lakbima.lk

ජනපතිගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජනවාරිද? ජුනි ද?



ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ඇති බලතල අතර තවත් ප්‍රධාන බලතලයක් වන්නේ ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ඇති බලයයි. 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත මෙම බලය හිමිවී තිබේ.
ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති මෙම බලය හඳුන්වන්නේද උපදේශන අධිකරණ බලය ලෙසිනි. එම කරුණ පදනම් කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිහිපවිටක්ම
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවේය. ඒ අතර එක් ප්‍රධාන කරුණක් වනුයේ ජනාධිපතිධුර කාලය පිළිබඳව කළ මත විමසීමය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2017 වර්ෂයේ මැද භාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටියේ සියධුර කාලය
19 වන සංශෝධනයට යටත් වෙනවාද නැද්ද යන්නය. එනම් 19 වන සංශෝධනය ගෙනාවේ තමන් බැවින් සියධුර කාලය වසර පහද හයද යන්න ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේය.
19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට අඩු කළ අතර එය තමන්ට අදාළ නොවන බවත් ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයකුට එය අදාළ බවත් මෛත්‍රීපාල සිරිසේන තම එම මතය විමසීම පිළිබඳ නඩු විභාගයේදී සිය නීතිඥයන් මගින් අධිකරණයට දැනුම් දුන්නේය. එය එසේ වුවද අධිකරණයේ මතය වූවේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර පහකට සීමා වන බවය.
ජනාධිපතිවරයා මේ අවස්ථාවේ යළිත් ඒ හා සමානම කරුණක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානම් වේ. එනම් සියධුර කාලය ආරම්භ වන්නේ ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වී තමන් දිව්රුම් දුන් 2015 ජනවාරි 09 දාද නැතිනම් 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වී එයට කථානායක අත්සන් කළ 2015 ජුනි මස 21 දා සිටද යන්න පැහැදිලි කර ගැනීම සඳහාය.
වර්තමාන ජනාධිපතිවරයාගේ  ධුර කාලය නිම වන්නේ 2020 ජනවාරි මස 09 වැනිදාද එසේත් නැතිනම් එම වසරේ ජුනි මස 21 දාද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බැවින් ඒ පිළිබඳව
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහ‍ලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය. ඔහුගේ අදහස වන්නේ ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් 19 වන සංශෝධනය ක්‍රියාත්මක වන්නේ ජුනි මස 21 දා බැවින් එදින සිට වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආරම්භ වන බවකි.
කෙසේ නමුත් අධිකරණයේ මතය විමසීම නිෂ්ඵල ක්‍රියාවක් බව එක්සත් ජාතික පක්ෂයේ හා ‍පොහොට්ටු පක්ෂයේ අදහස වී තිබේ. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කරනුයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 ජනවාරි මස 09දා අවසන් වන බවට නීති උපදේශකයෝ රජයට දැනුම් දී තිබෙන බවය.
වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ කවරදාද යන ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙයට මාස 15කට පෙර පැහැදිලි ලෙසම නිරවුල් කර තිබියදී නැවත වතාවක් එම ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීම අනවශ්‍ය සහ නිෂ්ඵල ක්‍රියාවක් බව එක්සත් රාජධානියේ එඩින්බර්ග් නීති විද්‍යාලයේ ආචාර්ය අසංග වැලිකල ප්‍රකාශ කරයි.
ආචාර්යවරයාගේ මතය එය වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වන වගන්තියේ
ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන් දක්වා ඇත්තේ මෙලෙසය.
“ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා ගැනීම අවස්ථාවෝචිත වන ස්වභාවයේ සහ ‍පොදු වැදගත්කමකින් යුත් යම් නීතිය හෝ සිද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් උත්ගත වී ඇති බව නැතහොත් උද්ගත වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයාට කවර අවස්ථාවක දී වුව ද පෙනී ගියහොත් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඒ ප්‍රශ්නය සලකා බැලීම සඳහා යොමු කළ හැක්කේය.’ යනුවෙනි.
“එසේ යොමු කරනු ලැබූ විට ඒ යොමු කිරීමේ නිශ්චිතව සඳහන් කාල සීමාව ඇතුළත හෝ ජනාධිපතිවරයා විසින් දීර්ඝ කරන ලද යම් කාලසීමාවක් ඇතුළත හෝ ඒ අධිකරණය යෝග්‍ය යයි සලකන විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව ඒ අධිකරණයේ මතය ජනාධිපතිවරයාට වාර්තා කළ යුත්තේය.” යනුවෙන්ද එම වගන්තියේ වැඩිදුරටත් දක්වා තිබේ.
එම අයිතිය ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් සිය මතය ඉදිරියේදී විමසීමට නියමිතය. ඉන්පසු විවෘත අධිකරණයේදී මේ කරුණ විභාගයට ගන්නා අතර පක්ෂ ප්‍රතිපක්ෂ අදහස් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය මතය ප්‍රකාශයට පත් කළ යුත්තේය.

ලසන්ත වීරකුලසූරිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.