lakbima.lk

“මම ගොවියෙක් ලෙස ජීවිකාව ගෙන යන කෙනෙක් උදේ සිට එළවළු කොටුවේ වැඩ කරලා හවස ගම්‍පොළ නගරයට එන්න පාපැදියෙන් ආවා. නගරයට ආසන්න ගම්‍පොළවෙල කළු පාලම උඩට ආවා විතරයි මමත් එක්කම ඒ පාලම කඩාගෙන පහළට වැටුණා. ටික වේලාවකින් එතනට මිනිස්සු පිරුණා. ඒ අය කැඩුණු පාලම බලන්න ‍පොර කෑවා මිස මා ගැන බැලුවේ නෑ. යටවෙලා හිටිය තැනින් අමාරුවෙන් මම නැගිටලා ගොඩට ආවා. එතකොට මේ ගැන අශෝකා කියන අපේ ගමේ කෙනෙකුට ආරංචි වෙලා එයා මාව ගම්‍පොළ රෝහලට ගෙන ආවා.
ගම්‍පොළ, ගම්‍පොළවෙල පදිංචි ඩබ්ලිව්. සෝමපාල නැමැති 65 හැවිරිදි ගොවි මහතා මේ විස්තරය කළේය.
සෝමපාල මහතාට දරුවන් තිදෙනකු සිටින අතර ඔහු ගම්‍පොළවෙල මහපුර ප්‍රදේශයේ වී වගාව මෙන්ම එළවළු වගාවද සිදු කරන්නෙකි.
පා පැදියෙන් ගමන් ගන්නා ඔහු සුපුරුදු පරිදි වැඩ කටයුතු නිමවා සවස ගම්‍පොළ නගරයට පැමිණීමට මෙසේ ගමන් අරඹා තිබේ.


මෙම පාලම මතින් ගමන් ගන්නා ලංගම බස් රථයද ඔහුට මගදී හමු වී ඇති අතර පාලම ආසන්නයට පැමිණෙන විට ඔහුට ඉදිරියෙන් ගිය ත්‍රිරෝද රථයක්ද ඒ මතින් ගොස් ඇත.
නමුත් සෝමපාල මහතා තම පාපැදියෙන් පාලම මතට ගොඩ වන විටම එය කඩාගෙන වැටී ඇත්තේ ඔහු හා පාපැදියද සමගිනි.
මෙම පාලම වසර 40කට වඩා පැරණි අතර පසුගිය වසර කීපය තුළම එය අබලන්ව තිබිම පිළිබඳව ප්‍රදේශවාසීන්, දේශපාලනඥයන්ට හා බලධාරීන්ට දන්වා තිබුණි. නමුත් කිසිවකුත් එය ගණන් නොගත් බව ඔවුහු පවසති.
පවුල් 5000ක් පමණ මෙම පාලම ප්‍රයෝජනයට ගන්නා අතර පාසල් 10ක පමණ සිසු සිසුවියෝද මේ මතින් ගමන් කරති.


මහවැලි ගඟට ආසන්නව ගලා බසින කීරපන ඔය හරහා මෙම පාලම ඉදිකර ඇති අතර මෙහි සිට ගම්‍පොළ නගරයට දුර මීටර් 200ක් වත් නැති තරම්ය.
සෝමපාලගේ ත්‍රාසජනක අත්දැකීම ඔහු මෙසේ විස්තර කළේය.

“පාලමේ කැඩුණු කොන්ක්‍රීට් එකක් එක්කම මම පහළට වැටුණා. බයිසික‍ලේ වතුරට වැටුණත් මම පස් ගොඩක් උඩට වැටුණා. එතකොට තව කැඩී ආව පස් වගේකට මගේ කකුල් දෙක යට වුණා. මම කෑ ගැහුවා. මට ඇහුණ උඩ මිනිස්සු කතා කරනවා. ඒ අය කැඩුණු පාලම බලන්න උනන්දු වුණත් මා ගැන බැලුවේ නෑ. මම අමාරුවෙන් ගොඩට ආවා.

එස්. ඩී. රාජනායක - ගම්‍පොළ
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.