lakbima.lk

මුස්ලිම් අන්තවාදය මඩින්න පස් වැදෑරුම් ක්‍රමයක් තියෙනවා

පාස්කු සිකුරාදා ප්‍රහාරය ගත්තහම ඇත්තටම මොකක්ද මුස්ලිම් සමාජයට වුණේ?

ඇත්තටම අප්‍රේල් 21 දා ප්‍රහාරය ලංකා ඉතිහාසයේ දේශපාලන විභේදනයකට හේතු වූ කරුණක්. ලංකාවේ දේශපාලනය ආගමික කෝණයෙන් තීන්දු වේදෝ කියන ගැටලුව මෙයත් සමග පැනනගිනවා. මින් ඉදිරියට මුස්ලිම්වරු මූලධර්මවාදීන්, එක පැත්තකටත් අනෙක් පිරිස තවත් පැත්තකටත් යන තත්ත්වයක් ඇති වෙන බව තමයි පේන්න තියෙන්නේ.

මුස්ලිම්  අන්තවාදීකරණය ගැන ලොකු හැදෑරීමක් කළ ඔබට මෙවැනි දෙයක් වෙයි කියලා දැනුණේ නැතිද?

ඒක නිසා තමයි මම 2003 දී ආරාබිකරණය හා ගැටගැහෙන තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක් කළේ. ඒ වගේම මම 2014 දී තවුහිද් ජමාත් ක්‍රියාවලියත් එක්ක සන්නද්ධ ගැටුමකට යන්න තිබෙන ඉඩකඩ ගැන පැහැදිලි අනතුරු ඇඟවීමක් කළේ. 2014 මම ලියපු කෘතියේ අවසාන පරිච්ජේදය කියෙව්වාම ඕන කෙනකුට තේරෙනවා මේක සක්සුදක් සේ මම කියලා තියෙනවා කියන කාරණය. ඉතින් මේ ක්‍රියාවලිය එක පැත්තකින් වෙද්දි අනෙක් ක්‍රියාවලිය ලෙස ජාත්‍යන්තර ලෝකයේ ඇෆ්ගනිස්ථානය, සිරියාව, ඉරාකයේ ඇති වූ ගැටුම් ඉදිරියට ගියා. 2014 දී අයිඑස්අයිඑස් කලිෆාතය බිහිවීම හා එය බිඳ වැටීම යන කාරණාත් සමග මේ ත්‍රස්තවාදි ක්‍රියාවලිය ඉදිරියට ගියා.

 මේ ප්‍රශ්නයේදී මුස්ලිම් සමාජය සමග අප ගනුදෙනු කරගත යුත්තේ කෙසේද?

මම දකින විදිහට මුස්ලිම් සමාජයේ තල පහක මිනිස්සු ඉන්නවා. එක කණ්ඩායමක් තමයි අන්තවාදි මතවාදයන් හිසේ දරාගෙන ඒ වෙනුවෙන් ප්‍රචණ්ඩ ක්‍රියා කරන්න සුදානම්, ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්න සුදානම් පිරිස. ඒ අයගේ විශ්වාසය මුස්ලිම්වරුන් හැර අන් අය මේ ලෝකේ ජීවත් විය යුතු නැහැ කියන එකයි. ඒ අය පැහැදිලිව සොයලා විනාශ කරන්න ඕනේ.

ඊළඟට ඉන්නවා මේ අයට උදව් කරන ‍පෝෂණය කරන මේ අයට රැකවරණය දෙන ඒ වගේම මේකට පිරිස බන්දා ගන්න කොටස. ඔවුන් හඳුනා ගෙන නිෂ්ක්‍රිය කිරීමත් ඉතාම අවශ්‍යයි. මොකද මේ අය තමයි මුදල් ගේන්නේ. ඔවුන් තමයි සංවිධාන ජාලය පවත්වාගෙන යන්නේ. තුන්වන තලය තමයි මතවාදය පවත්වාගෙන යන පිරිස. ඔවුන් ඒකදේවවාදය, තව්හිද්වාදය, පිළිගන්නා අය හැබැයි ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යන්නේ නැහැ. එය තමයි ‍පොදුවේ තව්හිද් ජමාත් ව්‍යාපාරය රටේ ප්‍රචාරය කරලා තියෙන්නේ.

මෙයාලගේ මතවාදය වෙනස් කරලීමට රජයට සිද්ධ වෙනවා හතර වෙනි කණ්ඩායම තමයි මීට අවුරුදු 30 ක වෙ‍ලේ සිට මේ රට තුළ ක්‍රියාත්මක වෙන අරාබිකරණ වූ පිරිස. ඇඳුම්වලින් අරාබිකරණය වෙනවා. භාෂවෙන් අරාබිකරණය වෙනවා. නීතියෙන් අරාබිකරණය   වෙනවා. කඩු ‍පොලු තියාගෙන තමන්ගේ ආරක්ෂාව ගැන හිතන අරාබි මානසිකත්වයක් ඇතිව ජීවත් වෙන අරාබි කොලනි හැටියට රට ඇතුළේ ජීවත් වෙන පිරිස.

මේ කණ්ඩායම් සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය තීරණයක් ගන්න ඕනේ. පස්වන කණ්ඩායම තමයි සාතිශ්‍ය බහුතර සාමයට ළැදි පැරණි සූෆි දහම අදහපු මුස්ලිම් සමාජය. 80 ක්ම ඉන්නේ මේ මුස්ලිම් සමාජය එක්කයි. ඒත් ඔවුන් ඉන්නේ දුර්වල තැනක. ඒ නිසා අපි නීතිමය පැත්තෙනුත් සමාජීය පැත්තෙනුත් ඔවුන්ව බලාත්මක කරන්න ඕනේ. මේ සමාජය තමයි අපට හුරු මුස්ලිම් සමාජය. පසුගිය දශක දෙකක තුනකදී ඇතිවූ මුස්ලිම් සමාජය අපට නුහුරුයි. ඒ නිසා අපට හුරු මුස්ලිම් සමාජය බලාත්මක කළ යුතුයි. මේ කාරණා පහ අපි අනුගමනය කළොත් මේ ප්‍රශ්නය අපට ජය ගන්න පුළුවන්.

කොහොමවුණත් මෙවැනි අනතුරක් තිබියදී ඇයි අපට එය වළක්ව ගන්න බැරිවුණේ.

ඒකට දේශපාලන අභිලාෂයක් තියෙන්න ඕනෑ. එල්.ටි.ටි.ඊ.ය පරාජය කරන්න වුණත් අපට දේශපාලන අභිලාෂයක් තිබුණේ නැහැ. වුවමනාවක් තිබුණා නම් මේ ව්‍යවසනය වළක්වා ගන්නත් මේ ත්‍රස්තවාදය විනාශ කරන්නත් අපට අවස්ථාව තිබුණා.

තොරතුරු දැන දැනත් ජීවිත හානිය වළක්වා ගන්න ආණ්ඩුවට බැරිවුණා කියලද ඔබ කියන්නේ?

ඒක තමයි. මම දන්න තරමින් 2011 ඉඳන් බුද්ධි අංශ තොරතුරු තිබුණා. යම් පිරිසක් විදේශ රටවල පුහුණුව ලබනවාය කියලා. තොරතුරු තිබුණා. මම 2013 දී ලියපු කෘතියෙත් එය සඳහන් කරලා තිබුණා. 2014 ගහපු දවෛනි පිටපතෙත් ඒක  තිබුණා. සාමාන්‍ය ජනතාව ලෙස අපිත් දැනගෙන හිටපු දෙයක් මේක.

ඒපිළිබඳ අවධානය යොමු කරලා ඒ පිළිබඳ හඹා ගිහිල්ලා වැළැක්වීමට ක්‍රියාකළ යුතුව තිබුණා. ඇමෙරිකාවේත් 9/11 ප්‍රහාරයේත් සිදුවුණේ ඒකයි. බුද්ධි අංශයි දේශපාලන අංශයි  ආරක්ෂක මෙහෙයුම් අංශයි අතර අධිෂ්ඨානයක් ක්‍රියාවලියක් තිබිලා නැහැ. ඒක පැහැදිලියි. දේශපාලන අංශ එතනදී බිරි අලිවගේ ඉඳලා තියෙනවා.

ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ 30 දා මඩකළපුවේ ‍පොලීසියේ දෙන්නෙක්ව ඝාතනය කළා, එය එල්.ටි.ටි.ඊ. යට බැර කරලා ඒ පිටිපස්සේ දිව්වා. දෙසැම්බර්  26දා මාවනැල්‍ලේ බුදුපිළිම කැඩුවා. දෙසැම්බර් 25 දා නත්තල් දවසේත් කතෝලික දේවස්ථානවලට පහර දුන්නා.

මේ අය පන්නාගෙන ගිහිල්ලා වනාතවිල්ලුවේ අවි පුහුණු කඳවුරක් අල්ලා ගත්තා. ඒ හරහාත් තොරතුරු ගන්න බැරිවුණා. කබිර් හෂිම්ගේ ‍ලේකම්ට ගැහුවා. එතනින් ප්‍රයෝජනයක් ගත්තෙත් නැහැ. අවසාන වශයෙන් අප්‍රේල් 16 දා කාත්තන්කුඩිවල මේ අය පිපිරීමක් කළා එතනදීත් හඳුනා ගන්න බැරිවුණා. අනෙක අප්‍රේල් 04 දි සිට තුන්වතාවක් විදේශ බුද්ධි අංශ අපව දැනුවත් කළා. ඉතින් ඒ නිසා මෙතනදී කිසිම සමාවක් නැහැ.

ඉතින් කව්ද මේකට වගකියන්න ඕනේ?

අතීතය ගැන කතා කරලා වැඩක් නැහැ. වගකිවයුත්තෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. මේකට සියලු දෙනාම වගකිව යුතුයි. දේශපාලන අධිකාරියත් මේකට වගකිව යුතුයි.

දේශපාලන නායකත්වයේ දෙපැත්තට ඇදපු නිසයි මෙය වුණේ කියලා ඔබ කියලා තිබුණා. කවුද මේ දෙපැත්තට ඇද්දේ?

දේශපාලන වශයෙන් අපි දන්නවනේ පහුගිය දෙසැම්බර් මාසයේ ඉඳන්ම ජනාධිපති - අගමැති අතර තිබුණු පරස්පරය මොකක්ද කියලා. දේශපාලන අධිෂ්ඨානයක් මෙතනදී තිබුණේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව මේවා කළොත් මුස්ලිම් ඡන්ද නැති වෙයි කියන සැකය. එහෙම දෙයක් මුස්ලිම්වරු කළා නොකළා වෙනම දෙයක්. නමුත් ඒ සැකය මත තමයි හුඟක් දේවල් නොවුණේ. දැන් මේකෙන් හැම කෙනකුගේම ඡන්ද නැති කරගෙන තිබෙනවා.

මුස්ලිම් දේශපාලනඥයෝ අන්තවාදය ‍පෝෂණය කරනවා. මේ සියල්ලටම වගකියන්න ඕනේ ඔවුන් කියලා සමාජයේ මතයක් තියෙනවා. මෙය ඇත්තක්ද?

මෙහෙමයි. දේශපාලනඥයා සාමාන්‍යයෙන් සමාජයට ප්‍රතිචාර දක්වන්න ඕනේ. මුස්ලිම් සමාජයේ එක පැත්තකින් දේශපාලන පක්ෂ ඉන්නවා අනෙක් පැත්තෙන් මවුලවිවරු ඉන්නවා. ඒ මවුලවිවරුත් පහුගිය කා‍ලේ දේශපාලනඥයන්ට වඩා ඉදිරියට ගිහිල්ලා සමාජය රැඩිකල් කරන්න කටයුතු කළා. ඒක නිසා මම හිතනවා මේකෙදී දේශපාලනඥයන්ට වඩා ගොඩක් අන්තවාදීව ක්‍රියා කළේ විදේශ අධ්‍යාපනය ලබපු හා කෙළින්ම විදේශයෙන් ආපු මවුලවිවරු කියලා.

කැබිනට්ටුවේ ඉන්න රිෂාඩ් බදියුදීන් වැනි අයට සෘජුව මේ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වෙනවා. ඔබවැනි ආකල්ප දරන අයෙකුට ඔවුන් සමග ආණ්ඩුව තුළ කැබිනට්ටුව තුළ ගනුදෙනු කරන්න පුළුවන්ද?

ඒක මේ රටේ තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ තමන්ගේ ජන පදනම ඡන්ද කේවල් කිරීමට යොදා ගැනීම. මේක අපි තොණ්ඩමන්ගෙත් දැක්කා. අෂ්රොෆ්ගෙත් දැක්කා. ඒක දැනුත් පේනවා. මේවගේ කටයුතුවලදී ප්‍රධාන පක්ෂ අතර ඇති වෙන එකඟතාවයෙන් තමයි අන්තවාදි කේවල් කිරීම් පරාජය කරන්න පුළුවන් වෙන්නේ. රිෂාඩ් කියලා විශේෂයක් නැහැ ඔය හැමතැනම ඒක වෙච්ච දෙයක්. මොකද මේක ඡන්ද ක්‍රමයේ තියෙන ප්‍රශ්නයක්.

එල්.ටි.ටිඊ ය මර්දනය කරන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළා. මේ ආණ්ඩුව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ. මේ තත්ත්වය තුළ පවතින ත්‍රස්තවාදි ගැටලුව නිරාකරණය කර ගන්න පුළුවන්ද?

මිනිස් ජීවිත සමග ප්‍රතිපත්ති දැඩි ප්‍රතිපත්ති කියලා දෙයක් නැහැ. ත්‍රස්තවාදය විනාශ කළ යුතුයි. කරන්න ඕන සමාජ ප්‍රතිසංස්කරණ ආණ්ඩුව හා මුස්ලිම් සමාජය එකට එකතු වෙලා කළ යුතුයි.

වාර්ගික පදනම මත බෞද්ධ, මුස්ලිම්, හින්දු ලෙස පාසල් වෙන් කරලා තියෙනවා. මෙය සුදුසු නැති බවටත් මත පළවෙනවා. ඇත්තටම මෙය සුදුසුද නුසුදුසුද?

මෙහෙමයි ආගමික පදනමින් පාසල් ඇති වුණේ එම ආගම් මත ඇතිවූ පුනර්ජීවනය නිසානේ. කලින් මේ රටේ තිබුණේ ක්‍රිස්තියානි පාසල් පමණයි. ඒ ක්‍රිස්තියානි පාසල්වලට ප්‍රතිචාරයක් ලෙස තමයි බෞද්ධ පාසල්, හින්දු පාසල්, මුස්ලිම් පාසල් ඇති වුණේ. ඒවයේ අපි වරදක් දකින්නේ නැහැ. නමුත් මේ රටේ තනිකර ආගමික උන්මාදයන් ඇති කරන එම උන්මාදයත් හරහා අනෙක් ආගම්වල අය ජීවත් විය යුතු නැතැයි කියා සිතන සිතුවිලි ජනනය කරන ඒ වගේම මධ්‍යකාලීන යුගයේ නවීකාරකත්වයක් නැති මත දරන ගුවන් විදුලිය, රූපවාහිනිය අහන්න ඕනේ නැහැ කියන අමුතු ක්‍රියාවලියකට ඉඩ දෙන්න බැහැ. ඒ වගේ අමුතු පාසල් ක්‍රමයක් මේ රටේ තිබිය යුතු නැහැ.

ඔබ එසේ කීවත් මද්‍රසා පාසල් වගේ පාසල් ඇති වෙලා තියෙනවා. ඒවා නියාමනය කරලාත් නැහැ?

ඒවා නියාමනය අනිවාර්යයෙන්ම මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් කිරීමට ඉඩ දිය යුතු නැහැ.

මෙවැනි පාසල් කිසිවක් නොමැතිව මධ්‍ය මහා විද්‍යාල සංකල්පය ඉදිරියට ගෙනයාම සුදුසුය කියලා හිතන්නේ නැතිද?

ඇත්තටම සහිරා විද්‍යාලය වගේ මුස්ලිම් පාසල් තියනවා. මේ පාසල් කව්රුවත් ප්‍රශ්න කරන්න යන්නේ නැහැනේ. ඒවා මේ රටේ මුස්ලිම් දරුවන්ට රටේ අනෙක් දරුවන්ට වගේම අධ්‍යාපනය ලබා දෙන පාසල්. හැබැයි මද්රාසා පාසල් ආගම ඉගැන්නුවාට කමක් නැහැ ඒවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අධික්ෂණය කළ යුතුයි. විශ්වවිද්‍යාල තිබුණාට කමක් නැහැ ඒවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ  අධික්ෂණය විය යුතුයි.

ඔබේ ප්‍රකාශයෙන් රජයේ නායකයන් ගැන විරෝධී අදහසක් තමයි පෙන්නුම් කරන්නේ. ජාතික හෙළ උරුමයේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු ලෙස මෙතනින් ඔබ්බට ගන්නා තීරණය කුමක්ද?

මේ සිද්ධියේදී ආණ්ඩුවේ ගමන් මග සම්පුර්ණයෙන්ම වැරදි. එමෙන්ම දුර්වල එකක් කියලා අපි දකිනවා. මෙතනදී අපි පක්ෂ බේදයෙන් තොරව මහජන ව්‍යාපාරයක් හදනවා. මොකද මේක ජාතික හෙළ උරුමයට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවෙයි.

දැනට අරගෙන තියෙන ආරක්ෂක ප්‍රතිපාදන ගැන සැහීමකට පත් වෙන්න පුළුවන්ද?

ආරක්ෂක අංශ අපට යම් දුරකට සෑහීමකට පත්විය හැකි ලෙස ප්‍රහාරයට සම්බන්ධ අංශ නිෂ්ක්‍රිය කරලා තියෙනවා. නමුත් අර විවිධ සමාජ කණ්ඩායම්වලට ගැළපෙන පරිදි සමාජ දේශපාලන උපාය මාර්ගයකින් තොරව අපට මෙය සෑහීමකට පත් වෙන්න බැහැ. ඒ තත්ත්වයට ආවහම තමයි අපි පූර්ණ සෑහීමකට පත් වෙන්නේ. ආරක්ෂක අංශවලට ස්තූතිවන්ත වෙනවා මෙය පාලනය කළාට. ඒ වගේම ත්‍රස්තවාදීන් අල්ලා ගන්න උදව් කළ මුස්ලිම් සමාජයට අපි ස්තූතිවන්ත වෙනවා. ත්‍රස්වාදීන්ගේ ශක්තියට වඩා නිහඬ ශක්තියකින් එය පරාජය කළා කතෝලික ප්‍රජාව. ඔවුන්ගේ කැපවීමත් මෙතනදී අපි අගය කරන්න ඕනේ.

ආණ්ඩුව මොනවා කීවත් ජනතාවගේ බිය හා සැකය තවම පහ වෙලා නැහැ. ඇයි ඒ?

එයට හේතුව රජය පිළිබඳ තිබෙන අවිශ්වාසනීයත්වයයි. ඒකයි මම කියන්නේ සියලු දෙනා එකතු වෙලා මේ බිය නැති කරලා විශ්වසනීයත්වයක් ආරක්ෂක අංශ සමග රටට ලබාදිය යුතුයි. රට සාමාන්‍ය කාරණය විය යුතුයි.

මේ සිද්ධියත් එක්ක ප්‍රතිත්‍රස්ත පනතක් ගෙනල්ලා ආණ්ඩුව ජනතාව මර්දනය කරන්න උත්සාහ කරනවා නේද?

නැහැ. ප්‍රතිත්‍රස්ත පනත ගෙනාවේ ඒකට නොවෙයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙනාවේ 1978දී අයර්ලන්ත ක්‍රියාකාරිත්වය දිහා බලාගෙනයි එදා එය ගෙනාවේ. ඉතින් අද වන විට එය යල් පැන ගිය පනතක්. ඒ නිසා ඒ පනත යාවත්කාලීන විය යුතුයි. හැබැයි දැන් ගෙනල්ල තියෙන පනතේ මම දකින ප්‍රධාන අඩුපාඩුව නූතන අන්තර්ජල අපරාධ මර්දනය කිරීමට කිසිදු ප්‍රතිපාදනයක් එහි නැහැ. එය නැති ත්‍රස්ත පනතකින් අද වැඩක් නැහැ.

නීතිය හා සාමය අමාත්‍යාංශය ඔබට භාර ගන්න කියලා යෝජනා වුණත් ඔබ අකමැතිවූවා කියා කියනවා මොකක්ද වුණේ.

මම සුදානම් ඕනෑම අභියෝගයක් භාර ගන්න. හැබැයි අපේ ප්‍රතිපත්තියක් තියෙනවා ඒක තමයි ඇමැතිවරු පත් කිරීමේදී ජනාධිපතිතුමා - අගමැතිතුමා එකතු වෙලා ඒ පත්කිරීම කාගෙත් කැමැත්තෙන් කළ යුතුයි කියන එක. අකමැත්තෙන් ඒ කටයුතු කරන්න ලැහැස්ති නැහැ. හැබැයි මට අභියෝගයක් දුන්නොත් මම ඒක භාර ගන්නවා. ඒක මර්දනය කරන හැටිත් මම දන්නවා.

- ජාතික හෙළ උරුමයේ මහ‍ලේකම්, මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක

ලසන්ත වීරකුලසූරිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.