lakbima.lk

නුවරඑළිය කෘෂි කෞතුකාගාරය ජනතා අයිතියට



දේශීය හා හා විදේශීය සංචාරකයන් වෙනුවෙන් සීතාඑළිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපලෙහි කෘෂි උද්‍යානය හා කෞතුකාගාරය ජනතා අයිතියට පත් කිරීම කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. එම අවස්ථාවට සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ද එක් විය.


මීට සමගාමීව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් සංචාරක නිවස විවෘත කිරීමට කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු විය .

එහිදී පී.හැරිසන් අමාත්‍යතුමා මෙසේ අදහස් දැක්වීය. -විශේෂයෙන් අපි සතුටු වෙනවා අද අපේ ආරාධනය පරිදි මෙම අවස්ථාවට සහභාගී වුණු සංචාරක අමාත්‍ය ජොන් අමරතුංග මැතිතුමාට. එතුමා මීට කලිනුත් සංචාරක ව්‍යාපාරය වගේම කෘෂිකර්මාන්තය වෙනුවෙන් අපිට මේ ඉදිකරලා තිබුණු සංචාරක නිවාසය වගේම එය නවීකරණය කිරීමටත් සංචාරක අමාත්‍යාංශයෙන් මුදල් ලබාදීලා තියෙනවා.
 

ඒ වගේම අපි එතුමාගෙන් ඉල්ලීමක් කළා. මේ සඳතැන්න උඩට යන සංචාරකයෝ ප්‍රවාහනය සඳහා වාහන 21ක් ලියාපදිංචි වෙලා තියෙනවා දැනට. එක වාහනයකින් රු. 2000ක් අය කරනවා. සාමාන්‍යයෙන් සංචාරක සමයේදී දේශීය විදේශීය සංචාරකයෝ 4000ක් 5000ක් පමණ එනවා. අත්‍යවශ්‍ය මාර්ගය ඉදි කිරීම වගේම ඒ අයගේ අනෙකුත් පහසුකම් වෙනුවෙන් කටයුතු සැලැස්වුවහොත් සංචාරක කර්මාන්තයටත් යහපතක් වෙනවා. අපේ කෘෂිකර්මාන්තය විදේශිකයන්ටත් බලාගන්න පුළුවන්.

දැන් මේ තියෙන කෘෂිකාර්මික කෞතුකාගාරය තුළින් දූ දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් අත්දැකීමක් ලබා ගන්න පුළුවන් තැනක්. ඒ ගැනත් අපිට සතුටු වෙන්න පුළුවන්. කෘෂිකර්මාන්තය වෙනුවෙන් සඳතැන්න ගොවිපලට ලොකු වගකීමක් තියෙනවා. රටේ බීජ නිෂ්පාදනයට අවශ්‍ය බීජ ලබාදීම. එක පැත්තකින් අපි කෘෂිකාර්මික රටක් විදිහට පසුතැවිලි වෙනවා අනන්තවත්.අපිට තවම අපේ රටට අවශ්‍ය මිරිස්, ලුණු, අල, මුං ඇට, කව්පි ටික හදා ගන්න බැරි වෙලා තියෙනවා. අපේ රටේ වැවෙන බෝග ටික අපිට තවම නිෂ්පාදනය කරගන්න බැරි වෙලා තියෙනවා.

කෘෂිකර්මාන්තය ගත්තහම සෘජු හා වක්‍ර විදිහට කෘෂිකර්මාන්තයට නිලධාරීන් ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. ඒ වගේම රජයක් හැටියට බිලියන 200ක් පමණ කෘෂිකර්මාන්තයට වියදම් කරනවා.  මාසික වේතන සමඟ පොහොර සහනාධාරය ගත්තහම බිලියන 200කට වැඩියි. අපිට ලොකු වගකීමක් තියෙනවා විෂයභාර ඇමතිවරයා හැටියට මටත්, ලේකම්තුමා, නිලධාරීන් වගේම කෘෂිකර්මාන්තයේ නියැලිලා ඉන්න ඔබ සැමට. කවදාද අපි ස්වයංපෝෂිත රටක් හැටියට ගොඩ නැගෙන්නේ. එහෙනම් අපි දීර්ඝකාලීන වැඩපිළිවෙලකට යා යුතු වෙනවා. රටේ අල නිෂ්පාදනය දළ වශයෙන් මෙට්‍රික් ටොන් 2,50,00ක් පමණ අවශ්‍ය වෙනවා. නමුත් රටේ නිෂ්පාදනය වෙන්නේ මෙට්‍රික් ටොන් 80,000යි. අපිට මේ ගැන අලුතින් හිතන්න වෙනවා. 

 

හැමදාම නුවරඑළියේ අල ගැන විතරක් හිතලා බැහැ. වැලිමඩ අලවලින් විතරක් යැපිලා බැහැ. යාපනේ අල වැවීම ගැන සිතිය යුතුය. ඒ වගේම පුත්තලම දිස්ත්‍රික්කයේ අල වගාවට තියෙන හැකියාව සොයා බැලිය යුතුයි. ඒ වගේම ලංකාවේ වෙනත් පළාත්වල අල වගාවට තියෙන හැකියාව සොයා බැලිය යුතුය. ඒ වාගේම ලංකාවේ වෙනත් පළාත්වල අල වගාවට තියෙන හැකියාව සොයා බලන්න ඕනෑ. එහෙම වුණොත් අනාගතයේදී අපිට අවශ්‍ය අල ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න පුළුවන්. එහෙම නැත්තම් අපි හැමදාම ඉන්දියාවේ, පකිස්ථානයේ අල ගොවියා පෝෂණය කරනවා. ඕස්ට්‍රේලියාවෙන් මුං ඇට, කව්පි ටික ගේනවා. ඒ නිසා දීර්ඝකාලීන විසඳුමක් මේ සඳහා අවශ්‍යයි. මේක රජයකට පමණක් කරන්න බැහැ. පුද්ගලික අංශය මේ වෙනුවෙන් උනන්දු කළ යුතුයි.

දැන් අපේ රටේ කුකුල් මස් නිෂ්පාදනය වෙනුවෙන් පුද්ගලික අංශය අත ගහපු නිසා අපි ස්වයංපෝෂිත වෙලා තියෙනවා. බිත්තර නිෂ්පාදනයට පුද්ගලික අංශය උනන්දු කරවපු නිසා එයින් ස්වයංපෝෂිත වෙලා තියෙනවා.

කෘෂිකර්මාන්තයටත් අපි හොඳ මිලක් දෙන්න ඕනෑ. අපිට වෙලා තියෙන්නේ හැමදාම අල ගලවන කාලෙට ආනයනික බදු පනවනවා. එතකොට ආනයනකරුවෝ ඇති තරම් අල ගෙනල්ලා ගබඩා කරගන්නවා. ලුණු ගලවන කාලයට ආනයනික බදු පනවනවා. එතකොට ආනයනකරුවෝ ලුණු ගෙනැල්ලා තියෙනවා. මෙහෙම වුණාම ගොවියෝ අධෛර්යමත් වෙනවා. ලූණු අගොස්තු මාසයේ ගැලවෙන නිසා ඊට මාස 03කට කලින් ආනයනික බදු පනවනවා. එතකොට ආනයනකරුවන්ට කලින් ගෙන්නලා ගබඩා කරන්න බැහැ. ලූණුවලට ආනයනික බදු රු. 20ක් වැඩි කරලා තියෙනවා. අල විකුණන්න පුළුවන් අවම මිල රු. 80 කිරීම තමයි අපේ බලාපොරොත්තුව. එතකොට එතනින් පහළට යන්න විදිහක් නැහැ. රු.80න් උඩට ගියාට කමක් නැහැ. අපි පාරිභෝගිකයා වගේම ගොවියා ආරක්ෂා කරන ක්‍රමවේදයක් හදනවා. ශීතාගාරවල බීජ අල ගබඩාකිරීමෙන් නාස්තිය අඩු කරන්න. ඒ නිසයි රජය විශාල මුදලක් වැය කරලා ශීතාගාර පහසුකම් ලබාදෙන්නේ.

අපි දැන් ශාඛාගාර තුළ බීජ අල වගා කරන ක්‍රමවේදය අනුගමනය කරලා තියෙනවා. පොළොවේ වගා කරනවට වැඩිය හොඳ බීජ ලබාගන්න පුළුවන්. අනික් එක රටට අවශ්‍ය බීජ සියල්ලට සපයන්න පුළුවන්. අල ගොවියා ආරක්ෂා කරනවා වගේම පාරිභෝගිකයාටත් හිඟයකින් තොරව ලබාදීමට අපේ අමාත්‍යාංශයේ අරමුණ.

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්ක 06 ක පමණ මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ වගේම බීජ  ගොවිපල නවීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. කෘෂි නවීකරණ වැඩසටහන මඟින්  යූරෝ මිලියන 25ක පමණ මුදලක් ලබාදෙන්න අපේ ලේකම්තුමා සමඟ සාකච්ඡා කරලා එකඟ වෙලා තියෙනවා. එවිට හැකියි බීජ ගොවිපලවල ගොඩනැඟිලි අලුත්වැඩියා කරන්න. මානව සම්පත වැඩි කරන්න. රටේ සෑම ගොවිපලකම කොන්ත්‍රාත් පදනම යටතේ කම්කරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. අපි කැබිනට් පත්‍රිකාවක් දාලා ඒ අයව ස්ථීර කරන්න බලනවා. අවුරුදු ගාණක් වැය කරපු අය නිකන්ම එළියට දාන්න අපි සූදනම් නෑ.

ඒ නිසා මං සැමගෙන් ඉල්ලනවා කරන කාර්යභාරය අවංකව කරන්න. මේක තමන්ගේ ආයතනය කියලා හිතලා වැඩ කරන්න. ඉඩම් වැඩිවෙන්නේ නෑ.  නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට යොදා ගත යුතුයි. වැඩි ආදායමක් ලැබෙන බීජ වර්ග ගැන සිතිය යුතුයි. ලෝකය සමඟ එකතුවෙලා කෘෂිකර්මාන්තය දියුණු කළ යුතුයි.

පසු අස්වනු හානිය වළක්වා ගන්න අපි කටයුතු කළ යුතුයි. පසු අස්වනු හානිය 35% - 40% පමණ වෙනවා. ප්‍රවාහනයේ දී වනසතුන්ගෙන් හානි වෙනවා. පසු අස්වනු හානිය වගේම අපි කෑමට ගන්නකොට කොයිතරම් අපතේ යනවද කියන දේ හිතන්න අවශ්‍ය කෑම අපතේ දැමීම අතින් අපේ රට ඉහළ තැනක ඉන්නවා.

ඩුබායි, කටාර් වගේ රටවල මහා වැලි කාන්තාර වල මිනිස්සු අලුතින් ගොවිතැන් කරන්න උත්සාහය අපිට පේනවා. ඊශ්‍රායලය වගේ රටවල මුහුදු වතුර පිරිසිදු කරලා ගොවිතැන් කරනවා.

අපිට අඩුම තරමේ මාස තුනකට වරක් වර්ෂාව ලැබෙනවා. මේ රටේ ඕනෑම තැනක ඕනෑම බෝගයක් හදන්න පුළුවන්. අපි රටක් විදිහට කණගාටු විය යුතුයි. අපි තවත් කෘෂිකාර්මාන්තයේ ස්වයංපෝෂිත නොවීම ගැන. අතීතයට දොස් කියලා හරියන්නේ නැහැ. අනාගතයේ දී රටට අවශ්‍ය දේ අපිම නිපදවාගැනීම තමයි අපේ වගකීම. ඒ වගකීමට ඔබටත් මටත් අපි සියලුදෙනාටම පැවරිලා තියෙනවා. විෂයභාර ඇමතිවරයා වෙනුවෙන් මම කැපවීමෙන් කටයුතු කරන බවත් සිහිපත් කරන්න කැමති යැයි වැඩිදුරටත් සඳහන් කළේය.

දේශීය සහ විදේශීය සංචාරකයන් වෙනුවෙන් සදතැන්න කෘෂි සංචාරක මාර්ගය පුළුල් කොට සංවර්ධනය සඳහා මුල්ගල තැබීමත් අර්තාපල් බීජ සුරක්ෂිත ලෙස ගබඩා කිරීම සඳහා ඉදිකරන ලද ශීතාගාර සංකීර්ණය විවෘත කිරීම ද අර්තාපල් බීජ නිෂ්පාදනය කරනු ලබන ශාකාගාර සංකීර්ණය විවෘත කිරීම ද ගරු අමාත්‍ය වරයාගේ අතින් සිදුවිය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් කේ. ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා නුවරඑළිය නගර සභාවේ නගරාධිපති ඇතුළු නිලධාරීන් මෙන්ම ගොවීන් ද එක්ව සිටියහ.


 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.