lakbima.lk

මේ බෝම්බ සිද්ධියේදී අපේ පැත්තට ඇඟිල්ල දිගුවීමේ අසාධාරණයක් නෑ

මෑත කාලයේ ලංකාවේ ප්‍රධානම මුස්ලිම් දේශපාලන නායකයා වූයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක ඒ.එච්.එම්. අෂ්රොෆ්ය. මුස්ලිම් ජනතාව ආයුධ සන්නද්ධ අරගලයට යාම වැළැක්වීමට ඔහු බොහෝ දෑ කළේය. නමුත් දැන් ඔහු ජීවතුන් අතර නැත. ඒ නිසා අපි රටේ උද්ගත වී ඇති වර්තමාන තත්ත්වය  පිළිබඳ ඔහුගේ බිරිය වූ ශ්‍රී ලංකා සමගි පෙරමුණේ හිටපු නායිකා හිටපු නිවාස ඇමැතිනී නීතිඥ ෆේරියල් අෂ්රොෆ් සමග සාකච්ඡා කළෙමු.

අශ්රොෆ් ඇමැතිවරයාගේ බිරිඳ ලෙස ඔබ ප්‍රසිද්ධ වුණත් ඔබටම වෙනස් වූ පවුල් පසුබිමක් තියෙනවා නේද?

ඔව් මගේ පියා ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ අයෙක් ‍නෙවෙයි නමුත් දේශපාලන  පක්ෂයකට සහය දැක්වූවා. එතුමා වාමාංශිකයෙක්. ලංකා සම සමාජ පක්ෂයට තමයි සහය දැක්වූවේ. ගම්‍පොළ ඉදිද්දි අනෙක් අය දැක්කේ එතුමාව කළු බැටලුවෙක් වගෙයි. මොකද ආගමට වඩා මනුස්සකම ගැන තමයි කතා කළේ. එතන ඉඳලා මම අෂ්රොෆ් ඇමැතිතුමාව අඳුනගත්තු වෙලාවේ මම දැක්කේ වෙනම ලෝකයක්. අපි දෙන්නගේ සම්බන්ධය ප්‍රේම සම්බන්ධයක් නොවෙයි. සමාජ දෙකක අදහස් වෙනස්වීම මත ඇතිවූ හමුවක් තමයි එය. එතුමා සමග විවාහ වෙලා නැගෙනහිරට ගියාට පස්සේ තමයි ඒ සමාජයේ ප්‍රශ්න මම දැක්කේ. මගේ තාත්තගෙන් ඉගෙන ගත්ත දේවල්     අෂ්රොෆ් ඇමැතිතුමා සමග එකතු වුණාට පස්සේ තවත් වැඩි දියුණු වුණා.

ගම්‍පොළ සහිරා විද්‍යාලයේ ඉගෙන ගන්න පෙර ඔබ යන්නේ කන්‍යාරාමයකට නේද?

ඔව්. මම ‍පොඩි කාලයක් ගම්‍පොළ කොන්වන්ට් එකට ගියා. තුන් වැනි පන්තිය වෙනකම් ගියේ කොන්වන්ට් එකට. ඒ කා‍ලේ අර පාසල් රජයට පවරා ගැනීමේ ක්‍රමයක් ආවනේ. ඊට පස්සේ තමයි සහිරා විද්‍යාලයට ගියේ.  අම්මා, තාත්තා, අපිව අරගෙන වෙන ඉස්කෝලෙකට ගියා නොවෙයි. අපිව වාහනවල දාලා වෙන ඉස්කෝලෙකට යැව්වා. ඒ විදියට තමයි අපි බෙදුණේ. එහිදී අපි සිංහල බෞද්ධ ළමයි කතෝලික ළමයි එක්ක එකට හිටියේ. එකට කෑවේ බිව්වේ. අද සිංහල දෙමළ මුස්ලිම් ළමයි එකට නැහැ. අඳුරන්නේ නැහැ. වෙන වෙනම බලන්නේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මුස්ලිම් ජනතාව දෙසට සැකයේ ඇඟිල්ල දිගු වෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද

ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සෑහෙන කලකිරීමකින් තමයි ඉන්නේ. මුස්ලිම් සමාජය දිහාවට මේ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවීම සාධාරණයි. මොකද අපි කැමති වුණත් අකමැති වුණත් මගේ වගේ නම් තියෙන කට්ටියක් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒ වගේම මේ අය ඉස්ලාම් කියන නමත් ඉස්සරහින් දාගෙන වැඩ කරන කට්ටියක් කියලා කියන්නේ. ඒ නිසා අපේ පැත්තට ඇඟිල්ල දිගු නොකර මිනිස්සුන්ට වෙන මොනවද කරන්නද තියෙන්නේ. අපේ කියන කණ්ඩායමක් හරහා මෙහෙම දෙයක් වෙයි කියලා කවදාවත්ම බලා‍පොරොත්තු වුණේ නැහැ.

මුස්ලිම් අන්තවාදයක් ඇති වෙනකම් මුස්ලිම් සමාජය නිහඬව හිටියා කියනවා. ආගමික නායකයොත් උදව් කළ බව පැවසෙනවා. ඇයි මෙතනට යනකම් ආගමික නායකයෝ නිහඬව හිටියේ.

අපි හැමෝම දූපත් මානසිකත්වයකින් කටයුතු කරන බව තමයි පේන්නේ. මේ මානසිකත්වයෙන් මිදෙන්න ක්‍රමවේදයක් තිබෙන බවක් නම් මට පේන්නේ නැහැ. එකතුවීමට හේතු හොයනවට වඩා බෙදා වෙන්විමට හේතු හොයන්න අපි අති දක්ෂයි. ඉතින් හැම විදියකින්ම අපි බෙදිලා ඉන්නේ. මෙතනදී කාදිනල්තුමා

ශේ්‍රෂ්ඨ නායකත්වයක් පෙන්නුම් කරලා තියෙනවා. මෙහෙම ආගමික නායකත්වයක් දෙනවා අපි දැකලා නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වූ ගමන් කාට හරි ඇඟිල්ල දිගු කරලා එයාව තලන සංස්කෘතියක් අපේ රටේ තිබුණා. එහෙම සංස්කෘතියක ජිවත් වන අපට කාදිනල්තුමා දුන්නු පණිවුඩය ඉතිහාස ගත වෙනවා. එතුමාට පින්සිදු වෙන්න තමයි මුස්ලිම් ජනතාව මෙහෙම ඉන්නේ. එදා ‍පොඩ්ඩක් හරි ඒ ගින්න ඇවිළිලා ගියා නම් අද මෙතන කතා කරන්නවත් මම ඉතුරු වෙයිද දන්නේ නැහැ. ආගම් තුළත් මේ බෙදීම තියෙනවා. අපි ඉස්ලාම් කියලා කිව්වට රට වටේ ඇවිදලා බැලුවහම එක එක වර්ගයේ ඉස්ලාම් ධර්මය දකින්න පුළුවන්.

අතීතයේ ආගම් අතර හොඳ සංහිඳියාවක් තිබුණා. ඔබත්  එය  ඉතා හොඳින් අත්දකින්න ඇති. නමුත් අද මෙතනට එන්න වුණේ ඇයි?

එදා තිබුණ දේ දිගටම පවත්වා ගන්න අද බැරි වෙලා තියෙනවානේ. දිගින් දිගටම බේද බින්න වීමට තමයි ගමන් කරලා තියෙන්නේ. මම එදා ගියේ ගම්‍පොළ සහිරා විද්‍යාලයට. මගේ පන්තියේ ඇති වෙන්න සිංහල ළමයි  හිටියා. අපි එයාලා එක්ක වෙසක් දවසට භක්ති ගීත ගැයුවා. වෙසක් කුඩු හැදුවා ඔක්කොම කළා. ඒක හැම පැත්තෙන්ම වෙනස් වුණා.

මුස්ලිම් ජනතාවට මේ රටේ තිබුණ නිදහස  නැති කරගත්තෙත් මුස්ලිම් අය විසින්ම  කියලා කියන කතාවට ඔබ එකඟද?

නිදහස විතරක් නොවෙයි. සැකය අවිශ්වාසය තමයි ඇති වුණේ මේ සිද්ධියෙන් පස්සේ. මනුස්සයෙක් හැටියට බලනවා වෙනුවට දෙගොල්ලෝ තුන් ගොල්ලෝම බලන්නේ සැකයෙන්.

මේ වන විට අරාබි පාසල් බිහි වෙලා. මද්‍රසා පාසල් බිහි වෙලා. මුස්ලිම් දරුවන් මිශ්‍ර පාසල්වලට කන්‍යාරාමවල ඉගෙන ගන්න එක නතර වුණේ කොහොමද?

යවන්නේ නැතුව නොවෙයි. අද එහෙම ගන්නේ නැහැනේ. මගේ මිනිපිරියව රජයේ පාසලකට දාගන්න සෑහෙන වෙහෙසක් ගත්තා. නමුත් ගත්තේ නැහැ. ඒ නිසා එයා දැන් යනවා ජාත්‍යන්තර පාසලකට. හැබැයි එතනදී නම් ඔක්කොමලා එකට ඉන්නවා. මුදල් ගෙවලා ඒ පරිසරය ඇති කර ගන්න පුළුවන්. ගෙවන්න බැරි නම් අපිට ඉන්න වෙලා තියෙන්නේ වෙනම පරිසරයක. අරාබි පාසල් නම් මුස්ලිම් පාසල් නොවෙයි. අරාබි පාසල් දහම් පාසල් කියන තැන ඉඳලා තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ආගම අන්තවාදය කරා ගියාට සාමාන්‍ය මිනිස්සු හිතුවේ මේ වගේ පාසල්වලට දාලා අපේ ළමයි හොඳ විනය ගරුක පිරිසක් කළ යුතුය කියලායි. දෙමාපියන් හිතන්නේ තමන්ගේ දරුවන් ධර්මය ඉගෙන ගන්නවා කියලායි. හැබැයි දැන් ඇති වුණ තත්ත්වය අනුව ආගම ධර්මය උගන්වන තැනකට   ළමයා භාර දුන්නොත් දෙමාපියන් මීට වඩා හොයන්න ඕනා කියලායි මම නම් කියන්නේ.
මේ තත්ත්වයෙන් මිදෙන්න නම් මම යෝජනා කරන්නේ හෝඩියේ ඉඳන් අඩුම තරමේ පහ වසරට වෙනකම්වත් ආගමික දැනුම කියලා මේ රටේ ප්‍රචලිත ආගම්වල තියෙන හොඳ දේවල් පාස‍ලේදී කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ ආගමික විෂය කියලා රටේ පවතින ප්‍රධාන ආගම් තුන ගැන සෑම දරුවකුටම කියලා දෙන්න ඕනේ. මුස්ලිම් දරුවන්ට ජාතක කතා, පංචශිලය වගේ දේවල් කියලා දෙන්න ඕනේ. පස්පාරක් මෙයාලා මොකටද වැඳ වැටෙන්නේ. මහාභාරතේ ක්‍රිෂ්ණා මොනවාද කිව්වේ. ජේසුස් වහන්සේ මොනවද කිව්වේ කියලා දැනුම ලබා දෙන්න ඕනේ.

අෂ්රෝෆ් ඇමැතිවරයා එක් අවස්ථාවකදී සියලු ජාතීන් ආගමිකයන් සමගියෙන් තියා ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ආරම්භ කළා. එය කොයි වගේද කියලා ඔබට   මතක ද?

එතුමා විශාල උනන්දුවකින් විශාල පරිශ්‍රමයකින් එය කළේ. ටික කාලයයි එතුමාට එය කරන්න ලැබුණේ. එතුමා මිය ගියායින් පස්සේ එතුමාගේ පක්ෂයේ කට්ටිය රිවස් ගියර් එකක් දාලා ඒ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම අයින් කරලා අයෙත් තමන්ගේ ක්‍රමවේදයකට ගියා. අෂ්රෝෆ් ඇමැතිතුමා ඉන්න කා‍ලේ දෙමළ කතා කරන අයට වෙනම රටක් කියලා ඉල්ලන කොට එතුමා කෑ ගහලා කිව්වා අපි දෙමළ කතා කරන බව ඇත්ත නමුත් අපි දෙමළ කතා කරන අය අතර වෙනස් කොටසක් කියලා. අපිව ඒ ගොඩට දාන්න එපා කියලා තමයි එතුමා කිව්වේ. මුස්ලිම් කොංග්‍රසය හැදුවට ඒ හරහා දිගු ගමනක් නැහැ කියන තැන ඉඳලා තමයි ජාතික සමගි පෙරමුණ හැදුවේ. නමුත් එය ඉදිරියට යන්න පෙර එතුමා අපිව දාලා ගියා. අපි එකතු වෙන්න ඕනේ. හැබැයි අපි එකතු නොවුණත් මේ ත්‍රස්තවාදයට පමණක් නොවෙයි තව වෙනත් ත්‍රස්තවාඳීන්ටත් එතනට ඇතුළු වෙන්න පුළුවන්.

අෂ්රොෆ් ඇමැතිවරයා සමග ඔබ දේශපාලනය කරද්දි තරුණ පිරිස් ඇසුරු කරන්න ඇති. මුස්ලිම් ජනතාව අන්තවාදයකට යාමක් ගැන ඔහු දැන සිටියේ නැද්ද?

අ‍පෝ නැහැ. ඒ කා‍ලේ ඕවා තිබුණේ නැහැ. ඇමැතිතුමාට ඒ කා‍ලේ තිබුණ ප්‍රශ්නය තමයි එල්ටීටීඊ එකට මුස්ලිම් ළමයි යනවා කියන එක ගැනයි. ඒක නවත්ත ගන්න එතුමා ලොකු වෑයමක් කළා. එතනදී එතුමාට චෝදනාවක් කොළඹ පැත්තෙන් ආවා එයා ජිහාඩ් කරනවා කියලා. එයාට ජිහාඩ් වැඩ කරන්න වෙලාවක් තිබුණේ නැහැ. එයා ළමයින්ට නිතරම කිව්වේ ආයුධ සන්නද්ධ අරගලයකට වඩා ප්‍රජාතන්ත්‍රවාදීව අයිතීන් දිනාගන්න සහයෝගය දෙන්න කියලායි. 

මුස්ලිම් තරුණ පිරිස් අන්තවාදයට ගියේ කොහොමද මොකක්ද එයට බලපෑ ආසන්නතම හේතුව?

මම නම් හිතන්නේ හැමෝම එකට වැඩ නොකිරීම තමයි මේකට හේතුව වෙන්න ඇත්තේ. එල්.ටි.ටි.ඊ යට තරුණ පිරිස් ගියේ කළු ජූලියෙන් පස්සෙනේ. ඉතින් මෙයාලත් මෙහෙම දෙයක් කරන්න ඇත්තේම ඔවුන්ට කණ්ඩායමක් හදා ගන්න වෙන්න පුළුවන්. සුළු පිරිසක් තමයි එතනට දක්කන්නේ නැතුව කාදිනල්තුමා කිව්වා වගේ කරුණාවයි, දයාවයි

තුළින් තමයි මේ වැඩේ කරන්න ඕනේ. ආරක්ෂක අංශවලට මේ ත්‍රස්තවාදී කණ්ඩායම් හොයලා ඔවුන්ට ගහලා දාන වැඩේ භාරදීලා  අවිශ්වාසයෙන් තොර දයාව කරුණාව ඇති ශ්‍රී ලාංකික ජනතාවක් ගොඩ නගන්න අපට සිද්ධවෙනවා. 

අන්තවාදය නිර්මාණය කළේ දේශපාලනඥයන් කියලාද ඔබ කියන්නේ.

එහෙම වෙන්න ඇති. හොඳින් හිටපු ජනතාවක් හදිසියේ වෙනස් වෙනවා නම් ඒ පිටුපස කවුරු හරි ඉන්නවා නේ. දේශපාලන සංස්කෘතිය කියන්නේ මොනවා වුණත් කමක් නැහැ මට ඡන්දය ලැබෙනවා නම් කියලානේ හිතන්නේ. එය තමයි පරාජය කළ යුත්තේ. ඊළගට එන කෙනා මේවාට විරුද්ධව කටයුතු කරන කෙනෙක් නම් මම ඔහු වෙනුවෙන් බැහැලා වැඩ කරනවා.

එදා මුස්ලිම් නායකයන් අන්තවාදයට යන්න නොදී ඔබ කියු ලෙස ප්‍රජාතන්ත්‍රවාදයෙන් පරාජය කළා. අද එය නැත්තේ ඇයි.

අද මෙතනට අෂ්රොෆ් ඇමැතිතුමා ආවා කියමුකෝ එතුමා මෙය දැකලා පුදුම වෙයි. මේ අවුරුදු 20 තුළ වෙනස්කම් රාශියක් ඇති වෙලා තියෙනවා. එදා එතුමා උපයෝගි කර ගත්තු ඒ දෙවල්වලින් පමණක් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. අද නායකයෝ උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුවට යන්නේ කොහොමද කියන කාරණය ගැන පමණයි. 

මුස්ලිම් කාන්තාව බුර්කාව අඳිනවා. මෙය මුස්ලිම් කාන්තාවනට අවශ්‍ය දෙයක්ද ආගමික කාරණයක්ද මොකක්ද මේ ඇඳුම?

ආගමික කාරණයක් තමයි. මුස්ලිම් කාන්තාව සංවරව තමන්ගේ ලස්සන එළියට පේන්නේ නැතුව ඉන්න ඕනා කියලා තමයි අපට උගන්නලා තියෙන්නේ. මරියතුමිය බලන්න හිස වසාගෙනනේ ඉන්නේ. ඒ වගේ මෙය එක කාලයක තිබුණ සංස්කෘතියක්. එය තමයි අපටත් ආවේ. දෙවියන් වහන්සේ කිව්වා වගේ එක එක්කෙනාව එක එක විදියට මැව්වාට ඉපදුන රට අනුව වෙනම සංස්කෘතියක් තියෙනවා. ඒ නිසා තමයි මම සාරිය ඇඳලා මොට්ටැක්කෙලිය දා ගන්නේ. හැබැයි ඊට පස්සේ අපේ රටේ මුස්ලිම් කාන්තාවන්ට මැද පෙරදිග යන්න දොරවල් විවෘත වුණා. එතනදී රටවල තිබුණ දේවල් දැක්කා. එදා අපි මේ දූපතින් එළියේ සංස්කෘතියකට ගියේ නැහැනේ. ආගමික දැනුම ලබා ගන්න ඉස්ලාම් රටවලට

ශිෂ්‍යත්ව ලබා දුන්නා. ඒ දරුවන් මේ රටට ගෙනාවේ අපි නොදන්න තවත් රටක ඉස්ලාමීය ධර්මයේ සංස්කෘතියකුයි. මැද පෙරදිග රටවල වැලි කුණාටුවලට මුහුණ දෙන්න කළු ඇඳුම් ඇන්දා වගේ මෙයාලත් එහෙම අඳින්න පුරුදු වුණා. ඒ ලෝගුව මෙහාට ගෙනාවේ ලොකු සතුටකිනුයි. මම මේකට සහය දෙනවා නොවෙයි. නමුත් එතනදී ආර්ථිකමය වශයෙන් අපේ ජන කොටසකට ලොකු රුකුලක් වුණා. කාන්තාවක් මඟුල් ගෙදරකට යනවා නම් සැරසෙන ක්‍රමයක් තියෙනවා. නමුත් මේ ලෝගුව දා ගත්තාම රත්තරන් බඩු දාගන්න ඕනේ නැහැ. අලුත් ඇඳුම් ගන්න ඕනේ නැහැ ලෝගුව දාගත්තහම මුකුත් ඕන වෙන්නේ නැහැ. ආර්ථීක ප්‍රශ්න ගණනාවකට එතනදී විසඳුමක් ආවා. ඔක්කොමලාටම එය වාසියක් වුණා කියලා මම කියන්නේ නැහැ. මොකද ආගම මුල් කරගෙන අන්තවාදිව ඇන්ඳ අයත් හිටියා. නමුත් ආර්ථික ප්‍රශ්න තියෙන කාන්තාවට ලෝකයෙන් කොන් නොවී සිටිමේ නිදහසකුත් ලැබුණා.

නබිතුමාගේ භාර්යාවෝ 11 දෙනා පාරේ යද්දි මිනිස්සු උසුළු විසුළු කළ නිසා බුර්කාව අඳින්න කියලා එතුමා නියම කළා. එය තමයි තවමත් එන්නේ කියා කියනවා මෙය ඇත්තකද?

නැහැ. එහෙම එකක් නම් නැහැ. නබිතුමාට කාන්තාවෝ 11 ක් හිටියා කිව්වට ඒ අය එකවර හිටපු පිරිසක් නොවෙයි. නබිතුමා ඉස්සෙල්ලාම කාන්තාවක් සමග විවාහ වුණා. එතුමියට දරුවෝ අට දෙනෙක් ඉපදුණා. ඒ දරුවෝ ‍පොඩි කාලෙම නැති වුණා. පළමුවෙනි කාන්තාව සිටින තුරු තව කාන්තාවක් එතනට ආවේ නැහැ. ඊට පස්සේ නබිතුමා විවාහ වුණේ නොයෙක් අවස්ථාවලදී කාත් කව්රුත් නැති අය, යුද්ධයෙන් අනාථ වූ අය, අතරමං වෙලා හිටපු අය  සමගයි.

මේ වෙලාවේ මුස්ලිම් දේශපාලන හා ආගමික නායකයන්ගේ වගකීම කුමක් විය යුතුය කියලාද ඔබ සිතන්නේ

අපි පිළිගන්න ඕනේ ආගම හරහා මිනිසුන් කෙරෙහි දයාව කරුණාව මෛත්‍රිය ගැන කතා කළා මදි කියලා. රටේ අනෙක් ආගමිකයන් සමග සමගියෙන් ජිවත්වීම ගැන කතා කළ යුතුයි. එයට මුස්ලිම් අයට විතරක් කතා කරලා හොඳටෝම මදි. එතනදී සියලු ආගමික නායකයන් එකතු වෙලා වැඩපිළිවෙළක් හදා ගන්න ඕනා. අන්තවාදය පරාජය කරන්න වැඩපිළිවෙළක් අපි මුලින්ම හදා ගන්න ඕනේ. අන්තවාදය වෛරය ක්‍රෝධය එළියට දාන්න දිය යුතු නැහැ. වෛරී ප්‍රකාශවලට වැට බැඳිය යුතුයි. 

ඔබ කියන ඔය වේවැල අතට ගන්න ඕනේ කවුද?

හැම කෙනාම එය කළ යුතුයි. මොකද මෙතනදී හැමෝම සිය යුතුකම පැහැර හැරලා තිබුණ නිසයි,

ලසන්ත වීරකුලසූරිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.