lakbima.lk

සිනමා ගීතයේ ජෝතිගේ නංගි ඇන්ජි


කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ “ළමා පිටිය” ගුවන් විදුලි වැඩසටහනෙන් බිහි වූ බොහෝ දෙනෙක් විවිධ
ක්ෂේත්‍රවලින් පෙරට ගියහ. ඒ අතර කලා ලොවේ පෙරට ගියවුන් බොහෝය. ඇන්ජලින් ද ලැනරෝල් (පසුව ගුණතිලක) කරු අයියාගේ ළමා පිටියෙන් බිහි වී ගායිකාවක ලෙස යා හැකි උපරිම  දුරක් ගමන් කළ කෙනෙකි.

පසුගිය මාර්තු 29 වෙනිදා ජීවිතයෙන් සමු ගන්නා විට විශේෂයෙන් සිංහල සිනමාවේ සුවිශිෂ්ට,
සුවිශේෂී පසුබිම් ගායිකාවක ලෙස සුවහසක් රසික හදවත් තුළ ඇය ප්‍රබල සටහන් ඉතිරි කර තිබුණි.
මෙකල මෙන්ම එකලද ආධුනික ගී තරග පැවැත්වුණි.

එක් තරගයක පළමු ජයග්‍රාහකයාට එකල පැවැති සුපිරි වර්ගයේ පෑනක්ද, දෙවැන්නාට චිත්‍රපටයක ගී ගැයීමේ අවස්ථාවද හිමි විය. (චිත්‍රපටයක ගී ගැයීමේ අවස්ථාවටත් වඩා එම පෑන් වර්ගය වටින්නේ නම් එහි විශිෂ්ටත්වය ගැන ඔබට සිතා ගත හැක) මේ තරගයේ මුල් තැන දිනුවෙ චන්ද්‍රානි රුද්‍රිගුය.

පසු කාලයක චන්ද්‍රානි ගුණවර්ධන නමින් හැඳින් වූ ගායිකාව වූයේ ඇයයි. ඇය මුල් තෑග්ග ලෙස අර “පෑන” දිනා ගනිද්දී දෙවන ස්ථානය හිමි වූයේ ඇන්ජලින් ද ලැනරෝල්ටය. දෙවැන්නිය වූ ඇයට චිත්‍රපටයක පසුබිම් ගායනය සඳහා අවස්ථාව හිමි විය. ෙදෙවය කෙතරම් විස්මිතද කියතොත් එතැනින් ඇරඹි ගමන ඇන්ජලින් නතර කළේ සිනමා පසුබිම් ගායනයේ උච්චස්ථානයට පත් වෙමිනි.


ආර්. මුත්තුසාමි මාස්ටර්ගේ සංගීතයට සිඩ්නි ආටිගල සමග “ආදර අඹරේ ආලෝකය විහිදා”ගීය ගයමින් “සොහොයුරෝ” චිත්‍රපටය තුළින් සිනමාවට ආ ඇන්ජලින් මුල් ගැයුමෙන්ම රසික හදවත්හි ස්ථාවර වූ ගායිකාවක වූවාය. ලතා වල්‍පොල, සුජාතා අත්තනායක, ඇන්ජලින් ගුණතිලක සිංහල සිනමාවේ අග්‍රේෂ්වර පසුබිම් ගායිකාවන් තිදෙනායි. සුජාතාද සිනමා ගායනය ඇරඹුවේ ඇන්ජි ඇරඹූ “සොහොයුරෝ” තුළින්ම වීම විශේෂත්වයකි.

මුල් යුගයේ ඇන්ජි ගුවන් විදුලි ගීත රැසක් ගැයුවාය. 1956 දී බුද්ධ ජයන්තිය වෙනුවෙන් අල්හාජ් මොහිදීන් බෙග් මාස්ටර් සමග ගායනා කළ කරුණාරත්න අබේසේකර ශූරීන් ලියූ දෙදහස් පන්සිය බුද්ධ ජයන්තිය ගීතය ඇගේ තැටිගත කළ මුල්ම ගීතය ලෙස සැලකේ. බෙග් මාස්ටර්ට සදා ගරු කළ ඇය හැමදාමත් සිය ප්‍රියතම ගායකයා ලෙස නම් කළේද  බෙග් මාස්ටර්ය. ඇන්ජි එකල ගැයූ ගී අතර “ඔන්න ඕලු මලක්” (මොරිස් දහනායක සමග), “අඹරේ අද නැත පුන්සඳ” (අමරපාල සොයිසා සමග) “කවදා හෝ සසර කතර අතරමගකදී” (කරු අයියා ලියා ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ ගීතය) කැපී පෙනේ.

පසු කාලයක ඇය ගැයූ තනි ගීත අතර ධර්මසිරි ගමගේ ලියන ක්ලැරන්ස් විජේවර්ධන  සංගීතවත් කළ “පුංචි පුතා මගෙ ඉස්කෝ‍ලේ ගිය මුල්ම දවස අද වේ”, “දිනෙක ඔබ සඳ වාගෙ හැඩයි” (ප්‍රේමකීර්ති  ලියා වික්ටර් දලුගම සංගීතවත් කළ) “බංගලි වළලු ගෙන එන්නයි ‍පොරොන්දුව“ (ප්‍රේමකීර්ති ලියා අර්නස්ට් සොයිසා සංගීතවත් කළ) ගීතයද අති ජනප්‍රිය විය. අර්නස්ට් තනු නිර්මාණය කළ මුල්ම ගීතයද “බංගලි වළලු”ය.


ඉතා සුමියුරු සිහින් හඬක් තිබූ ඇන්ජලින්ට අනුරාගී හඬක් සතු විය. ඒ ශෘංගාර ගී රාවය කර්මාන්තයක් ලෙස සිංහල සිනමාව පවත්වා ගෙන යාමට 60, 70, 80 දශකවල ඉමහත් ආධාරකයක් විය. සන්ධ්‍යා කුමාරි, මාලිනී ෆොන්සේකාගේ සිට වර්තමාන නිළි පරපුර දක්වා බොහෝ නිළියන්ගේ ජනප්‍රියත්වයට ඇන්ජලින් ගුණතිලකගේ ශෘංගාර ගී හඬ පසුබිමෙන් බලපෑවේය.

විවිධාකාරී  ගී ගයන්නට තිබූ හැකියාව සිංහල සිනමාව තුළ මේ දිගු ගමන යන්නට ඇයට මනා පිටිවහලක් විය. බයිලා ගායනයටද මනා හැකියාවක් ඇයට තිබුණි. මිල්ටන් සිල්වා සමග ගැයූ “සුදු ඔසරිය ඇඳ කොණ්ඩේ මලක් ගසාලා” මෙන්ම “ජිප්සීස්” සුනිල් පෙරේරා සමග ගැයූ  “නෝනෙ මගෙ සුදු නෝනේ” උදාහරණ දෙකක් පමණි.
ඇන්ජලින් ද ලැනරෝල් ඇතුළු ඇගේ සොහොයුරියන් සියලුම දෙනාගේ නම් සඳහන් කර බයිලා රජු වොලී බැස්ටියන් නිර්මාණය කළ අති ජනප්‍රිය ගීයක් තිබේ. එය අසා නැති යමෙකු සිටීදැයි පවා සැක සහිතය. ගීතය මෙයයි.

අයිරින් ජොසපින්
රොසලින් ඇන්ජලින්
අතරින් පතරින්
නටයිද කැතරින්

සියල්ල පසෙකින් තබන්න. කරු අයියාගේ ළමා පිටියෙන් පැමිණ සොහොයුරෝ චිත්‍රපටයෙන් පසුබිම් ගායනය අරඹා විවිධ ගායකයන් සමග ගුවන් විදුලියට හා තැටි වලට ගී ගයා මේ චාරිකාව යද්දී ඇන්ජලින්ට හමුවන අපූර්ව පුද්ගලයා  වන්නේ එච්. ආර්. ජෝතිපාලය. ජෝති-ඇන්ජලින් සුසංයෝගය “ආ‍ලේ මිහිර පෙන්නා - වාසනාව පෑදේවී” ගී තුළින් ඇරඹි දශක තුනකට ආසන්න කාලයක් සිංහල ගීතාවලියේ ආදරණීයම යුග ගීතවල උල්පත බවට පත් විය. 

“ඉරසඳ වැඳලා නෙත් දෙක ඇරලා”- “හද විමන් දොරොන්”, “පාට ‍පොදක් තිලක ලා” - “මා ප්‍රාර්ථනා ආශාවෝ” - “දෝතින් දෝතයි” - “ගිම්හානේ හද නිවුනා” - “පහන් තිරේ ඇවිළෙන්නේ” - “මී පිරුණු සුවඳ මල් වනේ” - “සිහින අහසේ වසන්තේ” - “වන් ටූ ත්‍රී බේබි” - “සුදුපාට මීදුම් ගලාලා” - “නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ” - “රන් මසුරන් කිරි ගරුඬ තලාවක” - “ඈත දිලිසෙන හිරු සඳු රන්තරු” - “අහ අහ ආදරණීය සිනා” - “සිතුම් පැතුම් සඳ ආදරේ” - “කලත් තිස්සේ සිතක් පත්‍ලේ” - “ජීවනයේ මීවනයේ” .... ආදී වශයෙන් ජෝති -ඇන්ජි සුමියුරු සිනමා ගීතාවලිය පිටු ගණනාවක් ලියා නිම කළ නොහැකිය.

සිනමාහල් තිර දෙදරවමින් මේ ආදරණීය හඬ යුගලය ඇසෙද්දී සිංහල චිත්‍රපටවලට ආසක්ත  වූ රසික රසිකාවියෝ යළි යළිත් එම චිත්‍රපට නැරඹූහ. එම චිත්‍රපට දින පනහ සියය ඉක්මවා තිර ගත විය. කර්මාන්තය රැකුණේය. ඒ පිනෙන් බොහෝ කොටසක් ජෝති සහ ඇන්ජිටය.

මිල්ටන් මල්ලවආරච්චි, ග්‍රේෂන් ආනන්ද සහ විජය කුමාරතුංග සමගද යුග ගීත රැසක් ගයන්නට ඇන්ජි එක් වූ බව අමතක කළ නොහැකිය.

1966 දී ලෙස්ලි ගුණතිලක සමග විවාහ වූ ඇන්ජි සාර්ථක පවුල් ජීවිතයක් ගත කළාය. මිලානි, දිල්ෂානි ඔවුන්ගේ දියණියන්ය. දිල්ෂානිගේ පුත් ඉමල් ජූඩ් ආච්චි අනුව යමින් ගී ගයයි. ඇන්ජි සමගද ඔහු ගී ගැයුවේය.  ඇන්ජි සමග යම් යම් හේතු මත විරසකව සිටි අය සහ ඇන්ජි සමගි කිරීමේ ක්‍රියාවලියක නිරත වූ සාම දූතයා ඉමල් ජූඩ්ය. ලතා වල්‍පොල සහ ඇන්ජලින් ගුණතිලක කලක සිටම යම් හේතුවක් මත දුරස්ව සිටියත් වසර කීපයකට පෙර එම දෙපළ එක් කිරීමේ කපුකමද කළේ ඉමල් ජූඩ්ය.

එච්. ආර්. ජෝතිපාලයන් හැමදාමත් ඇන්ජිට සැලකුවේ දඟකාර බාල සහෝදරියකට මෙනි. එහෙත් පසු  කාලයක එක්තරා මාධ්‍යකරුවෙකු  විසින් කළ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් නිසා ඔවුන් දෙදෙනා අතර දැඩි දුරස්වීමක් සිදු විය.
ක්ෂේත්‍රයේම කෙනෙකු මාධ්‍යකරුවා මෙහෙයවා කළ එම නොපනත් ක්‍රියාව බොහෝ දෙනෙක් පිළිකුල් කළහ. ඒ අවස්ථාවේදී ඇන්ජිගේ  අදහස් “සත්සර” පුවත්පතෙන් ජනතාව අතරට ගෙන ගියේ මා විසිනි. කොහොමත් විවෘතව කතා කරන ඇන්ජිට සමහර විට පාඩු සිදුවූයේද එම පිළිවෙත නිසාමය.

ජෝති මගේ එදා ප්‍රියතම ගායකයා වූ අතර ඊට සමාන්තරව ඇන්ජි ප්‍රියතම ගායිකාව වූවාය එහෙත් ඊටත් පසු කාලයක මාධ්‍ය මගින් ජෝති ගැන ඇය දැක්වූ අදහස් කීපයක් සාවද්‍ය බවට මා දුන් පිළිතුරු නිසා ඇන්ජි සහ මා අතර තිබූ මිතුරු සමීපතාවය බිඳී ගියේය. එහෙත් එම වකවානුවේ වුවත් නුගේගොඩ කැසට් නිෂ්පාදකයෙකු ඇයට කළ දැවැන්ත වංචාවට එරෙහිව  කොන්දේසි විරහිතව මම ඇය වෙනුවෙන් පෙනී සිටියෙමි. අසනීප වූ අවස්ථාවේ සුව පැතුවෙමි. “දිනමිණ” කලා පිටුවේ ලතා-ඇන්ජි කේක් කවන සේයාරුවට මේ කවිය ලිව්වෙමි.

ගී ලොව රැජිනන් දෙන්නා
යාළු මිතුරු වී ඉන්නා
දේවාසිරි ලබමින් නා
නිදුක් නීරෝගී වෙන්නා

කලක් ඇන්ජි සමග ඉතා සමීපව සිටි ඇයට ගුවන් විදුලි කැසට් චිත්‍රපට ගීත ලියූ මා ඇයගෙන් දුරස්ව සිටීම නොඉවසූ, ඉමල් ජූඩ් “සාම දූතයා” මටද යළි ඇය දකින්නට එන ලෙස ඇරයුම් කළේය. මම ඊට එකඟ වීමි. ඒ සමගම යළිත් මාධ්‍යයකින් ජෝති පිළිබඳව සාවද්‍ය ලෙස සඳහන් කෙරුණු ලිපියක් “ඇන්ජි සමග සාකච්ඡාවක් ඇසුරෙන් පළ විය. ජෝතිගේ බෑණා වූ සහකාර ‍පොලිස් අධිකාරි අමල් එදිරිමාන්න ඊට පිළිතුරු දුන්නේය.

නැවතත් මගේ දෙපා පස්සට ගියේය. අවසානයේ ඉකුත් 31 වෙනිදා මට ඉතා සුපුරුදුව තිබූ නුගේගොඩ පාගොඩ පාරේ 39/3 නිවහනෙහි මා පෙනී සිටියේ ඇන්ජලීන් ගුණතිලකගේ නිසල දේහය ඉදිරිපිටය. “සාම දූතයා” මගේ දෑත් තරයේ අල්ලාගෙන මෙසේ කීවේය.

“අන්තිමට හම්බ වෙන්නම බැරි උනා නේද? වෙලාව තමයි ....”
ඉමල් ජූඩ් සාම දුතයා විශ්වාස කරනු මිස මට කළ හැකි අන් යමක් නැත. එය වෙලාවය.

ආනන්ද පද්මසිරි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.