lakbima.lk

හින්දු කතක් ගාන්ධිට වෙඩි තබයි

මහත්මා ගාන්ධිතුමාගේ 71 වැනි අනුස්මරණයට සමගාමීව ඉන්දියාවේ හින්දු මහා සභා නම් දක්ෂිණාංශික හින්දු කණ්ඩායමක් විසින් සංවිධානය කර තිබූ උත්සවයකදී එක් කාන්තාවක් විසින් මහත්මා ගාන්ධිතුමාගේ ඡායාරූපයකට වෙඩි තබා තිබුණි.

මෙසේ ගාන්ධිතුමාගේ ඡායාරූපයකට වෙඩි තබා ඇත්තේ එකී සංවිධානයේ නායිකාවක බව කියන පූජා පාන්ඩේ නම් තැනැත්තියයි. ඇය ගාන්ධිතුමාගේ ඡායාරූපයට වෙඩි තබා ඇත්තේ 1948 ජනවාරි 30 වැනිදා මහත්මා ගාන්ධිට වෙඩි තබා ඝාතනය කළ නතුරාම් ගොඩ්සේගේ ඡායාරූපයකට මල් දමක්  පැලඳවීමෙන් අනතුරුවය.

මහත්මා ගාන්ධිතුමන් පමණ ඉක්ම වූ මුස්ලිම් හිතවාදියකු බවත් ඉන්දියාවෙන් වෙන්කර පාකිස්තානය ලෙස වෙනම රටක් නිර්මාණය කරගැනීමට මුස්ලිමුන්ට උදව් කළ පුද්ගලයා බවත් කියන මෙම හින්දු අන්තවාදීන් මහත්මා ගාන්ධි හඳුන්වන්නේ ඉන්දු - පාකිස්තාන් ‍ලේ වැගිරීම්වලට මුල්වූ පුද්ගලයා හැටියටය.

මෙවැනි දක්ෂිණාංශික හින්දු කණ්ඩායම් මීට පෙරද ඉන්දියාවේදී ගොඩ්සේ සමරා ඇති අතර 2015 දීත් ඔහුගේ පිළිරූ හයක් කර්ණාටක ප්‍රාන්තයේ ස්ථාපිත කිරීමට උත්සාහ දරා තිබුණි.

කෙසේ වෙතත් මේ වනවිට ගාන්ධිතුමාගේ ඡායාරූපයට වෙඩි තැබූ පූජා පාන්ඩේ ‍පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇගේ සැමියාද අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ.

රත්නපාලී

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.