lakbima.lk

ලංකාවෙන් පලා ගිය අයිඑස්ලා සොයා ඉන්දියාවේ මෙහෙයුම්


ශ්‍රී ලංකාවෙන් පලා ගිය අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අයත් 15 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සොයා ඉන්දීය නාවික හමුදාව ‍පෝක් සමුද්‍ර සන්ධියේ හා ඉන්දීය වෙරළ තිරයේ මෙහෙයුම් මාලාවක් ආරම්භ කර ඇත.


පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන හා තරු පන්තියේ සංචාරක හෝටල් ඉලක්ක කර එල්ලවූ අයි.එස්. ප්‍රහාර මාලාවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුකරන සෝදිසි මෙහෙයුම් ඉහළ යෑම නිසා මෙම පිරිස උතුරුකරයේ සිට මුහුදු යාත්‍රා මගින් ඉන්දියාවට පලා යන්නට ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


 15 දෙනකුගෙන් යුත් අයි.එස්. ත්‍රස්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවකින් ඉන්දියාවේ මිනිකොයි දූපතට පලා ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති බවත්, ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව තම සියලුම නාවික යාත්‍රා දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉරුගල් සූරියබණ්ඩාරද ප්‍රකාශ කර ඇත.


කෙසේ වෙතත් ඉන්දීය නාවික හමුදාව මේ සිදුවීම පිළිබඳ නිල වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කර නොමැති බවත්,  හඳුනා ගත් තොරතුරු මත තම නාවික යාත්‍රා දැනුවත් කළ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පැවැසීය.


ශ්‍රී ලංකාවෙන් පලා ගිය මෙම පිරිස සොයා කේරළය අවට සාගර කලාපයේ මෙහෙයුම ක්‍රියාත්මක වන බවත් එම පිරිස මිනිකොයි දූපතේ කොටු වී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

තනුජා නානායක්කාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.