lakbima.lk

මැතිවරණ පැරදුණ අය රට ආපස්සට අදින්නේ මොන රටේද ?

මැතිවරණයක් ඉවර වුණාට පස්සේ පරාජය වුණ අය රට ආපස්සට අදින්නේ මොන රටේද, පරදින දවසේ ඉඳන් පැරදුන එකා දිනපු එකා කරන හැම වැඩේම හොඳ නෑ කියනවා.ඉතින් කොහොමද රට දියුණු වෙන්නේ? ගම දියුණු වෙන්නේ? මේක නේද අපිට හෙණයක් වෙලා තියෙන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, පොළොන්නරුව, මැදිරිගිරිය, විජයපුර ග්‍රාම නිලධාරී වසමේ නිළ සෙවන කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.
 

රජරට නවෝදය, ජනපති වැඩසටහනේ, පිබිදෙමු පොළොන්නරුව 2016-2020 වැඩසටහන යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් ඉදි කළ නිළ සෙවන කාර්යාල 180 ක් ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව පොලොන්නරුව මැදිරිගිරිය,  විජයපුර ග්‍රාමසේවා වසමේ නිළ සෙවන කාර්යාලය ජනතා අයිතියට පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමි්නද දිසානායක මහතාගේ සුරතින් සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

 ජනතාවට සේවය කිරීම සඳහා එක ග්‍රාම නිලධාරී තුළානක් සඳහා නිලධාරීන් 04 ක් 05 ක් පත් කරලා ඉන්නවා. ආණ්ඩුව මගින් මේ රැකියා ලබා දීලා, මුදල් වෙන් කරලා කොතරම් ක්‍රමවේද හැදුවත් ඒ ක්‍රමවේදයන් එක් තැනක ක්‍රියාත්මක නොවීමත් එක්ක ඒ ආණ්ඩුව වියදම් කරන මුදලින් වැඩක් වෙන්නෙත් නෑ, ජනතාවට ඉන් පහසුවක් සැලසෙන්නෙත් නෑ, හැබැයි මේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මේ නිල සෙවන කාර්යාලය ලැබුණ පසු දැන් ඒ ප්‍රශ්න නැති වෙනවා.

සඳුදා- බ්‍රහස්පතින්දා කියන දින දෙකේ මේ කාර්යාලයේදී   සියලු  වැඩ ටික නිළධාරීන් හම්බෙලා එකම දවසේ කරගන්න පුළුවන්කම ලැබෙනවා.ඒ වගේම නිලධාරීන්ටත් තමන්ගේ අභිමානය තියාගෙන, ජනතාවට සේවය කරන්න,රට වෙනුවෙන් යුතුකම් ටික ඉෂ්ඨ කරන්න තමන්ගේ රාජකාරී කාර්යාලයක් පවත්වාගෙන යන්න හැකියාව තියෙනවා.
 

2014 නොවැම්බර් මාසේ 21 වැනිදා  මම මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ක එළියට යන්නේ උතුරු මැද පළාතේ කෙනෙක් ජනාධිපති කර ගන්න, මගේ බලාපොරොත්තුව වුණේ අපේ කෙනෙක් ජනාධිපති කියලා කියන්නයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙක් ඉන්න කොට, එදා දුමින්ද දිසානායක විතරක් එනවා මෛත්‍රීපාල සිරිසේන මහතා එක්ක එළියට.

ඒ එන්නේ අපේ පළාතේ කෙනෙක් ජනාධිපති කර ගැනීමේ අවශ්‍යතාවයත් එක්කයි.එහෙම හදාගත්ත ජනාධිපතිතුමා අද පොලොන්නරුව කණපිට හරවලා තියෙනවා.එදා යන්න බැරිව තිබුණ පාර අද මංතීරූ හතරක පාරක් වෙලා තියෙනවා.එදා බොහෝම පුංචියට තිබුණ නගරය අද ලොකු වෙලා තියෙනවා.බස්නැවතුම, රෝහල් ටික, පාසල් ටික හැදෙනවා.පොලොන්නරුවේ දරුවන්ට දැන් කොළඹ රෝයල් එකට යන්න අවශ්‍යතාවක් නෑ,දැන් කොළඹ රෝයල් එකේ නැති පහසුකම් පොලොන්නරුව රෝයල් එකේ තියෙනවා.

දැන් පොලොන්නරුවේ රෝගියෙකුට කොළඹ මහ ඉස්පිරිතාලයට යන්න ඕන නෑ, මහ ඉස්පිරිතාලේ නැති පහසුකම් ටික තියෙනවා පොලොන්නරුවේ, ආසියාවේ තියන ලොකුම වකුගඩු රෝහල හැදෙන්නෙත් පොලොන්නරුවේ,ඒ වගේම ක්‍රීඩාංගන, පොලිස් ස්ථාන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිසාපති කාර්යාලය වගේ මේ සියල්ල නිර්මාණය වෙනවා පොලොන්නරුවේ.2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා අපේ එකෙක් කියලා මට කැක්කුම තිබුණට පොලොන්නරුවේ සමහර අයට එහෙම කැක්කුමක් තියෙන්න නැතිව ඇති.තාමත් නැති වෙන්න පුළුවන්.ඔබතුමන්ලා පක්ෂ -ජාති-ආගම්-කුළ-මළ වලට කොහොම බෙදිලා හිටියත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වෙච්ච නිසා තමයි මේ සියලු පහසුකම් ටික පොලොන්නරුවට ලැබෙන්නේ.

අපි දකිනවා සමහර වෙලාට අපි කොච්චර සංවර්ධනයන් කළත් එක්කෙනෙකුට-දෙන්නෙකුට හිතෙන්න පුළුවන් මේ ගොඩනැගිල්ලට වඩා මේ පාර තමයි හදාගන්න ඕන කියලා.අපි එහෙම ජාතියක්නේ, සංසාරය වගේ තමයි ජනතාවගේ ඉල්ලීම් ටිකත්, කොච්චර දුන්නත් ඉවරයක් නෑ,ජනාධිපතිතුමා මේ පොලොන්නරුව දිස්ත්‍රික්කය දියුණු කිරීමට අවශ්‍යය මුදල් ටික සපයමින් පවතිනවා.

මෙතනත් ඇති මෛත්‍රී මහත්තයාට ඡන්දය නොදුන්න, තාමත් බනින අය, මේ ගොඩනැගිල්ල හැදුවාට තාම අපේ ගමේ පාර හැදුවේ නෑනේ කියලා බනින අය ඇති, හැබැයි අමතක කරන්න එපා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නොවෙන්න මේ සංවර්ධන ව්‍යාපෘති ටිකත් පොලොන්නරුවට ලැබෙන්නේ නෑ. කොච්චර කළත් සමහර වෙලාවට අපේ අයට තමන්ගේ එකා දුන්නම වටිනාකමකුත් නෑ, ගම හැදෙද්දී වටිනාකමක් නෑ, බනින්න ඕන තරම් අය ඉන්නවා.අපේ ගමේ සංවර්ධනයක්  වෙන කොට අපේ යුතුකමක් තියෙනවා ඒ සඳහා පක්ෂ පාට පැත්තකින් තියලා   ශක්තිය ලබා දීම, අපි රටක් විදිහට, ගමක් විදිහට අපේ ගම හැදෙන කොට, අඩුපාඩු නිවැරදි වෙන කොට අපි ඒ සඳහා එකතු විය යුතු වෙනවා.අපි පක්ෂ වලට බෙදුණ නිසයි මේ හෙණය.

ගමේ අය ඡන්දය වෙනුවෙන් ඥාතීකම නැති කර ගන්නවා, හිතවත්කම, ලෙංගතුකම, අපේකම නැති කර ගන්නවා, හැබැයි ලොක්කෝ ටික කොහොමද? මේ ලොක්කොන්ගෙන් කවුද තරහා? සේරම යාලුයි, ගමේ එවුන් තමයි ගහ-මරා ගන්නේ.

වෙලාවට මහින්ද මහත්තයායි -මෛත්‍රී මහත්තයායිත් යාලුයි ඒ නිසා අගමැතිකම දුන්නා. වෙලාවට රනිල් මහත්තයයි- මෛත්‍රී මහත්තයාත් යාලුයි අගමැතිකම දෙන්නෙම නෑ කියලා ආයෙත් අගමැතිකම දුන්නා.මේ ලොකු ලොක්කෝ ටික සේරම එකයි.හැබැයි ගමේ තමයි මේ විරසකය, ප්‍රශ්නය තියෙන්නේ.ඒ නිසා ගම හැදීම වෙනුවෙන් අපි එකතු විය යුතුව තිබෙනවා.මැතිවරණයක් ආවම  ගමට වැඩක් කලේ කවුද, ගමට වැඩක් කරන්න පුළුවන් කාටද, අනාගතයේ බලය ලැබෙන්නේ කාටද කියලා දේශපාලනය කරන්න.හැබැයි ගම හැදෙන වෙලාවේදී ඒකේ කකුලෙන් අදින්න එපා, ඒක විනාශ කර ගන්න එපා.

මැතිවරණයක් ඉවර වුණාට පස්සේ පරාජය වුණ අය රට ආපස්සට අදින්නේ මොන රටේද, පරදින දවසේ ඉඳන් පැරදුන එකා දිනපු එකා කරන හැම වැඩේම හොඳ නෑ කියනවා.ඉතින් කොහොමද රට දියුණු වෙන්නේ? ගම දියුණු වෙන්නේ? මේක නේද අපිට හෙණයක් වෙලා තියෙන්නේ.අල්ලපු ගමේ මේ වරද කළාට කමක් නෑ, මේ ගමෙන් ඒ වරද නිවැරදි කරන්න.

 

ගම හදන කොට-ගම දියුණු කරන කොට කවුද ඒ වැඩේ කරන්නේ කියලා බලන්නේ නැතිව ගමට හරි දේ වෙනවා නම් හැමෝම එක මිටට එන්න, හැමෝම ඒ සංවර්ධනය වෙනුවෙන් පෙනී ඉන්න,හැමෝම ඒකේ හොඳ කථා කරන්න,නරක දෙයක් වෙන කොට විවේචනය කරලා ඒ විවේචනයත් එක්ක යෝජනාවකුත් කරන්න ඕන, ඕක කරන්න ඕන ඔහොම නෙමෙයි මෙහෙමයි කියලා.ඕක හරි නෑ කියලා ව්වේචජනය නෙමෙයි, නවත්තන්න කරන විවේචනය නෙමෙයි, වැරදි දේ නිවැරදි කරන්න විවේචනය කරන ගමන් වැඩපිළිවෙලක් තිබිය යුතු වෙනවා.එහෙම වුණොත් මේ රට හදන්න පුළුවන්කම තියෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රටේ ජනාධිපති නොවෙන්න, මොරගහ කන්ද හැදෙන්නේ නෑ, පොලොන්නරුවේ පාරවල් ටික හැදෙන්නේ නෑ, පාසල් ටික, රෝහල් ටික හැදෙන්නේ නෑ, මේ පහසුකම් කිසි දෙයක් ලැබෙන් නෑ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යයවරයා විදිහට මැරෙනකම් හිටියත්.

හැබැයි පොලොන්නරුවේ සමහර අය ඡන්දය නුදුන්නත් අපි ඡන්දය දීලා රටේම ප්‍රගතිශීලී ජනතාව ඡන්දය දීලා පොලොන්නරුවෙන් නායකයෙක් හැදුව නිසා තමයි මේ සියලු සම්පත් පොලොන්නරුවට ලැබිලා තියෙන්නේ.ඒ නිසා ඒකේ කෙළෙහිගුණය තියන්න, ඒ ගැන ආඩම්බර වෙන්න,තවත් ඒ  පහසුකම් අනාගතයේ ලබා ගන්න පුළුවන් නම් ඒ සඳහා රටේ වෙන පැත්තකින් නායකත්වය ගන්න කලින් පොලොන්නරුවේ ඔබතුමන්ලා නායකත්වය ගන්න.

මේ පාර  අයවැයෙන් බිලියන 09 ක් තියෙනවා පොලොන්නරුවට.පොලොන්නරුව දියුණු කළ යුතු දිස්ත්‍රික්කයක්, පොලොන්නරුව ජනතාවගේ ආදායම වැඩි කරන්න ඕන.වගාව, ආර්ථිකය, මානව සම්පත  ශක්තිමත් කරන්න ඕනකම තියෙනවා.හැබැයි මේක භෞතික සම්පත් වලින් එහා ගිහින්, ජනාධිපතිතුමා කථා කරන මතින්, සූදූවෙන් තොර හොඳ ගමක් , හොඳ පවුලක් නිර්මාණය කළ යුතු වෙනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, උතුරු මැද පළාත් සභාවේ හිටපු පළාත් සභා අමාත්‍යය සම්පත් ශ්‍රී නිලංග මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, රාජ්‍යය නිළධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.