lakbima.lk

“ඔබට පිටරටින් වටිනා ත්‍යාග පාර්සලයක් ලැබි තිබෙනවා. එය ලබා ගැනීමට නම් මෙම ගිණුම් අංකයට පළමුව රුපියල් විසිපන්දහසක් බැර කරන්න මෙලෙස සඳහන් වන කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් ඔබටද නොයෙක් වර ලැබි තිබෙන්නට පුළුවන. නොඑසේනම් ඔබේ හිතවතුන්ට ලැබි තිබෙන්නට ඉඩ තිබේ. එමෙන්ම  විවිධ ආයතනවල නාමය සඳහන්ව ලිපි ලැබි තිබෙන්නට පුළුවන. අවම වශයෙන් මෙවැනි පණිවුඩවලට මුලාවී ලක්ෂ ගණන් මුදල් පමණක් නොව අහස උසට ගොඩනැගූ බලා‍පොරොත්තු බිඳගත් උදවිය පිළිබඳ මාධ්‍ය මගින් හෝ කියවා ඇත. මෙලෙස ලැබෙන පණිවුඩ ඇතැමුන් නොසලකා හරින අතර තවත් සමහරෙක් මෙම පණිවුඩ කෙරෙහි අවධානය යොමු කරනු ලබයි. එසේ අවධානය යොමු කරන පිරිස විසින් කෙසේ හෝ මේ නොදන්නා පිටරට තෑගි පාර්සලය හිමිකර ගැනීමට දක්වන්නේ බලවත් කැමැත්තකි. එහි කැමැත්ත නිසාම වැඩිදුර සොයා බැලීමකින් තොරව ලැබෙන උපදෙස් පරිදි මුදල් බැර කිරීම සිදුකරනු ලබයි. එමතු නොව එවැනි දේට විරුද්ධව කතා කරන හිතවතුන්ට දොස් කියයි. එහෙත් ලැබෙන පිටරට තෑගි පාර්සලයක් නැත. අවසානයේ මුදලුත් අහිමිකර ගන්නා මොවුන් සරණ පතා යන්නේ ‍පොලීසියටය. එසෙත් නැතිනම් ලැජ්ජාව නිසා රහසක් සේ තබා ගනියි. මේ වංචාව සඳහා බොහෝ විට ගොදුරු වන්නේ කාන්තාවන්ය.

දිනකට ‍පොලීසියට මෙවැනි වංචා කිරීමේ පැමිණිලි රැසක් ලැබෙන හෙයින් ශ්‍රී ලංකා ‍පොලීසිය මෙවැනි වංචනික ක්‍රියාකරන්නන් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන්නට විය. මෙකී ක්‍රියා සිදුකරනු ලබන්නේ මෙරටට සංචාරක හා ව්‍යාපාරික වීසා වලින් මෙරටට පැමිණ සිටින නයිජීරියානුවන් පිරිසක් බව අනාවරණය විය. නයිජීරියානුවන් ප්‍රමුඛ අප්‍රිකානු කලාපයේ සංචාරකයන් මෙරටට පැමිණීම කලකට පෙර එතරම් සුලබ නොවුණ මුත් වසර කිහිපයක සිට විශාල ලෙස ඔවුන් මෙරටදී දැකගත හැකි තත්ත්වයක් උදාවී ඇත. එලෙස පැමිණෙන නයිජීරියානුවන්ගේ මෙවැනි හැසිරීම් මෙරට ජාතික ආරක්ෂාවට පවා තර්ජනයක් වන තැනට පත්ව ඇත. ඊට අමතරව ඔවුන් නිසා දැඩි සෞඛ්‍ය තර්ජනයක්ද ඇතිවෙමින් තිබේ.

බටහිර අප්‍රිකාවේ පිහිටා තිබෙන නයිජීරියානු එක්සත් සමූහ ආණ්ඩුව කළු ජාතීන් බහුතරයක් ජීවත් වෙන එකම රට වේ. මෙය ජනපද 36කින් සමන්විතය. නයිජීරියාව ලෝකයේ වඩාත් ප්‍රසිද්ධිව ඇත්තේ පා පන්දු ඇතුළු ක්‍රීඩාවලට ඔවුන් දක්වන නිබඳ දක්ෂතාවය නිසාය. එමෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනයේ ඉහළින්ම සිටින නයිජීරියාව විවිධාකාර වූ ගෝත්‍රික ගැටුම්වලින්ද පීඩාවිඳියි. අප්‍රිකාවේ ධනවත් රාජ්‍යයක් වුවද මෙහි ගැටුම්කාරී තත්ත්වය නිසා එරට ජනජීවිතය තවමත් පවතිනුයේ පහත්  මට්ටමකය.

කලකට පෙර (හැත්තෑව අසූව දශකයේ) නයිජීරියාව වේගයෙන් දියුණු වන්නට විය. එකී දියුණුවත් සමග නයිජීරියාවේ රැකියාවන් සඳහා ලෝකයේ බොහෝ රටවලින් විවිධ වෘත්තිකයන් කැඳවනු ලැබිය. ඒ අතර ශ්‍රී ලාංකිකයෝද බොහෝ වූහ. නයිජීරියාව ගොඩනගන්නට ලංකාවේ ගුරුවරු, ඉංජිනේරුවන් හා වෛද්‍යවරු බොහෝ දායක වූහ. නමුත් මේ වන විට එම තත්ත්වය වෙනස් වී තිබේ. මෙරට පුද්ගලයන් නයිජීරියාවට යනවාට වඩා අද වනවිට නයිජීරියානුවන් තරගයට මෙන් මෙරටට පැමිණීමට පටන්ගෙන තිබේ.

තවමත් සංචාරක කර්මාන්තය හා දැඩි බලා‍පොරොත්තු තබා සිටින ලංකාව වැනි රටකට විදේශිකයන්ගේ පැමිණීම වාසිදායක යැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් මෙය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වීමක් නොව ලොව අසාදු ‍ලේඛන ගත ජාවාරම්කරුවන්ගෙන් මෙරට පිරී යාමට හේතුවක් වී ඇත. මෙලෙස ලංකාවට එන නයිජීරියානුවන්ගෙන් බහුතරය මූල්‍ය අකටයුතු සඳහා නම්දැරුවෝ වෙති. ලෝ පුරාම ඔවුන් කරනුයේ මුදල් ජාවාරම්ය.

වයස අවුරුදු 20-30ත් අතර වියේ පසුවන නයිජීරියානුවන් මෙරටදී බහුලව හමුවේ. ඊට ප්‍රධාන හේතුව ඔවුන් සිසුන් ලෙස මෙරටට පැමිණීමය. තානාපති කාර්යාල හෝ අන්තර්ජාලය හරහා මෙරටට සංචාරක වීසා හෝ ව්‍යාපාරික වීසා ඉල්ලුම් කරනු ලබන පිරිසක්ද වෙති. මේ කොයි ආකාරයෙන් පැමිණියද නයිජීරියානුවන්ගෙන්  බහුතරය කුමක් හෝ වංචාවකට සම්බන්ධය. සංචාරක හෝ ව්‍යාපාරික වීසාවලින් කරනු ලබන වීසාවලට විද්‍යුත් සංචරණ අනුමැතියද මෙරට අනුමැතියද ලැබි මසක කාලයක් මෙරට රැඳී සිටීමට අවසර හිමිවේ. කෙසේ වෙතත් නයිජීරියානුවන් මෙරටට පැමිණීමට පෙර ශ්‍රී ලාංකිකයන් හා විවිධ සබඳතා ගොඩනගා ගනිති. ඒ සඳහා ඔවුන් සමාජ මාධ්‍ය යොදා ගනිති. ඔවුන් මුහුණු‍පොත හරහා අන්තර්ජාලය හරහා විවිධ ජාවාරම්වල යෙදෙන අතර මැදිවියේ කාන්තාවන් හා තරුණියන් බොහෝ විට ඔවුනට ගොදුරුවන බව ‍පොලිස් වාර්තා මගින් තහවුරු වේ. එපමණක් නොව අප්‍රිකානු කලාපයේ බහුල ලිංගාශ්‍රිත රෝග වාහකයන් ලෙසද මෙම නයිජීරියානුවන් කටයුතු කරයි. මොවුන් නිසා මෙරට කතුන්ට විවිධ ලිංගාශ්‍රිත රෝග බෝවෙමින් පවතින බවද මේ වනවිට තහවුරු වෙමින් තිබේ.

නයිජීරියානුවෝ විවිධාකාර වූ මුදල් ජාවාරම් කරති. ඇතැම් විට ව්‍යාජ මුදල් පෙන්වමින් මුදල් මැජික් කරනවා යැයි පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමද සිදුකරන මොවුන් මෙරට කාන්තාවන් හා තරුණියන් සමග ආදර සබඳතා ගොඩනගාගෙන විවාහවී මෙරට පුරවැසිභාවයට ඉල්ලුම් කරනු ලබන බව හෙළිව ඇත.

බොහෝ නයිජීරියානුවන් මෙරටට පැමිණ රාත්‍රි සමාජශාලාවල පවතින කුඩා ක්‍රීඩා සංගම්වලට අඩු මුදලට ක්‍රීඩා කරනු ලබයි. එසේ සිටිමින් විවිධ පුද්ගලයන් අධ්‍යයනය කරමින් මුදල් ජාවාරම් සිදු කිරීමද මොවුන්ගේ එක් ක්‍රියාවකි. එමෙන්ම පරිගණක හා අන්තර්ජාලයේ  කටයුතුවලට මොවුන් ඉතා නිපුණය.

මේ වන විට නීතියේ රැහැනට හසුව ඇති බොහෝ නයිජීරියානුවන් සංචාරක හා ව්‍යාපාරික වීසා මත මෙරටට පැමිණ වලංගු වීසා කාලය ඉක්ම යාමෙන් පසුවත් මෙරට රැඳී සිටින්නන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී  හා පාලන (ප්‍රතිපත්ති හා සංවර්ධන) දසිත නිරෝෂණ පවසයි.

නයිජීරියානුවන් තුන්සියයක් පමණ මෙරට සැරිසරන බවත් ඉන් සියයක් පමණ විවිධ අපරාධ වලට හසුවෙන බවත් මේ වන විට නිරීක්ෂණය වී ඇති බවද ඔහු පවසයි. එමෙන්ම 32 කු පමණ රැඳවුම් කඳවුරු තුළ සිටිති.

කෙසේ වෙතත් නයිජීරියානුවන්ගෙන් සිදුවන අකටයුතුකම් දිනෙන් දින ඉහළ යන බැවින් ඔවුන්ට  සංචාරක හා ව්‍යාපාරික වීසා ලබාදීම දැඩිව සීමා කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙමින් තිබේ. එහෙයින් ඔවුන්ට මින් ඉදිරියේදී වීසා ලබා දිමේදී යම් යම් සීමා පැනවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව මතෛක් නයිජීරියානුවන්ට හිමිව තිබූ අන්තර්ජාලයෙන් හා තානාපති කාර්යාලය හරහා වීසා ඉල්ලුම් කිරීමේ හැකියාව අහිමි වේ. ඉදිරියේදී නයිජීරියානුවන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමේදී සංකීර්ණ වීසා නීතිවලට යටත්වීමට සිදුවේ. ඒ අනුව යම් නයිජීරියානුවෙකුට මෙරටට පැමිණීමට වීසා අවශ්‍ය නම් ඔහු පිළිබඳ මෙරට සිටින්නෙකු අනුග්‍රහය ලබාදී ඔහු පිළිබඳ සහතික විය යුතුව ඇත. එමෙන්ම ඔහු මෙරටට පැමිණ කරන්නේ කුමක්ද? ඉන්නේ කොහේද? ආපහු යන්නේ කවද්ද? ආදී සියලු කරුණු කෙරෙහි මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලබයි.

කෙසේ වෙතත් මෙම කොන්දේසි රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරිමය කටයුතු සඳහා මෙරටට පැමිණෙන නයිජීරියානුවන්ට අදාළ නොවේ.මන්ද ඔවුන්ගේ කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිදු කෙරෙන බැවිනි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විවිධ රට වලට වීසා නිකුත් කිරීමට කොන්දේසි පනවපු ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර මේ වන විට සිරියාවටද මෙලෙස වීසා නිකුත් කිරීම සිමා කර තිබේ.

මෙලෙස රටවලට වීසා නිකුත් කිරීමේදී කොන්දේසි පැනවීමට සිදුව ඇත්තේ ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාව වෙනුවෙනි.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.