lakbima.lk

ගෝඨාට ප්‍රශ්නයක් නෑ

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ බව පවසමින් ඔහුගේ දියණිය  විසින්, හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කිරීම මගින්, සිය ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ගැනීම සඳහා ඔහු කර ඇති ඉල්ලීම ප්‍රතික්‍ෂේපවීමට  සෘජු  බලපෑමක් එල්ල නොවෙනු ඇතැයි, කොළඹ විශ්ව විද්‍යාලයීය නීති පීඨයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීතිඥ මේනක හරන්කහ ලක්බිමට පැවැසීය.

මෙවැනි නඩුකරයක් පැවරී තිබෙන අවස්ථාවක පුරවැසිභාවය ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අදාළ නඩුවේ හරය හෝ පදනම කුමක්ද යන්න පිළිබඳවත්, එය මෙම අහෝසි කිරීමට සම්බන්ධයක් ඇත්දැයි යන්න පිළිබඳවත් සලකා බැලීමට ඉඩ තිබෙන අතර ඒ අනුව ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ කටයුතු නිසිකාලය තුළ  අවසන් කිරීම ප්‍රමාද වීමට  මෙමගින් යම්   වක්‍ර බලපෑමක්  එල්ල වීමට ඉඩ ප්‍රස්ථාව ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

එහෙත් යම් පුද්ගලයකුට එරට පුරවැසිභාවය දැරීමේ අයිතිය මෙන්ම ඉන් ඉවත් වීමට ද ඇති අයිතිය මිනිසා සතු මූලික අයිතිවාසිකමක් බව එරට නීතිය මගින් පිළිගන්නා බැවින් යම් යම් දේශපාලනික කාරණා එරට රාජ්‍ය  දෙපාර්තමේන්තුව  විසින්  සැලකිල්ලට නොගනු ඇතැයි සිතිය හැකි බව ද නීතිඥවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, නඩුකරය පවත්වාගෙන යන අතරතුරදී හිටපු ආරක්ෂක ‍ලේකම්වරයාගේ පුරවැසිභාවය අහෝසි කළද, අදාළ නඩුකරයට පෙනී සිටීමට මෙන් ම ඉන් ලැබෙන තීන්දු තීරණ පිළිගැනීමට ද එරට නීතිය අනුව ඔහු බැඳී සිටින බවත්, නීතිඥ මේනක හරන්කහ  පැවැසීය.

ගයාත්‍රි ගීගනආරච්චි 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.