lakbima.lk

පාර්ලිමේන්තුව එළඹෙන 16 දාට පෙර රැස් කරනවාද නැද්ද යන්න පිළිබඳව සිය අවසන් තීරණය අද (01) දිනයේ දැනුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කථානායක කරු ජයසූරිය මහතා වෙත ඊයේ (31) පස්වරුවේ දැනුම් දුන් බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේය.

කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඊයේ (31) පස්වරුවේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

මෙම සාකච්ඡාව පුරා පැයකුත් විනාඩි විස්සක් පවත්වා තිබේ.

මෙහිදී කථානායකවරයා විසින් ඉදිරිපත් කළ සියලු කරුණු  පිළිබඳව ජනාධිපතිවරයා සාවධානව ඇහුම්කන් දුන් බවත් එහිදී කථානායකවරයා පාර්ලිමේන්තුව එළඹෙන සඳුදා හෝ අඟහරුවාදා හෝ  පවත්වන්න හැකිදැයි ජනාධිපතිවරයාගෙන් විමසූ බවත් කථානායක මාධ්‍ය ‍ලේකම් චමින්ද ගමගේ මහතා පැවැසීය.

කථානායකවරයාගේ එම ඉල්ලීම පිළිබඳ ජනාධිපතිවරයා නිශ්චිත එකඟතාවක් පළකර නොමැති අතර සිය තීන්දුව තවදුරටත් සලකා බලා අද (01) දිනයේ දැනුම් දෙන බව පැවැසුව බවද ගමගේ මහතා සඳහන් කළේය.

ඒ අතරම නව පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී නව අගමැතිවරයාට අවශ්‍ය පහසුකම් සියල්ල සම්පූර්ණ කරන ලෙසද ජනාධිපතිවරයා කථානායකවරයාට දැනුම් දී තිබේ. ඒ සඳහා එකඟතාව පළකර ඇති කථානායකවරයා සියලු දෙනාගේම ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන බවට ජනාධිපතිවරයාට ‍පොරොන්දු වී තිබේ.

පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.