lakbima.lk

 

දශක ගණනාවක් පුරා කලාව වෙනුවෙන් අනුපමේය සේවාවක් ඉටු කළ කලාකරුවකු වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගැන පසුගියදා අසන්නට ලැබුණේ තරමක් කනගාටුදායක ආරංචියක්. ඒ සතිස්චන්ද්‍ර සිය දූ දරුවන් සමග නිවාඩුවක් ගත කරන්නට ගිය අවස්ථාවක මංකොල්ල කෑමකට ලක්ව ඇති බවයි. ඔහුගේ පවු‍ලේ අයගේ ලක්ෂ ගණනක් වටිනා මුදල් හා රන් ආභරණ මෙහිදී සොරාගෙන තිබුණා. මේ වනවිටත් අදාළ සොරකම ගැන පරීක්ෂණ  පැවැත්වෙනවා. බොහෝ දෙනා කම්පාවට පත් කළ මේ සිද්ධිය ගැන වැඩිදුර තොරතුරු  විමසන්නට අපි සතිස්චන්ද්‍ර එදිරිසිංහට කතා කළා.

මොකක්ද මේ ඔබ මුහුණ දුන්නාය කියන අකරතැබ්බය?

මමයි බිරිඳයි අපේ පුතුන් දෙදෙනා හා දුවගේ පවුල්වල අය සමග විනෝද චාරිකාවක් ගියා. අපි ජනවාරි 17 වැනිදා බදුල්ලට ගිහින් ඉන්පසු ඇල්ලට ගිහින් ද ටෙන්ත්   “The tenth” කියන හෝටලයේ නතර වුණා. ඒ හෝටලයේදී තමයි මේ හොරකම සිදුවුණේ. දරුවන්ගේ කාමරවලින්  කවුරුන් හෝ මුදල් සහ වටිනා රන් ආභරණත් හොරාගෙන තිබුණා. මගේ කාමරයෙන් නම් කිසි දෙයක් අරගෙන නැහැ.

කොහොමද හොරකම සිදුවී තිබෙන්නේ

අපි 18 වැනිදා දවසෙම විවිධ තැන් නරඹලා 18 රාත්‍රියේ  නින්දට ගියා. 19 උදේ නැගිටිනකොට තමයි දන්නේ හොරකමක් සිදුවෙලා කියලා. 18 රෑ තමයි මේ දේ සිදුවෙලා තියෙන්නේ.

ඔබලා කාමරවල සිටිද්දී කොහොමද ඊට සොරුන් ඇතුළු වුණේ ....?

ඒක තමයි ප්‍රශ්නේ ,... කාමරවල ඒසී හරහා ක්ලෝරෆෝම් වැනි දෙයක් ඇතුළු කරලා අපිව නින්දට යවලා මේ දේ කළාද දන්නේ නැහැ. කාමර වහලා තිබුණ නිසා බැල්කනිය හරහා ජනේලයෙන් ඇතුළු වුණා වෙන්නත් පුළුවන්. මගේ කාමරේ ඒසී දාලා තිබුණේ නැහැ. එහි විදුලි බල්බයක් පත්තු වුණා. ඒ හින්ද වෙන්න ඇති සොරුන් මගේ කාමරේට ඇතුළු වුණේ නැත්තේ.

කාමරවල දොර ජනෙල් ඇතුළින් අගුලුත් දාලා තිබුණේ නැද්ද?

අගුලු දාලා තිබුණා. ඒත් බැල්කනිය දිගේ ඇවිත් ජනේලයෙන් ඇතුළුවෙන්න බැරි නැහැ. ලොකු පුතාගේ කාමරය උදේ බලද්දී ඇරලා. කාමරයට ඇතුළු වූ අය දොර ඇරගෙනයි පිටවෙලා තියෙන්නේ.

ඉන් පසුව ඔබලා මොකද කළේ?

අපි වහාම ‍පොලීසියට දැනුම් දුන්නා. ‍පොලීසිය ඒ මොහොතේම ආවා. මේ මොහොත වෙනවිටත් පරීක්ෂණ සිදුවෙනවා. මේ සිදුවීමේදී අපට දුන් සහයට ඇල්ල ‍පොලීසියට මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.

හොරුන් ගැන මේ වෙද්දී හෝඩුවාවක් ලැබිලද තියෙන්නෙ?

ඒකනේ ප්‍රශ්නේ.. තවම කිසිම හෝඩුවාවක් නැහැ.

හෝටල් කළමනාකාරිත්වය මේ ගැන මොකද කියන්නේ?

මම නම් මේ මොහොතේ සම්පූර්ණ චෝදනාව එල්ල කරන්නේ ඔවුන්ටයි. මොකද මේ ප්‍රශ්නයේදී ඇල්ල “ද ටෙන්ත්” හෝටලයේ හිමිකරු හා කළමනාකාරිත්වය හැසිරුණේ  කිසිදු වගකීමක් නැති විදිහටයි.

ඒ කිව්වේ?

හෝටලයේ හිමිකරු වෛද්‍යවරයෙක්. ඔහුවත් කළමනාකාරිවරියවත් අපි යන දවසේ හෝට‍ලේ හිටියේ නැහැ. මුළු හෝටලයේම හිටියේ සේවක තරුණයෝ දෙන්නෙක් විතරයි. මුරකරුවෙක්වත් හිටියේ නැහැ. සේවක තරුණයන්ට මේ ගැන කිව්වාම ඒ අය කියන්නේ “අපි දන්නේ නැහැ” කියලයි. මේ හෝටලයේ මීට පෙරත් විදෙස් ජාතිකයකුගේ මුදල් හොරකමක් සිදුවෙලා තියෙනවා. ඒ සිද්ධියේදී සිද්ධියට සැකකරලා තියෙන්නේ හෝටලයේම සේවය කළ තරුණයෙක්. ඔහුව රැකියාවෙන් ඉවත් කිරීම හැර වෙනත් කිසිදු දෙයක් සිදුවෙලා නැහැ.

කාලෙකට පස්සේ දූ දරුවෝ එක්ක විනෝද චාරිකාවක් ගිහින් ඒ සතුට විඳගන්න බැරිවීම ගැන මොකද හිතන්නේ?

ඒ ගැන මට දුකක් නැහැ. ඒත් ලොකු කලකිරීමක් නම් තියෙනවා.

ආරියවංශ කුලතිලක

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.