lakbima.lk

අපේ ආණ්ඩුවක රිෂාඩ්ට නම් ඉඩක් නෑ

රිෂාඩ් බදුයුදීන් ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට මොකද වෙන්නේ? මේකත් ඔබ කණ්ඩායම මීට පෙර ඉදිරිපත් කළ විශ්වාසභංග වගේ පුස්සක් වෙයිද?

අපි මීට පෙර ඉදිරිපත් කළ විශ්වාසභංග පුස්සක් වුණා කියන්නේ කොහොමද? අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය නිසා විපක්ෂය හැටියට අපි ඉතා ශක්තිමත්ව ඉදිරියට ආවා. ඒ වගේම මේ ආණ්ඩුවට එරෙහි සියලු බලවේග ඒ හරහා අපි එක මතයකට ගෙනාවා.

නමුත් විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්නේ දිනන්න මිසක් පරාද වෙන්න ‍නෙවෙයිනේ. ඒ නිසා රිෂාඩ් බදුයුදීන්ට එරෙහි විශ්වාසභංගයක්වත් ජයග්‍රහණය කිරීමේ වුවමනාවක් නැද්ද?

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට අපිට ඉතාම හොඳ අවස්ථාවක් තිබෙනවා. අපි මේ විශ්වාසභංගය හඳුන්වන්නේ දිනුවත් දිනුම් පැරදුණත් දිනුම් විශ්වාසභංගයක් හැටියටයි.

ඔබ දැන් එහෙම කියන්නේ විශ්වාසභංගය පරාද වෙන බව දැනගෙන ඉන් ඇතිවන ලැජ්ජාව වහගන්න නේද?

මෙම විශ්වාසභංගය අපි කොහෙත්ම පරාද වෙන්න ඉදිරිපත් කළ විශ්වාසභංගයක් නොවෙයි. ජනතාව ඉල්ලන දේ තමයි අන්තවාදයට උදව් කරපු ඔවුන්ව ‍පෝෂණය කරපු මේ දේශපාලනඥයන් ඔවුන්ගේ තනතුරු ඉවත් කරන්න කියන එක. ආණ්ඩුවේ නායකයන් තවමත් මේ අන්තවාදී දේශපාලනඥයන් ආරක්ෂා කරන නිසයි විපක්ෂය හැටියට අපිට පුළුවන් විදිහට මොවුන්ව බලයෙන් නෙරපන්න මෙවැනි විශ්වාසභංගයක් ඉදිරිපත් කළේ.

විශ්වාසභංගය දිනුවත් දිනුම් කියන එක අමුතු දෙයක් නමෛයි. නමුත් පැරදුණත් දිනුම් කියන කතාව ටිකක් අමුතුයි. මොකක්ද ඒ කතාව?

අපි දිනුවොත් අන්තවාදය ‍පෝෂණය කරන ත්‍රස්තවාදීන්ව ආරක්ෂා කරන ඇමැතිවරයකුගේ බලය නැතිවෙනවා. පැරදුණොත් අන්තවාදී ත්‍රස්තවාදීන් ආරක්ෂා කරන දේශපාලනඥයන් කවුද කියලා රටේ ජනතාවට දැනගන්න අවස්ථාව ලැබෙනවා. ඉන්පසු ජනතාවට පුළුවන් එළැඹෙන මැතිවරණයකදී එම දේශපාලනඥයන් පිළිබඳව තීන්දුවක් ගන්න. අන්න ඒ නිසයි අපි පැරදුණත් දිනුම් කියලා කිව්වේ.

විශ්වාසභංගය ජයග්‍රහණය කරන්න විපක්ෂයේ මන්ත්‍රීවරු හැටියට ඔබට තනියම බැහැනේ. ඒ සඳහා විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ සහය නොලැබෙන බවක් පේනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ?

එක්සත් ජාතික පක්ෂයේ නිරෝෂන් පෙරේරාලා වැනි ඇමැතිවරු බය නැතිව එළිපිටම කියනවා මෙම විශ්වාසභංගයට සහය දෙනවා කියලා. ඒ වගේම මේ සඳහා සහය නොදෙන මන්ත්‍රීවරු කවුද කියලා රට දැනගත්තාම ජනතාව ඔවුන්ට නියම පිළිතුර ලබාදේවි.

ඔබ එසේ කීවත් ආණ්ඩු පක්ෂයේ 113 රැකගන්න රිෂාඩ් බදුයුදින්ලාගේ පක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට අවශ්‍ය වෙනවා. එවැනි තත්ත්වයක් මත ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විශ්වාශභංගයට සහය පළකරයිද?

එවැනි ප්‍රශ්නයක් නැහැ. 2018 නොවැම්බර් මාසයේ අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව හා රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළකිරීමේ යෝජනාවේදී දෙමළ ජාතික සන්ධානයත් ආණ්ඩුව ආරක්ෂා කරලා ආණ්ඩුවට මන්ත්‍රීධුර 121ක් හිමිවුණානේ. ඉන් පහක් අයින් වුණත් 116ක් තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවේ සුරක්ෂිතභාවයට රිෂාඩ් බදුයුදීන් ඉවත්වීම ප්‍රශ්නයක් නොවෙයි.

මේ විශ්වාසභංග යෝජනාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අත්සන් තබා නැහැ. මම එහෙම අහද්දී ඔබ කියාවි විශ්වාසභංග යෝජනාවක් භාර දෙන්න විපක්ෂනායකවරයාගේ අත්සන අවශ්‍යම දෙයක් නොවෙයි කියලා. නමුත් විපක්ෂය විසින් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවකට විපක්ෂ නායකවරයා පළමුවෙන්ම අත්සන් තැබුවා නම් එම විශ්වාසභංග යෝජනාවට විශේෂ වටිනාකමක් ලැබෙනවා නේද?

ඔබ මෙය අමුත්තක් ලෙස දැක්කත්, මහින්ද රාජපක්ෂ මීට පෙරත් අපි විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනා එකකටවත් අත්සන් තැබුවේ නැහැ. එතුමා අපගේ නායකයා. එතුමාගේ අත්සනට සුවිශේෂී වටිනාකමක් තිබෙනවා.

ඔබේ විශ්වාසභංගය අතරේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සමස්ත ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජයගනීවිද?

ජනතා විමුක්ති පෙරමුණ මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ රිෂාඩ්වත් ආණ්ඩුවත් ආරක්ෂා කරගන්නයි. ලෝක ඉතිහාසයේ ආණ්ඩුවක් රැකගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවක් හැටියට ජ.වි.පෙ. විශ්වාසභංග යෝජනාව ඉතිහාසයට එකතු වේවි.

ජ.වි.පෙ. ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ආණ්ඩුව රකින විශ්වාසභංගයක් කියලා ඔබ පැවැසුවාට එම ප්‍රකාශයේ කිසිම තාර්කික බවක් නැහැනේ. ආණ්ඩුව රකින්න විශ්වාසභංග ගෙනල්ලා පුළුවන්ද? දේශපාලනඥයන් සියලුදෙනාම ජනතාවට එපා වී ඇති මෙවන් මොහොතක සමස්ත ආණ්ඩුවට එරෙහිව නැගී සිටීම නොවේද වැදගත්?

රිෂාඩ් බදුයුදීන්ට සහ ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහිව මුළු රටේම විශාල නැගී සිටීමක් තිබෙනවා. ඒ නිසා දෙමළ ජාතික සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරු පක්ෂ භේද අමතක කරලා මේ යෝජනාවට පක්ෂව කටයුතු කරන්න පෙලඹී සිටියා. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ විපක්ෂය සහ ආණ්ඩුව අතර තිබූ බෙදුම් රේඛාව අහෝසි වෙලා, දේශප්‍රේමී සහ දේශද්‍රෝහී ලෙස අලුත් රේඛාවක් මතුවුණා.

අද වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂයේ ඔබ අතර ඉතා හොඳ සුහදතාවයක් තිබෙනවා. ජනාධිපතිත් විපක්ෂයේනේ. ඒ නිසා ඔහුට බලපෑම් කරන්න බැරිද විධායක ජනාධිපති ධුරයේ බලය පාවිච්චි කරලා අන්තවාදී චෝදනා එල්ලවන සියලු දේශපාලනඥයන් එම තනතුරුවලින් ඉවත් කරන්න කියලා.

ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් තවම එහෙම දෙයක් කළේ නැහැ. අපි මාසයක සිට මෙවැනි පිරිස් පිළිබඳව හෙළිදරව් කරනවා. රිෂාඩ් බදුයුදීන් ඉවත් කරන්න අගමැතිවරයාගෙන් උපදෙස් ලබාගත යුතුයි. නමුත් ජනාධිපතිවරයාට සෘජුව ඉවත් කළ හැකි ආණ්ඩුකාරවරුන් පිළිබඳවත් ජනාධිපතිතුමා තවම තීරණයක් අරගෙන නැහැ.

තමුන්නාන්සේලාත් රිෂාඩ් බදුයුදීන් ඉවත්කරන්න කෑගැහුවට අන්තවාදය ‍පෝෂණය කළ බවට චෝදනා එල්ලවන නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලිය ඉවත්කරන්න කියලා සටනක් කරන්නේ නැහැනේ. ඔබ එසේ නොකරන්නේ ඔවුන් දෙදෙනා ජනාධිපතිගේ නියෝජිතයන් නිසා නේද?

ඔබ එම ප්‍රශ්නය අහන්නේ දේශපාලන අනවබෝධයකින් බව පේනවා. විශ්වාසභංගයක් ගේන්න පුළුවන් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයකුට පමණයි. ආණ්ඩුකාරවරු ඉවත් කරන්න පාර්ලිමේන්තුව විශ්වාසභංග ගෙනල්ලා වැඩක් නැහැ.

මම අහන්නේ විශ්වාසභංග ගැන නොවෙයි. එවැනි ආණ්ඩුකාරවරු ඉවත් කරන්න කියලා අඩුම තරමේ රිෂාඩ්ට එරෙහිව කෑගහන තරමටවත් කෑගහන්න බැරි ඇයි කියලයි?

ආණ්ඩුකාරවරු දෙදෙනාත් ඉවත් කරගන්න අපට හැකියාව තිබුණා පළාත් සභා විසුරුවලා තිබුණේ නැත්නම්.

පළාත් සභා විසුරුවලා තිබුණේ නැති වුණත් පළාත් සභාවට විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ජයගන්න නම් එම පළාත් සභාවේ වැඩි බලයක් තමුන්නාන්සේලාට තිබිය යුතුයි නේද? නැගෙනහිර පළාත් සභාවේ බලයක් තිබුණේ නැහැ නේද?

ඒක ඇත්ත. නමුත් බස්නාහිර පළාත් සභාවේ අපිට වැඩි බලයක් තිබුණා. ඒ නිසා බස්නාහිර පළාත් සභාව තිබුණා නම් අපි අසාද් සාලිට එරෙහිව පළාත් සභාවට විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ඔහුව ඉවත්කරන්න පියවර ගන්නවා.

පාස්කු ප්‍රහාරය බිම ඇදවැටී තිබූ විපක්ෂයට කෙළින් හිටගන්න අවස්ථාවක් උදා කළා නේද?

මෙම සිදුවීම අපිට දේශපාලන වශයෙන් කිසිදු වාසියක් නැහැ. සිදුවුණේ අපට අවාසියක්. මම එහෙම කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ නියත ජයග්‍රහණය අපට හිමිවෙනවා. එය තහවුරු වුණේ පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණය සමගයි.

නමුත් හෙට දවස අපට භාරගන්න වෙන්නේ සෑම පැත්තකින්ම කඩාවැටුණු, පණ අදින රටක්.

අද ඔබ රිෂාඩ් එ‍පෝ රිෂාඩ් එ‍පෝ කිය කියා කෑගැසුවාට ඔක්තෝබර් 26දා අගමැතිකම ගන්න හොරපාරෙන් ගිය වෙලාවේ 113 හදාගන්න රිෂාඩ් ඇමැතිවරයා පස්සේ දුවන්න වුණා නේද?

කිසිසේත්ම නැහැ. එය අමූලික අසත්‍යයක්. මුස්ලිම් අන්තවාදීන්ට අපි අද වගේම එදත් විරුද්ධයි.

රිෂාඩ් බදුයුදීන්ට කිරි පෙව්වේ රාජපක්ෂ ආණ්ඩුව නේද? ඔහු රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිකමුත් කෙරුවා නේද?

රිෂාඩ් බදුයුදීන් රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැති කෙනෙකු ලෙස සිටි බව ඇත්තයි. හැබැයි ඔවුන්ට අන්තවාදී කටයුතුවල නිරතවෙන්න එදා කිසිදු ඉඩක් ලැබුණේ නැහැ.

රිෂාඩ් බදුයුදීන්ට චෝදනා ඉදිරිපත් වූ පමණින් ඔහු වරදකරුවෙක් කිරීම සාධාරණද?

වරදකරුවෙක් කරන්නේ අධිකරණයෙන් පමණයි. අපි කියන්නේ ඔහු ඇමැති ධුරයේ සිටීමෙන් ඔහුට එරෙහිව ඉදිරිපත් වන චෝදනා පිළිබඳ විමර්ශනයක් කරන්න නොහැකිවෙන බවයි. පරීක්ෂණවලින් පසු අධිකරණයෙන් රිෂාඩ් වරදකරුද නැද්ද කියලා තීරණය කරාවි.

යම් විදිහකින් මෙම චෝදනාවලින් රිෂාඩ් නිවැරදිකරුවෙක් වුණොත් අනාගතයේදී ඔබලා හදන ආණ්ඩුවක ඔහුට ඇමැතිකමක් ලැබෙයි නේද?

ඔහු අධිකරණය ඉදිරියේ වරදකරුවෙක් වුණත් නැතත් ඔහු සිටින ආණ්ඩුවක අපි ඉන්නේ නැහැ කියලා අපි ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ නිසා ඔහුට අපගේ ආණ්ඩුවක ඉඩක් ලැබෙන්නේ නැහැ.

යම් විදිහකින් ආණ්ඩුව තේරීම්කාරක සභාවකට මුවාවෙලා රිෂාඩ්ට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට ඉඩ නොදුන්නොත් මොකද වෙන්නේ?

අපිට වෙන්නේ පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් අරගල කිරීම පමණයි. මොකද ගිහිල්ලා ගහන්නද?

පසුගියදා මිනුවන්ගොඩ ඇති වූ සිදුවීම්වලට ඔබ පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද සම්බන්ධ බවට චෝදනා එල්ල වෙනවා නේද?

ඒ ගැටුම මධුමාධව පිට පැටවීමේ අසාර්ථක උත්සායක ආණ්ඩුව නිරත වෙනවා. මධුමාධව මිනුවන්ගොඩට ගියේ ඇයි. කොපමණ වෙලාවක් මිනුවන්ගොඩ හිටියද කියලා සියලු තොරතුරු අපි ගාවත් තිබෙනවා. ඒ මොහොතේ මධුමාධව ඔහුගේ ජංගම දුරකථනයෙන් ලබාගත් ඇමැතුමෙන් මොනවද, කොපමණ වෙලාවක් කතා කර තිබෙනවාද? ඒ සියල්ල දුරකථන කුලුනු වාර්තාවක් හරහා අපි ලබාගත්තා. අපි මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකරනවා.

බැලුබැල්මට මධුමාධවට එල්ලවන්නේ චෝදනාවක් පමණයි. රිෂාඩ්ටත් එල්ල වන්නේ චෝදනාවක් පමණයි. තමන්ගේ එකාව රකින්න ඔබ ගොඩාක් මහන්සි වෙන බව පේනවා.

මධුමාධවට තිබෙන චෝදනාව ඔහු මිනුවන්ගොඩ නගරයේ තියෙන පාලමක් උඩ විනාඩි 10ක් ගතකරලා තිබෙනවා කියන එකයි. රිෂාඩ් බදුයුදීන්ට සාක්ෂි සහිතව චෝදනා දහයක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. කොහොම වුණත් මධුමාධව ගැටුම්වලට සම්බන්ධ බවට ඔප්පු කළහොත් ඔබ ඇසූ පරිදි මේ දෙදෙනා සමාන කළ හැකියි.

පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.