lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

'සෙම' යනු අපේ ජන ව්‍යවහාරයේ පවතින වදනකි. එසේම ආයුර්වේදයේද ‘සෙම’ යනුවෙන් ව්‍යවහාර වේ. නමුත් බටහිර ප්‍රතිකාර ක්‍රමයේදී ‘‍සෙම’ යන්න ඒ අර්ථයෙන්ම පාවිච්චි කිරීම කළ නොහැකිය. එය හඳුන්වන්නේ වත්මන් රෝගවල ප්‍රකාශනයක් ලෙසිනි. ඒ අනුව සෙමට ප්‍රතිකාර කරන්නේ එම රෝගය කුමක්ද යන්න හඳුනා ගෙනය.

කුඩා දරුවන් සිටින මව්පියන්ට ‍තිබෙන ලොකුම ගැටලුවක් බවට පත්ව ඇත්තේ ද දරුවාට ‘සෙම’ තිබීමය.

සෙම යන්න මව්පියවරු විවිධ ආකාරයෙන් අර්ථ දක්වති.

නාසයෙන් දියර ගැලීම, නාසය හිර වීම නිසා හුස්ම ගැනීම අපහසු වීම, කැස්ස, තද බල කැස්ස සමඟ උණ වැනි මේ සෑම දෙයක්ම බොහෝ දෙනෙක් අර්ථ දක්වන්නේ ‘සෙම’ ලෙසිනි.

උදේට අවදි වූ පසු කිහිප වරක් කිවිසුම් යාම සමහර දරුවන් තුළ පැවතිය හැකිය. නමුත් කිවිසුම් කිහිපයක් යාම හැර වෙනත් අපහසුවක් නොමැති නම් එය ‍රෝගයක් නොවේ. උදය කාලයට පරිසර උෂ්ණත්වය අඩු වීම වැනි පරිසර වෙනස්වීම් මේ සඳහා බලපාන අතර මෙයට ප්‍රතිකාර අවශ්‍ය නැත.

නමුත් කිවිසුම් යාම සමඟ නාසය තද බල ලෙස අවහිර වන්නේ නම් සහ දිගටම වතුර මෙන් නාසයෙන් දියර ගලන්නේ නම් එය පීනස් රෝගයයි. පීනස, ආහාර නිසා මෙන්ම පරිසරයේ වෙනස් වීම් නිසාද හට ගත හැකිය.

පරිසර සාධක අතර වාහන දුම්, දූවිලි ආදිය විශේෂ ය. එසේම දවස පුරා වායු සමනය කරන ලද කාමරවල සිටින අය එම කාමරයෙන් වරින් වර පිටතට ඒම සහ නිතර නිතර ඇතළට යාම වැනි හේතුද මෙයට බලපායි. සාමාන්‍යයෙන් වාසු සමනය කළ කාමරයක පවතින්නේසෙල්සියස් අංශක 18 – 22 ක් වැනි උෂ්ණත්වයකි. එහි සෑහෙන වෙලාවක් ගත කර ඉන් පිටතට එන විට පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 – 32 පමණ වුවද විය හැකිය. මේ ලෙස වරින් වර ක්‍ෂණිකව උෂ්ණත්වයේ අඩු වැඩි වීම්වලට මුහුණ දෙන්නට සිදුවීමත් සමහරුන්ට පීනස් තත්ත්වය හට ‍ගැනීම සඳහා‍ බලපානු ඇත.

නාසය හිර වීම නිසා රාත්‍රී හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වන්නේ නම් එයද පීනස් රෝගයේ ලක්‍ෂණයකි.

පීනස නිසා නිතර කැස්සද ඇති විය හැකිය. ඊට අමතරව ඇදුම රෝගයේ මුල් අවස්ථාවේදී ද මෙලෙස කැස්ස ඇතිවේ.

සාමාන්‍ය ව්‍යවහාරයේ දී කැස්ස හඳුන්වන්නේ 'සෙම' ලෙසය. හුස්ම ගැනීමේ අපහසුවක් නැතිව දිගු කාලීනව කැස්ස පවතින්නේ නම් එය ඇදුම රෝගයේ මූලික ප්‍රකාශනයකි.

ළමා රෝග විශේෂඥ - වෛද්‍ය අජිත් අමරසිංහ

සටහන - ඉන්දු පෙරේරා

අසනීප‍යක් ඇ‍‍ඟේ පතේ වේදනාවක් ඇති වුණාම අපි සොයා යන්නේ බෙහෙත් පෙත්තක්. සමහරු අනුන්ගේ ලෙඩවලට දුන් බෙහෙත් පෙතිත් ගන්නවා. තවත් අය ෆාමසියට ගිහින් නම කියල බෙහෙත් පෙති ඉල්ලනවා. හරියට සබන් කෑල්ලක් ගන්නවා වගේ.

වතුර බඳුනකට ලුණු කැටයක් දැම්මොත් ඒ වතුර ලුණු රස වන බව ඔබ දන්නවා. ලුණු හැදිලා තියෙන්නෙ සෝඩියම් හා ක්ලෝරීන් එකතු වීමෙන්. සෝඩියම්වත් ක්ලෝරින්වත් තව දුරටත් බෙදන්න බෑ. මුළු ලෝකෙම හැදිල තියෙන්නෙ සෝඩියම්, ක්ලොරින් වැනි මූලද්‍රව්‍ය එකසිය දාහතෙන් එකක් හෝ කීපයක් එකතු වෙලා. මේ අනුව ලුණුවල අඩංගු මොනවද කියල ඔබ හරියටම දන්නවා. ඒ වගේම ලුණු කැටයක් වතුර භාජනයකට දැම්මම එහි වතුර ලුණු රස වන බවත් ඔබ දන්නවා.

බටහිර ඖෂධ, එහෙමත් නැත්නම් බොහෝ දෙනෙක් දන්නා භාෂාවෙන් කිව්වොත් ඉංග්‍රීසි බෙහෙත් කියන්නෙ ඒ කුඩා පෙත්ත තුළ අඩංගු දේ හරියටම වෛද්‍යවරයා විසින් හඳුනන, ඒක බිව්වම ශරීරය තුළ  වෙනසක් ඇති කරන බොහොම ශක්තිමත් දෙයක්. බටහිර ඖෂධ නොවන වෙනත් බෙහෙත් වර්ග වල අඩංගු දේවල් ගැන විශ්ලේෂණයක් බොහෝ විටම සිදුවන්නෙ නෑ.

බෙහෙතක් ශරීරයට හරියටම උරා ගන්නා ක්‍රම කිහිපයක් තියනවා. බොහෝ විටම අප කරන්නෙ බෙහෙත් මුඛයෙන් ගැනීමයි. ඒ හැරුණු විට ඉන්ජෙක්ෂන් ලෙසින්, දිවයට තැබීමෙන්, හුස්ම සමඟ පපුවට ඉරීමෙන් මෙසේ ඒ ඒ බෙහෙත් වලට අනුව ඒ ඒ ආකාරයෙන් ශරීරගත කෙරෙනවා. බෙහෙත ශරීරයට ගත් පසු එය අවශ්‍ය තැනට, එනම් රෝගය ඇති තැනට ගෙනියන්නෙ රුධිරය විසිනුයි. රුධිරය ශරීරය පුරා ගලා යන විට බෙහෙත ද ඒ සමඟ සිරුර පුරා ගමන් කරනවා. අවශ්‍ය තැනදී එය ක්‍රියාකාරී වන අතර අනවශ්‍ය තැන් වලටත් රුධිරය සමඟ ගමන් කරන්නේ ඉබාගාතේ යන ගමනක් ලෙසිනුයි.

සමහරක් බෙහෙත් වර්ග කෑමට පෙර ගන්නා ලෙස උපදෙස් දෙනවා. ඒ වගේම බොහොමයක් බෙහෙත් වර්ග කෑමට පසුවයි ගන්නෙ. කෑමට පෙර ගන්න කියන්නෙ කෑම සමඟ මිශ්‍ර නොවීමටයි. එනිසා බෙහෙත් ගත් වහාම ආහාර ගැනීම නොකළ යුතුයි.  එවැනි බෙහෙත් වර්ග ගත් විට පැය භාගයකට පමණ පසුවයි ආහාර ගත යුතු වන්නෙ. එයට හේතුව බෙහෙත පැය භාගයක් පමණ ආමාශය තුළ රැඳී පැවැතීමයි.

සමහර බෙහෙත් වර්ග කෑමට පසුව ගන්නා ලෙස උපදෙස් දෙන්නෙ එම බෙහෙත් කෑම සමඟ මිශ්‍ර විය යුතු නිසයි. එහිදී කෑම ගත් පසු පැය භාගයක් පමණ ඇතුළත ඕනෑම වෙලාවක එය ගත හැකියි. ප්‍රමාද වී ගැනීම පලක් නෑ. හේතුව එවිට ආහාර දිරවා තිබෙන නිසයි.

තවත් සමහර බෙහෙත් වර්ග ගත යුතු වන්නේ පැය හයකට වරක් වශයෙනුයි. එයට හේතුව පැය හයකින් පසු එම ඖෂධය ශරීරය තුළ ක්‍රියාකාරි වී අවසන් වීමයි. පැය හයකට පසු නැවත ඊළඟ බෙහෙත් වේල ගත යුතුයි. දිනකට දෙවරක්, දවසට එක් වරක් ආදී වශයෙන් ගන්නා ඖෂධයක් මෙලෙස ඒ නියමිත කාලයෙන් පසු එහි ක්‍රියාකාරී බව නැතිව යනවා.

බෙහෙත් ඔබට ලබා දී ඇති මාත්‍රාවටම ගත යුතුයි. පෙති දෙකක් එකවර ගන්නා ලෙස උපදෙස් දුන් විට ඔබ එක පෙත්තක් ගැනීම හෝ පෙති තුනක් ගැනීම හොද්දට ලුණු අඩු වැඩි වීම වගේ දෙයක්.

ලුණු ප්‍රමාණය හැන්දෙන් මනිනවා වගේ අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය මනින්නෙ මිලි ග්‍රෑම් වලින්. ඔබට සුදුසු වන්නෙ මිලි ග්‍රෑම් සියයක් නම් එය මිලිග්‍රෑම් පනහේ පෙති දෙකක් හෝ මිලිග්‍රෑම් දෙසීයේ පෙත්තකින් භාගයක් විය හැකියි.

සමහර විට ශරීරය තුළ බෙහෙත් අතර ගැටුම් ඇති වන්නේ ඉඟුරු සහ මඤ්ඤොක්කා වගේ. එනිසා වෛද්‍යවරයා ඔබට බෙහෙත් ලියන්නට සූදානම් වන විට ඔබ දැන් පාවිච්චි කරන බෙහෙත් වල නම් වෛද්‍යවරයාට පෙන්විය යුතුයි. බෙහෙත් පෙති පෙන්වීමෙන් ඇතැම් විට ප්‍රයෝජනයක් නොවිය හැකියි. හේතුව ඖෂධයක බාහිර පෙනුම එය නිපදවන සමාගම් වලට කැමති පරිදි සිදුවීමයි.

සමහර බෙහෙත්වලට එහි ඖෂධ නාමය හැරුණු විට එය නිපදවන සමාගම විසින් තවත් නමක් යොදනවා. එය හඳුන්වන්නේ ඖෂධයෙහි වෙළෙඳ නාමය ලෙසයි. නිදසුනක් ලෙස පැරසිටමෝල් ඖෂධය විවිධ වෙළෙඳ නාම ගණනාවකින් පැවැතීම දැක්විය හැකියි.

බෙහෙත් වර්ග අප ගැනීමෙන් පසු ඇතැම් ඒවා පිට වන්නේ වකුගඩු හරහා මුත්‍රා සමගයි. තවත් ඒවා අක්මාව හරහා මල සමඟ පිට වෙනවා. බොහෝ ඖෂධ ශරීරයෙන් පිට වන්නේ මේ ක්‍රම දෙකටයි. එනිසා වකුගඩු රෝගීන්ට මෙන්ම අක්මා රෝගීන්ටත් නොගැළපෙන බෙහෙත් වර්ග තිබෙනවා. ඒ වගේම තවත් බෙහෙත් වර්ග දිගු කලක් ගත් විට ශරීරයේ ඇතැම් අවයවවලට ඔරොත්තු නොදෙන තත්ත්වයක් ඇති වන්න පුළුවන්. වෛද්‍යවරයකුගේ උපදෙස් මතම ඖෂධ ගත යුතු වන්නේ මෙවැනි හේතු නිසයි.

සමහර රෝගවලට දෙන බෙහෙත් වර්ග සිරුරට විෂ විය හැකි බව වෛද්‍යවරුන් දන්නවා. නමුත් රෝගයේ ඇති අවදානම ඊට වඩා වැඩි නම් එවැනි ඖෂධ රෝගීන්ට නියම කරන්නට වෛද්‍යවරයාට සිදු වෙනවා.

තවත් සමහර ඖෂධ වර්ග අප ගත් පසු ඒවා අපේ ශරීරය විසින් ප්‍රතික්ෂේප කරනවා. බෙහෙත් අසාත්මිකවීම හෙවත් ඇලජික් (Allergic) වීම ලෙස හඳුන්වන්නේ එයයි. යම් අවස්ථාවක ‍එලෙස කිසියම් ඖෂධයක් ඔබේ සිරුරට අසාත්මික වුවහොත් එය මුළු ජීවිත කාලයටම වලංගු වන බව සිහි තබා ගන්න. ඒ අනුව එම ඖෂධය වෛද්‍යවරයා වෙතින් ලියවා ගෙන ළඟ තබා ගත යුතුයි. ඔබ ඕනෑම අවස්ථාවක කිනම් රෝගයකට හෝ ප්‍රතිකාර ගැනීමට ගිය විට එම ඖෂධය ලියූ තුණ්ඩුව අදාළ වෛද්‍යවරයාට පෙන්වන්න. එවිට ඒ ඖෂධය නොදී හිඳින්නට වෛද්‍යවරයා වග බලා ගන්නවා.

කොහොම වුණත් ඔබට කුමන ඖෂධය අසාත්මික විය හැකි දැයි එවැනි අත්දැකීමක්  ලැබීමට පෙර ඔබ දන්නෙ නෑ. ඒ වගේම  ඔබට අසාත්මික විය හැකි ඖෂධ ගැන වෛද්‍යවරයා දන්නෙත් නෑ. ඖෂධයක් අසාත්මික වුණාම ඔබ එය සිහි තබා ගත යුත්තේ ඒ නිසයි.

සමහර බෙහෙත් වර්ග බොන විට ඇතිවන ගැටලු බෙහෙත්වල අතුරු ආබාධයි. නිදසුනක් ලෙස සමහර බෙහෙත් නිසා ඔබට බඩ දැවිල්ල ඇතිවිය හැකියි. කෙසේ හෝ මේ අතුරු ආබාධ ද එම බෙහෙත් සම්බන්ධයෙන් ජීවිත කාලයටම පවතිනවා.

අධි රුධිර පීඩනයට ගන්නා සමහර බෙහෙත් වර්ග නිසා කකුල් ඉදිමීම, වියළි කැස්ස ඇති වීම සුලබ තත්ත්වයක්. එවැනි අවස්ථාවලදී බෙහෙත් වෙනස් කිරීම ප්‍රමාණවත්.

මේ ආකාරයට ඖෂධ විසින් අපට ලැබෙන වාසි විශාල වගේම අවාසිත් නැතුවා නොවෙයි. ඒත් අප රෝගී වීම වළක්වන්න බෑනේ. එනිසා ඖෂධත් අපේ ජීවිතවලට නැතිවම බෑ. ඔබ කළ යුත්තේ වෛද්‍ය උපදෙස් පිළිපැදීමයි.

 

උපදෙස් - කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

ඉන්දු පෙරේරා

‘සිල්වා මහත්තයා අන්ත්‍රාවෙලාලු’ සඳුදා උදේ කාර්යාලය පුරා පැතිර ගියේය. සෑම දෙනා තුළ ඇති වුණේ අති මහත් විස්මයකි.

‘ඒ මොන අපරාදයක්ද; පසුගිය සිකුරාදාත් හොඳට හිනාවෙලා කතා කරලා ගිය මනුස්සයා? බොහෝ දෙනෙක් දෙනෙත් උඩ හිඳුවාගෙන එසේ ඇසූහ.

“අනේ අපිත් කිසිම දෙයක් දන්නේ නැහැ; මොළයට විෂබීජයක් ගිහින් කියල විතරයි දන්නේ;” ඒ පිළිබඳ තොරතුරු දැන හිඳින්නවුන් ගේ පිළිතුර වූයේ එයයි.

මොනවද මේ විෂබීජ කියන්නේ?

විෂබීජ යනු විෂ සහිත ඉතාම කුඩා සතුන් වැනි ජීවීන් වර්ගයකි. විෂබීජවලටත් අපට මෙන් ආහාර, ඔක්සිජන් සහ උණුසුම අවශ්‍යයි. අපට මෙන් ඔවුන්ට ද පරම්පරාවක් තිබේ.

විෂබීජ යනුවෙන් නම් කෙරෙන මෙම ජීවීන් පියවි ඇසට නොපෙනෙන අතර, එහි හැඩරුව බලන්නට සාමාන්‍ය අත්කාචයකටත් වඩා කුඩා දේ පෙනෙන සුක්ෂම අන්වීක්ෂ හෝ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ හෝ පාවිච්චි කිරීමට සිදුවෙයි.

මෙම ජීවීන් වර්ග මොනවාද?

බැක්ටීරියා, වෛරස්, පැරසයිට්, දිලීර හෙවත් පුස් වර්ග මේ අතරින් ප්‍රධාන ය. මෙයින් බැක්ටීරියා සහ දිලීර වර්ගවලට තනිව ජීවත් වීමේ හැකියාව ඇත. නමුත්, වෛරස් සහ පැරසයිට්වලට රැඳීමට තවත් කෙනෙකුගේ ශරීරයක් ඕනෑ වෙයි.

අපේ ශරීරයේ මෙන්ම තිරිසන් සතුන්ගේ ශරීරත්, ශාකත් සැකසී ඇත්තේ සෛල රැසක එකතුවක් ලෙසිනි. නමුත්, විෂ බීජවලට ඇත්තේ එකම සෛලයක් පමණි.

මේ විෂබීජ වර්ග අතරින් අපි එක විෂබීජයක් ගැන කතා කළොත්?

අපි බැක්ටීරියා ගැන කතා කරමු. විවිධ බැක්ටීරියා විවිධ නම් වලින් හඳුන්වන අතර, එක නමක් සහිත බැක්ටීරියා වර්ගවල පෙනුම හා හැසිරීම ද එකම ආකාරයෙන් පවතියි. සමහර බැක්ටීරියා වර්ග අපට හානිකර වන අතර, තවත් සමහර බැක්ටීරියා වර්ග අපට හිතවත්ය. එසේ වුව ද සම මතුපිට ජීවත් වන බැක්ටීරියා වර්ග සම මතුපිට පවතිනතාක් අපට කරදරයක් නොවූවත් එය සම ඇතුළට ගියොත් කරදර කරනු ඇත. අපේ සම මතුපිට ආහාර මාර්ගයේ මෙන්ම වෙනත් සෛල තුළ ද බැක්ටීරියා වර්ග ජීවත් වෙයි. තවත් සමහර බැක්ටීරියා වර්ග එක තැන හිඳියි. තවත් ඒවා වතුර බිංදු (කෙළ වැනි) සමග වාතයේ පාවී ඈතට යනු ඇත. සමහර ඒවාට වතුරේ පිහිනීමටත් හැකියාව ඇත. (මුත්‍රා, මළ, කෙල ආදියේ වෙසෙන බැක්ටීරියා මීට උදාහරණයි) සමහර බැක්ටීරියාවලට පරිසරයේ විවිධ වෙනස්කම් ඇති කිරීමට පුළුවන. මෙයට එක් නිදසුනක් ලෙස පිසූ ආහාර පිළුණු වීම දැක්විය හැකිය. ආහාර සාමාන්‍ය පරිසරයේ සෑහෙන වේලාවක් පවතින විට ඒ මත බැක්ටීරියා වසා එයින් බැක්ටීරියාව නඩත්තු වන්නට පටන් ගනී. බැක්ටීරියාව විසින් ආහාරයට විෂ එකතු කරනු ලැබීම නිසා එහි දුගඳක් ඇති වේ. ගඳ යනු අපට එය අනුභව කිරීමට එපා යනුවෙන් දක්වන සංඥාවය. සොබා දහම අපේ කටට උඩින් නාසයක් ලබා දී ඇත්තේ සිරුරට විෂ විය හැකි දේවල් නොගැනීමට අනතුරු ඇඟවීම පිණිස ය.

ජීවත්වන සෑම මනුෂ්‍යයකුගේ සහ සතෙකුගේ ද ශරීරය ඇතුළත පිරිසිදුය. මතුපිට අතිශයින් කිලිටි හිඟන්නෙකුගේ වුවද එසේය. ඒ පණ තියෙද්දී විෂ බැක්ටීරියාවලට ශරීරය ඇතුළට යාමට ශරීරය ඉඩ නොදෙන නිසාය. අපේ ශරීරයේ මස්, ලේ ආදියෙහි කිසිදු විෂබීජයක් නැත. නමුත් ඕනෑම මිනිසකු හෝ සතකු, මිය ගිය පසු එම බැක්ටීරියාවලට කිසිදු අවහිරයක් කරන්නට කෙනෙකු ශරීරය තුළ නැති නිසා මුළු ශරීරයම වසා ගන්නට බැක්ටීරියාවලට හැකිවෙයි. ඕනෑම දෙයක් කුණු වීම යනු මේ තත්ත්වයයි.

බැක්ටීරියා වර්ධනය වන්නේ කොහොමද?

 බැක්ටීරියා සෛල මැදින් බිත්තියක් හදාගෙන දෙකට බෙදේ. එවිට සෛල දෙකකි. එනම් බැක්ටීරියා දෙකකි. මේවාද තව තවත් බිත්ති සාදා ගනිමින් තවත් සෛල සෑදෙනු ඇත. මේ අනුව සතියක් දෙකක් ගත වන විට සෛල ලක්ෂ කෝටි ගණනින් බිහි කිරීමේ හැකියාව බැක්ටීරියාව සතුව ඇත. මෙයින් පරිසරයට ඔරොත්තු නොදෙන බැක්ටීරියා මියගොස් පරිසරයට ඔරොත්තු දෙන ඒවා ජීවත්වෙයි. මේවායේ වර්ධන වේගය කොතරම් ද කිවහොත් අලුත් අලුත් බැක්ටීරියා වර්ග බිහි වන්නට ගත වන්නේ විනාඩි ගණනක් තරම් වූ සුළු කාලයකි.

මෙහි දී ඉතා වැදගත් දෙයක් මතුවේ. කිසියම් රෝගයකට යම් ඖෂධයක් නොකඩවා දින පහක් ගන්නා ලෙස වෛද්‍යවරයා නියම කළේ යැයි සිතන්න. රෝග ලක්ෂණ දින දෙකකින් පමණ පහව ගියොත් රෝගියා බෙහෙත් ගැනීම නවතා දමයි. මෙහි දී රෝග ලක්ෂණ පහව ගියාට විෂබීජ තවම ශරීරයේය. ඒ අනුව ගන්නා සුළු බෙහෙත් ප්‍රමාණයෙන් යම් ප්‍රමාණයක් බැක්ටීරියා මිය ගියත් තව රාශියක් සිරුරේ ඉතිරි වී පවතියි. එවිට එම බැක්ටීරියාවල අලුතින් හැදෙන සෛල මුලින් ගත් අර ඖෂධයට ඔරොත්තු දෙන අන්දමට නිර්මාණය වෙයි. ඒ අනුව ඒ රෝගියා ඊට පසුව එම ඖෂධය ගත්තාට පලක් වන්නේ නැත. ‍මන්ද බැක්ටීරියාව එම ප්‍රහාරයට සූදානම්ව නිර්මාණය වී ඇති හෙයිනි. එසේම ඒ බෙහෙතට ඔරොත්තු දෙන බැක්ටීරියාවන් ඒ රෝගියා කළ වරද නිසා (බෙහෙත් නොබී හිඳීමෙන්) පරිසරයට එකතු වෙනු ඇත. එවිට වෙනත් කෙනෙකුට ඒ රෝගය වැළඳුණහොත් ඒ ඖෂධය පලක් නොවෙයි. ඖෂධ දුන්නත් සුව නොවන රෝග දැන් දකින්නට ඇත්තේ මේ තත්ත්වය නිසාය.

ශරීරයේ එක් එක් කොටස්වලට වෙන් වෙන් වූ බැක්ටීරියා තිබෙනවාද?

පෙණහලු, මොළය, සමේ තුවාල, මුත්‍රා මාර්ගය, ලිංගික ප්‍රදේශය ආදී වශයෙන් එක් එක් කොටස්වලට වෙන් වූ බැක්ටීරියා වර්ග තිබේ. මින් සමහර ඒවාට ඊට වෙන් වූ කොටසේ පමණක් සිටිය හැකි අතර, ඕනෑම තැනක සිටිය හැකි බැක්ටීරියා වර්ගත් ඇත.

බැක්ටීරියාව අපව ලෙඩ කරන්නේ කොහොමද?

බැක්ටීරියාව ශරීරයට ඇතුළු වීමේ දී ශරීරය විසින් බැක්ටීරියාවට විරුද්ධව සටන් කරනු ලබයි. එම සටනින් ශරීරය පැරදුණොත්  සිදුවන්නේ අප රෝගී වීමය. මෙහි දී බැක්ටීරියාව නිකුත් කරන විෂ ශරීරය පුරා ගමන් කරනු ඇත. ඊට අමතරව බැක්ටීරියාව සිටි තැන ඇති අවයවය විනාශ වීම ද සිදුවේ.

ප්‍රතිශක්තිය යනු කුමක් ද?

ශරීරයට විෂබීජයක් ඇතුළු වූ පසු එම විෂබීජයට විරුද්ධව සටන් කරන්නට සෛල හමුදාවක් ඉදිරිපත් වෙයි. මෙම සෛල අපේ රුධිරයේ නිරන්තරයෙන් පවතින සුදු රුධිරානුය. මේවා පවතින්නේ රුධිරයේ පා වෙමිනි. මෙම සෛලවලට තිබෙන එකම රාජකාරිය වන්නේ ද ශරීරයට ඇතුළුවන  විෂබීජවලට විරුද්ධව සටන් කිරීමය. ඒ අනුව සුදු රුධිරානු විසින් එම විෂබීජය නිසි ලෙසින් හඳුනාගනු ලබයි. එසේ හඳුනා ගෙන එම විෂබීජයට එරෙහිව හරියටම සටන් කළ හැකි හමුදාවක් ශරීරය තුළ සකස් වෙයි. එය අපේ ශරීරය තුළ ජීවිත කාලය තුළම පවතිනු ඇත. ඒ අනුව නැවත ඒ විෂබීජය සිරුරට ඇතුළු වන්නට ආ කල සාර්ථක ලෙස සටන් කර අදාළ විෂබීජය පලවා හැරීම සිදු වේ. එන්නත් කිරීමේ දී සිදු වන්නේ මේ තත්ත්වයයි. පැපොල වැනි සමහර රෝග එක් වරක් වැළඳුණු පසු නැවත හැදෙන්නේ නැත. ඊට හේතුව එම වෛරසය ශරීරයට ඇතුළු වූ පසු ශරීරය එය මතක තබා ගැනීමයි. ඒ අනුව එයට නැවත ඇතුළු වීමට ඉඩ නොදෙනු ඇත. නමුත් සෑම රෝගයකටම මෙය අදාළ වන්නේ නැත.

 කෙසේ හෝ රෝගයකට එන්නත් කිරීම යනු අදාළ රෝගයේ විෂබීජයෙන් කොටසක් සිරුරට ඇතුළු කීරීමයි. එම විෂබීජයට  රෝගය හැදීමේ හැකියාවක් නැති අතර විෂබීජය ඇතුළු කළ පසු ශරීරය එය හඳුනා ගෙන ඊට විරුද්ධ හමුදාවක් ශරීරය තුළම සකස් කිරීම සිදුවෙයි. ඉන් පසු නැවත එම විෂබීජයට ශරීරයට ඇතුළු වීමට  ඉඩ නොලැබේ. රෝගයකට ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දුන් පසු එම රෝගය නොසෑදීමේ හේතුව එයයි.

බැක්ටීරියාවලට විරුද්ධව දෙන ඖෂධ නිවැරදිව තෝරා ගන්නේ කසේද?

මුලින්ම බැක්ටීරියා වර්ගය නියම ලෙස හඳුනා ගත යුතුය. නිදසුනක් ලෙස නියුමෝනියා රෝගය ගනිමු. මෙම රෝගයේ දී සෙම එන්නේ පපුව ඇතුලෙනි. ඒ අනුව හොඳින් කැහීමෙන් සෙම ටිකක් පරීක්ෂණය සඳහා රැගෙන දෙන ලෙස රෝගියාට නියම කෙරේ. ඒ එම ස්ථානයෙන්ම සෙම ලබා ගැනීම සඳහාය. ඉන් පසු ඒ සෙම ටික පිඟානකට දමා රසායනාගාරයක් තුළ විෂබීජ වැවෙන්නට හරියි.  දින 3 – 4 ක් යන විට ලොකු පැල්ලමක් දිස් වෙනු ඇත. ඉන් පසුව එම විෂබීජය නැසීමට සුදුසු වේයැයි සැක කරන පෙති වර්ග 5 ක් පමණ එම පැල්ලම මත  තැනින් තැනට දමයි. ඉන් පසු සමහර බෙහෙත් පෙති වටේට ලොකු කොටසක් විනාශ වී තිබෙනු දැකිය හැකිය. සමහර පෙති වටේට කුඩා රවුමක් පමණක් පවතිනු ඇත. මේ අනුව වඩා විනාශ වීමට බලපෑ ඖෂධ වර්ගය රෝගියාට සුදුසු ඖෂධය ලෙස නිගමනය කෙරේ. මෙවැනි පරීක්ෂණයක් කිරීමට දින 3 ක වත් කාලයක් ගත වන අතර කල්චර් පරීක්ෂණය හෙවත් රෝපණ නිරීක්ෂණය යනු මෙයයි.

මොළයට විෂබීජ යන්නේ කොහොමද?

මොළය වටේට තිබෙන දියරය විෂබීජ රහිතය. මොන හේතුවක් නිසා හෝ මෙයට විෂබීජයක් ඇතුළු වුවහොත් එය ඉක්මනින් පැතිරී මොළය සැරවවලින් පිරෙයි. මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය උණ ගැනීමය. මොළය වටේ ඇති මෙම කවරය පැසවීම මෙනිංජයිටිස් රෝගයයි. මෙය ‍ඖෂධ නිසි ලෙස ලබා දීමෙන් සුවකළ හැකිය. බෙහෙත් දෙන විට දින දෙකකින් පමණ උණ බැසීම සිදු වේ. මෙම රෝගය වැළඳුණු රෝගි‍යකුට රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා දෙන අතර, දින දෙකකින් පමණ උණ බැසීමෙන් පසු රෝගය සුව වී ඇතැයි සිතා රෝගියා උත්සාහ කරන්නේ ටිකට් කපාගෙන ගෙදර යන්නටය. නමුත්, මොළය යනු ඉතා ආරක්ෂිත ආවරණ සහිත ස්ථානයකි. එතැනට බෙහෙත්වලට රිංගා ගැනීමට හැකි වන්නේ අසීරුවෙනි. එනිසා මොළයට දෙන බෙහෙත් වැඩි ප්‍රමාණයක් දිය යුතුය. ඒ අනුව සති දෙකක් පමණ රෝහලේ රෝගියා නතර කරගෙන මෙම රෝගයට ප්‍රතිකාර ලබා දිය යුතු වෙයි. විෂබීජ මුළුමනින්ම විනාශ කළ හැක්කේ එවිටයි.

ක්ෂය රෝග හදන බැක්ටීරියාව ද ඉතා සෙමින් සුව වන විෂබීජයකි. මාස හයක පමණ කාලයක් නොනවත්වා මෙයට ඖෂධ ගත යුතුය. බාගෙට ඖෂධ ගෙන නතර කළොත් එම ඖෂධ නැවත ගැනීමෙන් රෝගය සුව කළ නොහැකි තත්ත්වයට පත්වේ. ඒ ශරීරයේ ඉතිරි වී තිබෙන බැක්ටීරියා මගින් එම බෙහෙත්වලට ඔරොත්තු දෙන දරුණු බැක්ටීරියා රැසක් අලුතින් නිර්මාණය කිරීම නිසාය.

කොලරාව ගැන සැලකුවහොත් එම රෝගය නිසා මිනිසුන් මිය යන්නේ එම බැක්ටීරියාව හේතුවෙන් නොව, බැක්ටීරියාවට විරුද්ධව බඩවැලේ ඇතිවන ප්‍රතිඵලයක් ලෙස විශාල දියර ප්‍රමාණයක් ශරීරයෙන් පිට වීම නිසාය. පාචනය ලෙසින් පිටවන මෙම විශාල දියර ප්‍රමාණය නිසා රෝගියා විජලනයට පත් වී මියයයි.

පිටගැස්ම රෝගය සාදන බැක්ටීරියාව වාසය කරන්නේ ඔක්සිජන් නැති තැනකය. මේ අනුව එම බැක්ටීරියාවට සුදුසුම ස්ථානය වන්නේ මලකඩ ඇති තැනකි. මලකඩ බැඳීම යනු එතැන ඔක්සිජන් යකඩ විසින් පාවිච්චි කරනු ලැබ ඔක්සිජන් ප්‍රමාණය ඉවර වූ ස්ථානයකි. එනිසා එතන ඔක්සිජන් නැත. එයට හේතුව යකඩ, යකඩ ඔක්සයිඩ් බවට පත්වීම නිසා ඔක්සිජන් නැතිවී යාමය. පිටගැස්ම විෂබීජයට වර්ධනය වන්නට මෙය ඉතා සුදුසු පරිසරයකි. මලකඩ කෑ ඇණයක් වැනි දෙයක් ඇනුණු කල පිටගැස්ම හැදෙන්නේ ඒ නිසාය.

බැක්ටීරියා නිසා  රෝගියකු මිය යා හැකිද?

එවැනි අවස්ථා තිබේ. තදබල ආසාදන, නීති විරෝධී ගබ්සා කිරීම් වලදී සිදුවන අධික ලේ වහනය, මී උණ රෝගය, පාදවල ඇති වන ගැඹුරු තුවාල වැනි රෝග තත්ත්වයන් උත්සන්න වූ අවස්ථාවල දී අදාල බැක්ටීරියා වර්ගය රුධිරයට එකතු වී මුළු ශරීරය පුරාම ගමන් කරනු ඇත. එය මුලදී හඳුනා ගෙන නිසි ප්‍රතිකාර ලබා දීම තුළින් රෝගියාට අනතුරක් වීම වළක්වා ගත හැකිය. නමුත් සිරුර පුරා බැක්ටීරියා ගමන් කළ හොත් බොහෝ විටම සිදුවන්නේ මරණයයි.

එසේම පිටගැස්ම රෝගයේ දී එම රෝගය ඇති කරනු ලබන බැක්ටීරියා නොව එහි විෂ රුධිරයට එකතු වී සිරුර පුරාම එම විෂ ගමන් කිරීමෙන්ද රෝගියා මිය යාමේ අවදානමක් තිබේ.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

සටහන - ඉන්දු පෙරේරා

‘ගහක් ගලක් මෙන්’ හිටි තරුණයකු හිටිහැටියේ මියගිය පුවතක් ඔහුගේ මව්පියන්ට අසන්නට ලැබුණේ යැයි සිතමු. ඔවුනට එකවරම සිදුවිය හැක්කේ කුමක්ද?

‘අනේ අපේ අම්මාට නම් ඕක දැන්ම කියන්න එපා හාට් ඇටෑක් එකක් හැදෙන්න බැරි නෑ’ නිසැකවම ඔහු දෙන පිළිතුර එය වනු ඇත.

මේ කතාවේ බොහෝ දුරටම සත්‍යයක් තිබේ. මෙවැනි නරක ආරංචියක් එකවරම අසන්නට ලැබුණු විට හෘදයේ අසනීප ඇති අයට එම කම්පනය මත හදිසි හෘදයාබාධයක් හටගැනීමේ අවදානමක් තිබේ. තමන්ට හෘදයේ අසනීප තිබෙන බවක් නොදන්නා කෙනෙකුගේ වුවත් හෘදය වස්තුවේ කිනම් හෝ රෝගී තත්ත්වයක් ඔහු / ඇය නොදැන පවතී නම් එවැනි කෙනකුටද අර විදිහේ රෝග තත්ත්වයක් ඉස්මතු වීමේ පහසු හැකියාවක් පවතියි. එවැනි කිසිම රෝගී තත්ත්වයක් ශරීරය තුළ නොමැති කෙනෙකුගේ වුවද එම කම්පනය නිසා කෑම අරුචිය, නින්ද නොයාම, නිරන්තරයෙන් පවතින තදබල සිත්‍ වේදනාව මෙන්ම විශාද රෝග තත්ත්වය වුවද හට ගැනීමේ අවදානමක් ඇත. නරක ආරංචි (Bad news) වර්ග දෙකකට බෙදා වෙන්කළ හැකිය.

01.හදිසියේ අනපේක්ෂිත ලෙස ලැබෙන නරක ආරංචි (උදා : හදිසි අනතුරු)

02.කලක් තිස්සේ බලාපොරොත්තු වෙමින් සිටි නරක ආරංචි (උදා: පිළිකා වැනි බරපතළ රෝගයකින් කලක් රෝගාතුර වී හිඳ මියයාම)

දෙවන කාණ්ඩයට අයත් නරක ආරංචියකදී අප එය කලක සිට බලාපොරොත්තු වෙමින් සිටි නිසා කම්පනය හා ආවේගය දැනෙන්නේ තරමක් අඩුවෙනි. නිදසුනක් ලෙස පවුලේ කෙනෙකුට පිළිකාවක් තිබෙන බව දන්නේ නම් රෝගියා සුවපත් කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් එක පැත්තකින් දරන අතරේ රෝගියා මෙයින් මිය යා හැකි බව දන්නා නිසා ඒ සම්බන්ධයෙන් ටිකෙන් ටික අපේ සිත හුරු වීමක්ද සිදුවේ. එනිසා දෙවන කාණ්ඩයේ ආරංචිවලින් සිතේ තදබල කම්පනයක්, උසුලා ගන්නට බැරි තරමේ විශාල ආවේගයක් ඇති වීමට තිබෙන අවකාශ අඩුය. නමුත් පළමු කාණ්ඩයේ අසුබ ආරංචි නිසා ඇතිවන තත්ත්වය ඊට වඩා බරපතළය. මෙහිදී මනසේ වෙනස්කම් රාශියක් ඇතිවේ. විශාල කනගාටුවක්, බියක් ඇති වන අතරේ අනෙක් අතට අපි එය පිළිගන්නටද මැළිවෙමු. ඒ අනුව හදිසියේ තමන්ගේ කෙනෙකු මියගියේ නම් ‘ඒක කීයටවත් වෙන්න විදිහක් නෑ. වෙන කෙනෙක් වෙන්න ඇති. කවුරු හරි කියපු බොරුවක්’ වැනි දේවල් කියන්නේ ඒ නිසාය. මියගිය තැනැත්තාගේ දේහය නිවසේ තිබුණත්, ඉන්පසු එය අපේ ඇස් පනාපිටම මිහිදන් කළත් කාලයක් යනතුරුම එය විශ්වාස කරන්නට බැරි ආකාරයක් අපේ සිතට දැනෙනු ඇත. එසේම මෙලෙස හදිසියේ තමන්ගේ කෙනෙකු මියගිය විට ඉහත කී ආකාරයට කනගාටුව, විශ්වාස කරන්නට බැරිවීම වැනි දේට අමතරව තදබල කෝපයක් ද ඉස්මතු වනු ඇත. ඒ ‘ඇයි මට මෙහෙම වුණේ?’ යන හැඟීම මතය. ඉන්පසු එම කෝපය කවුරුන් වෙතින් හෝ පිටකර හරින්නටද අපි උත්සාහ දරමු. නිදසුනක් ලෙස මොන පරිශ්‍රමයක් දැරුවත් බේරා ගන්නට නොහැකි තරමේ අසාධ්‍ය සිරෝසිස් රෝගියකු ගැන බලමු. ඔහුට මත්පැන් නොගන්නා ලෙස වෛද්‍යවරුන් කොතෙකුත් අවවාද කර තිබිය හැකිය. ඔහු ඒ අවවාද තුට්ටුවකටවත් මායිම් නොකර දිගින් දිගටම මත්පැන් ගෙන හොඳටම අසාධ්‍ය වී රෝහලට පැමිණි විට ඔහුට දියයුතු ඉන්ජෙක්ෂන් එකක් ලබාදීම රෝහල් කාර්ය මණ්ඩලය අතින් ප්‍රමාද වූයේ යැයි ඥාතීන් සිතීමට පුලුවන.

පසුව ඉන්ජෙක්ෂන් එක ලැබුණත් රෝගියා මියගියේ නම් ඔහුගේ සමීපතමයන් මේ මරණය ගැන ඇසීම නිසා හට ගත් කෝපය මත එම මරණයෙහි වරද පවරන්නේ රෝහලේ කාර්ය මණ්ඩලයටය. ‘වාට්ටුවේ ඩොක්ටර්ස්ලා හරියට බැලුවේ නෑ. ඒකයි ලෙඩා මැරුණේ’ යැයි ඔවුන් කියනු ඇත. නමුත් සැබෑ තත්ත්වය නම් ඉන්ජෙක්ෂන් එක දුන්නත් නොදුන්නත් එම රෝගියා ඒ මොහොතේ හෝ පැය කිහිපයකින් නැතිනම් දින කිහිපයකින් මියයාම වැළැක්විය නොහැකි වීමය. මෙවැනි මරණයක් අත්පත් කරගැනීම සඳහා ඔහු එම මාවතට පිවිසියේ මත්පැන් පානයට යොමු වූ දා සිටම බව පවුලේ අයත් මෙහිදී අමතක කරනු ඇත.

මෙවැනි නරක ආරංචියක් ලැබුණු පසු සිදුවන තවත් ප්‍රබල ශාරීරික වෙනස්කමක් වන්නේ හෘද ස්පන්දනය වේගවත් වීමය. එසේම රුධිර පීඩනයද වැඩිවෙයි. එසේ වන්නේ ශරීරයේ ඇඩ්‍රිනලින්, කෝටිසෝල් වැනි හෝමෝනවල ක්‍රියාකාරීත්වය වැඩිවීම නිසාය. අදාළ සිද්ධිය නිසා තදබල මානසික ආතතියක් දැනීම මත මේ තත්ත්වය ඇතිවේ.

තමන් දැන හෝ නොදැන හෘදයවස්තුවේ තදබල අසනීපයක් ඇති කෙනකුට මෙමගින් කුමක් හෝ සංකූලතාවයක් ඇතිවිය හැකිය. එය හෘදයාබාධයක් වීමටද පුළුවන. සාමාන්‍යයෙන් හෘදය වස්තුවේ රෝගයක් ඇති කෙනෙකුට මෙවැනි කම්පනය ඇති කරන සිද්ධීන් නොකිවයුතු බවට ඉස්සර මතයක් තිබිණි. නමුත් එසේ නොකියා සිටීම එතරම් යහපත් තත්ත්වයක් නොවේ. එයට හේතුව හදිසියේ එකවර වෙනත් අන්දමකින් මෙය ඒ තැනැත්තා දැනගතහොත් සිතුවාටත් වඩා නරක ප්‍රතිඵලයකට මුහුණ දීමට ඉඩකඩ තිබීමය. අනෙක් අතට ඒ පුද්ගලයාට එය නොකියා සිටීම එම ආරංචිය දැන ගැනීමට ඔහු සතු අයිතිය නැති කර දැමීමකි.

හෘදය වස්තුවේ ආබාධයක් ඇති කෙ‍නකුට නරක ආරංචියක් කියන පිළිවෙළක් තිබේ.

මුලින්ම රෝගියාට පහසු ලෙස වාඩි වන්නට සලස්වන්න. එම නරක ආරංචිය නිසා ඇතිවන මානසික පීඩනය සමනය කළ හැකි කෙනෙක් ළඟ තබාගෙන පවුලේ කෙනකු සමග එම ආරංචිය ක්‍රම ක්‍රමයෙන් පවසන්න. මුලින්ම නරක ආරංචියක් ඇසීම සඳහා රෝගියාගේ මනස සූදානම් කළ යුතුය. එවිට රෝගියාගේ සිතට ආරංචිය ඇසීමෙන් දැනෙන ආවේගය අඩු කළ හැකිය. ආරංචිය ඉතා පැහැදිලිව කිව යුතු අතර රෝගියා අසන ප්‍රශ්නවලට හැකි අන්දමින් පරිස්සමින් පැහැදිලි පිළිතුරක් දීමත් වැදගත්ය.

 

උපදෙස් - හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ

ඉන්දු පෙරේරා

“මට දැන් හැම තිස්සෙම සෙම වගේ”

මේ දවස්වල සෙම ඇවිස්සිලා හරිම අමාරුයි” අප සමාජයේ බොහෝ දෙනෙකු කියනු අපි අසා ඇත්තෙමු.

අපේ රටේ ජනතාව වෛද්‍යවරුන් වෙත පැමිණ බහුලවම පළ කරන රෝග ලක්ෂණයක් වන්නේ ද සෙමය. ‍මීට අදාළ රෝග සෑහෙන ප්‍රමාණයක් තිබෙන අතර, බොහෝ දෙ‍නකුට ගැටලුවක් වී පවතින මේ “සෙම”  නැතහොත් සෙම ඇවිස්සීම යනු කුමක් ද?

උගුරේ සෙම පැටලීම, හුස්ම ගෙනයන මාර්ගය හෙවත් ශ්වාසනාලය අවහිර වීම, නිතර කහින්නට දැනෙන අවශ්‍යතාවය, නාසය තදවීම, මොළය බරවීම හෙවත් හිසේ කුහර තුළ සෙම හිරවීම වැනි මෙකී නොකී බොහෝ දේ මිනිසුන් පොදුවේ හඳුන්වන්නට පුරුදු වී හිඳින්නේ සෙම ලෙසිනි.

අපේ පපුවේ මස්පිඬුවලට යටින් ඇත්තේ ඉළ ඇට ය.ඊටත් යටින් සිවියක් තිබේ. එහි ඇතුළතින් ඇත්තේ පපුව පිරෙන්නටම විශාල කුහර දෙකකි. එම කුහර පපුවේ උඩ සිට පහළ  දක්වාත්, පිට ප්‍රදේශය දක්වාත් වම් පැත්තේ සහ දකුණු පැත්තේ වෙන් වෙන්ව පිහිටා තිබේ. එම කුහර තුළ නිදැල්ලේ පිහිටා ඇත්තේ ස්පොන්ජ් දෙකක් බඳු වම් සහ දකුණු පෙණහලු ය. මෙම පෙණහලුවලට ස්පොන්ජ් එකක් ලෙස හැකිළෙන්නට හැකියාව ඇත. ස්පොන්ජ් එකේ මෙන්ම මෙහි ද සියුම් කුහර තිබේ. වෙනසකට ඇත්තේ ස්පොන්ජ් එකක් මිරිකූ විට මෙන් හැම පැත්තෙන්ම හුළං පිට නොවීමය.

පෙණහලුවල ඇති ඉතා කුඩා හැම කුහරයක්ම බැලුමක් මෙනි. මේ හැම බැලුමකටම බටයක් බඳු නාලයක් බැගින් පිහිටා ඇත. හරියටම කිවහොත් අප කුඩා කල සෙල්ලම් කළ දිග බටයකට සම්බන්ධ කළ බැලුමක් වූ “මම්ම පප්පා” නළාවක් මෙනි. මේ කුඩා නාල කීපයක් ඊට වඩා ලොකු නාලවලටත්, ඒ නාල කිහිපයක් තවත් ලොකු නාලවලටත් අවසානයේ ඒවා ප්‍රධාන එක් නාලයකටත් යනාදී වශයෙන් සම්බන්ධ වී පවතියි. ඒ අනුව වම් පැත්තේ එක් ප්‍රධාන නාලයකුත්, දකුණු පැත්තේ අනෙක් ප්‍රධාන නාලයත් බැගින් පිහිටා‍ ඇත.

හුස්ම පිට කිරීමේ දී, එනම් ප්‍රශ්වාසයේ දී සිදුවන්නේ ඉළ ඇට හැකිළී ස්පොන්ජ් වැනි පෙණහලු මිරිකීම ය. එවිට ඊට සම්බන්ධ හැම සුළං බෝලයක්ම ඒවා සම්බන්ධ වී ඇති නාලවලට වාතය පිට කර හරිනු ඇත. මෙසේ හැම පැත්තෙන්ම වාතය පැමිණ එකවර විශාල සුළං ප්‍රමාණයක් සිරුරින් පිට වෙයි. මෙය ප්‍රශ්වාසයයි.

උගුරෙන් වාතය පිට වන්නේ නිකම් නොවේ. උගුරේ ඇති නූල් දෙකකට සමාන ස්වර තන්ත්‍ර දෙකක් මැදිනි. එම ස්වර තන්ත්‍ර අතර හිඩැසක් ඇත. මේ හිඩැස අපට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම යනු ශබ්ද පිට වීමයි. මෙසේ ශබ්ද පිට වීමේ දී දිගින් දිගටම වාතය ද පිට වේ. අප කතා කිරීම ලෙස හඳුන්වන්නේ මෙම ශබ්ද පිට වීමය.

උගුරේ සෙම පැටලීම සහ කැස්ස

සරලව කිවහොත් උගුර වැසෙමින් එකවරම පසුව මිරිකී වාතය පිටතට විහිද යාම කැස්සය. මෙය හට ගන්නේ කෙසේද?

අප හුස්ම ගන්නා විට අපේ පියවි ඇසට නොපෙනෙන විවිධාකාර දූවිලි, කුඩු වර්ග, දුම් වැනි දෑ වාතය සමඟ අපේ ශරීරය තුළට පිවිසෙයි. හුස්ම ගන්නා වාරයක් වාරයක් පාසා ඇතුළුවන මේ අපද්‍රව්‍ය අපේ ශ්වාසනාලය පුරාම පැතිරෙනු ඇත. අපට බොන වතුර උණුකර පෙරා පානය කිරීමේ හැකියාව තිබුණ ද, දුම් දූවිලි ඉවත් කර පිරිසිදු කර ගත් වාතය ආශ්වාස කිරීමේ හැකියාවක් මොනම ජගතෙකුටවත් නැත. නොමිලේ අපට ලැබෙන එකම දෙය වන වාතය පවතින ආකාරයෙන්ම පිළිගන්නට සිදුවෙයි.

කෙසේ වුව ද මේ ආකාරයට අපද්‍රව්‍ය ඇතුළු වන විට ස්වභාවිකවම ඒවා ඉවත් කර ශ්වාසනාලය පිරිසිදු කරන්නට එක්තරා ශ්‍රාවයක් ගලා එයි. ශ්වාස නාලයේ දිගටම පියවි ඇසට නොපෙනෙන ඉතා කුඩා කෙඳි වර්ගයක් ඇත. මේ කෙඳි අපද්‍රව්‍යවලට කස පහරක් මෙන් ක්‍රියාකරමින් සියලු දියර එළියට තල්ලු කරයි. ඒ එම මාර්ගය පිරිසිදු කරන්නටය. මෙසේ තල්ලු කරන දියර සියල්ල උගුරේ එක් රැස් වූ විට ඒවා එකවරම පිට කරන ක්‍රමය වනුයේ කැස්සයි. නාසයෙන් නම් කිවිසුම්ය. දුම්පානය කරන අයට නිතර කැස්ස හට ගන්නේ එම දුම් පිට කිරීමට ශරීරය නිතර ක්‍රියා කිරීමේ හේතුවෙනි.

නමුත් කැස්ස අපට නිතර පවතින දෙයක් නොවේ. එසේ වුව ද හැම මොහොතකම අපට වාතය සමඟ මුසු වී එන ඕනෑම අපද්‍රව්‍යයක් නොනවත්වා එක දිගට ආඝ්‍රාණය කරන්නට සිදු වෙයි. ඒ අප ජීවත්ව සිටින තාක් කල් අපේ හුස්ම ගැනීමේ හා පිට කිරීමේ ක්‍රියාවලිය නොනැවැතීම එක දිගට සිදුවන නිසාය. මේ අනුව මෙලෙස ශ්වාසනාලයේ රැස්වන අපද්‍රව්‍ය ශ්‍රාවය අපට දැනෙන්නේ උගුරේ සෙම පැටලීම ලෙසය. එලෙස සෙම පැටලෙන විට අප හැම විටම කරන්නේ ඒවා විවිධ උපක්‍රම මගින් පිට කර හැරීමය.

ආසාත්මිකතාවය

සමහර අයගේ ශරීර සියුම් කුඩු වර්ගවලට ඔරොත්තු දෙන්නේ නැත. ඒ අයට දූවිල්ල සහිත මග තොටක ගිය විටත්, ගෙදර මකුළුදැල් කැඩුවත්, පොත් රාක්කය අස් කළත්, ඇ‍‍‍ඳේ මෙට්ටය ඉස්සුවත් මේ ඕනෑම දෙයක දී කිවිසුම් ගොස් නාසයෙන් දියර ගලන්නට පටන් ගනී. මෙය ආසාත්මිකතාවයයි.

ඉතා කුඩා දූවිලි දුම් වර්ග බොහෝ අයට විශාල සතුරකු ලෙස ක්‍රියා නොකරතත්, මේ අයට නම් එය ලොකු සතුරෙකි. එනිසා ඒ සතුරා පලවා හැරීමට ශරීරය විශාල සටනක් දියත් කරයි. විශාල වශයෙන් දියරක් නිකුත් කරන්නේ ඒ අනුවය. මේ තත්ත්වය තව දුරටත් විස්තර කළහොත් පෙණහලුවලට සම්බන්ධ ඉහත කී ප්‍රධාන නාල වටේටම පිහිටා‍ තිබෙන්නේ මස්පිඬු ය. කුමක් හෝ දූවිල්ලක් දුමක් වැනි දෙයක් ශ්වාසනාලය ඔස්සේ සිරුරට ඇතුළු වූ විට එයට පෙණහලුවලට ඇතුළු වන්නට ඉඩ නොදී එම මස්පිඬු මගින් හුස්ම මාර්ගය අසාමාන්‍ය ලෙස හකුළා ගනියි. ඉන් පසු එම අපද්‍රව්‍ය පලවා හරින්නට දියර විශාල ප්‍රමාණයක් නිකුත් කරයි. සෙම ලෙස පිටතට පැමිණෙන්නේ මෙම දියරයයි. මේ තත්වය වෛද්‍ය ප්‍රතිකාර මගින් පාලනය කිරීමේ හැකියාව තිබේ.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

සටහන: ඉන්දු පෙරේරා

IMAGE

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

IMAGE 2017 Aug 18 15:22
‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා...
Views - 584

youtube සඳහා පෙම්වතිය තැබූ ‘බොරු වෙඩිල්ලෙන්’ පෙම්වතා මරුට

IMAGE 2017 Aug 18 10:40
ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර...
Views - 839

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 1802

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1307

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 5356

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 3275

Please publish modules in offcanvas position.