lakbima.lk

සුෂුම්නාව සමග අවයව රැසක් බේරාගෙන කරාපිටියේදී කළ මහා ධමනියේ විස්මිත සැත්කම

දැන් දැන් සැත්කම් අපට අමුතු දෙයක් නොවුණද හෘදය, පෙණහලු වැනි සංකීර්ණ අවයව ආශ්‍රයෙන් කරන සැත්කම් පිළිබඳ බොහෝ දෙනකු තුළ තවමත් ඇත්තේ බියමුසු කුතුහලයකි. එහෙයින් එවැනි සැත්කමකට නිර්දේශ වන රෝගීන් හා ඔවුනගේ භාරකරුවන් තුළද ඇතිවනුයේ බරපතළ නොසන්සුන්තාවකි. 

එහෙත් නූතන විද්‍යාවේ දියුණුව සමග බොහෝ අසීරු සැත්කම් කඩිනමින් තමන්ට විශ්වාසයෙන්ද සාර්ථකව නිම කිරීමට වෛද්‍යවරු සමත් වෙන බව දැන් රහසක් නොවේ. එවැනි විස්මිත සැත්කමක් සාර්ථකව නිම කරන්නට පසුගියදා කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සමත් වූහ. උරස් කුහරයේ හා උදර කුහරයේදී සෙන්ටිමීටර් හතක් පමණ ප්‍රසාරණය වූ මහා ධමනිය සැත්කමක් මගින් යථා තත්ත්වයට  පත් කිරීම එම සැත්කමයි මෙම සැත්කමට බඳුන්වූයේ වයස අවුරුදු 70ක පමණ රෝගියෙකි


 ජීවිතයත් මරණයත් අතර පසුවූ ඔහු මෙම විස්මිත සැත්කමින් පසු දැන් වේගයෙන් සුවය ලබමින් සිටී.
මෙම ශල්‍යකර්මය සිදුකොට එම රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට සමත්වූයේ කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ රුධිරවාහිනී හා අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි ඇතුළු වෛද්‍ය කණ්ඩායමයි.


මෙම සැත්කමට භාජනය වූ රෝගියාගේ උරස් කුහරයේ හා උදර කුහරයේ මහා ධමනිය මහා ප්‍රාචීරය හරහා සෙන්ටිමීටර් හතක් පමණ ප්‍රසාරණය වී තිබුණ බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි පෙන්වා දෙන්නේය.

සැත්කම නිසි වේලාවේදී සිදු නොකළේ නම් ඔහුගේ ධමනිය ඇතැම් විට පුපුරා යෑමටද ඉඩ තිබිණි. එසේ වූවේනම් ඔහුගේ ජීවිතය පවා අහිමි වීමට බොහෝ ඉඩ තිබූ බව වෛද්‍යවරු පවසති. මේ නිසාම මෙම සැත්කම ඉතා අවදානම් සහගත සැත්කමක් මෙන්ම කඩිනමින් කළ යුතු වුවක් බව මැනවින් පැහැදිලි වන්නකි.


දකුණු පළාතේ රෝහලක මෙවැනි සැත්කමක් කළ පළමු අවස්ථාව මෙය වන අතර ශ්‍රී ලංකාවේ සිදුකොට ඇති මෙවැනි සැත්කම් අතුරින් සාර්ථක වී ඇත්තේද කිහිපයකි.


මේ අසීරු සැත්කම පිළිබඳව අදහස් දක්වමින් විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මෙසේ පවසන්නේය.
“මහා ධමනිය කියන්නේ හෘදය වස්තුවෙන් පටන් අරගෙන අත්වලට හා මොළයට රුධිරය සපයන ප්‍රධාන ධමනියක්. මේ ධමනිය උරස්කුහරය හරහා උදර කුහරයට එනවා. මෙම ධමනියෙන් තමයි අක්මාවට, ආමාශයට හා ඉතුරු කොටස් වලට රුධිරය සපයන්නේ.

ඉන් පසු නහර හරහා මහා බඩවැල්වලට වගේම වකුගඩු වලටත් රුධිරය සපයනවා. අපි සැත්කමට ලක් කළ පුද්ගලයාගේ උරස්කුහරයේ සහ උදර කුහරයේ මහා ධමනිය ප්‍රසාරණය වෙලා තිබුණේ. මෙහිදී අප මහා ප්‍රාචීරය හරහා අනිකුත් නහරත් සමග ප්‍රසාරණය වී තිබුණූ මහා ධමනිය විවෘත කරලා එහි බද්ධ කිරීමක් කළා.

ඉන් පසුව සුෂුම්නාවට යන නහර බද්ධ කළා. ඒ වගේම බඩවැල්වලට යන නහරත් බද්ධ කළා. “විනෝ විනස් බයිපාස්” සැත්කමක් තමයි අපි මෙහිදී සිදු කළේ. අපි මහ ශිරාවටයි, කකු‍ලේ තිබෙන ශීරාවකටයි බට දෙක්ක දාලා රුධිරය අනිත් පැත්තට ගලා යෑමට සැලැස්සුවා. ඒ වගේම උරස් කුහරයේ ඉඳලා උදර කුහරයට ප්‍රසාරණය වී තිබෙන නිසා සැත්කම කරද්දී කකුල් දෙක පනනැති වෙන්නත් පුළුවන්.

එහෙම වෙන්නේ සුෂුම්නාවේ තිබෙන නහරත් රුධිර වාහිනියෙන් අවහිර වෙන නිසා. මේ නිසාම අපි සුෂුම්නාවට ‍පොඩි බටයක් දාලා සුෂුම්නා තරලය අයින් කළා. සුෂුම්නාවේ තිබෙන පීඩනය අඩු කරන්න. අපි මේ සැත්කම සුෂුම්නාව ආරක්ෂා වෙන විදිහට සාර්ථකව නිම කළා.” වෛද්‍ය උඹේසිරි පවසන්නේය.


අවදානම් සහගත මෙවැනි සැත්කමකින් අනතුරුව අදාළ පුද්ගලයාට ජීවත්වීමට නැවතත් අලුත් බලා‍පොරොත්තුවක් ලැබි තිබෙන්නේ  කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ රුධිරවාහිනී හා අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි, හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ටේ‍රා්ලුෂා හරිස්චන්ද්‍ර හා වෛද්‍ය රිචඩ් පර්මින්, නිර්වින්දන වෛද්‍ය ගිහාන් පියසිරි ඇතුළු අවයව බද්ධ කිරීමේ ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ උත්සාහය හා කැපවීම නිසාවෙනි.

සමන්මලී නැලිගම

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.