lakbima.lk

ආණ්ඩුවේ හොරු අල්ලන කොමිසම වැඩට බසී

ඉකුත් වසර තුනේ රාජ්‍ය ආයතනවල සිදුව ඇති දූෂණ, වංචා, පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති කොමිසම, පැමිණිලි භාර ගැනීමේ කටයුතු දැන් ආරම්භ කර තිබේ.ඒ අනුව ඉකුත් 2015 ජනවාරි 14 වැනි දින සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩකිරීම, දේපළ සාපරාධී පරිහරණය, රැවටීම සහ බලය හෝ අධිකාරය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම හෝ අවභාවිතයට එරෙහි බරපතළ චෝදනා පිළිබඳව මහජන පැමිණිලි,  තොරතුරු සහ සෙසු  කරුණු  කැඳවීම සහ ඒවා කඩිනම්  අපක්ෂපාතී,  පුළුල් විමර්ශනයකට ලක්කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යය වේ.

එවැනි වැරදි සම්බන්ධයෙන් නීති ප්‍රකාරව වගකිව යුතුව සිටි හෝ වගකිව යුතු වන පුද්ගලයන් හඳුනා ගැනීම සහ සාක්ෂි එක් රැස් කිරීමද මෙම කොමිෂන් සභාව හරහා සිදු වේ.

අදාළ පැමිණිලි සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවෙන්, ලබන මස 7 දිනට පෙර ‍ලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව, කාමර අංක 210, බ්ලොක් 02,  දවෛනි  මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට යොමු කළ හැකිය. එවැනි පැමිණිලි හෝ තොරතුරු ඉදිරිපත් කරන අයගේ නම, ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය සියලුම ඉදිරිපත් කිරීම්වල සඳහන් විය යුතු අතර, සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති නම්, එසේ කිරීමටද ඉල්ලා සිටිය හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කොමිෂන් සභාව වෙත වාචිකව කරුණු ඉදිරිපත් කිරීමට කැමැති ආයතන හෝ පුද්ගලයන් වෙතොත්, ඒ සඳහා  0112665382 අංකයට අමතා, ලබන මස 7 දින හෝ ඊට පෙර දිනයක් නියම කරගත හැකි වේ.

කොමිසමේ පළමු අතුරු වාර්තාව මාස තුනක් ඇතුළතත්, නිගමනයන් හා නිර්දේශයන් ඇතුළත් අවසන් වාර්තාව මාස හයක් ඇතුළතත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ගයාත්‍රි ගීගනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.