lakbima.lk

යල කන්නයේ අස්වනු නෙලීම ඇරඹේ

යල කන්නයේ නැඟෙනහිර පළාතේ අස්වනු නෙළීමේ මංගල්‍යය කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව වාහනේරි ව්‍යාපෘතියෙන් අද ආරම්භ කෙරිණි.


වාහනේරි ව්‍යාපාරය යටතේ මෙවර කුඹුරු අක්කර අටදාස් පන්සියයක් පැසී ඇත.වට්ටිපොට්ටමඩු කුඹුරු යායෙහි වී අස්වැන්න නෙලීමෙන් අනතුරුව සෙම්පයාඩි කෝවිලට ප්‍රථම අස්වැන්න පූජා කිරීමේ වත් පිළිවෙත ද මෙම අවස්ථාවේ සිදු විය.

එහිදී පැමිණ සිටි ගොවීන් ඇමතු කෘෂිකර්ම අමාත්‍යවරයා,

අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කිව්වා මට මඩකලපුවේ ගොයම් කපන්න එන්න කියලා. ඒ නිසා මට ලෑස්ති වෙලා ආවේ ලියද්දක විතර ගොයම් කපන්න. ගොයම් කපන්න විතරක් නෙවෙයි කුඹුරේ කරන ඕන වැඩක් කරන්න මට පුළුවන්. තාත්තා ගොවියෙක් නිසා මං මේ හැමදේම පුරුදුවෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමන්ලා විදින ගැහැට ගැන මට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කෘෂිකර්ම ඇමතිවරයා හැටියට මං වැඩ භාරගෙන ටික කාලයයි. ඉදිරියේදී වී මිල වැඩි කරනවා. අවුරුදු 4කින් වී මිල වැඩිවෙලා නැහැ.

ඒ වුණාට අනිත් හැමදෙයකම මිල වැඩිවුණා. ඒ නිසා ඔබතුමන්ලාට අසාධාරණයක් වුණා. ඊට සාධාරණය ඉටු කරන්න අපි ලබන කන්නයේ ඉඳන් වී මිල වැඩි කරනවා.
මෙතන කුඹුරු අක්කර 8000ක් විතර තියෙනවා. එතකොට වී ටික ගබඩා කරගන්න තැනක් නැහැ. මෙතන තියෙන පරණ අබලන් ගබඩාව වෙනුවට නව ගබඩාවක් හදලා දෙන්න අපි කටයුතු කරනවා. මෙවැනි ව්‍යාපෘතියක පාරවල් සහ ඇළවේලී හදන්න වෙනම ව්‍යාපෘතියක් සකස් කරන්න ඕන. ඒක මේ අමාත්‍යාංශයෙන් දෙන පොඩි මුදලකින් කරන්න බැහැ. අපේ කථානායකතුමා දැනටමත් ප්‍රංශ සහ ජර්මන් රජය සමඟ සාකච්ඡා කරලා තියෙනවා. ලංකාවේ තියෙන මහා වාරිමාර්ග ප්‍රතිසංස්කරණය කරන්න, වෙනම ව්‍යාපෘතියක් සකස් කරන්න කියලා. අපි හිතනවා  ලබන අවුරුද්දේ ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා.


එහෙම වුණොත් මඩකලපුවෙන් අපි ඉස්සෙල්ලම තෝරගන්නේ මේ ව්‍යාපෘතිය. ඒ වගේම අපේ හිටපු අමාත්‍ය මුරලිදරන් මැතිතුමා කිව්වා, මියන්කල්ලන්කුලම් කිතුල්වැව ඌරනියාව වැව එකතුකරලා වැඩ පටගන්න කියලා. ලබන අවුරුද්දේ ඒ වැඩකටයුත්ත පටන් ගන්නවා. ඒ වගේම රාජ්‍ය අමාත්‍ය අමීර් අලි මැතිතුමා මෙතනට ආවේ නැතත් එතුමාගේ ලොකු ඉල්ලීමක් තියෙනවා විල්ලමඩු ව්‍යාපෘතිය සකස් කරලා දෙන්න කියලා.

අපි ඒ සම්බන්ධයෙනුත් ප්‍රමුඛත්වය දීලා කටයුතු කරනවා. තුරෙයිරාජ් මගේ සහෝදර මන්ත්‍රීතුමා එතුමයි, මමයි 1994 ත් පාර්ලිමේන්තුවේ එකට හිටියා. එතුමා යෝජනා ක්‍රම කිහිපයක් සමඟ මාව මුණගැහෙන්න ආවා. ඒවා දැනට යෝජනා හැටියට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට භාරදීලා තියෙනවා. අපේ සිරිදරන් මන්ත්‍රීතුමා කිව්වා, ධීවර අමාත්‍යාංශය මගේ යටතේ තියෙන නිසා මිරිදිය ධීවර කර්මාන්තයට බෝට්ටු කිහිපයක් ලබාදෙන්න කියලා.

ඒ වගේම ඒ වැවට අවශ්‍ය මාළු පැටව් ධීවර ආම්පන්නත්, දැල් ඇතුළු අනෙකුත් ආම්පන්නත් අපි ලබාදෙන්න කටයුතු කරනවා. මඩකලපුව ප්‍රදේශයේ අපි කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහනක් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. අපි ලක්ෂ 300ක් දීලා පත්තිරිප්පුව ආසනයේ ආර්ථික මධ්‍යස්ථානයක් හදලා තියෙනවා. ඒක විවෘත කළාට පස්සේ මේ අයගේ එළවළු පලතුරු ටික එතනදී මිලදී ගන්න පුළුවන්. කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ මිරිස් වගාවත්, පදම්කළ පිපිඤ්ඤා වගාවත් මඩකලපුව දිස්ත්‍රික්කයේ පටන් අරගෙන තියෙනවා.

මේ වගාවෙන් එක ගොවියෙකුට ලක්ෂ 2ක් විතර ගන්න පුළුවන්. එක වතාවකට ඒ ගොවීන් ප්‍රමාණය වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 3 සිට ලක්ෂ 5 දක්වා ගොවීන්ට උපකරණ ලබාදෙනවා. වතුර මැෂින්, බට ආදිය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් අපේ අමාත්‍යාංශය යටතේ තියෙන නිසා, මම බලාපොරොත්තු වෙනවා එන අවුරුද්දේ මඩකලපුව දිස්ත්‍රික්යේ වැව් ප්‍රතිසංස්කරණය කරලා දෙන්න.කෘෂි මාර්ගත් හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ්‍

ඔබතුමන්ලා අවුරුදු 30ක් යුද්ධයෙන් බැට කෑවා. දේපල නැතිවුණා, ආදායම් මාර්ග නැති වුණා. ඒ නිසා අපි ඔබලාට උදව් කළ යුතුයි. අපේ TNA මන්ත්‍රීවරු පෞද්ගලිකව අපෙන් කිසිදෙයක් ඉල්ලා නැහැ. දිස්ත්‍රික්කය සංවර්ධනය කරන්න ජනතාවට උදව් කරන්න තමයි ඉල්ලන්නේ. ඒ නිසා සියලුදෙනා එක්ව ඔබතුමන්ලාට ඉදිරියටත් උදව් කරන්න පොරොන්දු වෙනවා.

මෙම අවස්ථාවට දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ශ්‍රී. නේෂන්,පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගේෂ්වරන්,හිටපු නැගෙනහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය තුරෙයි රාජසිංහම් ඒ මහතා සමඟ හිටපු අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් සහ ඔට්ටමාවඩි ප්‍රදේශයෙහි ප්‍රාදේශීය සභාවේ සභාපති එල්. එල්. අස්මි මහතා මෙන්ම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් මෝහන් රාජා මහතා ඇතුළු නිළධාරීන් වාහනේරි ව්‍යාපෘතිය යටතේ වගා කරන ගොවීන් රැසක් ද එක්ව සිටියහ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.