lakbima.lk

දෙමළ සමාජය තල්ලු වූ තැනටම මුස්ලිම් සමාජයත් තල්ලු කළ යුතු නැහැ

රටේ තැනින් තැන ඇතිවෙමින් තිබෙන ගැටුම් ගැන විවිධ පුද්ගලයන්  විවිධ විග්‍රහ ඉදිරිපත් කරති. දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් මේ සඳහා හේතු බලපා  තිබේ. වෙළෙඳ තරගය, දේශපාලන තරගය මේ සඳහා බලපෑ හේතු විය හැකිය. සිංහල අවුරුද්ද ආසන්න වන විට මුස්ලිම් කඩවලට එරෙහිව ප්‍රචාරයන් ගෙන යයි.

ඇතැම් දේශපාලනඥයන් ජාතිවාදීව තමන්ගේ ඡන්ද පදනම්වලට කතා කරති. ජාතිවාදී, ආගම්වාදී පක්ෂ ඇතිවී තිබේ.

මේ අතරම ලෝකය කුඩාවී තිබේ. ලෝකයේ එක් එක් කාලයට එක එක සතුරන් නිර්මාණය වී ගැටුම් ඇතිවේ. දෙවැනි ලෝක යුද්ධය ආරම්භයේදී ෆැසිස්ට්වාදය ගැන කතා කළ අතර පසුව එය යුදෙව්වන්ට එරෙහිව විරෝධයක් බවට පත්විය.

පසුව එය කොමියුනිස්ට් විරෝධයක් විය. ඉස්ලාමීය ලෝකයට විරුද්ධ ගැටුම් මේ අතර නිර්මාණය විය. ඉරාකයට පහරදෙනවිට මහා පරිමාණ ආයුධ ඇති නිසා පහරදෙන බව පැවැසුවේය. එහෙත් ඇමෙරිකානු ජනාධිපතිවරයාත්, බ්‍රිතාන්‍ය අගමැතිවරයාත් පසුව පා‍පොච්චාරණය කළ අතර ඒ වන විට ලක්ෂ ගණනක ජීවිත අහිමිවී තිබිණි. එකමුතුව තිබූ ඉරාකය, ලිබියාව අද වන විට කෑලිවලට කැඩී ගොස් තිබේ.

යුදමය ප්‍රහාර කරන අතරවාරයේදී මාධ්‍ය ප්‍රචාරමය වැඩසටහනක්ද ක්‍රියාත්මක කරයි. ඉස්ලාම් ෆෝබියාවක් නිර්මාණයකර තිබේ. කුරාණය පවා විකෘති කර මුද්‍රණය කර නොයෙක් ප්‍රශ්න ඇති කර තිබේ. පසුගියදා ලංකාවේ ඇතිවූ ප්‍රහාරවලින් පසුව ඉස්ලාම් රටවල් පහළොවක  තානාපතිවරු සමග බාකීර් මාකර් මධ්‍යස්ථානය කාදිනල්තුමා හමුවීමට ගියේය. ඒ අවස්ථාවේදී  කාදිනල්තුමා පැවැසුවේ මේ දේවල් හසුරවන්නේ රඟපාන පුද්ගලයන් නොවන බවයි. මේ පිටුපස ඇති විශාල පින්තූරය තමන් දකින බව උන්වහන්සේ පැවැසූහ. ඉස්ලාමීය සමාජය  හා අපි ඒබ්‍රහම්ගේ දරුවන් බව කාදිනල්තුමා පැවැසුවේය.

1998 සිට 2005 දක්වා ඇමෙරිකාව තුළ සිදුවූ ත්‍රස්ත  ප්‍රහාරවලට මුස්ලිම් අයගේ සම්බන්ධය සියයට හයක් බව ගැලොප්ස් සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. 2007 සිට 2009 කාලය තුළ යුරෝපය තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවලින් සියයට 99.6ක් සිදුකර ඇත්තේ මුස්ලිම් නොවන අයයි. මුස්ලිම් යැයි කියූ විට තුවක්කුවක් තබාගෙන අල්ලාහු අහ්බර් යැයි කියා කෑගසන අය අපේ හිතේ මැවේ.

ත්‍රස්තවාදය යැයි කියනවිට ඉස්ලාමීය ලෝකය දැකීමට පුරුදුව සිටී. එය  නිවැරදි නොවේ. ලෝකයේ මුස්ලිම්වරුන්ගෙන් සියයට අනූඑකක්ම නවීන මුස්ලිම්වරුන්ය. රැඩිකල් අදහස් ඇති පිරිස සියයට හතක් වැනි පිරිසක් බව ගැලොප්ස් සමීක්ෂණවලින් පෙන්වා දෙයි.  මේ රැඩිකල් අදහස් ඇති අයගෙන් සියයට හයක්ම මේ තත්ත්වයට පත්ව ඇත්තේ දේශපාලන හේතු නිසාය.

ක්‍රයිස්චර්ච් ප්‍රහාරය, කැලිෆෝනියාවේ සිදුවූ ප්‍රහාර එල්ල කළේ මුස්ලිම් ජාතිකයන් නොවේ. සුදු ජාතික සුපිරි අදහස් ඇති පුද්ගලයන් මේවාට සම්බන්ධ වූහ. ඔවුන් මෙක්සිකානු සරණාගතයින්ට විරුද්ධය. හින්දුවරුන්ට,  මුස්ලිම් අයට, සික්වරුන්ට, ආසියානු ජාතිකයන්ට විරුද්ධය. මෙම ප්‍රහාරඑල්ල කළ  සියලුදෙනාම සුදු අන්තවාදීන්ය. එදා බටහිර ලෝකයේ බහු සංස්කෘතිකවාදයක් අපේක්ෂා කළේය. එහෙත් අද එය වෙනස්වී තමන්ගේ සංස්කෘතියට අනුගත වියයුතු බවට සුළුතරක් බලකරමින් සිටී. මේ සුළුතරය ප්‍රහාර එල්ල කරයි. ගෝලීය පින්තූරය පිළිබඳ අවබෝධයක් ඇතිව ලංකාවේ ප්‍රශ්නය  දෙස අවධානය යොමු කළ යුතුය.

ලංකාවේ පිහිටීම නිසා ගෝලීය බලවතුන්ගේ අවධානය ලංකාව වෙත යොමුවී තිබේ. මැද මාර්ගයේ ගමන් නොගොස් එක් පැත්කට බරවන විට අනෙක් පාර්ශ්වයන් කලබලයට පත්වී වෙනත් මාර්ගයක් සොයා යයි. මේ තත්ත්වයට මුහණදීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට සිදුවිය. ඩික්සිත්ගේ ‍පොතේ ඒ බව මනාව පැහැදිලි කර තිබේ.
ශත වර්ෂ ගණනාවක් තිස්සේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර තිබෙන සහයෝගීතාවය බිඳගතහොත් කීමට සිදුවන්නේ කරුණාරත්න අබේසේකර ලියූ ලතා වල්පොල ගායනයා කරන බෙදී ගියොත් රට යයි සුන්වී යන්නයි. අපට අසමානකම්වලට  වඩා සමානකම් වැඩිය.

මේ සමානකම් එකතු කරගෙන මේ ප්‍රශ්නයට අපි මුහුණදිය යුතුය.

ලංකාවේ රැඩිකල්  කණ්ඩායම් ව්‍යාප්ත වූයේ කෙසේ දැයි යන ප්‍රශ්නය බොහෝ දෙනා මතු කරයි. එයට දිය හැකි පිළිතුර වන්නේ කාදිනල්තුමා අප වෙත පැවැසූ දෙයයි. එනම් මේවා  මෙහෙයවන්නේ මේවාට සම්බන්ධ පුද්ගලයන් නොවන බවයි. මෙම ප්‍රහාරවලින් බලා‍පොරොත්තු වන්නේ මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රහාර මාලාවකි. එහෙත් දුර දක්නා ප්‍රතිචාර නිසා එවැනි කලබලයක් ඇති නොවීය. දිගනදී, අලුත්ගමදී ප්‍රහාර එල්ල කළේ සිංහල බෞද්ධ බහුතරය නොවේ. සුළුතරයකි.


මේ සිදුවීම් මුස්ලිම් සමාජයට  විශාල කම්පනයක් ලබාදුන්නේය. මෙය මුස්ලිම් සමාජයටද දරාගත හැකි නොවේ. මේ නිසා මුස්ලිම් සමාජය ලැජ්ජාවට පත්වේ. මේ  ත්‍රස්තවාදීන් කිසිවෙක් මුස්ලිම් පල්ලිවල ආගමික වතාවත් සඳහා සහභාගී කරගත්තේ නැත. ඔවුන් මුස්ලිම් ජනතාව ලෙස අප සලකන්නේ නැත.

මෙම අන්තවාදී පිරිස් මුස්ලිම් නොවේ. ඔවුන් මුස්ලිම් ආගමෙන් පිටපනිමින් වෙනත් ජාත්‍යන්තර සංවිධාන සමග කටයුතු කරන බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබාදුන්නේ මුස්ලිම් සමාජය විසින්මය. මොවුන් අත්අඩංගුවට ගන්නා ලෙසද ඉල්ලා  සිටි අතර  ඒ වෙනුවෙන් විරෝධතා දැක්වූවේය. මේ සඳහා කටයුතු නොකළේ මන්දැයි යන්න ගැටලුවකි.

බුර්කාව පිළිබඳ මේ දිනවල කතාබහට ලක්වෙමින් තිබේ. මේ නිසා මුස්ලිම් සමාජය හුදකලා වීමට ලක්විය.  ශ්‍රීමා දිසානායක මැතිනිය වරක් විවාහ මංගල උත්සවයකදී එක මේසයේ වාඩිවී සිටියදී විමසුවේ මුස්ලිම් අය කළු අඳින්නේ මන්දැයි කියාය. මුස්ලිම් අය මුහුණු වසාගෙන යන්නේ මන්දැයි ඇය ඇසුවාය. එයට පිළිතුරු දෙමින් මම පැවැසුවේ කළු ඇඳීමක් ආගමේ නොමැති බවයි. සිංහල සංස්කෘතියේ ඇති ආකාරයට ලැජ්ජා බය යන්න තිබේ.

ඉස්ලාමීය සංස්කෘතියක් තිබිණි. එහෙත් කළු හා හුදකලා කිරීමකට මුස්ලිම් සමාජය රැගෙන ගියේය. ඒ ගැන සංවාදයක් ඇතිවිය. ගෝලීයකරණය හා නව තාක්ෂණය නිසා අරාබි සංස්කෘතියේ අංග ලංකාවට පැමිණීමට ගත්තේය. මේවා ප්‍රජාතන්ත්‍රීය ලෙස, සාකච්ඡාවෙන් විසඳාගත යුතුය.  මේවා විසඳාගැනීමට තුවක්කු අතට ගත යුතු නැත.

බුර්කාව,  හලාල් ප්‍රශ්නය බුරුමය, තායිලන්තය, ලංකාවේ එක කාලයකදී මතුවිය. බුර්කාවට, හලාල් විරෝධී විරෝධතාකරුවන් මේ සෑම රටකම ඇඳ සිටියේ එකම ආකාරයක ටීෂර්ට්ය. එකම සටන් පාඨ ඔවුන් සතුව තිබිණි. ජාත්‍යන්තර වශයෙන් මෙවැන්නක් වන්නේ කෙසේදැයි යන්න ගැනත් අවධානය යොමුවිය යුතුය.

අරාබි සංස්කෘතිය ලංකාවට පැමිණීම ගැන අවධානය යොමුවිය යුතුය. සිංහල බසින් ඉස්ලාම් ධර්මය ඉගැන්වීමේ කටයුතු මේ වන  විට ආරම්භ කර තිබේ. එහිදී මුස්ලිම් අය කළු ඇඳීම අනිවාර්ය දැයි සාකච්ඡා කළේය. අපේ රටේ ජනතාව ආර්ථික ගැටලු නිසා අරාබි රටවල් වෙත යන්නට ගත්හ. තාක්ෂණය නිසා අරාබි සංස්කෘතිය සමීපකර ගැනීමට හැකිවිය. මේ බලපෑම්වලින් මිදී අපිට ගමන යා නොහැකිය. මේවා ගැටුම්වලට හේතු ලෙස දැක්විය හැකි නොවේ.

මේ ඇඳුම්, අරාබි සංස්කෘතිය සම්බන්ධයෙන් කටයුතු කිරීම නීති මගින් කටයුතු කළ යුතු නොවේ. මුස්ලිම් සමාජයට භීතියක් ඇතිකර නීති ගෙන එන්නේ  නම් ඔවුන් දෙවැනි පන්තියේ පුරවැසියන් බවට පත්වේ. දෙමළ ත්‍රස්තවාදී කලබල නිසා ඔවුන් ජිනීවා ගොස් විසඳුම් සෙවීමට ගත්තේය. මේ තත්ත්වයට මුස්ලිම් සමාජය තල්ලු කළ යුතු නැත. මේ නිසා අවබෝධය දැනුම බුද්ධිය යොදවා මේ ප්‍රශ්න විසඳාගත යුතුය.

අරාබි බසින් කටයුතු කිරීම ගැනත් සාකච්ඡා වේ. මුස්ලිම් සමාජයේ අරාබි බසින් උගන්වන පාසල් සඳහා රජයේ නියාමන දැමිය යුතුය. රජයේ පටිපාටි දැමිය යුතුය. එහෙත්  එක ජන කොටසක් වෙනම ගෙන ඔවුන් මත නීති පැනවිය යුතු නොවේ. එසේ එක්  ජන කොටසක් මත පමණක් නීතිපැන වීමට යාම තුළ දෙමළ ජනතාව තල්ලුවූ තැනට මුස්ලිම් ජනතාව තල්ලු කරයි. ඒ තත්ත්වය තුළ ත්‍රස්තවාදීන්ට මේ ජනතාව සිය ගොදුරු බවට පත්කර ගැනීමට අවස්ථාවක් නොදිය යුතුය.

මේ ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා පාසල සමාජයේ හරස්කඩක් බවට පත් කරගත යුතුය. මුස්ලිම් පාසල්වල මුස්ලිම් ළමුන් පමණක්, දෙමළ පාසල්වල හින්දු ළමුන් පමණක් ඉගෙන ගැනීම  වෙනස් කළ යුතුයි. මුස්ලිම් පාසල්වලට සිංහල ගුරුවරු ලබාදී සිංහල දරුවන්ද ඒවාට ඇතුළු කරගත යුතුයි. හැම පාසලකට සිංහල, දෙමළ, මුස්ලිම් ළමුන් ඇතුළු කරගැනීමට අවස්ථාවක් තිබිය යුතුයි. මුලින්ම පටන් ගත යුත්තේ දරුවාගෙන් මේවා කතා කරමින් නොසිට අප්‍රමාදව ඉදිරියට ගෙන යා යුතුය.

සිවිල් සමාජයටත් මේ අවස්ථාවේදී කාර්යභාරයක් තිබේ. අවබෝධයෙන් යුතුව වෙළෙඳ වාසිවලට අපේ රට විනාශ වීමට ඉඩනොදී මධ්‍යස්ථ හඬ දැන් නැගිය යුතුය. අන්තවාදයට ඉඩනොදී මධ්‍යස්ථ පිරිස් දැන් කතා කළ යුතුය.
සියලුම ආගමික නායකයන්ට කාදිනල්තුමාගේ හැසිරීම හොඳ ආදර්ශයකි. වේදනාව, කම්පනය ඇතිවූ අවස්ථාවක ප්‍රකෝප නොවී, ප්‍රශ්න වැඩි නොකර, ඉවසිල්ලෙන් යුතුව පුළුල් දැක්මෙන් යුතුව කටයුතු කිරීමේ හොඳ ආදර්ශයක් උන්වහන්සේ ලබාදී තිබේ. මෙය සියලුම ආගම්වලට හොඳ ආදර්ශයකි.

මේ අවස්ථාවේදී  මාධ්‍යයට කාර්යභාරයක් තිබේ. මාධ්‍ය සිය වෘත්තීමය භාවය ආරක්ෂා කරගත යුතුය. තහවුරු කර නොගත් දේ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියටපත් කළ යුතු නැත. හමුදාව  කරන සෑම මෙහෙයුමක් පිටුපස ගොස් වාර්තා කිරීම මාධ්‍යයේ කර්යභාරය නොවේ. මාධ්‍ය මේ අවස්ථාවේදී වගකීමකින් යුතුව කටයුතු කළ යුතුව ඇත.

- ඉමිතියාස් බාකීර් මාකර්

සංජය නල්ලපෙරුම

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.