lakbima.lk

ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා මහින්ද තවම කියලා නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ අතර මේ දිනවල පැවැත්වෙන සාම සාකච්ඡා පිළිබඳ එම පක්ෂ දෙකේ සාමාජිකයන් පමණක් නොව එ.ජා.ප.ය ද බලා සිටින බව නොරහසකි. ඊට හේතු වන්නේ ළඟ එන ජනපතිවරණයේදී එම පක්ෂවලින් ඉදිරිපත් වන්නේ එක් අපේක්ෂකයෙක්ද එසේ නැතිනම් අපේක්ෂකයන් දෙදෙනෙක්ද යන්න පිළිබඳ කුතුහලයක් ඇති වී තිබිමය. ඒ පිළිබඳ මේ අදහස් දක්වන්නේ එම සාකච්ඡාවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රීලනිප හිටපු මහ‍ලේම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හා ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සහභාගි වන මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන බව කියන පුළුල් සන්ධානය යථාර්ථයක් වෙන්නේ කවදද?

අප දෙපාර්ශ්වයම මේ වන විට සාකච්ඡා වට දෙකක් පවත්වා තිබෙනවා. තෙවැනි වතාවට එළැඹෙන 10දා අප නැවත සාකච්ඡා කරනවා.

සාකච්ඡා වට තුනක් පවත්වලත් ඔය කියන පුළුල් සන්ධානය තවම ගොඩනගන්න බැරි වුණේ ඇයි?

පුළුල් සන්ධානයක් එහෙම නැතිනම්, ජාතික පෙරමුණක් හරහා අප දෙපාර්ශ්වය එකට එකතු වී ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට මුහුණදිය යුතු යන තීන්දුව අප මේ වන විට ගෙන අවසන්. නමුත් අප සියලුදෙනා ‍පොදු ප්‍රතිපත්ති මාලාවකට එකඟ වී කටයුතු කළ යුතුයි. ඒ සඳහා තමයි මේ දිනවල සාකච්ඡා පවත්වන්නේ.

නමුත් ආණ්ඩු පාර්ශ්වයේ සමහරු චෝදනා කරන්නේ ‍පොහොට්ටුවයි, නිදහස් පක්ෂයටයි එකට දීගයක් නැති බවයි.

දීගය කඩාගත්තේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ නිසා ඔවුන් කරන චෝදනාව අපි ඉතා සැහැල්ලුවෙන් බැහැර කරනවා. එක්සත් ජාතික පක්ෂ විරෝධී පුළුල් ජාතික පෙරමුණක් ගොඩනැගීම කියන අපගේ වුවමනාව මත මෙම සාකච්ඡාවන් ඉදිරියට යාවි. අනික් කාරණාව තමයි මෙකී සන්ධානය හරහා වත්මන් ආණ්ඩුව වසර ගණනාවක් මැතිවරණ හකුලා තැබිමට එරෙහිව අපි සටන් කරනවා. පළාත් සභා මැතිවරණය දින නියමයක් නැතිව කල් දාලා. අපේ රටේ මාධ්‍යයත් අද ඒ ගැන කතා කරන්නේ නැහැ.

සියලු දෙනාගේ අවධානය ඇත්තේ එළැඹෙන ජනාධිපතිවරණයයි. නමුත් ඔබ එය මගහරිමින් පළාත් සභා මැතිවරණයක් ගැන කතා කරනවා.

ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡාවක් නැහැ කියලා මම කියන්නේ නැහැ. අපි ගොඩනගන සන්ධානය තුළ පළාත් සභා මැතිවරණය හැරුණු පසු ජනාධිපතිවරණය ගැන කතාකරනවා. ඒත් ජනාධිපතිවරණයට තව මාස 9ක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පෙරමුණු අප සකස් කරනවා.

එසේ නම් ජනාධිපතිවරණය ගැන කතා කරමු. කවුද ජනාධිපති අපේක්ෂකයා?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය නිවේදනය කිරීමට තිබෙන අවසාන දිනය ඔක්තෝබර් 5දායි. අද අපි කතා කරන්නේ අප්‍රේල් 4 වැනිදායි. අද සිට මැතිවරණය නිවේදනය කරන්න දවස් 184ක් තියෙනවා. මැතිවරණය පවත්වන්න දවස් 240ක් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයා කරළියට ආවේ දවස් 42 තිබියදීයි. අපි තවමත් පක්ෂයක් විදිහට ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව අවසන් තීන්දුවත් අරගෙන නැහැ.

ගෝඨාභය රාජපක්ෂ ප්‍රසිද්ධියේ කියනවා ජනාධිපතිවරණයට තමා ලෑස්තියි කියලා. රාජපක්ෂ පවුල ඒ පිළිබඳව තීන්දුවක් අරගෙන කියලා බොහෝ මාධ්‍ය වාර්තා කළා. ඒත් ඔබ එය හංගන්න හදනවා?

කිසිම හැංගීමක් නැහැ. මාධ්‍යවල පළවුණේ ගොසිප් එකක් විතරයි. ගෝඨාභය රාජපක්ෂත් මේකට සූදානම් යැයි පැවැසීම හොඳයි. එය අපිට ගෞරවයක්. විපක්ෂය හැටියට අපේ කඳවුරේ බහුතරයක් ඔහුගේ නම යෝජනා කර තිබෙනවා. ඒ වගේම නිදහස් පක්ෂයේ අපගේ සහෝදරයන් සමහරක් හිටපු ජනාධිපතිතුමාම නැවත ඉදිරිපත් කළ යුතුයි කියනවා. මැතිවරණයට තව දින තිබෙන නිසා ඔය ආකාරයෙන් ජනාධිපති අපේක්ෂකයෝ පිළිබඳව නම් කියැවෙන එක හොඳයි. අවසන් තීන්දුව අපි සියලුදෙනා එක්ව ගත් පසු රටට නිල වශයෙන් දැනුම් දෙනවා.

රාජපක්ෂ පවුල ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට ලබාදෙන්න තීන්දු කරලා නැහැ කියලද ඔබ කියන්නේ?

ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවකදී අපි මහින්ද රාජපක්ෂ අපගේ නායකතුමාට කිව්වා, ඔබතුමාට තරග කරන්න බැරිනම්, ඔබතුමා නම්කරන පවු‍ලේ සාමාජිකයෙක් ඉන්නවා නම් අපිට දැනුම් දෙන්න කියලා. නමුත් තවමත් අපට එතුමා ඒ පිළිබඳව නිල දැනුම්දීමක් කරලා නැහැ.

නමුත් චමල් රාජපක්ෂ ප්‍රසිද්ධියේ කිව්වා නේද ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳව රාජපක්ෂවරු තීන්දුවක් ගත්තා කියලා.

ඔහු විතරක් නොවෙයි. බැසිල් රාජපක්ෂත් එවැනි ඉඟියක් ලබාදුන්නා. නමුත් ඒ සියල්ල නිල දැනුම්දීම් නොවෙයි. ආණ්ඩුවට අවශ්‍ය විපක්ෂය ඇතුළු රටේ ජනතාව මේ මාතෘකාව තුළ ගාල්කරන්නයි. මොකද ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට කරන දරුණු අපරාධ වගේම, ආණ්ඩුව තුළ තිබෙන කඩාවැටීම වහගන්න එවිට පුළුවන් නිසා. විපක්ෂයක් හැමවිටම තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා රටට කියන්නේ අන්තිම මොහොතේදීයි. නමුත් ආණ්ඩුව තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා කල්තියාම දැනුම් දෙනවා. 2010, 2015 මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වුණා. එක්සත් ජාතික පක්ෂය ඇයි තවමත් රනිල් ඉල්ලනවද නැද්ද කියලා නොකියන්නේ. කරුත් බලාගෙන ඉන්නවා. සජිත්, නවීන් සිහින දකිනවා.

රාජක්ෂ පවුල එකට එකතු වෙලා ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වය තෝරගන්නවා නම් තමුන්නාන්සේලා එකට එකතු වෙලා පුළුල් ජාතික පෙරමුණක් ගොඩනගන්නේ මොකටද?

මේ මොහොතේ රට ඉල්ලන්නේ ශීලාචාර විනයක් තිබෙන මේ රට ගොඩනගන්න පුළුවන් නායකයෙක්. අපගේ නායකයා මහින්ද රාජපක්ෂයි.  පවතින ව්‍යවස්ථාවට අනුව ඔහුට නැවත වරක් ජනාධිපතිවරණයට තරග කරන්න බැහැ. රාජපක්ෂවරු කියන ‍ලේබලය පැත්තකින් තියමු. ජනාධිපති ධුරයට ඊළඟට ඉදිරිපත් කළ යුතු පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ බව රටේ ජනතාවත් අපගේ කණ්ඩායමේ බහුතරයකුත් මේ වන විට යෝජනා කරලා තිබෙනවා. අපි ඒ යෝජනාව සමගයි පුළුල් ජාතික පෙරමුණක් සකස් කිරීමේ ක්‍රියාවලිය තුළ ඉන්නේ. නිදහස් පක්ෂයත්, මෛත්‍රීපාල සිරිසේනත් නැවත ඉදිරිපත් කරමු කියන ස්ථාවරත්වයක සිටිනවා. අවසානයේ අපි සියලුදෙනා එක තීන්දුවක් ගන්නවා.

ඔබ පවුල්වාදයට කැමැතිද?

තිස් අවුරුදු යුද්ධය අවසන් කරන වෙලාවේ කවුරුවත් පවුල්වාදයක් ගැන කතා කළාද? රාජපක්ෂවරු යුද්ධය අවසන් කරනවා කියලා කිව්වද? එදා කතා නොකරපු පවුල්වාදය ඇයි දැන් කතාකරන්නේ. පවුල්වාදයට අකමැතිවිය යුත්තේ ඊට ඇඟිල්ල දිගුකළ යුත්තේ පවුල්වාදයෙන් රට විනාශ කරනවා නම් පමණයි. එහෙම නැතුව ඔවුන් රට ගොඩනගනවා නම් ඇයි අපි රාජපක්ෂ කියන වාසගම ප්‍රශ්නයක් කරගන්නේ.

එකම පවුලකට රටේ නායකත්වයට භාරදුන්නාම ජාත්‍යන්තරය අපේ රටට කොහොම සලකාවිද?

ලෝකයේ දියුණුව ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන බව කියන ඇමෙරිකාවේ ක්ලින්ටන්ට පස්සේ හිලරි ක්ලින්ටන් ආවා. ජෝජ් බුෂ්ට පසු ඔහුගේ පුතා ආවා. ඔහුගේ අනිත් පුතා ජේබ් බුෂ් පසුගිය මැතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස නම් කළා. පාකිස්ථානයේ අලි බූතෝගෙන් පසු ඔහුගේ දුව බෙනාසිර් ආවා, ඇගෙන් පසු ඇගේ සැමියා අල්සදාරි ආවා. දැන් ඔහුගේ පුතා ඇවිත් සිටිනවා. ඉන්දියාව ගත්තාම ශ්‍රී නේරූ ආවා. ඊට පසු ඔහුගේ දියණිය ඉන්දිරා ගාන්ධි ආවා. ඉන්දිරා ගාන්ධිගේ මරණයෙන් පසු රජීව් ගාන්ධි ආවා. ඔහුගෙන් පසු ඔහුගේ බිරිඳ සෝනියා ආවා. දැන් රජීව් සෝනියා යුවළගේ පුතයි දුවයි ඇවිත් ඉන්නවා. මෙහෙම ‍පෝලිමක් කියන්න පුළුවන්.

පවුලකට රට භාරදීම ප්‍රජාතන්ත්‍රවාදයට පහරක් නොවේද?

කිසිදු දේශපාලනයකට වැදගත්කමක් නැති චරිතයක් පවු‍ලේ කියලා බවුතිස්ම කළොත් ඔය ප්‍රශ්නය මතුවේවි. හැබැයි පවු‍ලේ වීම නුසුදුසුකමක් වෙන්න බැහැනේ.

තමුන්නාන්සේලා වැනි දේශපාලනයේ පරිණත නායකයන් ඕනෑතරම් සිටියදී ප්‍රාදේශීය සභාවකවත් කටයුතුකර නැති ගෝඨාභය රාජපක්ෂ වැනි නිලධාරියකු පසුපස යන්නේ ඇයි?

ගෝඨාභය රාජපක්ෂගේ තිබෙන නුසුදුසුකම මොකක්ද කියන්න.

ඔහු දේශපාලනඥයෙක් නොවෙයි. හමුදා නිලධාරියකුට රටේ නායකත්වය භාරදිය හැකිද?

ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් දේශපාලනඥයෙක්ද? ලෝකයේ බලවත්ම රාජ්‍යය. ඔබ ඇහුවා වගේ ට්‍රම්ප් ඇමෙරිකාවේ නගර සභාවකවත් හිටියද? ප්‍රංශයේ ජනාධිපති එම්මානුවෙල් මැක්වෙල් පළාත් සභාවකවත් මන්ත්‍රීවරයෙක් වෙලා හිටියද? ඔය මිනුම්දඬු යල්පැන ගිහිල්ලා ඉවරයි. නූතන ලෝකයේ ඔබ කියන සම්ප්‍රදායික මිනුම්දඬු සලකන්නේ නැහැ. ඔහුගේ නායකත්වය යටතේ රටට නිසි ප්‍රතිපත්තියක් සකස් කරනවා. විශේෂයෙන් අධ්‍යාපනය ජාතියේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත් කරනවා.

ගෝඨාභය රාජපක්ෂට එල්ලවන තවත් චෝදනාවක් තමයි ඔහු ප්‍රජාතන්ත්‍රවාදියෙක් නොවන බව?

මේ රටේ වැඩියෙන්ම දූෂණය කරපු වැඩියෙන්ම අපචාරයකට පත්කරපු වචනක් තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඕනම තක්කඩි දේශපාලනඥයකුට ප්‍රජාතන්ත්‍රවාදය තුළ සැඟවෙන්න සිදුරු තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ‍ලේකම් කරනකොට මංගල සමරවීර එදා කිව්වේ ඔහු ඇමෙරිකාවේ ඉන්ධන පිරවුම්හලක වැඩකරපු කෙනෙක් කියලයි.  ආරක්ෂක ‍ලේකම්ධුරයට ඔහු සුදුසු නැහැ කිව්වා. සරත් ෆොන්සේකා යුද හමුදාපතිකමට සුදුසු නැහැ කිව්වා.

රාජපක්ෂවරුන්ට සුළුජන ඡන්ද නොමැති බවට රටේ මතයක් තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ ගෝඨාභය රාජපක්ෂට සුළුජන ඡන්ද දිනාගන්න පුළුවන්ද?

ඉතිහාසයේ පළමුවතාවට ‍පොහොට්ටුවට උතුරු පළාතේ විතරක් මන්ත්‍රීවරු 34 දෙනෙකු ලැබිලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාම ශක්තිමත්ව තිබූ කාලයේදීවත් එවැනි මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබි නැහැ.

නමුත් 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ පරාජයට ප්‍රබලව බලපෑවේ උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්දය නොලැබිම නේද?

මහින්ද රාජපක්ෂ 2010 ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළා. 2015දී පැරදුණා. නමුත් කවුරුත් විභාග කළේ නැහැ මහින්ද මහත්තයට ඡන්ද අඩුවුණේ කොහොමද කියලා. වවුනියා, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රික්ක පහෙන්ම මහින්ද මහත්තයට 2010ට වඩා ඡන්ද අඩුවෙලා තිබුණේ 45000යි. නමුත් මම නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයේ පමණක් 2015දී 2010ට වඩා ඡන්ද 83000ක් මහින්ද මහත්තයට අඩුවෙලා තිබුණා. ගාල්ලෙන් 91000ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ 235000ක් ඡන්දය අඩුවුණා. ඒ නිසා පරාද කැන්දගෙන ආවේ උතුරෙන් නොවෙයි.

යම් ලෙසකින් නිදහස් පක්ෂය ඔවුන්ගේ අපේක්ෂකයෙක් ජනාධිපතිධුරය සඳහා ඉදිරිපත් කළහොත්?

ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වූ තුන්වැනි අපේක්ෂකයෝ අරගෙන බලමුකෝ. රෝහණ විජේවීර ආවා. ඡන්ද 273000යි. ඔසී අබේගුණසේකර, විජය කුමාරතුංග වෙස් අරගෙන ආවා. 254000යි ඡන්ද ගත්තේ. ‍පොන්නම්බලම් ආවා. 258000යි ඡන්ද ගත්තේ. අපේ මිත්‍ර වාසුදේව නානායක්කාර ආවා ඡන්ද 17000යි ගත්තේ. කොල්වින් ආර් ද සිල්වා ආවා ඡන්ද 53,000යි ගත්තේ. ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ ලක්ෂ තුනකට වඩා වැඩි ඡන්ද ගත්ත තුන්වැනි අපේක්ෂකයා වූයේ නන්දන ගුණතිලක විතරයි. ඔහු 350000කට වඩා ගත්තා. ලෝකයේම තත්ත්වය ඔය වගේ තමයි.

ගෝඨාභය රාජපක්ෂගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගන්න පුළුවන්ද?

වරද්දවාගන්න එපා. ඔහු ද්විත්ව පුරවැසියෙක්. එක්සත් ජාතික පක්ෂයෙන් කෙණෙහිලිකම් වෙනකොට ඔහු ඇමෙරිකාවට ගොස් දරුවන් සමග ජීවත් වුණා. ඔහුට ඇමෙරිකාවෙත් පුරවැසිභාවය තිබෙනවා. ඒ වගේම ඔහු ලංකාවේ පුරවැසියෙක්. ඒ නිසා ඔහුට ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම ප්‍රශ්නයක් නොවෙයි. ඇමෙරිකන් පුරවැසියකුට ඇමෙරිකන් පුරවැසිභාවය ඉවත්කර ගැනීම ලොකු වැඩක් වෙන්න පුළුවන්. නමුත් මෙතනදී එය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇමෙරිකාව තුළ කාටත් ‍පොදු නීතියක් තිබෙනවා.

පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.