lakbima.lk

මධ්‍යම කඳුකරයේ ජලාශ වල ජල මට්ටම පහළට : විදුලිය නිෂ්පාදනයටත් බලපෑම්

 

කඩින් කඩ වැසි ලැබුණ ද සමස්තයක් වශයෙන් දිවයින පුරා පවතින වියළි කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම් මේ වන විටත් පවතිනුයේ බෙහෙවින් පහළ තත්ත්වයකය.

ඉකුත්දිනවල ඉහළ කොත්මලේ ඇතුලුව ජලධාර ප්‍රදේශවලට වැසි ලැබුණත් වික්ටෝරියා, පොල්ගොල්ල, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවලට මේ දක්වා වැසි ලැබි නොමැත.

මහවැලි ජලාශ පද්ධතියට අයත් කොත්මලේ ජලාශය ඝන මීටර් මිලියන 75.9ක ධාරිතාවකින් යුක්ත වන අතර මේ වන විට එහි පවතින සක්‍රීය ජල ධාරිතාව ඝන මීටර් මිලියන 53.7කි. වික්ටෝරියා ජලාශයේ වත්මන් සක්‍රීය ජල ධාරිතාව  එහි සමස්ථ ධාරිතාවෙන් 17.6% දක්වා පහත බැස ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දත්ත සදහන් කරයි.

රන්ටැඹේ ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සිය සමස්ථ ජල ධාරිතාවයෙන් සියයට 30.8 දක්වා අඩු වී ඇති අතර රන්දෙණිගල ජලාශයේ මේ වන විට පවතින ජල ධාරිතාව සියයට 61.2කි.

වර්ෂාපතනය අවම වීම හේතුවෙන් දිනකට මෙගාවොට් 225ක ජල විදුලි බලයක් උත්පාදනය කරන වික්ටෝරියා ජලාශය මේ වන විට දිනකට මෙගා වොට් විසිපහක පමණ සීමාවකට පැමිණ ඇතැයි එම ජලාශයේ කාර්යයභාර ඉංජිනේරු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ වසන්ත ඇහැළපිය මහතා ප්‍රකාශ කළේය.

දිවයිනේ නිරිතදිග අර්ධභාගයට ඉකුත් මාර්තු අප්‍රේල් යන මාසවලදී ප්‍රමාණවත් වැසි නොලැබුණු බවත් එම ප්‍රදේශවලට ලැබුණේ ලැබිය යුතු වාර්ෂාපතනයෙන් සියයට පනහකටක් අඩු වර්ෂාවක් යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාලගුණ විද්‍යාඥ ආචාර්ය රංජිත් පුණ්‍යවර්ධන මහතා සදහන් කළේය.

එමෙන්ම වියළි සහ අතරමැදි කලාපවලට සියයට පහක්වත් වැසි නොලැබීම ද නිරිතදිග මෝසම මේ වන විට සක්‍රීය විය යුතු වුවත් එය මේ දක්වා අපේක්ෂික අයුරින් ඉටු නොවීම මේ තත්ත්වයට හේතුවී ඇතැයි ඒ මහතා කීවේය.

කොත්මලේ ජලාශයට මේ වන විට ප්‍රමාණවත් වැසි නොලැබීම නිසා එහි ජල ධාරිතාව අඩු බවත් මේ හේතුවෙන් මහවැලි එච්. කලාපයට ද උග්‍ර ජල හිඟයකට ඉදිරියේදී මුහුණදීමට සිදුව ඇතැයි ද කාලගුණ විද්‍යාඥ රංජිත් පුණ්‍යවර්ධන මහතා ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.