lakbima.lk

ලක්ෂ්මී බායි වඩාගෙන ටවර් හෝල් වේදිකාවට ගෙනත් දුන් 'දේවි සකුන්තලා'

දේවි සකුන්තලා ටවර් හෝල් වේදිකාවට පා තැබුවේ ඇය ඉතා ළදරු වියේ සිටියදීය.
වේදිකාවේ කොනක වූ තිරයකට මුවාවී  දේවි සකුන්තලා, ලක්ෂ්මී බායි “ආදී සීහලුන් පිට දීප දේශ ජය ගත්තා” වැනි ගීත ගායනා කරමින්, ටවර් හෝල් වේදිකාවේ රඟපාන අන්දම නෙත් දල්වාගෙන ආශාවෙන් බලා සිටියාය.
කුඩා දේවි සකුන්තලාව වඩාගෙනවිත්, ටවර් හෝල් වේදිකාවේ තිරයක් පිටුපස රඳවා තැබුයේද එවකට කීර්තිමත් ටවර් හෝල් රංගන ශිල්පියනියක වූ ලක්ෂ්මී බායි විසින්මය.

“ලක්ෂ්මී බායි කියන්නෙ මගේ අම්මගෙ ලොකු අක්කා” පසුගියදා අභාවප්‍රාප්ත වූ දේවි සකුන්තලාගේ බාලම පුතු සිසිර පෙරේරා තම මව සහ ලක්ෂ්මී බායි අතර පැවැති ඥාතීත්වය විස්තර කරමින් පැවැසුවේය.

මුස්ලිම් පවුලක උපන් දේවි සකුන්තලා ජන්ම දායාදයෙන් හිමි වූ නම වූයේ උම්මු සල්මාය. පසු කාලයක ඇය ආර්. ඒ ප්‍රේමවතී ලෙසද හැඳින්විණ. ටවර් හෝල් වේදිකාවේ ස්ථාවර වූ පසු ඇය හැඳින්වෙන්නට වූයේ දේවි සකුන්තලා යනුවෙනි.

“අපේ නැන්දා ලක්ෂ්මී බායි. අපේ අම්මාව වඩාගෙන ටවර්හෝල් එකට ගිහිල්ල තියෙන්නේ අම්මට මාස දෙකක් වගේ කාලෙ.” සිසිර පෙරේරා  එසේ පැවැසුවේ ඔහුගේ මව වූ දේවි සකුන්තලා හා ටවර් රඟහල අතර පැවැති ඈත දුර සම්බන්ධතාවය විස්තර කර දෙනු පිණිසය.

දේවි සකුන්තලා ටවර් වේදිකාවේ ප්‍රථමවරට  රඟපානවිට ඇයගේ වයස අවුරුදු හතකි. “ස්වීට් හනිමූන්” නමැති නාට්‍යයේ  පිරිමි ළමා චරිතයක් විය. ඒ දිනවල නාට්‍ය බොහෝමයක  ළමා පිරිමි චරිත රඟපෑමේ අවස්ථාව දේවි සකුන්තලාට හිමි විය.

“ටී. ඩී. ඇඩ්වින් පෙරේරා ඒ දවස්වල නීතිඥ ජෝන් ද සිල්වාගෙ නාට්‍යය නැවත නිෂ්පාදනය කරලා ටවර් හෝල් එකේ පෙන්නුවා. එතකොට අම්මා තරුණ කා‍ලේ. ඒ නාට්‍ය රාශියක අපේ අම්මා රඟ පෑවා” සිසිර පෙරේරා පවසයි.  චින්තාමනී, ශ්‍රී වික්‍රම, රාමායනය, සත්‍යවාදී හරිස්චන්ද්‍ර, ගහල කෙල්ල, අංගුලිමාල, සමුද්‍රදේවී, සූටි ගමරාල සහ රයිගම් බණ්ඩා, දේවි සකුන්තලා එකල රඟ පෑ නාට්‍ය අතරින් කීපයකි.

එකල වේදිකා නාට්‍යවල නැටුම් ජවනිකා අත්‍යවශ්‍ය අංගයක් විය. එනිසා දේවි සකුන්තලාද නැටුම් ශිල්පය හොඳින් හදාළාය. ඒ ඇය දහහතර වියැතිව සිටියේදීය.
“අපේ අම්ම නැටුම් ඉගෙන ගත්තෙ බොම්බායෙ ඉඳල මෙරටට පැමිණි බූටා බායි කියන කෙනාගෙන් සහ ඒ කාලෙ ටවර් රඟහ‍ලේ ගිනි සිළුව  ලෙස සැලකුණ සරලා බායිගෙන්” සිසිර පවසයි. පිරිමියෙකු වූවත්, කාන්තා වෙස්ගෙන සජීවීව හින්දි ගීත ගායනා කරමින් රංගනයයෙහි යෙදුන “සරලා බායි” පිළිබඳව  එකල නරඹන්නන් සිටියේ මුසපත් වූ ආකාරයෙනි.

“ඒ කාලෙ  සරලා බායිගෙ නැටුම් තියෙන විවිධ ප්‍රසංග දවසට දහය පහළොව තියෙනවා. මේ සරලා බායිගෙ නැටුම් ගැන සමහර අය කොච්චර පිස්සු වැටිල හිටියද කියනවනම් එක්කෙනා ටිකට් තුන හතර එකපාර අරගෙන, හෝල් එකෙන් එළියට නොගිහින්  එක දිගට නැටුම් නරඹලා තියෙනවා”

මෙලෙස නැටුම් ශිල්පය උගත් දේවි සකුන්තලා ප්‍රථම වරට තම නර්තනය ඉදිරිපත් කළේ මහනුවර මධ්‍යයේ වූ සුවිශාල වේදිකාවකය. එකල “ඇසළ පෙරහර” සමයට මහනුවර නගර මධ්‍යයේ “බොම්බෙ ඩාන්ස්” යනුවෙන් මනස්කාන්ත නැටුම් ඇතුළත් විවිධ ප්‍රසංගයක් පැවැත්වුණි.  මුදල් අයකර ප්‍රදර්ශනය වූ මෙම ප්‍රසංගය නැරඹීමට රසිකයෝ රොඳ බැඳගෙන පැමිණියහ.

“ඔය බොම්බෙ ඩාන්ස් කියන ප්‍රසංගය මහනුවර  පමණක් නොවෙයි ලංකාවෙ විවිධ පළාත්වල පැවැත්වුණා. මේ බොම්බෙ ඩාන්ස් කණ්ඩායම අයිතිවෙලා තිබුණෙ අපේ ලොකු නැන්දට.

ලක්ෂ්මී බායිට. දවසක් ඔය නැටුම් කණ්ඩායමේ  හිටිය බර්ගර් තරුණියකට අසනීපවෙලා එන්න බැරිව ගියා. ඒ අඩුව වෙනුවෙන් නටන්න අපේ අම්මා ගියා. එතැන ඉඳල දිගටම  අපේ අම්මා වේදිකාවෙ නැටුම් ඉදිරිපත් කළා” පසුව දේවි සකුන්තලා ලුවී රුද්‍රිගුගේ ජොසී බබා, ඕගන් රුද්‍රිගුගේ “බලගතු කාසිය” මෙන්ම සිරිසේන විමලවීර මාස්ටර්ගේ වේදිකා නාට්‍ය බොහෝමයක රඟපෑවාය. රොඩී කෙල්ල, පිටිසර කෙල්ල, අම්මා එම නාට්‍ය අතරින් කීපයකි.

“සිරිසේන විමලවීර මාස්ටර්ගේ අම්මා නාට්‍යයේ අපේ අම්මා සමග විකට ජවනිකා එකට රඟපෑවෙ වී. පියදාස පෙරේරා. නාට්‍යවලදි ඇතිවුණ හිතමිත්‍රකම් හින්ද ඒ දෙන්නා විවාහ වුණා. තාත්තා කළුතර පැත්තෙ කෙනෙක්. ඒ දවස්වල නතරවෙලා හිටියෙ ග්‍රෑන්ඩ්පාස්වල” මෙම යුවළට පිරිමි දරුවන් හතරක් සහ එක් දුවකි. දැනට ජීවත්ව සිටින්නේ පිරිමි දරුවන් දෙදෙනකු පමණි. අප හා කතා බහක යෙදුන සිසිර පවු‍ලේ බාලයාය. දේවි සකුන්තලා සහ වී. පියදාස පෙරේරාට එකල නාට්‍ය කණ්ඩායමක් තිබුණි.

එහි ප්‍රධාන විකට දර්ශන ඉදිරිපත් කළේ ඔවුන් දෙදෙනාය. “තුංගසේන මාස්ටර්  සර්පිනාව ගහනවා. ස්ටැන්ලි මාස්ටර් ඩෝලෙ ගහනවා. ඔය වගේ සම්පූර්ණ සංගීත කණ්ඩායමක් හිටිය. අපේ ගෙදර තමයි පුහුණු වීම් කටයුතු කරන්නෙ. ලොරිවල ඕව පටෝගෙන ලංකාව වටේ යනවා. ඉඳල හිටල තමයි ග්‍රෑන්ඩ්පාස් අපේ ගෙදරට එන්නෙ. නාට්‍ය කණ්ඩායමේ පුහුණු වෙන අය අපිව බලා කියා ගත්තා”.

සිසිර පෙරේරා පවසන හැටියට ඔහුගේ මව දේවි සතුන්තලා කිසිම දිනක පාසල් ගොස් නැත. කිසිදු අකුරක් නොදත් ඇයට කියවීමට හෝ ලිවීමට නොහැකි විය.
“නමුත් අපේ අම්මට හොඳ මතක ශක්තියක් තිබුණා. කවුරු හරි  කෙනෙක් නාට්‍යය පිටපතක අම්මට අයිති කොටස් කියවපුවම අම්මට හොඳට මතක හිටිනවා. එක පාර නාට්‍ය දෙක තුනක හරි දෙබස් ඇයට හොඳට මතක හිටිනවා” ඒ දේවි සකුන්තලාගේ ස්මරණ ශක්තිය පිළිබඳ සිසිරගේ සහතිකයයි.

පසු කාලයක දේවි සකුන්තලා චිත්‍රපට රංගනය සඳහා ද දායක වූවාය. “සුරංගනී” චිත්‍රපටයේ දිස්නා රංගනීගේ මවගේ චරිතය රඟපෑවේ දේවි සකුන්තලාය. “පිටිසර කෙල්ල”, “සිරිසඟබෝ”, “සැපත සොයා” යන චිත්‍රපටවලට තම රංගන දායකත්වය ලබා දුන්නීය. එයට අමතරව ඇය ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය වූ “කෝපි කඩේ” ටෙලි නාට්‍යයේ “සුවඳගේ” මව ලෙස වසර විසිපහක්ම රඟපෑවාය. සුවඳගේ චරිතය කෝපි කඩෙන් ඉවත් වීම නිසා ඇයගේ චරිතයද ඉබේම අහෝසි විය.

පීටර් කැනියුට් පෙරේරා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.