lakbima.lk

දේශපාලනයට එන්න තුන් හිතකවත් නෑ

නොසිතු වෙලාවක නොසිතූ මොහොතක ඔබ වහන්සේට නිදහස් වෙන්න ලැබුණ. දැන් ඔබ වහන්සේගේ ඉදිරි සැලසුම් මොනවද. ඉදිරියේදී මොකද කරන්න බලා‍පොරොත්තු වෙන්නේ?

විශේෂ කාරණා ගොඩාක් තියෙනවා. පළමුවෙන්ම ෙඓතිහාසික සඟසමුළුවක් මහනුවරදි එළඹෙන ජූලි හත්වැනිදා පවත්වන්න බලා‍පොරොත්තු වෙනවා. මේ රටේ වැඩ සිටින 40000ක් පමණ වූ මහා සංඝරත්නයෙන් දස දහසක පමණ පිරිසක්වත් එදින මහනුවරට එක්රැස් කරන්න අපි බලා‍පොරොත්තු වෙනවා.

සඟ සමුළුවේ අරමුණ මොකක්ද?

රට දිනන තැනකට ගෙනයෑමයි අරමුණ. මල්වතු අස්ගිරි උභය මහා විහාරවල ආශිර්වාදයත්, අමරපුර, රමාඤ්ඤ ඒ මහා නිකායන්හි  මහානායක හිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාදයත්, අපේ සංඝ සභාවන්හි අනුශාසනාවන් හා මඟ පෙන්වීම මත ඒ සඟ සමුළුව පවත්වනවා.  එහිදී අප රට හමුවේ ඓතිහාසික ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා. මම හිතනවා එම ප්‍රකාශනය තුළ මේ ප්‍රශ්න බොහොමයකට පිළිතුරු සොයා ගන්න අපට පුළුවන් වේ කියලා.

ඔබ වහන්සේලා බොදුබල සේනා සංවිධානය එදා ආරම්භ කළ අවස්ථාව් තිබූ අරමුණ අද වෙනස් වෙලාද. නැතිනම් ඒ අරමුණින් බැහැර වෙලාද?

පටන්ගත්ත අරමුණින් අපි බැහැර වෙලා නැහැ. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසේ අධිෂ්ඨානශීලී හදගැස්ම, තමයි අපගේ තේමා පාඨය. අද වන විට ඉතා බරපතළ විදිහට සංක්‍රමණික, සංස්කෘතික, ඝාතන කල්ලි විශාල පිරිසක් අපේ රටේ සියලු පද්ධතීන් ගිලගනිමින් සිටිනවා. ඒ නිසා අද තිබෙන්නේ සංස්කෘතික ආක්‍රමණයක්. අපි එදාට වඩා වෙනස් විදිහකට මේ සංස්කෘතික ආක්‍රමණය පරාද කරනවා.

මුස්ලිම් අන්තවාදයට එරෙහිව නැගී සිටින්නේ කොහොමද?

මේ අනතුර කල්තියා හඳුනාගත්ත පිරිසක් හැටියට අපිට මේ සඳහා වැඩපිළිවෙලක් තිබෙනවා. පළමුව කළ යුත්තේ මේ අනතුර පිළිබඳව සමාජය සීරුවෙන් තැබිමයි. මේ අනතුර පිළිබඳව සමාජයේ අවධානය ඇති කළ යුතුයි. හැබැයි අදවනවිට අපට පේනවා වෙන වෙන කණ්ඩායම් අපි මේ අරමුණින් බැහැර කරන්න වෙන, වෙන කතාබහ සමාජය තුළ ඇති කරනවා. අපේ උදවියත් ඒවා පසු පස දුවනවා. මෙම අන්තවාදයේ අරමුණ බිලි පූජාවයි. ඒ අන්තවාදය අපි දැනුමෙන්, බුද්ධියෙන් පරාද කළ යුතුයි.

ඉස්ලාම් අන්තවාදීන් කතෝලිකයින් ඉලක්ක කරගත්තේ ඇයි?

මට මතකයි 2012 මහරගම බොදු සමුළුවකදී මම කිව්වා ඉස්ලාම් අන්තවාදය හිස ඔසවනවා. රට පුරාම වහබ්වාදී කඳවුර ගොඩනැගිලා තියෙනවා කියලා. ඒ නිසා අපි බොදුබළ සේනාවක් හදා ගත්තේ ඊට මුහුණ දෙන්න. කතෝලිකයින්ට කතෝලික සේනාවක් හදාගන්න කියලත්, හින්දුන්ට හින්දු සේනාවක් හදා ගන්නත් කියලාත් මම එදා කිව්වා. නමුත් කවුරුත් අපි කියපු කිසිවක් ගණනකට ගත්තේ නැහැ. මේ අන්තවාදීන්ට කතෝලිකද, බෞද්ධද කියල අරමුණක් නැහැ. ඔවුන්ට අවශ්‍ය බිලි පූජාවයි.

මේ අන්තවාදය අවසන් කරන්න පුළුවන්ද?

ඒක ලෙහෙසි කාරණාවක් නොවෙයි. මේක පිටුපස විවිධ සංවිධාන පනහක් පමණ සිටිනවා. මෙය ආගමික ප්‍රශ්නයක්. ඒ නිසයි අපි කියන්නේ මෙය අවසන් කරන්න පුළුවන් කියලා. එදා බයිබලය අතට අරගෙන සුදු අධිරාජ්‍යයා විසින් බෞද්ධයින් නැසීමට පියවර ගද්දී ඒකට විරුද්ධව මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ එක ජීවිතයක්වත් නැති නොවන ආකාරයට බයිබලයම කියවලා පානදුරා වාදය පවත්වලා ප්‍රශ්නය විසඳුවා. එදා බයිබලයෙන් ආපු මේ ප්‍රශ්නය අද කුරාණයෙන් එල්ල වෙලා. ඒ නිසා අපට මෙය විසඳන්න පුළුවන්. අපි නැසිය යුත්තේ හේතුවයි.

ඔබ වහන්සේ කුරාණය සම්පූර්ණයෙන්ම කියවලා තිබෙනවාද?

කුරාණය විතරක් නොවෙයි හාදික්, සුන්හා මේ ඔක්කෝම කියවලා තිබෙනවා. කුරාණයේ කොහෙවත් මිනී මරන්න කියලා නැහැ. නමුත් හාදික් සහ ඊට අනුරූපී වූ නොයෙක් ‍ලේඛනවල එවැනි පෙළඹවීම් තියෙනවා. ඒ අනුව තමයි මේ සන්නද්ධ කණ්ඩායම් බිහිවෙලා තියෙන්නේ. අපි මේ දේවල් ගැනයි කතා කළ යුත්තේ

අද වන විට රටේ දැඩි කතාබහක් ඇති වි තිබෙනවා. කුරුණෑගල එක්තරා වෛද්‍යවරයෙකු සිංහල මව්වරුන් වඳ භාවයට පත්කරලා කියලා ඔබ වහන්සේට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්ද මේ වගේ දෙයක් වෙලා තියෙනව කියල.

අපි 2012  ජූලි 20 දා මහා සඟ සමුළුවක් තියලා “වන්ධ්‍යාකරණ පිළිබඳව යෝජනාවක් කළා. නමුත් එදා පාලකයෝ ඒ  පිළිබඳව ඇහුම්කන් දුන්නේ නැහැ. සැලසුම් සහගතව ලංකාවේ සිංහල, හින්දු කාන්තාවන් වඳ භාවයට පත් කරන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වුණා. ඒකට මේ කුරුණෑගල වෛද්‍යවරයා සම්බන්ධ වුණාද නැද්ද කියලා ඉදිරි පරීක්ෂණ වලදී හෙළිදරව් වේවි. ඔහු එවැනි වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් දෙන ගමන් මේ මහා අපරාධය නැති කරන්න පියවර ගැනීමයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බලන්න ආණ්ඩුව පත් කළ තේරීම්කාරක සභාවට ඔබ වහන්සේත් කැඳවන්න යෝජනා වෙලා තියෙනවා නේද?

ප්‍රයෝජනයක් තියෙනවා නම් දෙවතාවක් හිතන්නෙ නැහැ. හැබැයි මේ මාධ්‍ය ගෙනල්ලා බුද්ධි අංශවල තොරතුරු හෙළි දරව් කරනවා වගේ නොවෙයි වැදගත් විදිහට ඇහුවොත් සියලු තොරතුරු හෙළිදරව් කරනවා. අපිට අවශ්‍ය මේ ව්‍යවසනයෙත් රට, ජාතිය, බේරා ගන්නයි. ඒ සඳහා අපි ජීවිතය  වුණත් පූජා කරන්න සූදානම්.

ඔබ වහන්සේ දේශපාලනයට එන බවත්, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බවටත් කතාවක් පැතිරෙනවා. ඒ කතා ඇත්තක්ද?

එහෙම කතා හදන අය ඉන්නවා. හැබැයි අපේ තුන්හිතකවත් එහෙම දෙයක් නැහැ. අපිට තියෙන්නෙ මේ නිර්වින්දනය වූ ජාතියට පණ දීමටයි. මිනිසුන් ආතතියට පත්වෙලා. ඒ ආතතිය දුරු කරලා ඓතිහාසික වශයෙන් අපට පැවැරී ඇති ජාතික වගකීම් හිසින් දරාගෙන කටයුතු කිරීමයි අප කරන්නේ. එය දේශපාලනයට එහා ගිය කාර්යභාරයක්.

නිර්වින්දනය වූ ජාතියට පණ දෙන්න රටේ නායකත්වයට එන්න ඕනේ නේද?

අවශ්‍ය නැහැනෙ. ඔය නායකයෝ ඕනම කෙනෙකුට ජාතියට පණ දෙන්න ඕන විදිහ අපට කියලා දෙන්න පුළුවන්. අපි ගොඩනගාගෙන තියෙන සමාජ ප්‍රාග්ධනය අපි යොදවන්නේ රටේ යහපත සඳහායි. අපි දේශපාලනයට ආවොත් අප ගොඩනගා ගත් සමාජ ප්‍රාග්ධනය නැතිවෙනවා. අනික ජරා ජීරණ වූ දේශපාලන මඩ ගොහොරුවට වැටෙන්න මම කැමති නැහැ.

කොහොම වුණත් ඔබ වහන්සේටත් දැන් දේශපාලන නායකයොත් ඉන්නවනේ. 

ඒ කවුද?

ඇයි ජනාධිපතිතුමා

ඔබ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමානෙ. එතුමා මාව නිදහස් කළ බව ඇත්ත. ඒ වෙනුවෙන් මම එතුමාට ස්තුතිවන්ත වනවා. එතුමා ලබාදුන් නිදහස ගෞරවාන්විතව සමාජය වෙනුවෙන් මම යොදවනවා. භික්ෂුන් වහන්සේලා හැටියට අපට ඉන්නේ එක නායකයායි. ඒ අපගේ බුදුහාමුදුරුවෝ පමණයි.

මොනවා වුණත් ඔබ වහන්සේට ජනාධිපතිවරයාට ගැතිව කටයුතු කරන්න වෙනවා නේද?

අයි ඔබ එහෙම හිතන්නෙ. ජනාධිපතිවරයා නිදහස දුන්නේ මට විතරක්ද? මම හිතන්නේ ජනාධිපතිතුමා යුතුකමක් ඉටු කළා කියලා. එතුමා මාව මුණ ගැහෙන්න බන්ධනාගාරයට ආවා. මම එතුමාට රටේ ඇති වී තිබෙන ප්‍රශ්නය පිළිබඳව මා සතුව තිබූ තොරතුරු කිව්වා. ඒ වගේම මාව නිදහස් කරන්න කියලා, බෞද්ධ, හින්දු වගේම මුස්ලිම් ප්‍රජාවත් විවිධ ඉල්ලීම් කළා. ඒ සියලු දෙනාට යුතුකමක් වශයෙන් එතුමා මාව නිදහස් කළා.

ජනාධිපතිවරයා ඔබ වහන්සේට නිදහස ලබා දෙමින් ඔහුගේ දේශපාලන අරමුණක් ඉටු කර ගත්ත වෙන්න බැරිද?

මම දන්නේ නැහැ. මට අවශ්‍ය වුණේ නිදහස පමණයි. ඒ නිදහස ගන්න මම කොන්දේසි වලට යටත් වෙලා නැහැ.

ජනාධිපතිවරයා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට මත පළවෙනවා. ජනාධිපතිවරයා ඔබව නිදහස් කළේ ඔබ වහන්සේ හරහා ඔහුට හිමි සිංහල බෞද්ධ ඡන්ද දිනාගන්න නොවේද?

මතක තියාගන්න මම කඩේ යන්නේ බුදුහාමුදුරුවන්ට විතරයි. එච්චරයි මම ඒ ගැන කියන්නෙ. බුදුහාමුදුරුවෝ නායකයා කර ගත්ත වැඩ පිළිවෙළක් එක්ක මේ රට සුවපත් කිරීමේ වැඩපිළිවෙළකට දායකවීමයි අපගේ අරමුණ.

කොහොම වුණත් මේ වන විට ඔබ වහන්සේ වටා සැලකිය යුතු සිංහල බෞද්ධ ජනතාවක් එකතු වී සිටිනවා. එම ජනපදනම එළැඹෙන ජනාධිපතිවරණයකදී කාගේ ඔඩුක්කුවකට වැටෙයිද?

ප්‍රධන පක්ෂ දෙකටමත් කවුද තමන්ගේ අපේක්ෂකයා කියලා හිතාගන්න බැරිව ඉන්න වෙලාවක අපි මොකටද අපේ වැඩපිළිවෙළ කියන්නෙ. අපිට වැඩක් නැහැ මේ පංචස්කන්දයන් පිළිබඳව කතා කරලා කාලෙ නාස්ති කරගන්න.

අමාත්‍ය රිෂාඩ් බද්යුද්දීන් සහ ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි හා හිස්බුල්ලා වැනි අයට දැන් ජන සමාජයෙන් විශාල විරෝධයක්  එල්ල වෙනවා. ඒ වගේම චෝදනාත් එල්ල වෙනවා. මේ පිළිබඳ පරීක්ෂණ නිමවන තුරු හෝ ඒ අය එම තනතුරු වලින් ඉවත් කරන්න ජනාධිපතිවරයාට බැරිද. අඩුම වශයෙන් එහෙම ඉල්ලීමක්වත් කරන්න ඔබ වහන්සේලා හිතුවෙ නැද්ද

ඒ දේශපාලනය අපට අදාළ නැහැ. කවුරුත් ඒ වැරැද්ද කරලා තියෙනවානේ.  රිෂාඩ්, හිස්බුල්ලා, ආසාද් සාලිය විතරක් නොවෙයි, ඇයි උලමා සභාව, ෂූරා කවුන්සලය ඒ ගැන කතා කරන්න ඕනේ නැද්ද. මේ වහබ්වාදී කඳවුර ‍පෝෂණය කරපු අනිකුත් දේශපාලකයන් එතකොට ඔය කොයි  නායකයා ළඟත් ඉන්න කළු සල්ලි සුදු කරන මුස්ලිම් ව්‍යාපාරිකයෝ ඒ අයත් රකින්න ඕනේද? ඒ නිසා අපි එහෙම එමු. මේ ප්‍රශ්නය මෛත්‍රීපාල සිරිසේනට ලඝු කරල, මහින්දට, රනිල්ට ලඝු කරලා විසඳන්න බැහැ. මෙය ‍ලේ පිළිකාවක්. එය ශල්‍යකර්මයකින්ම සුව කළ යුතුයි.

ඒත් රිෂාඩ්, ආසාද්, හිස්බුල්ලා වැනි දේශපාලන නායකයින් මුස්ලිම් අන්තවාදයට සම්බන්ධයි කියලා චෝදනා තියෙනව නේද?

සමාජයේ බොහෝ දෙනා එහෙම චෝදනා කරනවා.  චෝදනා තිබූණටම බැහැනෙ ඒවා ඔප්පු විය යුතුයිනේ. හැබැයි, රිෂාඩ්ලා විතරක් නොවෙයි මේ සිංහල නායකයොත් වහබ් වාදය ‍පෝෂණය කරලා තියෙනවා.

ඔබ වහන්සේ හිරෙන් නිදහස් වෙන්න ඔන්න මෙන්න තිබියදී ආණ්ඩුකාර අසාද් සාලි ඔබ වහන්සේ බලන්න ආවේ ඇයි?

මතයක් තිබුණා ජනාධිපතිතුමා මාව නිදහස් නොකරන්නේ මේ මුස්ලිම් අයගෙ බලපෑම නිසා කියලා. මම දන්න අසාද් සාලි ඔය මාධ්‍යයෙන් දකින මිනිසා නොවෙයි.  පසුගිය කාලයේ අපේ රටේ යම් යම් සිදුවීම් ඇතිවෙන විට මුස්ලිම් නායකයෝ කිහිප දෙනෙකු සමග අපි සාකච්ඡා කළා. එම සාකච්ඡාවලට අසාද් සාලිත් ආවා. එහිදී අපගේ සැක සංකා දුරු කරගත්තා.

ඔබ වහන්සේව මරාගෙන මැරෙනවා කියපු අසාද් සාලි ඔබ වහන්සේ බලන්න ආවේ ඇයි කියලා බෞද්ධ සමාජය තුළ තවමත් සැකයක් තිබෙනවා.

ඒක ඇත්ත. ඔහු මාව දැඩිව විවේචනය කළ කෙනෙක්. අලුත්ගම, තෙල්දෙණිය වගේ ප්‍රදේශවල සිදුවීම් වන විට පළමු ගල් පහර කෑවේ සිංහලයෙක්. නමුත් චෝදනාව එල්ල වුණේ බොදු බළ සේනා සංවිධානයට. ඒ නිසා මුස්ලිම් නායකයෝ සමග අප මේ දේවල් කතා කරලා විසඳගත්තාට ඔවුන් පිළිගත්ත අපි නිවැරැදි බව. ඒ නිසයි අසාද් සාලි මාව බලන්න ආවේ.

ඔබ වහන්සේ කියන්නේ අසාද් සාලි හොඳයිද?

මගෙන් එහෙම චරිත සහතික ඉල්ලන්න එපා. තමන් වපුරපු විදිහට අස්වනු නෙළා ගත්තදෙන්. අපිට මිනිස්සුත් එක්ක කතා කරන්න බැරිද? අසාද් සාලි විතරක් නොවෙයි, මනෝ ගනේෂන්, දිගංබරන්ලාත් මාව බලන්න ආව. අපි කා සමග හරි කතා කළත් එය ඩීල් එකක් කියලා හිතනවා.

අද අපේ බොහෝ අයට තියෙන ප්‍රශ්නය අමතක කරලා. වෙන වෙන ප්‍රශ්නවල දුවනවා. අපි දැන් හිතන්න ඕනේ බුර්කාව, ෂරියා නීතිය, වහබ්වාදය රටෙන් තුරන් කරන්නේ කොහොමද කියන එකයි. මද්‍රසා පාසල් නැති කළ යුතුයි. නැගෙනහිර පළාත බේරාගත යුතුයි. සම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව රැක ගත යුතුයි. එහෙම නැතිව මේ ඇමැතිවරුන්ගේ ප්‍රශ්න හරි මතෛක් මාතෘකාවලට හරි දුවලා ඉස්ලාම් අන්තවාදය අවසන් කරන්න නොහැකි බව කවුරු කවුරුත් වටහා ගත යුතුයි.

පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.