බලා සිටින්නට සිදු විය. එවන් තත්ත්වයක් තුළ තවදුරටත් ජනතා පරමාධිපත්‍යයක් තිබිය හැකිද යන ගැටලුව මතුවේ. ඒ වෙනුවට දැන් පවතින්නේ  මූල්‍ය පරමාධිපත්‍ය බලයකි. ඒ අනුව සිදුවෙන්නේ ජනතාව යන අර්ධ රොබෝලා භාවිත කරමින් ඔවුන්ගේ බලය හමුවේ ව්‍යවස්ථාදායක සභාවට පත්වී, මූල්‍ය පරමාධිපත්‍ය අනුව එක් එක් පැතිවලට හුවමාරු වීමයි. එය තරුණ පිරිසට පමණක් නොව සමස්ත සමාජයටම බලපාන ප්‍රබල ගැටලුවකි. ඉන් තරුණ පිරිස සුවිශේෂීය. නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ ස්වරූපය පසුගිය කාලයේදී පවා ඉතා හොඳින් දැක ගත හැකි විය.

එබැවින් මෙම තත්ත්වය තුළ පළමු වතාවට සිය ඡන්ද අයිතිය භාවිත කරන තරුණ පිරිස මේ කෙරෙහි වඩාත් සවිඥානික විය යුතුව ඇත. ජනතාව සතු බලය ඔවුන්ගෙන් ඉවත් කරගෙන ඇති බව මෙම තරුණ පිරිස වටහා ගත යුතුව ඇත. එබැවින් අනාගත පාර්ලිමේන්තු නියෝජිතයන් ලෙස පත් කර ගත යුත්තේ, තමන්ට භෞතික වශයෙන් එක් එක් දේ ලබා දෙන පුද්ගලයා ද, එසේත් නැත්නම් ජාතික හා ගෝලීය වශයෙන් පවතින තම අවශ්‍යතා නිසි ලෙස තෝරා ගන්නා  පුද්ගලයා ද  යන්න සම්බන්ධයෙන් මෙම තරුණ පිරිස වඩාත් සවිඥානිකව කල්පනා කළ යුතුව ඇත.

සාකච්ඡා ක‍ලේ :  ගයාත්‍රි ගීගනආරච්චි

  1. රට බෙදෙන බව කියන ඔරුමිත්තනාඩුව සොයා ගියෙමු
  2. කොටුගොඩ මහනාහිමි ඉල්ලන සෙනට් සභාව
  3. නුදුටු ව්‍යවස්ථාවකට චෝදනා එල්ල කිරීම සාධාරණද? - මහාචාර්ය කේ.එන්. ඕ. සොයිසා
  4. ලෝක උරුම සිංහරාජය වනසමින් මාර්ග 02ක් ඉදිකෙරේ
  5. අපනයන නැංවීමෙන් රුපියල ශක්තිමත් කළ හැකිය
  6. සේනා මඩින්න ඩ්‍රෝන
  7. අයවැයෙන් වාර්තාගත සහන ලබාදිය නොහැක
  8. ඉතිහාසයෙන් අත්දැකීම් නැති ආර්ථිකයක් සමග නව වසරකට පා තැබීම
  9. රට කියන තරම් අගාධයකට වැටී නැත
  10. විදේශ මුදල් අලූතින් සොයා ගැනීමේ වගකීම
  11. විශ්වාසභංග යෝජනා නීතියට අනුව සම්මත වී නැහැ - නිතිඥ කණිෂ්ක විතාරණ
  12. දේශපාලන වියවුලෙන් ආර්ථිකයත් අවුලෙන් අවුලට
  13. දේශපාලන අර්බුදයක් වී පුපුරා ගියේ ආර්ථිකයේ දූෂණ සහ අක්‍රමිකතා
  14. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට එකඟයි - නීතිිඥ කණිෂ්ක විතාරණ
  15. ගෙදර ගැටුම් තිබියදී ණය දෙන්නේ කවුද?
  16. අලූත් ආණ්ඩුව හමුවේ ඇති ආර්ථික අර්බුද
  17. ආණ්ඩු පෙරළියේ පසුබිම් කතාව

Page 1 of 18

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.