lakbima.lk

ජාතික ආරක්ෂක මණ්ඩල හිටපු ප්‍රධානීහු මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වෙති

දස වසරකට පසු එකම අරමුණක් සඳහා වට මේසයක ඔවුන්ට යළිදු වරක් එකට වාඩි වීමට සිද්ධ වීම එක අතකින් ෙදෙවෝපගත සිද්ධියකි. දස වසරකට ඉහතදී මේ පිරිස එකට අසුන් ගත්තේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා සඳහාය. සෑම අඟහරුවාදාවකම එකල ඔවුන් රැස් වූයේ කොටුවේ ජනපති මැදුරේය. ඔවුන් ත්‍රිවිධ හමුදාපතිවරු හා බුද්ධි අංශ ප්‍රධානීන් වූ බැවිනි.

මෙවර  මේ විශ්‍රාමික හමුදාපතිවරු හා බුද්ධි අංශ ප්‍රධානීහුද ‍පොලිස්පතිවරුද ඉකුත් විසි අටවැනිදා රැස්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරියේය. ඔවුන් රැස්වූයේ පුරුදු ස්ථානයේ නොව කොළඹ හතේ මාකස් ප්‍රනාන්දු මාවතේ නොම්මර තිස්තුන දරන තැනේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීය.

හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ, සිව්වැනි ඊළාම් සටනේදී නාවික හමුදාවට අණදුන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ගුවන් හමුදාවට අණදුන් එයාර් චීෆ් මාර්ෂල් රොහාන් ගුණතිලක, ‍පොලීසිය මෙහෙයවූ හිටපු ‍පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂ හා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ, හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය, හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ, හිටපු ‍පොලිස්පති මහින්ද බාලසූරිය යන අය මහින්ද රාජපක්ෂ යුගයේ ජාතික ආරක්ෂක  මණ්ඩලය නියෝජනය කළහ.

සිවුවැනි ඊළාම් සටනට අණදුන් හමුදාපතිවරු අතරින් එවකට රැස්වීමට නොආවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පමණි. දැන් ඔහු සිටින්නේ මහින්ද රාජපක්ෂට  පසමිතුරු පි‍ලේය. මෙම නිලධාරින්ට අමතරව නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් මොහාන් ජයවික්‍රම, යුද හමුදාවේ හිටපු මාණ්ඩලික  ප්‍රධානි මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි ද සාකච්ඡාවට පැමිණ සිටියහ.


මේ සියලු දෙනා යළිදු වරක් හිටපු ජනපතිවරයාගේ ආරාධනාවෙන් වට මේස සාකච්ඡාවකට එක්වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිය අත්දැකීම් බෙදා හදාගෙන අලුත් වැඩ පිළිවෙළක් සැකසීමටය.
එම සාකච්ඡාව අරඹමින් විපක්ෂනායකවරයා මුලින්ම පැවැසුවේ මේ මොහොතේ දේශපාලනික වශයෙන් බෙදී වෙන් නොවී රජයට සහය දිය යුතු බවයි. “ඔබ තුමන්ලට රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ බොහෝ අත්දැකීම් තිබෙනවනෙ.

අද වන විට රටේ තත්ත්වය පේනවනෙ. ඒ නිසා අපි ඉතා ඉක්මනින් ජාතික ආරක්ෂාව නැවත යථා තත්ත්වයට පත්කිරීමට රජයේ ප්‍රධානීන්ට සහයෝගය දෙමු” මහින්ද සිය ආණ්ඩුවේ සිටිආරක්ෂක ප්‍රධානීන්ට එලෙස පවසමින් ඔවුන් වෙත වගකීමක්ද පැවැරීය. එනම් දින දෙකක් ඇතුළත රටේ දැනට පවතින ජාතික ආරක්ෂාව පිළිබඳව හා එය නැවතත් පෙර තිබූ පරිදි ගොඩනැගීමට ගතයුතු පියවරයන් පිළිබඳව වාර්තාවක් තමන් වෙත ලබා දෙන ලෙස දන්වමිනි.


මෙම සාකච්ඡාවට එක්ව සිටි හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් එම වාර්තාව සකස් කිරීමට උපදෙස් දුන් විපක්ෂ නායකවරයා එකී වාර්තාව තමන් විසින් ජනාධිපතිවරයා වෙත ලබා දෙන බව පැවැසීය.


“අපට මතක් වුණේ එදා අපි ආරක්ෂක මණ්ඩලයට පැමිණි අයුරුයි. හිටපු ජනාධිපතිතුමා අපට එන්න කිව්වා. අපගේ හිටපු ‍ලේකම්තුමත් කතා කළා. රටට විපතක් සිදුවෙන කොට අපිට කිසිවිටකත් අහකබලාගෙන ඉන්න බැහැ. ඒනිසා අපි සියලු දෙනාම ඉතා කැමැත්තෙන් අපගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමට ගියා.”


 එසේ පවසන්නේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී හා ත්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂ විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨය.

ඉස්සරනම් ආරක්ෂක මණ්ඩලයේ කතා කරන කිසිදු කාරණයක් අපි කාගෙන්වත් කිසිම අවස්ථාවක එළියට නොගිය බවත් ඒ තරමට දැඩි විනයක් එදවස ආරක්ෂක මණ්ඩලය තුළ තිබූ බවත් චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ කීවේය.
පැවැති ආණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලය එසේ වුවත් වත්මන්  රජයේ ආරක්ෂක මණ්ඩලයේ බොහෝ තොරතුරු ඇතැම් අවස්ථාවල බාහිර පුද්ගලයන් වෙත දැන ගැනීමට ලැබි ඇති බව රජයේ ඇමැතිවරු විසින්ම මේ වන විට පවසති.

“ආරක්ෂක ‍ලේකම්තුමා සමග අපි ඉතා පැහැදිලි අවබෝධයකින් වැඩ කළා. ඔහු අපට වගකීම් පැවරුවා. ඒ වගේම අපට ඇහුම්කන් දුන්නා. ජාතික බුද්ධි අංශය යනු ‍පොලිස් සහ ත්‍රිවිධ හමුදාව එක්ව ගොඩනගන රහස් ඒකකයක්. ‍පොලිස් බුද්ධි අංශයට වඩා හමුදා බුදධි අංශ බිම් මට්ටමේ සිට ක්‍රියාත්මකයි. ආරක්ෂක මණ්ඩලයේදී අපි සැමවිටම බුද්ධි තොරතුරු  හුවමාරු කර ගන්නවා. ඒ වගේම බුද්ධි අංශ තවදුරටත් ශක්තිමත් කළ යුතු ආකාරය පිළිබඳව තීන්දු ගන්නවා” ඔහු පැවැසීය.

තමා හිටපු බුද්ධි අංශ නිලධාරියෙකු බැවින් බුද්ධි අංශ පිළිබඳව වැඩියමක් පැවැසීමට අකමැති බව හෙතෙම කීවේය.

අන්තවාදී අදහස් රටේ පතුරුවන, දේශනාවන් පවත්වන පුද්ගලයන් පිළිබඳව මීට වඩා රජය අවධානය යොමු කළ යුතු බව මෙම සාකච්ඡාවේ හිටපු ආරක්ෂක  මණ්ඩල ප්‍රධානීහු අවධාරණය කළහ. ඒ සඳහා විශේෂ ආරක්ෂක කණ්ඩායම් යෙදවිය යුතු බවටත්, ත්‍රස්තවාදීන්ගේ ජාත්‍යන්තර සබඳතා දුර්වලකොට ඔවුන් රටතුළ හුදකලා කරමින් අත්අඩංගුවට ගැනීම් සිදු කළ යුතු ආකාරය පිළිබඳවත් හිටපු ආරක්ෂක ප්‍රධානීහු විපක්ෂ නායකවරයාට පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ගතයුතු සියලු ක්‍රියාමාර්ග තමා වෙත ලබා දෙන වාර්තාවට ඇතුළත් කරන ලෙසයි.

වත්මන් රජය බලයට පැමිණි දවසේ සිට ප්‍රධාන අරමුණින්වලින් බැහැර වුණා. ජාතික ආරක්ෂාව දෙවැනි තැනට දැම්මා. ආරක්ෂක අංශ සෑම විටම දුර්වල කළා. අපි ගොඩනගපු බුද්ධි අංශ ජාලය කඩා දැමුවා. ආරක්ෂක අංශ කියූ විට ත්‍රිවිධ හමුදාව, ‍පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය යන සියලු අංශවල වහා සම්බන්ධීකරණයක් තිබිය යුතුයි. නමුත් වත්මන් ආණ්ඩුව එදා අපි ගොඩනගලා තිබූ එම සම්බන්ධීකරණයද දුර්වල කළා. හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා පැවැසුවේය. ඔහු පවසන පරිදි වර්තමානයේ ආරක්ෂක අංශවල එකී සම්බන්ධීකරණය බිඳ වැටීමෙන් බුද්ධි තොරතුරු හුවමාරුවක් ද අපට බලා‍පොරොත්තු විය නොහැක.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග මෙම සාකච්ඡාවට හිටපු ‍පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු ද එක්ව සිටියේය.
ජාතික බුද්ධි අංශයක් ක්‍රියාත්මක විය යුතු ආකාරය හා එහි සැලසුම් පිළිබඳව වත්මන් ආණ්ඩුවට නිවැරදි වැටහීමක් නොතිබුණු බව හිටපු ‍පොලිස්පතිවරයා කීවේය. රට කොට්ඨාස වශයෙන් බෙදා වෙන්කර ඒ සඳහා විශේෂ ආරක්ෂක ඒකක රාජපක්ෂ යුගයේ ස්ථාපිත කර තිබිම නිසා යුද්ධයෙන් පසු මෙවැනි අන්තවාදී කණ්ඩායම්වල සුළු නැගී සිටීමක් වුවත් මුල් අවස්ථාවේදීම පාලනය කර ගැනීමට හැකි වූ බව හෙතෙම කීවේය.

වර්තමානයේ රටේ එවැනි ආරක්ෂක යාන්ත්‍රණයක් වහා ස්ථාපිත කළ යුතු වග හිටපු ආරක්ෂක මණ්ඩල නිලධාරීන් තීන්දු කර තිබේ.

පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.