lakbima.lk

අපි කියපු කිසිදෙයක් විදුලිබල මණ්ඩලය කරලා නැහැ විදුලි අර්බුදයට හේතුව ඒකයි

විදුලිබල අර්බුදයත් සමග විදුලිබල මණ්ඩලය සේම වැඩියෙන් කතාබහට ලක්වන අනෙක් ආයතනය වන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමයි. දෙතුන් සතියකට ඉහතදී එම කොමිසමේ කටයුතුද ජනපතිවරයා කැබිනට් මණ්ඩලයේදී දැඩි සේ විවේචනයට ලක්කර තිබුණි. එනමුත් රටේ අනෙකුත් කොමිෂන් මෙන් මහජන උපයෝගිතා කොමිසම ප්‍රසිද්ධ නැති බැවින් ඒ ගැන කතාබහට ලක්වූයේ අඩුවෙනි. එබැවින් අප කල්පනා කළේ මෙම කොමිසම කුමක්ද, ඉන් කෙරෙන්නේ මොනවාදැයි සොයා බැලීමට ඒ සඳහා ''ලක්බිම''  ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මාධ්‍ය අධ්‍යක්ෂ ජයනාත් හේරත් සමග කතා කළෙමු.

වර්තමානයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියන්නේ මොකක්ද?

මෙම ආයතනය 2002 වසරේ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කළ කොමිසමක්. බහු  විෂයන් නියාමන කොමිසමක්. මෙහි සාමාජිකයන් පත්කිරීම කළේ 2004 වසරේදී.

මේ සඳහා සාමාජිකයන් පත්කිරීම සිදුකරන්නේ කුමන ආකාරයටද?

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන මෙම කොමිසමේ සාමාජිකයන් පත් කෙරෙන්නේ එම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය යටතේ. ඒ සඳහා සාමාජිකයන් නම් කරන්නේ විෂයභාර ඇමැතිවරයා වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්.

කොමිෂන් සභාවේ සාමාජිකයන් ගණන කීයද?

සභාපතිවරයා සමග සාමාජිකයන් සිව් දෙනකු සිටිනවා. නීතිඥ සාලිය මැතිව් කොමිසමේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරනවා. අනිකුත් සාමාජිකයන් විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගෙන් පත් කර තිබෙනවා. මේ සාමාජිකයන්ගේ ධුර කාලය වසර පහකට සීමා වෙනවා. ඒත් එම කාලය වසර දහය දක්වා දීර්ඝ කළ හැකියි.

කොමිසමේ සාමාජිකයන් තිදෙනකුගේ ධුර කාලය පසුගිය 31 දා අවසන් වුණා නේද?

ඔව්. මහාචාර්ය රාහුල අතලගේ, නීතිඥ සංජය ගමගේ සහ ප්‍රසාද් ගල්හේන යන සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වී තිබෙනවා. මේ සඳහා අවශ්‍ය පත්කිරීම් ඉදිරියේදී සිදුකිරීමට නියමිතයි.

වසර කිහිපයක සිට කොමිසමේ ප්‍රධාන සාමාජිකයකුගේ පුරප්පාඩුවක් තිබෙනවා නේද?

කොමිසමට අවශ්‍ය ඝන පූර්ණය සම්පූර්ණ වී තිබූ නිසා එම පුරප්පාඩුව තිබුණත් කොමිසමේ කටයුතු කරගෙන යාමට බාධාවක් නැහැ.

ඔය කියන විදියට මේ මොහොතේ කොමිසමේ ඉන්නේ සභාපතිවරයා විතරයි නේද?

කොමිසමට අවශ්‍ය සියලු සාමාජිකයන් රජය කඩිනමින් පත්කරාවි කියලා අපි බලා‍පොරොත්තු වෙනවා. සාමාජිකයන් හැරුණාම විවිධ ක්ෂේත්‍රවලට අදාළ සෙසු කාර්ය මණ්ඩලයේ 40 ක් පමණ සිටිනවා.

මෙම කොමිෂන් සභාව 2002 වසරේ ස්ථාපිත කළත් කොමිසම පසුගිය කාලය පුරාවටම කරපු දෙයක් පෙනෙන්නට නැහැනේ?

ඔව්. 2002 දී ස්ථාපිත කළත් සාමාජිකයන් පත්කළේ 2004 වසරේදී. ඉන්පසු කොමිසමක් හැටියට විදුලිබල පනත සම්මත කර ගැනීමට අදාළ කටයුතුවල නිරත වුණා. ලිහිසි තෙල් කර්මාන්තයේ නියාමන ආයතනයක් හැටියට ක්‍රියා කළා. ඛනිජ තෙල් අමාත්‍යාංශයේ කටයුතුවලට සම්බන්ධ වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පිළිබඳව රටපුරා කතාබහ ඇතිවන්නේ විදුලිබල කර්මාන්තයේ නියාමනයට මෙම කොමිසම සම්බන්ධවීමත් සමග නේද?

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම හැටියට අපගේ මූලික වගකීම වූයේ මහජනතාවට සෘජුව බලපාන ක්ෂේත්‍ර කිහිපයක නියාමන ආයතනයක් ලෙස මැදිහත්වීමයි. 2009 වසරේ විදුලිබල මණ්ඩල පනත සම්මතවීමත් සමග ඒ සඳහා මැදිහත්වීමට අවශ්‍ය සම්පූර්ණ බලතල එම පනත මගින් අපට හට හිමිවුණා. ඒ අනුව විදුලි පාරිභෝගිකයා වෙනුවෙන්, ඒ වගේම විදුලිබල කර්මාන්තය වෙනුවෙන් සැලකිය යුතු සේවයක් ඉටු කරන්න කොමිසමට හැකිවුණා.

එතකොට කොමිසම විදුලිබල මණ්ඩලයට එරෙහිව අධිකරණයට ගියේ ඇයි?

විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ වගකීම අපට පැවැරී තිබෙනවා. විදුලිබල මණ්ඩලයෙන් අප ඉල්ලන විශේෂ දත්ත ඔවුන් අප වෙත ලබාදිය යුතුයි. එම දත්ත නොමැතිව මහජන උපයෝගිතා කොමිසම හැටියට අපට පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට අපහසුයි. රටේ විදුලි අවශ්‍යතාව රටේ සමස්ත විදුලි නිෂ්පාදනය වගේම පාරිභෝගික පැමිණිලි පිළිබඳ දත්ත තොරතුරු අපට අවශ්‍ය වෙනවා. නමුත් විදුලිබල මණ්ඩලයෙන් එම දත්ත හා තොරතුරු දිගින් දිගටම ලබාගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා මහජනතාව වෙනුවෙන් අධිකරණයට යන්න අපට සිදුවුණා.

විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අතර මෙවැනි ගැටුමක් තිබියදී පාරිභෝගික ජනතාවට සැබෑ සේවයක් සලසා දීමට හැකිද?

එහෙම විශේෂ ගැටුමක් නැහැ. පාරිභෝගික ජනතාව වෙනුවෙන් ෙනෙතික කාර්යයන් ඉටු කරගන්න නියාමන කොමිසම හැටියට අපට කටයුතු කරන්න සිදුවෙනවා. එය ගැටුමක් නොවෙයි.

ගැටුමක් නොවෙයි නම් විදුලිබල මණ්ඩල සේවකයන් කොමිසමට එරෙහිව කටයුතු කරයිද? කොමිසමට අධිකරණයටත් යන්න වෙයිද?

ප්‍රධානතම නියාමන ආයතනය හැටියට අපට අවශ්‍ය වන්නේ විදුලිබල මණ්ඩලයේ විනය සකස් කර ගැනීමයි. මෙය දෙමාපියන් හා දරුවන් අතර ඇති සම්බන්ධය වගෙයි. දෙමාපියන් දඬුවම් කළාට දරුවන් තරහා වෙන්නේ නැහැ.

 විදුලිබල මණ්ඩලය තමන්ගේ බොහෝ කටයුතු කොමිසමට නොදන්වා කරනවා නේද?

ඒක තමයි ගැටලුව. ටෙන්ඩර් කිරීම් කරනවා, හදිසි විදුලිය මිලදී ගන්නවා. නමුත් අපට දැනුම් දෙන්නේ නැහැ. මේ වගේ ගැටලු තිබෙනවා.

2002 සිට ක්‍රියාත්මක මහජන උපයෝගිතා කොමිසම තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කළානම් අද අපේ රට මෙවැනි විදුලි අර්බුදයකට මුහුණ දෙයිද?

අපගේ වගකීම අප ඉටුකර තිබෙනවා. නමුත් කොමිෂන් සභාවට බැහැ බලාගාර හදන්න. 2016 වසරේ සිට විදුලිබල මණ්ඩලයට අප දැනුම් දුන්නා අනාගතයේ විදුලි අර්බුදයක් ඇතිවෙන බව. ඒ සඳහා මුහුණ දීමට විදුලි බලාගාර ඉදිකළ යුතු බවට අප යෝජනා කළා. නමුත් විදුලිබල මණ්ඩලය අපගේ යෝජනාවන්වලට අනුව ක්‍රියා කළේ නැහැ.

නමුත් බොහෝ දෙනා පවසන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම තමන්ගේ වගකීම පැහැර හැර ඇති බවයි?

එය පිළිගත නොහැකියි. විදුලිබල මණ්ඩලයට අවශ්‍ය සියලු මග පෙන්වීම් අප කර තිබෙනවා. විදුලි බලාගාර ඉදිකිරීම් සඳහා ඉදිරිපත් වෙන යෝජනා අප අනුමත කරලා නැත්නම්, අනාගතයේ විදුලි අර්බුදයක් ඇතිවෙන බවට අප පෙර දැනුම් දීම් කර නැත්නම් අපට චෝදනා කළාට කමක් නැහැ. ඒ වගේම තමයි ජනතා සැලසුම් අප අනුමත කරලා නැත්නම්, විදුලි ගාස්තු ක්‍රමවේදයක් සකස් කරලා නැත්නම්, පාරිභෝගික ගැටලු විසඳන්න අප මැදිහත් වෙලා නැතිනම් කෙනකුට අපට චෝදනා කළ හැකියි. නමුත් අප අපගේ වගකීම් සියල්ල අකුරට ඉටුකර තිබෙනවා.

අකුරට ඉටුකර තිබුණත් මහජනතාවට විදුලිය කිව්ව ගමන්ම ඇතිවෙන්නේ තරහක්නේ. විදුලි ගාස්තුවෙන්වත් ජනතාවට සහනයක් නැහැනේ?

ඔය පළමුවැනි ප්‍රශ්නය නම් සාධාරණ වෙන්න පුළුවන්. මේ දිනවල විදුලිය කප්පාදු කරන නිසා ජනතාව අපහසුතාවට පත්වෙනවා. නමුත් විදුලිබල මණ්ඩලයට මේ පිළිබඳව අපි වසර ගණනාවකට පෙර දැනුම්වත් කර තිබෙනවා. විදුලි ගාස්තුව පාලනය කිරීමට අපට හැකිවී තිබෙනවා. 2010 වසරින් පසු මේ දක්වා විදුලි ගාස්තු වැඩිවීමක් සිදුව නැහැ. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ අනවශ්‍ය වියදම්ද කපා හරිමින් මණ්ඩලය හොඳ ස්ථාවර තත්ත්වයකට ගෙන ඒම සඳහා සහය වීමටත් අපට හැකිවුණා.

2010 න් පසු විදුලි ගාස්තු වැඩි නොවුණට හෙට අනිද්දා වෙනවිට විදුලි ගාස්තු දෙගුණයකින් පමණ වැඩි වෙයි නේද?

විදුලි ගාස්තු වැඩි කිරීමට කිසිම සූදානමක් නැහැ.

ශ්‍රී ලංකාව මෙවැනි විදුලි අර්බුදයකට මුහුණ දෙන්නේ ඇයි?

ඒකට හේතුව තමයි විදුලිබල මණ්ඩලය අප වසර ගණනාවකට පෙර කරන ලද අනතුරු හැඟවීම් පිළිබඳව සැලකිලිමත් නොවීම. අපි එහිදී සඳහන් කර සිටියා වහාම අඩු වියදම් බලාගාර ඉදිකළ යුතු බව. ඒ වගේම අධික ලෙස වැය බරක් දාලා අතිරේක විදුලිය මිලදී ගැනීම් නොකළ යුතු බව. අපේ රටේ නිෂ්පාදනය කෙරෙන විදුලි ධාරිතාව විදුලි ඉල්ලුමට සරිලන ආකාරයට සකස් කර ගැනීමත් අලුතින් අවශ්‍ය වන විදුලි ඉල්ලුමට අවශ්‍ය ධාරිතාවන් ඉහළ දමා ගැනීමටත් අවශ්‍ය බව අප දැනුම් දී තිබෙනවා.

විදුලිබල මණ්ඩලය අතිරේක විදුලිය මිලදී ගැනීම ආරම්භ කළේ කොයි කා‍ලේද?

2004, 2005 වසරවලත් දිගුකාලීන විදුලිය මිලදී ගැනීම් කර තිබෙනවා. නමුත් කෙටිකාලීන විදුලිය ගැනීම සිදුවුණේ 2017, 2018 වසරවලයි.

අතිරේක විදුලිය මිලදී ගැනීමට විශාල ධනයක් වැයවෙනවා. එනිසා කොමිසම හැටියට මේ සඳහා වෙන විකල්පයක් හඳුනාගෙන නැද්ද?

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට අප රජයට කිව්වා අතිරේක විදුලිය මිලදී ගැනීමක් සිදු නොකර රාජ්‍ය අංශය සතු විදුලි ජනක යන්ත්‍ර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කරන්න කියලා. අගමැතිතුමා එය භාරගත්තා. රාජ්‍ය අංශය සතුව මෙගාවොට් 200 කට වඩා වැඩි ප්‍රමාණයක ජනක යන්ත්‍ර තිබෙනවා. මෙගාවොට් 200 ක් කියන්නේ ලොකු බලාගාර දෙකක් වගේ. ඒ නිසා මේ වගේ කෙටිකාලීන විදුලිය අවශ්‍යතාවලදී එවැනි ජනක යන්ත්‍ර භාවිත කරලා විශාල ධනයක් රට තුළ ඉතිරි කරගන්න පුළුවන්.

පසුගිය සැප්තැම්බර් මාසයේ කොමිසම කළ එම යෝජනාව තවමත් ක්‍රියාත්මක නොවුණේ ඇයි?

අග්‍රාමාත්‍යතුමා මේ පිළිබඳව අවශ්‍ය කාර්යයන් කර තිබෙනවා. මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබෙනවා. රාජ්‍ය අංශයේ විතරක් නොවෙයි පෞද්ගලික අංශය සතුව තිබෙන ජනක යන්ත්‍රත් එකතු කළහොත් මෙගාවොට් 2000 ක විතර ප්‍රමාණයක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කළ හැකියි. රජය මේ සඳහා ක්‍රියා කළහොත් අපට අනාගතයේ කිසිම දවසක හදිසි විදුලිය මිලදී ගැනීමකට මුදල් වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

ඔබ මොනවා කිව්වත් මිනිසුන්ව කළුවරේ තියනකම්ම රජයට බැරි වුණානේ විදුලි අර්බුදය විසඳන්න. රජය හදිසි විදුලිය මිලදී අරගෙන ඉවරයි නේද?

මෙගාවොට් 100 ක හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා කොමිසමෙන් අනුමැතිය ඉල්ලුවා. මහජනතාව මුහුණ දෙන අපහසුතාව නිසා කොමිසම ඒ සඳහා අනුමැතිය දුන්නා.

මේ වනවිට රටට මෙගාවොට් කීයක විදුලි හිඟයක් තිබෙනවාද?

අපට ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු හා දත්ත විදුලිබල මණ්ඩලයෙන් ලබාදීලා නැහැ. ඒ නිසා ඒ පිළිබඳව නිවැරදි පිළිතුරක් ලබාදෙන්න බැහැ.

විදුලි අවශ්‍යතාව කොපමණද කියලා හරිහැටි නොදැනද මෙගාවොට් 100 ක විදුලියක් මිලදී ගන්න අවසර දුන්නේ?

කොමිසම එම අනුමැතිය දුන්නේ මහජනතාව මුහුණ දී සිටින අපහසුතාව ගැන සැලකිලිමත් වෙලා, නොකඩවා අඛණ්ඩ විදුලියක් ජනතාවට සැපයීම සඳහායි. කොමිසම එම අනුමැතිය දුන්නෙත් විදුලි අවශ්‍යතාවයේ සියලු දත්ත අප වෙත දැනුම් දෙන්න කියලයි. නමුත් තවමත් එම තොරතුරු අපට ලැබි නැහැ.

පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.