lakbima.lk

සරල කාන්තා භූමිකාවෙන් මිදී තම හැකියාව මතින් ඉදිරිය සකසා ගැනීමට උත්සුක වූ කාන්තාවක් පිළිබඳයි මේ පිළිසරඳර.ඇය ගංගා තුෂාරි යක්දෙහිගේ ගංගා ස්වයං රැකියාවක් හරහා ජීවිතය දිනාගත් කාන්තාවක්.


ඔබ ගැන පුංචි විස්තරයක් කිව්වොත් ?


මම විවාහකයි. මගේ සැමියා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරනවා. අපට පාසල් අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනෙක් ඉන්නවා. අපි දැනට පදිංචිවෙලා ඉන්නේ සබරගමු විශ්වවිද්‍යාලයීය නිල නිවාසකයි.

ඔබ කොහොමද ස්වයං රැකියාවකට යොමුවුණේ ?


මම විවාහයට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි උපදේශිකාවක ලෙස සේවය කළා.
විවාහයෙන් පසු මම රැකියාවෙන් ඉවත් වුණා. ඊට පස්සෙ සැමියාගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා අපි වසර හයකට විදේශ ගතවුණා.

නැවත 2008 වසරේ ලංකාවට ඇවිත් සබරගමුව විශ්වවිද්‍යාල නිල නිවසේ පදිංචියට ඒමත් සමග නිකං ඉන්න කාලය තුළ මට හිතුණා මගේ දැනුමත් එක්ක ගෙවතු වගාව කරන්න. මොකද අද තියන තත්ත්වයත් එක්ක ගෙදරදීම හදාගත්ත එළවළු පරිභෝජනයට ගැනීමට වාසිදායකිය.


ඒ සමග මම යාළුවෙක් හරහා ගොතන්න පුරුදු වුණා. පසුව ඒ ලැබුණු අත්දැකීමත් එක්ක මම ඉවතලන රෙදි අමුද්‍රව්‍ය ලෙස ගෙන පාපිස්සක් නිර්මාණය කළා. පසුව ඒ ආපු ආසාවත් එක්ක මගේ හිතේ මැවුණු නිර්මාණ අත්හදා බැලුවා. ඇත්තෙන්ම එය සාර්ථක වුණා.

ඔබ මොනවද ඒ කරපු නිර්මාණ ?


ඉවතලන රෙදි පටිවලින්, කුෂන් කවර, විසිතුරු පෙට්ටි, ගෘහ උපකරණ, මල් ‍පෝච්චි, බෝතල් බහලන පෙට්ටි, බිත්ති සැරසිලි වැනි දේවල් ඉවතලන රෙදි පටි උපයෝගී කරගෙන නටුවෙන් ගොතලා නිර්මාණය කළා.

මේ නිර්මාණ ඔස්සේ ඔබ ව්‍යාපාර ක්ෂේත්‍රයට අවතීර්ණ වුණා ?


මගේ මේ නිර්මාණ දැකලා සබරගමු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් වන නිරෝෂා පරණවිතාන නමැති මගේ මිතුරියක් තමයි මෙය ව්‍යාපාරයක් ලෙස කරන්න මාව උනන්දු කළේ. පසුව මම ප්‍රථම නිර්මාණ ප්‍රදර්ශනය සබරගමුව විශ්වවිද්‍යාල භූමියේදී පැවැත්වූවා. එහිදී හොඳ ප්‍රතිචාර ඉල්ලුම් ගලා ආවා. ප්‍රදර්ශන නිර්මාණ එකක්වත් ඉතිරි නොවී එදා අලෙවි වුණා.


ඒ ලැබුණු පන්නරයෙන් මගේ ගමන්මගට ලොකු ශක්තියක් ආවා.
පසුව මම සිසුවියන් පහකට මේ පුහුණුව සමග වැටුප් දීලා ඇණවුම්වලට නිර්මාණය කළා.
ඉවතලන රෙදිපටි ගෙතුම්වලින් කාන්තා අත්බෑගත් මම නිර්මාණය කළා. එයට හොඳ ඉල්ලුමක් ලැබුණා.
පසුව මම නැවත සබරගමුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙත් ප්‍රදර්ශන පැවැත්වූවා.  2016 වසරේ ප්‍රදර්ශනයක් සඳහා ඉන්දියාවෙත් ගියා.

ඔබ සම්මාන කුසලතා එහෙමත් හිමිකරගත් දක්ෂ ව්‍යාපාරික කාන්තාවක්. ඒ ගැන ටිකක් කිව්වොත් ?


ජාතික ශිල්ප සභාව මගින් පවත්වපු 'විවිධ' අංශයෙන් 2015 වසරේ ප්‍රථම ස්ථානය මා ලබා ගත්තා.
නැවත ජාතික ශිල්ප සභාවෙන්ම පැවැත්වූ ප්‍රදර්ශනයේදී දෙවන ස්ථානය හා කුසලතා සම්මාන හිමිකර ගත්තා.
රත්නපුර වාණිජ මණ්ඩලය සබරගමුව පළාත් හරහා 2018 වසරේ හොඳම ව්‍යාවාසක ක්ෂුද්‍ර ව්‍යාපාර අංශයේ රිදී සම්මානය ලබා ගත්තා.    

ඔබට මේ ව්‍යාපාරය කරගෙන යන්න අතහිත දෙන අය ඉන්නවද?


ඔව්. විශේෂයෙන් මගේ සැමියා චමින්ද වල්පිට ඔහු තමයි ලොකුම සහයෝගය හා ශක්තිය. මගේ දෙමව්පියෝ / දරුවෝ දෙන්නා ඒ වගේම මට ක්ෂේත්‍රයට එන්න උදව් කළ මරියා වගේම නිරෝෂා ජාතික ශිල්ප සභාවේ මනෝරි ඇල්ලගෙදර රත්නපුර කුඩා ව්‍යෘපාරයේ නිලධාරින් බළන්ගොඩ විදතා මධ්‍යස්ථානයේ උදාරි නෙල්කා හේවගේ, රත්නපුර කර්මාන්ත සංවර්ධන අධිකාරිය සැමියාගේ විශ්වවිද්‍යාල මිතුරන් අපනයන සංවර්ධන මණ්ඩලය ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව, මට වබේ අඩවිය නිර්මාණ කරලා දුන් විශ්වවිද්‍යාලයීය සිසුවකු වන නිමේෂ් මේ හැමෝම. මගේ නිර්මාණ පිළිබඳ දැනගන්න පුළුවන් www.thushiscreations.com  වබේ අඩවිය හරහා.

ඔබේ නිර්මාණ ව්‍යාපාරයේ නම ?

තුෂි ක්‍රියේෂන්ස්
 

ඔබ වගේ මෙවැනි ව්‍යාපාරයකින් ඉදිරිය සකසා ගන්න කැමති කෙනෙකුට දිය හැකි පණිවුඩය කුමක්ද?


ඇත්තෙන්ම කාන්තා චරිතය කිව්වාම ගෙදරටම කොටුවෙලා නිකං ඉන්නවාට වඩා තමා අවට තියන පරිසරය එක්ක බද්ධ වූ විට තම පවු‍ලේ අනාගතය ගොඩනගා ගැනීමට එතනින්ම උදව්වක් ලැබෙනවා.

ණය වෙලා බරක් වෙලා ව්‍යාපාර කරනවාට වඩා ටික ටික තමාගේ ශක්තිය තුළින් නැගිටින්න පුළුවන්නම් එතන තමයි වටිනාකම.

මම ජීවිතය ජයගත්තේ මගේ අවට ඉවතලන පරිසර හිතකාමී අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන. මම දැන් මේ ඉන්න තත්ත්වයට ආවේ මගේම උත්සාහයෙන්. මං දැනටත් නිකං ඉන්න කැමති නෑ. මගේ ගෙදර මම ටීවී බලන්න කාලය වැය කරන්නෙ නෑ. ඒ කාලයත් මම ප්‍රයෝජනවත් යමකට එක් කරනවා. මං මීට අමතරව වගා කටයුතුත් කරනවා.

සැකසුම - හේෂාණි බණ්ඩාර

Page 1 of 24

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.