lakbima.lk

සිංහල අවුරුද්ද එහෙමයි දෙමළ අවුරුද්ද මෙහෙමයි

පලවැලින් බරවූ ගහකොළත්, කොවුල් නද හා මුසු වී හාත්පස පැතිරෙන රතිඤ්ඤා හඬත් කියාපාන්නේ ගම්මැද්දෑවට අවුරුදු උදාවූ වග ය. අලුත් අවුරුද්දේ සුබ පණිවිඩය රැගෙන නව ගමනක ආරම්භය සනිටුහන් කරන්නට එන අවුරුදු කුමරා පිළිගන්නට කවුරුත් ලහිලහියේ සූදානම් වෙති. සිංහලයා පමණක් නොව  දෙමළ  ජනතාව ද අලුත්  අවුරුද්ද මහත් උත්සවශ්‍රීයෙන් සමරන්නේ අනාදිමත් කාලයක පටන්ම ය.

සිංහල බසින් අවුරුද්ද යැයි හැඳින්වෙන මෙය දෙමළ බසින් හැඳින්වෙන්නේ, පුත්තාන්ඩු නමිනි. අපේ රටේ දෙමළ ජනයා සිංහලයා සමගම එකට එක්වී අලුත් අවුරුද්ද එකම දිනයක සමරනු ලැබූවද, හින්දු චාරිත්‍ර වාරිත්‍ර හා විශ්වාසයන් සලකා බැලීමේදී පෙනී යන්නේ මෙම චාරිත්‍රයන්හි යම් යම් වෙනස්කම් පවතින බවයි. විශේෂයෙන් ම අපේ රටේ අලුත් අවුරුදු දිනය නියම කරන්නේ ජාතික නැකැත් කමිටුව විසින් වුව ද, තමිල්නාඩුව ඇතුළු සෙසු රටවල සිටින දෙමළ ජනයා, එය සමරන්නේ සෑම වසරකම අප්‍රේල් දහහතර වෙනිදාය.

සිංහලයන්ගේ මෙන් ම දෙමළ ජනතාවගේ ද සාම්ප්‍රදායික සූර්ය දින දර්ශනයේ මුල්ම මාසය වෙන්නේ අප්‍රේල් ය. මෙම මාසය දෙමළ බසින් හඳුන්වන්නේ, පුත්තන්ඩු, වරුද පයිරප්පු, විත්තරයි තිරුනාල් යන නම්වලිනි. ‍පොතපතෙහි සඳහන් වන ආකාරයට දෙමළ ජනයා අවුරුදු දිනයේදී එකිනෙකාට සුබ ප්‍රාර්ථනය කරන්නේ, පුත්තන්ඩු වාස්තුකල් හෝ ඉනිය තමිල් පුත්තන්ඩු නල්ල වාස්තුක්කල් යනුවෙන් පවසමිනි.

භාග්‍යවන්ත  හෙවත්  බක්  මහේ සැමරෙන අලුත් අවුරුද්දේ දී සිංහල ජනතාව මුල් තැනක් දෙන්නේ, පාරම්පරිකව  පැවතෙන  සිරිත්විරිත්වලටය.  එකී අවුරුදු චාරිත්‍ර සියල්ල බැඳී පවතින්නේද ‍ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුවය. ඒ නිසාම මෙම වසන්ත මංගල්‍යයට නැකැත් කෙළිය යනුවෙන් ද ව්‍යවහාර වන්නේය. දෙමළ ජනතාවටද සිංහලයන්ට මෙන්ම නැකැත් පත්‍රයක් හෙවත් ලිතක් ඇත. එය හැඳින්වෙන්නේ, පංචාංගම් නමිනි. එහෙත් දෙමළ ජනයාගේ අවුරුදු චාරිත්‍ර අතර දැන් ‍ජ්‍යොතිෂයට හෝ නැකැත් චාරිත්‍රයට මුල්තැන දෙන බවක් පෙනෙන්නට නැත. එහෙත් ඔවුන් අවුරුදු දා උදෑසනම කෝවිලට ගොස් ආගමික වතාවත්වල යෙදීම එදා සිටම පැවතෙන චාරිත්‍රයකි. අද එතරම් දක්නට නැතත්, අතීතයේ දී දෙමළ පවු‍ලේ මෑණියන් විසින් අවුරුදු දා අලුයමින් අවදිව, තම පවු‍ලේ සාමාජිකයන්ගේ දෑස් වසා, සුබ දසුනක් ඇති ස්ථානයකට රැගෙන යාම සිරිතක් කරගෙන තිබිණි. එය බොහෝ විට නිවසේ ඇති දේව ප්‍රතිමාවය. එසේ නොමැති නම්, රන් අභරණ හෝ පලතුරු ආදිය ද විය හැකි ය. ප්‍රවීණ දමිළ ‍ලේඛක එම්. සිවලිංගම් පවසන්නේ, වර්තමානයේදී එවැනි අවුරුදු චාරිත්‍ර අද වෙද්දී බොහෝ විට දැකිය නොහැකි බවයි. වර්තමානයේදී තෛ‍පොංගල්,  දීපවාලි,  වැනි උත්සව කෙරෙහි දෙමළ ජනයා වැඩි උනන්දුවක් දැක්වීම ඊට හේතුවයි.

සිංහල චාරිත්‍රානුකූලව, අලුත් අවුරුද්ද උදාවන්නට පෙර දිනයේදී නැකැතකට අනුව  ස්නානය කිරීම සිරිතක් වුවද, දෙමළ ජනයා ස්නානය කරන්නේ අලුත් අවුරුදු දා අලුයමේමය. එදින උදෑසන ස්නානය කිරීමට ප්‍රථමයෙන් ඖෂධ රැසක එකතුවෙන් සාදන ලද විශේෂ ආ‍ලේපනයක් ද හිස ගල්වන බව එම්. සිවලිංගම් පවසන්නේ ය. මින් ඔවුන් අපේක්ෂා කරන්නෙ සෞඛ්‍ය සම්පන්න බවයි. මරත්තු නීර් නමින් හඳුන්වන මෙම විශේෂ  ආ‍ලේපය  සකස් කරන්නේ, කෝවි‍ලේ පූජකවරයාය. ඖෂධීය පැළෑටි, පිරිසිදු ජලය සමග කිරි, කහ, මල් වර්ග, කොළ වර්ග, හා තෝරා ගත් වෙනත් අමුද්‍රව්‍ය තම්බා මෙම ආ‍ලේපය සකස් කර ගනු ලබන්නේ ය. අවුරුදු දිනට පෙර දින සැන්දෑවේ කෝවි‍ලේ පැවැත්වෙන පූජාවෙන් පසු පූජකවරු මේ මරත්තු නීර්, සියලු හින්දූන්ට බෙදා දෙති. ස්නානයෙන් අහවර අලුත් ඇඳුමෙන් සැරසෙන ඔවුන් ඊළඟට යන්නේ කෝවි‍ලේ පූජාවට ය.

අවුරුදු දා උදෑසන සෑම දමිළ නිවසකම කිරිබතක් සැකසීම අනිවාර්ය අංගයකි. එහෙත් සිංහලයන් මෙන් කිරිබත උයන්නට නැකැත් වේලාව ළං වෙනතුරු හිඳීමක් නැත. අප්‍රේල් දහහතරවෙනිදා උදෑසනම ඒ කිරිබත පිළියෙල කෙරෙන්නේ ය. හකුරු, කජු, ගිතෙල්, වියළි මිදි යොදමින් ඔවුන් එදිනට සකසන්නේ ‍පොංගල් කිරිබතකි. එහි අග්‍ර කොටස පිළිගැන්වෙන්නේ දෙවියන්ට ය. ලඩ්ඩු, මුරුක්කු, වඩේ ආදී කෑම වර්ග ද මෙදින විශේෂයෙන් සැකසෙන අතර, අවුරුදු දා ඔවුන්ගේ කෑම වර්ග සියල්ල මස් මාංශවලින් තොර එළවළුවලින් පමණක් සමන්විත වීම ද විශේෂත්වයකි.

ආහාර පිසීම, ආහාර අනුභවය වැනි අවුරුදු චාරිත්‍ර සඳහා සුබ මුහුර්තියක් නොතිබුණද, දෙමළ වැසියා අවුරුදු දිනයේදී මුදල් ගනුදෙනු කරන්නේ නම් සුබ නැකැතකට අනුව ය. දෙමළ ජනයාට මුදල් යනු, ලක්ෂ්මිය. එබැවින් ඔවුන් අලුත් අවුරුදු දා ආහාර අනුභවයෙන් පසු යෙදෙන සුබ නැකතකදී බුලත් කොළයක් මත තැබූ  මුදල් හුවමාරු කරගනිමින් ගනුදෙනු කරන්නට වග බලා ගනිති. කොදුක්කල් වාංගල් නමින් හඳුන්වන මෙම විශේෂ චාරිත්‍රයේදී නිවසේ ගෘහ මූලිකයා බුලත් මත තැබූ මුදල් දරුවන්ට බෙදා දෙයි. දරුවෝ ද එලෙස මුදල් දෙති. එදින ඔවුන් බැංකුවල ගනුදෙනු කටයුතු සිදු කරන්නේ ද මෙම විශේෂ නැකැතට අනුවය.

අවුරුද්ද උදාවන්නට පෙරදී දෙමළ ජනතාව ද තම නිවෙස් සෝදා, කහ වතුර ඉස පිරිසිදු කිරීම්වල නිරත වෙති.

එමෙන්ම වර්තමානයේ දක්නට නැතත්, මේ දිනවල දමිළ නිවාසවල දොරටුව ඉදිරිපස, කෝලම් හෝ රන්හෝලි නමින් හඳුන්වන වර්ණවත් රටාවලින් අලංකාර කෙරෙයි. අද බොහෝ දමිළ වැසියන් කෝලම් රටා මවන්නේ තෛ‍පොංගල් උත්සවය සැමරීම වෙනුවෙනි. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල නිවෙස්වල දොරටුවේ කොහොඹ අත්තක් එල්ලා තබයි. ඒවායින් සංකේතවත් කෙරෙන්නේ සෞභාග්‍යයයි. ‍පොතපතෙහි සඳහන් වෙන්නේ, කොහොඹවල ඇති සුවිශේෂී ඖෂධ ගුණය සහ එහි වන තිත්ත බව අලුත් අවුරුද්ද සමග මුහු කරගැනීම තුළින් ජීවිතවලට කිසියම් වූ යථාර්ථවාදී බවක්ද ඔවුහු අපේක්ෂා කරති.

 ගයාත්‍රි ගීගනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.