lakbima.lk

හරි හමන් මාධ්‍ය ප්‍රකාශකයෙක් හිටියානම් මෙච්චර වැරදි තොරතුරු රට පුරා යන්නේ නෑ

ඊළාම් යුද්ධය තදින්ම ඇවිළුන 1996 කාලයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය ප්‍රවෘත්ති පාලනය සඳහා නිසි බලධරයෙක් පත් කළේය. ඒ බලධරයා වූයේ එවකට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධුරය දැරූ ආරිය රූබසිංහයි. එදා ආරිය රූබසිංහ රට ප්‍රකට වූයේ ප්‍රවෘත්ති වාරණයේදී ඔහු දැක්වූ සෘජු බවත් බුහුටි බවත් නිසාය. රටේ අර්බුදකාරී තත්ත්වයක් මතුවී සමාජ මාධ්‍ය ජාලා තහනම් කර ඇති පසුබිමක විශ්‍රාම සුවයෙන් සිටින ඔහු සමග අපි කතා කළෙමු.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඔබ කාලයක් සේවය කළා. ඒ ඉතිහාසය ගැන දැන් මොනවද කියන්න තියෙන්නේ.

1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය වුණාම මාව පත්කළා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හැටියට. ඊට කලින් මම හිටියේ රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල්වරයකු හැටියටයි.

1996 දී විතර ජනාධිපතිනිය මට තවත් තනතුරක් දුන්නා “නිසි බලධාරී” කියලා. මම ඔය පුවත් පාලනය වාරණය හැම දේම කළේ “නිසි බලධාරී” තනතුර පාවිච්චි කරලයි. එය හඳුන්වන්නේ “යුද පුවත් පිළිබඳ නිසි බලධාරී” තනතුර කියලයි. යුද්ධය ගැන කිසිවක් මගේ අනුමැතියෙන් තොරව පුවත්පත්වල සහ රූපවාහිනී ගුවන් විදුලි නාලිකාවල ප්‍රදර්ශනය කරන්න බැහැ. විදේශීය මාධ්‍යවලටත් බැහැ. එය මට හදිසි නීතිය යටතේ විශේෂ ගැසට් එකකින් මගේ නමින්ම පත්කළ තනතුරක්.

පුවත් වාරණය ඔබ කැමැත්තෙන්ද කළේ.

නැතුව. මොනවා අකමැති වෙනවද? ඒ මොහොතේ උතුරේ මහා කලබලය 1996 දී පමණ යුද්ධය දරුණුවටම පැවැතුණා. අපේ හමුදා සෙබළුන් ‍පොලිස් නිලධාරීන් විශාල ලෙස මියගියා. ඒවා ගෙඩිය පිටින්ම දකුණට කිව්වනම් දකුණෙත් මහා කලබල ඇතිවෙන්න තිබුණා. ඒ නිසා එදා පුවත් වාරණය අවශ්‍ය දෙයක් හැටියටයි මම දැක්කේ.

පුවත් වාරණය සිදුකළ ආකාරය පැහැදිලි කරන්නකො. ඒ කා‍ලේ සෑම පුවත්පතක්ම ඔබ ගාවට අරගෙන එනවද?

දැන් ඒවා මතක් වෙනකොටත් හිනහා යනවා. මොනවා ලිව්වත් පළ කරන්න කලින් කොපිය මට පෙන්වලා අවසර ගන්න ඕනේ. මගේ කාමරේ ඉස්සරහා පත්තර කාරයෝ පිටු උස්සාගෙන පුටුවල ‍පෝලිමට වාඩිවෙලා ඉන්නවා.

ඔබ පත්තරකාරයෝ රස්තියාදු කළාද?

ඒවා දැන් මොකටද? මම ඒ අයව බංකුවල එහෙම වාඩි කළේ නැහැ. පුටු ටිකක් එහෙම දාලා තිබුණ. ඉතින් උන්දලා කොපිත් උස්සගෙන වාඩිවෙලා ඉන්නවා.

සෑම කොපියක්ම ඔබ කියවනවද?

නැහැ. නැහැ. මට බලය දීලා තිබුණා කාර්යය මණ්ඩලයක් බඳවා ගන්න. මම අමාත්‍යාංශවල හිටපු ප්‍රවෘත්ති නිලධාරීන් ටික මා ගාවට ගත්තා. මට මතක විදිහට විස්සක් විතර හිටියා. එයාලගේ ජොබ් එක තමයි පත්තර වලින් අරන් එන කොපි කියවලා සුදුසු නැහැ කියලා දැනෙන දේවල් ලකුණු කරලා මට පෙන්වන එක. හැබැයි අත්සන් කරන්න බැහැ. සමහර ලිපි ගැන සැක ඇතිවුණාම මම සම්පූර්ණයෙන්ම කියනවනවා. පත්තර විතරක් නෙමේනෙ. හඬපට වීඩියෝ දර්ශනත් බලන්න ඕනෙනෙ. මට දුක සිතුනේ විදෙස් මාධ්‍යවේදියෝ මා ගාව පැය ගණන් ඉන්න කොටයි.

යුද්ධයට අදාළව මොනවා තිබ්බත් කපනවද?

මොනවා අහනවද? ගත්තා පෑන, තිබ්බ ලිපිය උඩින් ඇද්ද පහළටම. සමහර ලිපි කපලා හදන්නත් බැරිනම්, මම තව වැඩක් කළා ඒකත් කියන්නද?

කියන්න, කියන්න.

මට එවලා තිබුණා මැෂිමක්. ඒක තිබ්බේ මගේ මේසේ ළඟ. එහෙම අවුල් සහගත ලිපි හමුවුණාම කෙළින්ම ඔබනවා මුළු ලිපියම ඒ මැෂිමට. ඊට පස්සේ එහෙම ලිපියක් මට ඇවිල්ලත් නැහැ මම දැක්කෙත් නැහැ තමයි.

එහෙම ලිපි අතුරුදන් කළාම කතුවරුන්ගෙන් ප්‍රශ්න ඇතිවුණේ නැද්ද?

අයියෝ එයාලට බයේ මම වැඩ කරනවද? මම ලිපිය අතුරුදන් කළාම ඔන්න ඉතින් මට එක දිගට කෝල් එනවා. ලිපිය කෝ කියලා. මම ඉතින් කෑගහනවා, එහෙම ලිපියක් ආවෙත් නැහැ, දැක්කෙත් නැහැ කියලා. එතනින් කතාව ඉවරයි.

ඒ යුගයේ සිටි කතුවරුන්ට සහ ‍ලේඛකයන්ට ඔබව වහ කඳුරු වගේ වෙන්න ඇති නේද?

අනේ කිසිම තරහක් නැහැ. උන් ඔක්කොම මගේ හොඳ මිත්‍රයෝ. මම එහෙම කළේ මගේ ජොබ් එක නිසා කියලා උන් දන්නවා. එදා හිටපු සමහරු අදටත් මට කතා කරනවා දුක සැප අහනවා.

ඔබ විසින් කපා හරින ලද ලිපි නැවත පළකළ පුවත්පත් හා කතුවරු හිටියේ නැද්ද?

නිසි බලධාරී තනතුර ගැසට් එකෙන් මගේ නමින් පත් කළ තනතුරක්.

ඒ දවස්වල මට හිතුනේ මේ ක්ෂේත්‍රයේ ඉන්න මහා ලොක්කා මම තමයි කියලයි. මට උඩින් යන්න එකෙක් නැහැ කියලා හිතුණා.

ඉතින් උඩින් ගිය අය හිටියෙම නැද්ද?

එකෙක් හිටියා. ඒ තමයි ලසන්ත වික්‍රමතුංග. මිනිහා මම කපන ඒවා ඒ විදිහටම පළකළා. ඒ මදිවට මම නල්ලූර් කෝවිලට පූජා වට්ටියක් අරගෙන, උඩ ඇඳුමත් නැතිව ගිය පිංතූරයකුත් මිනිහා එයාගේ පත්තරේ දැම්ම. හැබැයි ලසන්තත් මගේ මිත්‍රයෙක්.

පත්තර කාරයෝ, මාධ්‍ය කාරයෝ මගෙ ගජ යාළුවෝ. අඩියක් ගැහුවෙත් උන් එක්ක තමයි. හැබැයි වැඩ කරන කොට හිතවත්කම් නැහැ.

මාධ්‍යකරුවන්, කතුවරුන් සමග එච්චර හිතවත්කමක් තිබිලත් සන්ඩේ ලීඩර් වහන්න පියවර ගත්තේ ඇයි?

ලසන්ත වික්‍රමතුංග මාධ්‍ය නිදහස වැරදි විදිහට පාවිච්චි කළා. අපේ හමුදාව 40000 ක් යාපනේට කොටුවුණා. එල්.ටී.ටී.ඊ.ය හතරවටෙන්ම අපිට ගහන්න පටන් ගත්තා. පලාලි වලටත් බෝම්බ වැටුණා. මේ සියල්ල ලසන්ත නැත අර්ථයෙන් ලිව්වා.

නැත අර්ථයෙන් පත්රේට ලිව්වා ඒ කියන්නේ කොහොමද?

මෙයා ලිව්වා පලාලි ගුවන් කඳවුරට බෝම්බ වැටුණේ නැත. පලාලි රෝහලට බෝම්බ වැටුණේ නැත.  හමුදාවේ මෙච්චර පිරිසක් මැරුණේ නැත. මෙන්න මෙහෙම සම්පූර්ණ වාර්තාවක් මෙයා නැත අර්ථයෙන් ලිව්වා. ඉතින් ඕන ගොනෙකුට තේරෙනවානේ වැඩේ වෙලා කියලා.

ඔය ලිපියට ඔබගෙන් අවසර ගන්න ගෙනාවේ නැද්ද?

මා ගාවට අරගෙන ආවා. මම දැක්ක ගමන් ඒක පෑන් ඉරකින් කැපුවා. මෙයා මම කපපු පෑන් ඉරත් එක්කම ඒ ලිපිය පළ කළා. එදත් මම අර කිව්ව මගෙ පින්තූරයත් පළකළා. ඊට පස්සේ ඉතින් කරන්න ඕන දේ මම කළා.

නිසි බලධාරියා හැටියට පුවත්පතක් ඔබගේ තනි හිතුමතේට වහන්න පුළුවන්ද?

එහෙම බැහැ. ඒකට නිසි ක්‍රමයක් තියෙනවා. පුවත්පත්වල ලිපි කැපීම ගැනත් ශේ්‍රෂ්ඨාධිකරණයෙන් මට උපදෙස් දීලා තිබුණා. මොකද ඒ කා‍ලේ පත්තරවල හිටියේ, ලසන්ත, වික්ටර් අයිවන්, සුනන්ද දේශප්‍රිය වගේ මහා කෙරුම් කාරයොනෙ. මම මුලින්ම එයාලව කැඳවලා පුවත් වාරණයට අදාළ ‍පොඩි ක්‍රමවේදයකුත් හදා ගත්තා.

මම ඇහුවේ ඔබගේ තනි හිතුමතයට පුවත්පතක් වහන්න පුළුවන්ද කියලයි.

තනි හිතුමතයට බැහැ. ඒ සඳහා මට ඉහළින් නියෝග ලැබෙනවනෙ. පුවත් පතක් දිගින් දිගටම පුවත් වාරණයට එකඟ නොවී ක්‍රියා කළහොත් තමයි එහෙම කළේ.

පුවත්පත් වහන්න ඔබට ඉහළින් නියෝග කළේ කවුද?

ධර්මසිරි සේනානායකගෙන් පසු ජනමාධ්‍ය ඇමති වූණේ මංගල සමරවීරනෙ. මංගලගේ කා‍ලේ තමයි පුවත් වාරණය ඉහළින්ම කළේ. මංගලට උඩින් ජනාධිපතිනිය ඉන්නවානේ. කොහොම  හරි ඇමැතිගෙන් තමයි මට උපදෙස් එන්නේ. සන්ඩේ ලීඩර් පත්තරය වහන්න කියලා අවශ්‍ය උපදෙස් මට ලැබුණා. මම ඒ ගමන්ම ‍පොලිස්පතිට නියෝගයක් දුන්නා. සන්ඩේ ලීඩර් පුවත්පත වහලා මට වාර්තාවක් දෙන්න කියලා. හැබයි ‍පොලීසිය මොකද කළේ. මුළු ලීඩර් පබ්ලිකේෂන් සියල්ලම වහලා දැම්මා. සීල් කළා.

සන්ඩේ ලීඩර් පුවත්පතට අමතරව පුවත්පත් තවත් කීයක් වැහුවද?

උදයන් පත්තරෙත් වැහුවා. ඒ වගේම මට තවත් එක පත්තරයක් වහන්න නියෝග ලැබුණා. ඒ පත්තරේ නම මට මෙතන කියන්නෙ නැහැ.

එහෙම හංගන්න එපා. මොකක්ද ඒ පුවත්පත.

අර කිව්වත් වගේ මොනවට නොකිය ඉන්නවද? ඔබගේ පුවත්පත තමයි වහන්න කිව්වේ. මට උපදෙස් ලැබුණා “ලක්බිම” වහන්න නියෝග කරන්න කියලා.

ඔබ මොකද කළේ

එහෙම උපදෙස් ලැබුණූ පලියට මට පත්තර වහන්න බැහැ. ඒ සඳහා ක්‍රමවේදයක් තිබෙනවනෙ. මට තේරුණා මේ වැඩේ දිගටම කළ යුතු දෙයක් නොවන බව. ඒනිසා මගේ මිත්‍රයෙකු වූ නීතිඥ විජයදාස රාජපක්ෂට මම මෙම කාරණය කිව්වා. ඒ දවස්වල ඔහු පුවත්පත් මණ්ඩලයේ සභාපති. ඒ මණ්ඩලයේ මමත් සාමාජිකයෙක්නෙ.

විජයදාස රාජපක්ෂ මොනවද ඔබට කිව්වේ.

මම ඔහුව හමුවෙලා කිව්වා. “මචං” පත්තර වහන එක මට එකදිගට කරන්න බැහැ. “ලක්බිමත්” වහන්න කියනවා. මට ලෙඩක් වැටෙයිද කියලා. ඔහු ගත් කටටම කිව්වා ඔය වැඩේ දැන් කරන්න එපා. උඹට නඩුත් වැටෙයි. හිරෙත් යන්න වෙයි. දඩත් ගහයි කියලා.

ඉතින් මම ඇහුවා. මම දැන් මොකද කරන්නේ කියලා. ඔහු කිව්වා මුකුත්ම කරගන්න බැරිනම් ගිහිල්ලා ආසිරි එකේ ඇඩ්මිඩ් වෙයං කියලා. මම ගෙදරටත් කියන් නැතුව එතනින්ම කෙළින්ම ගිහිල්ලා ආසිරි එකේ නතර වුණා.

“ලක්බිම” වහන්න බැරිවද ඔබ රෝහල් ගත වුණේ.

එදා එම නියෝගයෙන් බේරෙන්න මට වෙන විදිහක් නැහැනෙ. මම එදා පුටුවේ හිටියනම් ඔය තුන් හතර දෙනාම මට කියලා “ලක්බිම” වහගන්නවා. “ලක්බිම” වැසීමට හරිගස්සපු ලියුමකුත් මට එවලා තිබුණා.

දවස් කීයක් රෝහ‍ලේ සිටියද? ඉන්පසු මොකද වුණේ.

දවස් හතරක් පහක් හිටියා. මට හිතවත් දොස්තර මහත්තුරු මාව තියා ගත්තා. මම රෝහල් ගත වුණු නිසා ශ්‍රීපති සූරියආරච්චි නිසි බලධාරියා කරලා පත් කළා. මම හිතුවා මම එනකොට මිනිහා “ලක්බිම” වහයි කියලා. හැබැයි මම ආයි එනකොටත් “ලක්බිම” වහන්න  සකස් කළ ලිපිය මගේ මෙසේ උඩ තිබුණ මොනවා වුණත් ශ්‍රීපතිත් “ලක්බිම” වැහුවේ නැහැ. 

ඔබ මාධ්‍යවේදීන් සමග සුහදතාව ගොඩ නගාගත්තේ කොහොමද?

අනේ මන්දා. මම පරිපාලන සේවයේ නිලධාරියෙක්. හැබැයි මගේ සියලුම පරිවර්තනයන් ඇතිවුණේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරය ලබාගත් පසුයි.

යුද්ධ කා‍ලේ යුද පුවත් ජනතාවගෙන් සැඟවීම හරිද?

ඒක වැරදියි කියල කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් ‍පොලීසියේත් හමුදාවේත් අටසිය ගාණනක් මැරුණු බව අපි රටට කිව්වනම් මොකද වෙන්නෙ. මළ මිනී බෑවේ ලොරි වලින්. එකම වළක ඒ සෙබළුන් වැළලුවා. එදා ඕවා කිව්වනම් රට ඇවිළෙනවනෙ.

එල්.ටී.ටී.ඊ.ය සමග ඉතා දරුණු යුද්ධයත් ඇතිවුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපති යුගයේදියි. නමුත් ඒ කා‍ලේ නිසි බලධාරියෙක් පුවත් වාරණයක් කළේ නැහැනෙ.

මම ඉතා හොඳින් දන්නවා රාජපක්ෂ ජනාධිපතිතුමාට කිසිම විටක අවශ්‍ය වුණේ නැහැ යුද පුවත් වාරණයක් කරන්න. ඔවුන් සතිපතා මාධ්‍ය හමු තියලා යුද්ධය පිළිබඳව ජනතාව දැනුවත් කළා. ඒ අනුව ජනතාවට ආණ්ඩුව ගැන විශාල විශ්වාසයක් ඇති වුණා. නමුත් වත්මන් රජය අල්ලන කඩුවක්වත් මාධ්‍යයට පෙන්වන්න දෙන්නේ නැහැ. රජයට මාධ්‍ය ප්‍රකාශකයෙක් නැහැ. ‍පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් කියන දේවල් ජනතාව පිළිගන්නේ නැහැ. සිවිල් ජනතාව නියෝජනය කරන්න පිළිගත් නායකයෙක් මාධ්‍යයෙන් ජනතාවට කතා කරන්න ඕනෙ. ඒවා හරි ලස්සනට කරන්න ඕන වැඩ.

එදා ඔබ විසිනුත් කළ යුද පුවත් වාරණය ගැන අද කනගාටු වෙනවද?

ඇත්ත වශයෙන් කනගාටු වෙනවා. හැබැයි එදා කාලයයි අද කාලයයි වෙනස්. ජංගම දුරකථන හා සමාජ ජාල නිසා පුවත්පත් වාරණයක් අද කරලා වැඩක් නැහැ.

ඔබ පුවත්පත් වාරණය කරන යුගයේ විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් තර්ජන, ගර්ජන එල්ල වුණේ නැද්ද?

අදට වඩා හොඳ දේශපාලන විනයක් එදා තිබුණා. මට කවුරුවත් චෝදනා කළේ නැහැ. හැබැයි මට ‍පොලීසියෙන් ආරක්ෂාවක් නම් දීලා තිබුණා.

ඔබගේ යුගයේ තරමට නොවුණත් වත්මන් ආණ්ඩුව අද වන විට විවිධ ආකාරයෙන් මාධ්‍ය මර්දනයක් කරන බවට බොහෝ චෝදනා එල්ල වෙනවා.

ඒ වචනෙම වැරදියි. අපි මර්දනයක් කළේ නැහැ. අපි පුවත් වාරණයක් කළේ එදා  රට මුහුණදුන් තත්ත්වක් නිසයි.

වත්මන් රජය මේ පුවත් වාරණය කරනවා කියලා කරන්නේ මෝඩ වැඩක්. කඩු, කිණිසි හැම නාලිකාවකම පෙන්නලා, දැන් එක පාරටම එය නැවැත්තුවා. දැන් මොකද වෙන්නේ. මිනිස්සු හිතනවා දැන් හැමතැනම කලින්ට වඩා කඩු, කිණිසි හමුවෙනවා කියලා. ඉතින් ජනතාව තවත් බියෙන් සිටිනවා.

වත්මන් රජය සමාජ ජාල මාධ්‍ය පාලනය කිරීම ඔබ අනුමත කරනවද?

සමාජ මාධ්‍ය ජාලා කියන්නේ ඕනම කෙනෙකුට තොරතුරක් මුදාහරින්න පුළුවන් මාධ්‍යයක්නෙ. ඒක නිසා ඒවායේ යන දේවල් පිළිගන්න මිනිස්සු මෝඩයෝ. එහි විනයක් නැහැනෙ. නමුත් ඒ වගේ දේවල් පාලනය කරනවට වඩා හොඳයි ජනතාවට රජයේ ප්‍රධානියෙක් හැමදාම ඇත්ත කියන එක. ඇත්ත කිව්වාම බොරුව නිකම්ම යට යනවනෙ. ප්‍රවෘත්ති  අධ්‍යක්ෂලා ඉන්න ඕනේ ඒකටයි.

වර්තමානයේ රට මුහුණ දී සිටින ඛිෙදජනක තත්ත්වය පිළිබඳ මොකද හිතෙන්නෙ.

මෙම ප්‍රහාරය සිදුවෙන බව රජයේ සියලු දෙනා දැනගෙන හිටියේ. රටවල් 4කින් දැනුම් දීලා තියෙනවා. ඉන්දියාව ප්‍රහාරයට පැය ගාණකටත් කලින් දැනුම් දී තිබුණා. එච්චර දැනුම් දීලා තිබුණත් මේක “දේව රහසක්” වුණේ කොහොමද? මේකට වග කියන්න ඕනේ ආරක්ෂක ‍ලේකම් සහ ‍පොලිස්පති විතරද?

පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.