lakbima.lk

සුභා තෙරණියට රුවන්ගිව ගත්තේ ඇගේ පෙනුම නිසා

සුභා තෙරණියගේ කතාන්දරය බෞද්ධ ඉතිහාසය තුළ එන සුවිශේෂී කතාවක්. තමන්ගේ නීල දෑසට උමතුවෙලා පසුපස පැමිණි  නන්ද නමැති සල්ලාල මානවකයාගේ සරාගී හැඟුම් මෙල්ල කරන්නට සුභා නම් වූ රහත් තෙරණිය කරන්නේ තම ඇසක් ඔහුට ගලවා දීමයි. ඉන් කම්පනයට පත්වන සල්ලාල තරුණයා ජීවිතය වටහාගෙන බුදු මගට පිවිසෙනවා.


මෙම කතාන්දරය ඇසුරෙන් සම්මානනීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන සුමිත් කුමාර අධ්‍යක්ෂණය කළ “සුභා තෙරණියෝ” නම් වූ නවතම සිනමාපටය මේ දිනවල ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාහල්වලදී තිරගත වෙනවා.
“චිත්‍රපටය තිරගත වීම ඇරඹුණේ අප්‍රේල් 15 වැනිදායි. ඒත් 21 වැනිදා ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය සමග චිත්‍රපට ප්‍රදර්ශනයට බලපෑමක් ඇති කළා. ඒ වගේ පසුබිමක වුණත් සුභා තෙරණියගේ චිත්‍රපටයට මේ වන විට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියෙනවා.”


සුමිත් කතාබහ පටන් ගත්තේ ඒ විදියටයි. බෞද්ධ සාහිත්‍යයේ එන සුභා තෙරණියගේ කතාව සිනමා පටයකට නගන්න අදහස කාලයක් තිස්සේ තමන්ගේ සිතේ පැවැති හීනයක් බවයි සුමිත් පවසන්නේ.


 “සුභා” තෙරණියගේ කතාව බෞද්ධ ඉතිහාසයේ  අපි අහලා තියෙන කතාවක්. ඒ වගේ කතාවක චරිත සඳහා නළු නිළියෝ තෝරන එක ටිකක් අමාරු වැඩක් වෙන්න ඇති නේද?


ඇත්තටම ඔව්. මම මේ හැම චරිතයකටම නළු නිළියන් තේරුවේ සුවිශේෂ කරුණු කාරණා පදනම් කරගෙනයි. සුභා තෙරණියගේ චරිතයට රුවන්ගි රත්නායක තෝරා ගත්තේ ඇගේ බාහිර ස්වරූපය ගැන හිතලයි. ඇයට තියෙන්නේ රන්වන් පැහැති සමක්. ඒ වගේම ඇය නිතරම හිනාවෙලා ඉන්න කෙනෙක්. ඇගේ ඇවතුම් පැවතුම් වලත් හරිම නිවුණු පෙනුමක් තියෙනවා.

අනෙකුත් චරිතවලට නළු නිළියෝ තේරුවෙත් ඒ ඔවුන්ගේ සැබෑ ජීවිතය ගැනත් හිතලද?


නැහැ ..... රොෂාන් රණවක රඟපාන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතයට හාත් පසින්ම වෙනස් චරිතයක්. නන්ද කියන්නේ විසිහතර පැයේම බිමතින් සිටින සහ නගර සෝභනියන් පසුපස යන කෙනෙක්. මුලදී මට ‍පොඩි චකිතයක් තිබුණා රොෂාන්ට මේ චරිතය හරියට කරන්න හැකිවේවිද කියලා. ඒත් ඔහු ඉතාමත් අපූරුවට නන්දගේ චරිතය රඟපෑවා.

සුභා තෙරණියගේ කතාව කැපී පෙනෙන සුවිශේෂ චරිතයක් තමයි නන්දා නමැති නගර සෝභීනියගේ චරිතය. එම චරිතය රඟපාන්නේ උදයන්ති කුලතුංගයි. නන්දා නමැති නගරසෝභනියගේ චරිතයට උදයන්ති එකතු වීම පිටුපස තියෙන අපූරු කතාවක් ගැනත් සුමිත් හෙළි කළා.


“මුලින්ම මම උදයන්තිව තෝරා ගත්තේ සුභාගේ මිතුරියගේ චරිතයටයි.

ඇය  නන්දාගේ චරිතයත් හොඳට රඟපායි කියන විශ්වාසය මට තිබුණා. චිත්‍රපටයේ පිටපත මම උදයන්තිට දීලා චරිත දෙක ගැනම කිවිවා. සුභාගේ මිතුරියගේ චරිතය චිත්‍රපටය පුරාම දිවෙනවා.

නමුත් නන්දාගේ චරිතය මතුවෙන්නේ  තැනින් තැන විතරයි. පිටපත කියවලා උදයන්ති කිව්වා එයාට නන්දාගේ චරිතයම අවශ්‍ය බව. ඇත්තටම නන්දා නමැති නගර සෝභනියගේ චරිතය චිත්‍රපටයේ තැනින් තැන මතුවුණත් එය චිත්‍රපටය පුරාම සුවිශේෂී චරිතයක් විදියට දැනෙනවා. උදයන්ති අපූරුවට ඒ චරිතය රඟපෑවා ....”


චිත්‍රපටයේ රූගත කිරීම් තිබුණේ ඈත බෙලිහුල්ඔය කැලෑබද ප්‍රදේශයක කූඩැල්ලන් බහුල ප්‍රදේශයේ කරන රූගත කිරීම් රුවන්ගිට නම් අපහසුතාවයන් ඇතිකරවන අත්දැකීමක් වුණාලු. ඊට හේතුව ඇය කූඩැල්ලන්ට ගොඩක් බය කෙනෙක් වීමයි.

“සිවුරු ඇඳලා මෙහෙණියක විදියට සන්සුන්ව ගමන් කරද්දී කූඩැල්ලෙක් කකු‍ලේ නැග්ගොත් රුවන්ගිට උන්හිටි තැන් අමතක වෙනවා. රූගත කිරීම් අතර කූඩැල්ලෙක් ඇගේ ඇඟට නගිනවා දැක්කත් ඇයට ඒක අඟවන්න එපා කියලා මම   නිෂ්පාදක කණ්ඩායම දැනුවත් කරලයි තිබුණේ.

ඒ වගේ අවස්ථාවල රූ ගත කිරීම නිම වුණාමයි රුවන්ගි දැන ගත්තේ කූඩැල්ලෙක් ඇඟට නැඟලා ඉන්න බව. එහෙම වුණාම නම් ඇයට උන්හිටිතැන් අමතක වෙනවා ....”

සුභා තෙරණිය රූගත කළ කාලයේ රසමුසු තැන් පිරුණ එකක් බවයි සුමිත් පවසන්නේ.


නමුත් චිත්‍රපටයේ කතා තේමාව දැනගෙන සියලුම නළු නිළියන් ඉතා සංයමයෙන් කටයුතු කළ බවත් අධ්‍යක්ෂවරයා පවසනවා.

සුමිත් කුමාර

ආරියවංශ කුලතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.