lakbima.lk

කලක පටන් රටේම කතාබහට ලක්වෙමින් තිබූ චිත්‍රපටයක් පෙරේදා (18) සිට දිවයින පුරා පිහිටි සිනමාහල් 80කදී පමණ ප්‍රදර්ශනය ආරම්භ වුණා. අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයක් වන ගින්නෙන් උපන් සීතල නම් වූ එම චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ චරිතය කේන්ද්‍ර කරගෙනයි. එහි ප්‍රධාන භූමිකාවක් වන රෝහණ විජේවීරගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීරගේ චරිතය නිරූපණය කරන සුලෝචනා වීරසිංහගේ රංගනය පිළිබඳව මේ වන විටත් බොහෝදෙනාගේ අවධානය යොමුවී පවතිනවා.

ගින්නෙන් උපන් සීතල තිරගත වෙද්දී ඔබට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

දැනට නම් මට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පැවැත්වුණු දවසෙත් හුඟක් අය මට කිව්වා චිත්‍රාංගනී විජේවීර කියන චරිතයට මම උපරිම සාධාරණයක් ඉටුකරලා තියෙනවා කියලා.

ඔබේ රංගනය මුලින්ම දැක්කාම ඔබට මොනවාද හිතුණේ?

මාධ්‍ය දර්ශනය පැවැති දවසේ තමයි මටත් මුලින්ම චිත්‍රපටය නරඹන්න ලැබුණේ. ඇත්තටම එදා චිත්‍රපටයේ පැය 2කට වැඩි දර්ශන කාලය ගතවෙනවාවත් මට හරියට දැනුණේ නැහැ. මොකද ඒ තරමට මම මගේ චරිතය එක්ක ඒ මුළු කාලය තුළම ජීවත්වෙන බවක් තමයි මට දැනුණේ. ඒ හැඟීම මා තුළ කොතරම් තදින් තිබුණද කියනවා නම් එදා ඒ දර්ශනය හමාරවෙලා සභාව මෙහෙයවපු නිලාර් එන්. කාසිම් චිත්‍රපටය ගැන මගෙන් අදහස් විමසද්දී හරියට උත්තර දීගන්න බැරි තත්ත්වයකට මම පත්වුණා.

එදා මාධ්‍ය දර්ශනයට රෝහණ විජේවීරගෙ පුත් උවිඳු විජේවීරත් පැමිණ සිටියා. චිත්‍රපටය නැරඹුවාට පස්සේ ඔහු සමග කතාබහ කරන්න ඔබට අවස්ථාවක් ලැබුණද?

ඔව්. උවිඳු චිත්‍රපටය වෙනුවෙන්ම තමයි රුසියාවේ ඉඳන් ලංකාවට ඇවිත් තිබුණේ. එදා චිත්‍රපටය නැරඹුවාට පස්සේ උවිඳු මුලින්ම මගේ ළඟට ඇවිත් ඇහුවේ මම චිත්‍රාංගනී විජේවීර මැතිනිය කියලම කතා කරන්නද කියලයි. මොකද මම රඟපෑවේ ඔහුගේ අම්මාගේ චරිතය. ඇය තවමත් ජීවතුන් අතර ඉන්නවා. ඉතින් ඔහු මට එහෙම කියද්දී මට වැටහුණා මම මා රඟපෑ චරිතයට සාධාරණයක් ඉටුකරලා තිබෙන බව. ඒ නිසයි මට එවැනි සහතිකයක් විජේවීරගේ පුතාගෙන් ලැබුණේ.

චිත්‍රපටයේ රඟපාන්න කලින් චිත්‍රාංගනී විජේවීර මහත්මියව මුණගැහෙන්න ඔබට අවස්ථාවක් ලැබුණාද?

නැහැ. අධ්‍යක්ෂවරයාගේ මාර්ගයෙන් මම උත්සාහ කළා ඇයව හමුවෙන්න. ඒ වෑයම සාර්ථක වුණේ නැහැ. අනුරුද්ධ අයියා මට ලබාදුන් තිරපිටපත මම විසිපාරක් විතර කියවන්න ඇති. ඒ වගේම චිත්‍රාංගනීගේ කට උත්තරය කියන ‍පොතත් මම කියෙව්වා. විජේවීර පවුල ඇසුරු කළ අයත් මුණ ගැසුණා. ඒ තුළින් මා අවබෝධ කරගත් චරිතය සහ අධ්‍යක්ෂවරයාගේ හිතේ තිබුණු චරිතය එක්කාසු කරලා තමයි මම අන්තිමේදී චිත්‍රාංගනී විජේවීරව ප්‍රතිනිර්මාණය කළේ.

මෙය ආන්දෝලනාත්මක කතා තේමාවක් සහිත චිත්‍රපටයක්. ඒ වගේම ඔබ නිරූපණය කරන චරිතය අදටත් ජීවතුන් අතර ඉන්නවා. ඉතින් මෙවැනි ආරාධනාවක් බාරගැනීම ගැන ඔබට දෙපාරක් හිතන්න වෙන්න ඇති නේද?

ඇත්තෙන්ම ඔව්. මේ චරිතය බාරගනිද්දීම මට එය විශාල අභියෝගයක් බවට පත්වුණා. ඒ වගේම බයකුත් තිබුණා. වෙන චරිතයක් රඟපාද්දීනම් අපිම තමයි අපිට අවශ්‍ය විදිහට චරිතය ගොඩනගන්නේ. නමුත් මෙතනදී මට එහෙම කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොකද ඇය අදටත් ජීවතුන් අතර ඉන්නවා. චිත්‍රාංගනී විජේවීර මහත්මියගේ තරුණ කාලයේ හැඩරුව මගේ පෙනුමට තරමක් සමාන වීමත් මේ චරිතයට මාව තෝරාගැනීමට හේතුවෙලා තිබෙනවා.

මේ චිත්‍රපටය ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයාගේ චරිතය වටායි කේන්ද්‍ර ගතවෙන්නේ. ඔහුගේ බිරිඳගේ චරිතය රඟපෑ ඔබගේ දේශපාලන මතය මොන වගේද?

මගේ මුල්ම ඡන්දය මම පාවිච්චි කළේ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන්. හැබැයි අද වෙද්දී මම කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින කලාකාරිනියක් ‍නෙවෙයි. දෙමාපියන්ගේ ආභාෂය නිසා හෝ කිසිම දේශපාලන පක්ෂයකට සීමා නොවී ඒ ඒ අවස්ථාවට ගැළපෙන ජනතා පෙරළියකට දායක විය යුතුයි කියන දේශපාලන මතයේ තමයි මම අද ඉන්නේ.

චිත්‍රපටයේ රඟපාද්දී මුහුණ දීපු අමතක නොවන සිදුවීමකුත් සිහිපත් කරමු නේද?

මම චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වෙද්දී මගේ දුව මෞලි ආර්යාට වයස මාස 7 ලැබුවා විතරයි. ඇය එක්ක තමයි මම රූගත කිරීම්වලට රට පුරා ගියේ. වතාවක් උලපනේ රූගත කිරීම් කරද්දී දර්ශන තලයට කිලෝමීටර් 10කට වැඩි දුරකින් පිහිටි හෝටලයකයි අපි නැවතිලා හිටියේ. මම මේ කියන දවසේ මගේ දර්ශනය ඉක්මනින් අවසන් වේවි කියලා හිතලා මම දුවව මගේ අම්මා එක්ක හෝටලයේම නවත්වලා ආවා. ඒත් නොහිතපු විදිහට මගේ රූගත කිරීම් හුඟාක් ප්‍රමාද වුණා. ටිකෙන් ටික කාලය ගතවෙද්දී දුව මතක්වෙලා මට ඇ¾ෙඩන්න ආවා. අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ, කැමරා ශිල්පි ධනුෂ්ක ගුණතිලක ඇතුළු පිරිසට මා පත්වෙලා ඉන්න අපහසුතාවය තේරිලා මාව ඉක්මනින්ම හෝටලයට පිටත් කරන්න කටයුතු යෙදුවා. රූගත කිරීම් ප්‍රමාද වීම ගැන නොසිතා අම්මා කෙනෙක් විදිහට මම පත්වෙලා හිටපු තත්ත්වයට මුල්තැන දීලා බොහොම මානුෂික විදිහට හිතලයි ඔවුන් ඒ තීරණය ගත්තේ. මම මගේ දුවටත් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා මේ චරිතය රඟපාද්දී ඇයගෙන් මට ලැබුණු සහයෝගය ගැන. මොකද චිත්‍රාංගනී විජේවීර කියන අම්මාගේ සිතුවිලි මොනවගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න මමත් ඒ වන විට අම්මා කෙනෙක් වෙලා සිටීම මට හුඟාක් වැදගත් වුණා.

කිෂාන් කනංකෙ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.