lakbima.lk

විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ඇතිවී තිබෙන හිත් අමනාපකම් එක්ක මේ අණ්ඩුවට ඉතිරි අවුරුද්ද ගෙවන්න පුළුවන් වෙයිද?

ඇත්ත වශයෙන්ම විධායකය හා ව්‍යවස්ථාදායකය අතර තිබෙන ගැටුම නිසා තමයි ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. නමුත් සිද්ධ වුණේ මේ අර්බුදයට විසඳුම් හොයන්න අධිකරණයත් සම්බන්ධ කරගැනීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය පදනම් කරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව ශේ්‍රෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ තීන්දුව පිළිබඳ අපිට විවේචන තිබෙනවා. නමුත් අපේ රටේ ඉහළම අධිකරණය දුන්නු තීන්දුවට එරෙහිව යන්න වෙන තැනක් නෑ.

ඔබ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිවැරදි නෑ කියලද?

ශ්‍රේෂ්ඨාධිකරණයට මෙන්ම මේ රටේ නීතියට අපි ගරු කරනවා. නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිබඳ අපට විවේචන තිබෙනවා.

ඔබ ශ්‍රීලනිපය අතහැර ‍පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තද?

නෑ. අපි පාර්ලිමේන්තුවට ආවේ එජනිසයෙන් තරග කරලයි. නමුත් අපි අලුතින් බිහිවුණ ‍පොහොට්ටු පක්ෂයත් එක්ක එකට වැඩ කරනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ‍පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් බව ප්‍රකාශ කර තිබුණා. තවත් මන්ත්‍රීවරු පිරිසක් ‍පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් අවස්ථා දැක්වෙන ඡායාරූපත් ප්‍රසිද්ධ වෙලා තිබුණා. ඒවා බොරුද?

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන හිටපු මන්ත්‍රීවරු මෙන්ම පළාත් සභා පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරු ‍පොහොට්ටුවේ සාමාජිකත්වය අරන් තිබෙනවා. අනෙක ‍පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීම හෝ නොගැනීම අපේ පක්ෂ අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය මතු කරලා අපි බිත්තියට හේත්තු කරන්න හදන අයට ඒක කරන්න බෑ. මොකද අපිත් මේ රටේ නීතිය ගැන දන්නවා.

ඒ කියන්නේ ඔබ ‍පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා, නමුත් නීතිමය ප්‍රශ්නයක් මතුවන නිසා එහෙම සාමාජිකත්වය ගත්තේ නෑ කියනවා?

පාර්ලිමේන්තුව නියෝජනය කරන, රටට ආදරය කරන මහින්ද රාජපක්ෂ ඇතුළු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවෙන් එළවලා රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරගන්න රනිල් වික්‍රමසිංහ අගමැතිගේ නැට්ටේ එල්ලී ඉන්න සුමන්තිරන්ලාට හා රතු අලි පැටවුන්ට ඕනෑ වෙලා තියෙනවා. රට බෙදන, මේ රටේ ඒකීයභාවය විනාශ කරන, ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කරන්න බොරු කියනවාට එහා ගිය යමක් කරන්නත් අපි සූදානම්. මේ මාතෘභූමිය රැකගන්න අපි කළ හැකි හැමදෙයක්ම අපි කරනවා.

ඔබ කියන විදියට මහින්ද, චමල්, නාමල් යන රාජපක්ෂවරු, ශ්‍රීලනිපයේ බැසිල් රාජපක්ෂ ‍පොහොට්ටුවේ. ඒ කියන්නේ රාජපක්ෂවරුත් පක්ෂ දේශපාලනයෙන් බෙදිලද?

රනිල්, සුමන්තිරන් හා අනුර කුමාරගේ පාදඩ දේශපාලනයෙන් රාජපක්ෂලා බෙදන්න හම්බ වෙන්නේ නෑ. මේ අයගේ පාදඩ, අසික්කිත දේශපාලනයෙන් බෙදන්න යන රට නොබෙදා ආරක්ෂා කරගන්න රාජපක්ෂවරු ඕනෑම කැපවීමක් කරන්න සූදානම්. රට බේරාගෙන රාජපක්ෂලා ජනතාව අතරට ගියාම ඒ අයට නැවත රාජපක්ෂලා එකතු කර එක ‍පොදියට රට බාර දේවි. ඒ බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඔප්පු කරලා පෙන්නුවා. ඒ බලවේගය විනාශ කරන්න දෙමළ ඩයස්‍පෝරාව මේ වන විට සල්ලි රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරලා පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි මාරු කිරීමේ උත්සාහයක නිරතව සිටිනවා.

ශ්‍රීලනිප මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුවට යන්න සූදානම් බව තොරතුරු වාර්තා වෙනවා. ඔබ කියන විදියට ඔවුන් ඩයස්‍පෝරාවේ සල්ලි අරගෙන ආණ්ඩුවට යනවා කියලද කියන්නේ?

ඔව්, පැහැදිලිවම ඒක කියන්න ඕනේ. රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරන්න කවුරු හෝ ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට එකතු වෙනවා නම් ඒ අය ඩයස්‍පෝරාවේ වුවමනාවන් ඉටු කරන අය කියලයි අපිට කියන්න වෙන්නේ. එහෙම යන අයට ශ්‍රීලනිපයෙන් යම් තීරණයක් ගනීවි. එහෙම වුණොත් ඔවුන්ගේ දේශපාලන අනාගතය එතනින් ඉවරයි.

පොහොට්ටුවට ගිය මන්ත්‍රීවරු ගැනත් විනයානුකූලව කටයුතු කරන්න ඕනෑ කියලා ශ්‍රීලනිප නව මහ ‍ලේකම් දයාසිරි ජයසේකර කියලා තිබුණා?

අපේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට ආවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරලයි. එජනිස ‍ලේකම් මහින්ද අමරවීර දැනටමත් අපේ මන්ත්‍රීවරු එජනිස සමග ඉන්න බව තහවුරු කරලා තිබෙනවා. ඒ නිසා අපේ මන්ත්‍රීවරු ගැන ශ්‍රීලනිප නව ‍ලේකම් දයාසිරි කියන දේවල් කරන්න ලැබෙන්නේ නෑ. ඔහුගේ කතා අපිට වලංගු වෙන්නෙත් නෑ. එකම කාරණයක් ගැන ‍ලේකම්වරු දෙන්නෙකුට කතා දෙකක් කියන්න බෑ.

ඔබගේ මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් මගින් තීරණයක් ගන්න කියලත් යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබුණා නේද?

ඔව්, සුමන්තිරන්ලා කිරිඇල්ලලාගේ තක්කඩි දේශපාලන වුවමනාවන් සපුරා ගන්න ඔවුන් එවැනි යෝජනාවක් ඉදිරිපත් කරලා තිබුණත් කථානායක කරු ජයසූරිය ඒක ප්‍රතික්ෂේප කරලා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා සම්ප්‍රදායන් අනුව සාධාරණ තීන්දුවක් ලබාදී තිබෙනවා.

ඔබ සඳහන් කරනවා ‍පොහොට්ටුවේ නායකයා මහින්ද රාජපක්ෂ කියලා. ‍පොහොට්ටුවේ සාමාජිකයෙක් නොවන කෙනෙකුට එහි නායකත්වය දීම පිළිගන්න කියලද කියන්නේ?

අපේ පක්ෂ අභ්‍යන්තර තීරණ රටේ ප්‍රශ්න බවට පත් කරගෙන රට අවුල් කරන්න හදන අයගේ වුවමනාව මොකක්ද කියලා රටම දන්නවා. අපි කියන්නේ ඔය තරම් ප්‍රජාතන්ත්‍රවාදයට කැමැති නම්, එය ආරක්ෂා කරන්න ඔය තරම්ම වුවමනාවක් තිබෙනවා නම් යන්නකෝ මැතිවරණයකට කියලයි අපි කියන්නේ. ව්‍යවස්ථාවේ හිල්වලින් රිංගලා බලෙන් බලයේ ඉන්න මේ අය දඟලන්නේ ඔවුන්ට ජන බලය අහිමි වෙලා හුඟාක් කල් බව ඔවුන් දන්න නිසයි.

ඔබ සඳහන් කළා ඔබ පිළිබඳව කථානායක සාධාරණ තීන්දුවක් දී තිබෙනවා කියලා. ඔබට වාසි ආකාරයට තීන්දු දෙන කොට කථානායක සාධාරණ වෙන්නත්, ඔබට අවාසි තීරණ දෙන කොට ඔහු පක්ෂග්‍රාහී බව හඳුන්වන්නත් තරම් ඔබ දේශපාලනිකව බංකොළොත්ද?

අපිද බංකොළොත්, බලයට කෑදරකමින් නීතියෙන් රිංගලා, බලෙන් ආණ්ඩු කරන අයද බංකොළොත් කියලා රටම දන්නවා. කථානායකවරයා සාධාරණ විදියට තීරණ ගන්න කොට ඒකට හොඳයි කියන්නත් ඔහු අසාධාරණ තීන්දු ගන්නා විට ඒවාට එරෙහි වන්නත් අපිට කොන්දක් තිබෙනවා. විපක්ෂයේ බහුතර මන්ත්‍රී කණ්ඩායමට විපක්ෂ නායක ධුරය හිමිවිය යුතුයි. ඒක තමයි කථානායක කළේ. ඒ හැරෙන්න ඔහු අපට වාසියට තීන්දු දීලා නැහැ.

ශ්‍රීලනිපය හා ‍පොහොට්ටුව සන්ධාන ගත වෙන බව සඳහන් වෙනවා. ඒ ගැන ඔබ හිතන්නේ කොහොමද?

ශ්‍රීලනිපයයි, ‍පොහොට්ටුවයි විතරක් නොවෙයි වාමාංශික බලවේග සියල්ල එක කඳවුරකට ගොනුවන තත්ත්වයක් දැන් උදාවෙලා තියෙන්නේ. ඒක එහෙම වෙන්න ඕනේ. දෙමළ සන්ධානයේත්, යූඑන්පීයේත්, ජවිපෙත් ඉන්න සැබෑ වාමාංශික මතවාදය ගරු කරන මන්ත්‍රීවරු රට බෙදන උත්සාහයට එරෙහිව අපි සමග එකතු වෙනවා.

ඔබ ඔය කියන හැමෝම එක් කඳවුරකට ආවාම ‍පොදු ඡන්ද ලකුණ අතද, ‍පොහොට්ටුවද?

මුහුද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහන අයගේ තත්ත්වයට අපි වැටෙන්න අවශ්‍ය නෑ. ලකුණට ඉස්සෙල්ලා හැමෝම එකතු කරගන්න ඕනේ. දැන් මිනිස්සු ලකුණට වඩා පුද්ගලයාට සලකනවා. ඒක පළාත් පාලන මැතිවරණයේදීත් පෙනුණා.

මහින්ද - මෛත්‍රී එකතුවීම ව්‍යවස්ථා උගුලෙන් රට බේරාගන්න හේතුවක් වෙයි කියලා ඔබ විශ්වාස කරනවාද?

මහින්ද - මෛත්‍රී එකතුවීමත් සමග රටේ අනෙකුත් වාමාංශික බලවේග යම් උද්දාමයකින් එක් කඳවුරකට පෙළ ගැසෙමින් ඉන්නවා. මේ පෙළ ගැසීම නිසා ව්‍යවස්ථා උගුල පමණක් නොවෙයි පරගැති ආර්ථික ප්‍රතිපත්තියත්, දේශීය සම්පත් විකුණන විජාතිකකරණයත් සියල්ල ආපස්සට තල්ලු කරන්නට හැකිවී තිබෙනවා. මේ රටේ නිදහස, ස්වෛරීභාවය වෙනුවෙන් ශක්තිමත් මේ බලවේග විනාශ කරන කුමන්ත්‍රණවලට අසු වී අපේම අය අතින් වැරදි ප්‍රකාශ නිකුත් කිරීම නවතා ගත යුතුයි කියලයි මම කියන්නේ.

ඔබ හිතන විදියට දැනට තිබෙන තත්ත්වය අනුව මුලින්ම පැවැත්විය යුත්තේ කුමන මැතිවරණයද?

ඔය ප්‍රශ්නයට මගේ නම් උත්තරය තමයි ඕනෑම මැතිවරණයක්, ඕනෑම වේලාවක, ඕනෑම ක්‍රමයකට පැවැත්වුවද ඊට ඉතා නිවැරදිව මුහුණ දී එය ජයග්‍රහණය කරන්නට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අපේ කණ්ඩායමට ශක්තියක් තියෙනවා.

ඔබ කියන්නේ ජනාධිපතිවරණයක් ජයගන්න පුළුවන් කියලයි. කවුද ජනාධිපති අපේක්ෂකයා?

ජනපතිවරණය නොවෙයි ඕනෑම මැතිවරණයක් ජයගන්නවා. දැන් ඔය ජනාධිපතිවරණය කලින් තියන්න ඕනෑ කියලා කියන අය දන්නේ නෑනේ දැන් ඉන්න ජනපති තරග කරනවා නම් විතරයි නියමිත කාලයට පෙර ජනපතිවරණය කැඳවන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් රටේ දැන් තිබෙන විධායක හා ව්‍යවස්ථාදායක මත ගැටුමට තිබෙන හොඳම හා නිවැරදිම විසඳුම මහ මැතිවරණයක් පැවැත්වීමයි. ඒ සඳහා අවස්ථාව ලබාදීම තමයි රජයේ යුතුකම විය යුත්තේ. ඔවුන් පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගෙනාවොත් අපිත් අපේ ඡන්දය දීලා ඒ යෝජනා තුනෙන් දෙකේ බහුතරයකින් සම්මත කරගන්න පුළුවන්.

ජයසූරිය උඩුකුඹුර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.