lakbima.lk

එජාපයේ ජනපති අපේක්ෂකයා හරියටම කවුද?

 
තමන්ටම කියා හරිහමං ජනපති අපේක්ෂකයකු නොමැතිව එක්සත් ජාතික පක්ෂය මේ ගෙවමින් සිටින්නේ විසිහතර වැනි අවුරුද්දය. එජාපයට අවසන් වරට සිටි ප්‍රබලම ජනපති අපේක්ෂකයා වූයේ ගාමිණී දිසානායකය. එක්දහස් නවසිය අනූහතරේ ජනපතිවරණ වේදිකාවේදී එල්.ටී.ටී.ඊ.යේ ස්වයං ඝාතන බෝම්බයකින් නොමැරුණේ නම් නිසැකවම ඔහු එජාප ජනපතිවරයකු වීමට ඉහළම සුදුසුකම් සපුරා තිබුණි. එපමණක් නොවේ. ඔහු ජීවතුන් අතර සිටියේ නම් චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම මහින්ද රාජපක්ෂ රජ පුටුව දක්වා ගිය ගමන මෙතරම් සුමට නොවනු ඇත්තේය.
 
කෙසේ නමුදු ගාමිණී දිසානායකගේ අකල් මරණයත් සමග ඔහුගේ රික්තය පිරවීමට එජාපයේ තේරීම වූයේ ඔහුගේ වැන්දඹුව ශ්‍රීමා දිසානායකය. ඇගේ ප්‍රතිවාදිනිය වූවෝද දේශපාලනය නිසාම සිය සැමියා අහිමි කරගත් තවත් වැන්දඹුවක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. එනමුත් ශ්‍රීමා චන්ද්‍රිකාට සටනක් දෙන්නට සමත් නොවූවාය. එතැන් සිට එක්සත් ජාතික පක්ෂයට දිනන ජනපති අපේක්ෂකයන් සිටියේ නැත. අනූනවයේ මෙන්ම දෙදහස් පහේ ජනපතිවරණ දෙකේදීම එජාප ජනපති අපේක්ෂකයා වූ රනිල් වික්‍රමසිංහ පිළිවෙළින් චන්ද්‍රිකාට හා මහින්දට පරාජයට පත්විය.
 
දෙදහස් පහේ ජනපතිවරණයෙන් පසුව ආවේ දෙදහස් දහයේ ජනාධිපතිවරණයයි. තෙවැනි වරටත් පරදින්නට අකමැති වූ එජාප ඒ ඡන්දයට ‍පොදු අපේක්ෂකයකු සෙව්වේය. ඔවුන්ගේ තේරීම වූයේ සිවුවැනි ඊළාම් සටන ජයගැනීමෙන් රාජපක්ෂවරුන්  සමග විරසක වූ ජෙනරාල් සරත් ෆොන්සේකාය. ප්‍රභාකරන් පැරදුවද ඔහුට මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට නොහැකි විය. දෙදහස් දහයෙන් පසු යළිඳු ජනපතිවරණයක් ආවේ දෙදහස් පහළොවේය. එම ඡන්දයටද එජාපයට කියා හරිහමං ජනපති අපේක්ෂකයකු නොවීය. 
 
ඔවුහු යළි වරක් ‍පොදු අපේක්ෂකයකු සෙවූහ. ඔවුන්ගේ තේරීම වූයේ ශ්‍රීලනිප මහ ‍ලේකම් මෛත්‍රීපාල සිරිසේනය. ඔහු මහින්ද රාජපක්ෂ පැරදවූවේය. මහින්ද පැරදුණේ නිකම්ම නොවේ. ජනපතිවරණයකින් පරාජයට පත්වූ ලංකාවේ මුල්ම විධායක ජනපති ලෙස සිය තත්ත්වය බාල්දු කරගනිමිනි. මහින්ද පරාජය කර දෙතුන් දවසක් යන්නට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ශ්‍රීලනිප නායකයා ලෙස පත් වූවේය. ඒ නිසා එජාපයට යළිඳු වරක් අපේම කියා ජනාධිපති කෙනෙක් අහිමි විය.
 
දැන් යළිඳු වරක් එජාපය සිටින්නේ තමන්ගේ් ජනාධිපතිවරයකු පත්කර ගන්නට සිහින දකිමිනි. එම සිහිනය සැබෑකර ගන්නට නම් මුලින්ම එජාපයට අපේම කියා ජනාධිපති අපේක්ෂකයකු සිටිය යුතුය. එපමණක් නොව ඔහු දිනක ජනපති අපේක්ෂකයකුද විය යුතුය. කෙසේ නමුදු මේ දිනවල එජාපයෙන් ඇසෙන්නේ තමන්ගේම කියා ජනාධිපති අපේක්ෂකයකු නොව අපේක්ෂකයන් ගණනාවකගේ නම්ය. එජාපයේ ජනපති අපේක්ෂකයකු සේම එජාපයේ සහය ලබන ‍පොදු අපේක්ෂකයකු ගැනද කතාබහක් කරළියට පැමිණ තිබේ.
එජාපයේ නොවන එහෙත් එජාපයේ සහය ලබාගෙන ජනපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට සැරසෙන  අපේක්ෂකයා ලෙස කතාබහට ලක්වන්නේ මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමැති චම්පික රණවකගේ නමය. ඔහුගේ නම කරළියට එන්නේ දෙතුන් සතියකට ඉහතදී අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකින් පසුවය. මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඉදිරි දැක්ම එළිදැක්වීමට බව පවසමින් පැවැති එම උත්සවය චම්පික රණවක ඇමැතිවරයාගේ ජනපතිවරණ ප්‍රචාරණ සටන ඇරඹීමේ නිල නොවන උත්සවය ලෙසද දේශපාලන කේෂ්ත්‍රයේ කතාබහට ලක්ව තිබුණි.
 
එහෙත් එජාපයේ පසුපෙළ මන්ත්‍රීන් දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ මෙදා සැරේ එජාප ජනපති අපේක්ෂකයා එජාපයේ අයෙකු බවය. එජාපයේ නොවන ‍පොදු අපේක්ෂකයකුට තමන්ගේ සහය නොලැබෙන බව ඔවුහු දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටිති. ඒ අතරේ විදුලිබල ඇමැති රවි කරුණානායක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු පිරිසක් කියන්නේ එජාපයෙන් ජනපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු එජාප නායකයා විය යුතු බවය. දැනටමත් ජනපතිවරණ සටන් දෙකකින් පරාජයට පත්ව සිටින එජාප නායක රනිල් වික්‍රමසිංහ තෙවැනි වරටත් තරග කිරීමට අකමැත්තක් නැති බව පැහැදිලිය.
 
ඒ බව හොඳටම පෙනෙන්නේ දෙසතියකට පමණ ඉහතදී ඔහුට හැත්තෑ විය සැපිරීම නිමිතිකොට පැවැති උත්සවයේදීය. සිය මාමා වාඩි වූ පුටුවේ වාඩිවීමට රනිල් වික්‍රමසිංහ කැමැති බව එම උත්සවයට සමගාමීව පැවැති ප්‍රචාරාත්මක වැඩසටහනේ්දී එළියට ආවේය. රනිල්ගේ මාමා වූ ජේ.ආර්. ජයවර්ධන විධායක ජනපති පුටුවේ වාඩි වූයේ හැත්තෑදෙවැනි වියේදීය. ඒ ගමනේදී ඔහු පනස්හතේ ඡන්දයෙන් පැරැදී ගෙදර ගියේ විරුද්ධ පාක්ෂිකයන්ගේ තැඹිලි කෝම්බ අතර මැදය. එහෙත් පරාජයේදී නොසැලී පෙරමුණට යන කියමන සිය දේශපාලන ආදර්ශය කරගත් ජේ.ආර්. හැත්තෑහතේදී හයෙන් පහක ජයක් ලබා අගමැති පුටුවේ වාඩි වී විධායක ජනපති ක්‍රමය රටට හඳුන්වාදී රටේ ප්‍රථම විධායක ජනාධිපති බවටද පත්විය.
 
හැත්තෑවිය සපිරු රනිල්ට පරාජයේ අමිහිරි වේදනා සිය මාමාට මෙන් අලුත් අත්දැකීමක් නොවේ. එබැවින් ඔහු මෙවරද ජනපති සටනට එන්නට බැරිකමක් නැත. එහෙත් එජාපයේ තවත් පිරිසක් සජිත් ප්‍රේමදාස මෙන්ම නවීන් දිසානායක ගැනද බලා‍පොරොත්තු තබාගෙන සිටින බව රහසක් නොවේ. ඒ දෙන්නාම දේශපාලනයට ආවේ සිය පියවරුන් නිසාය. ඔවුන් දෙදෙනාටම සිය පියවරුන් අහිමි වූවේද දේශපාලනය නිසාය. දෙදෙනාම මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේද දෙදහසේ මහා මැතිවරණයෙනි. 
 
එහෙත් නවීන් අතරමග එජාපය හැරගොස් මහින්දට එකතු වී යළිත් පැමිණ එජාපයට එක් විය. සජිත් දැන් එජාපයේ නියෝජ්‍ය නායකයාය. නවීන් ජාතික සංවිධායකවරයාය. මේ දෙන්නා අතරින් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වැඩි බර තබා ඇත්තේ සජිත් ප්‍රේමදාසට බව පැහැදිලිය. එහෙත් ප්‍රශ්නයක් වන්නේ සජිත් ප්‍රේමදාස. රනිල් දුන්නොත් මිසක් ගන්නට උත්සාහ නොගැනීමය. ඒ බව ජනපති මෛත්‍රීපාල සිරිසේනද කීවේය. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කර ඒ තැනට සජිත් පත්කරන්නට තමා සැරසුණද සජිත් ඊට කැමැති නොවූ බව ජනපතිවරයා කීවේය.
 
කෙසේ නමුදු සජිත් ජනපති හෝ අගමැති වන්නට අකැමැති බවක් පෙනෙන්නට නැත්තේය. ජනපතිවරණයට තරග කරන්නේද නොකරන්නේද යන්න ඔහු තීරණය කරනු ඇත්තේ ඔහුගේ දේශපාලන කාලසටහන අනුවය. එම කාලසටහන අනුව සජිත්ගේ වාරය දෙදහස් දහනවයද දෙදහස් විසිපහද යන්න තීරණය කරනු ඇත්තේ ඔහුමය. එහෙත් ඔහු සටනට කඩු මුවහත් කරමින් සිටින බව නම් පැහැදිලිය. කෙසේ නමුදු සජිත් ජනපතිවරණයට තරග කරනවාට එජාප උපනායක රවි කරුණානායකගේ  කැමැත්තක් නැති බව ගිය සතියේ මුළු රටටම පෙනුණේ ඔහු සජිත් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයත් සමගය.
 
මවුපියන්ගේ නම් විකුණමින් පක්ෂයට ඉදිරියට යා නොහැකි බවත් තමන්ගේ ආසනයවත් දිනාගැනීමට නොහැකිව රටම දිනාගැනීමට හැකි බවට පෙන්වීමට ඇතැමුන් උත්සාහ ගන්නා බව රවි කරුණානායක කීවේය. අපි නිහඬව සිටින්නේ දුර්වල නිසා නොවේ. එකමුතුවක් ඇති කරන්න හදන නිසා. නමුත් වෙන විදිහකින් පීලි පනින්න හදනවා නම් ඒකට උත්තර දෙන්න අපි සූදානමින් සිටින බවද ඔහු කීවේය.
 
රවිගේ කතාවට සජිත් හැරෙන තැපෑලෙන්ම කාලතුවක්කු උණ්ඩ වරුසාවක්ම එල්ල කළේය. ගිය තැන ඉවරයි. වගකීමක් භාරගත්තොත් ඒ වගකීම විනාශයි. ජනතාව බලා‍පොරොත්තු වුණේ ආලෝකය. නමුත් ලැබුණේ අඳුර. බැංකු කඩන්නේ වසලයෝ... යනුවෙන් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා රවිගේ නම නොකියා ඔහුට එසේ කීවේ රටේ විදුලිබල ඇමැතිවරයා සේම, මහ බැංකු බැඳුම්කර සිද්ධියට නම ගෑවුණු බැවිනි.
 
එජාප නියෝජ්‍ය නායකයා මෙන්ම උප නායකයා එසේ ද්වන්ද සටනක ඇවිළුණේ ඊළඟ ජනපතිවරණය ඉලක්ක කරමින් බව පැහැදිලියි. එසේ එජාපයේ උපනායකයා වූවද රවි කරුණානායකගේ දේශපාලන අනාගතය මෙතැනින් එහාට යාමට තිබෙන ඉඩකඩ බොහෝ අඩුය. මක් නිසාය යත් අන්‍යාගමිකයකු මතෛක් ජනපති හෝ අගමැති පුටුවේ වාඩි වී නැති බැවිනි. අන්‍ය ජාතිකයකුට හෝ අන්‍යාගමිකයකු ජනපති හෝ අගමැති වන්නට බැරි බවට නීතියක් ‍පොතේ නැති මුත් එය ලංකා දේශපාලනයේ ප්‍රායෝගික වන දෙයක් නොවේ.
 
සිංහල බෞද්ධ එජාප ජනපති අපේක්ෂකයන් ගැන එජාපයේ කෙරෙන කතාබහේ කියැවෙන මුල් නමක් වන්නේ කරු ජයසූරියය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ නිකායරක්ෂක  සභාවේ සභාපතිවරයාද වන ඔහුට සිවු සතියකට ඉහතදී සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේද ගරු සම්මානයක් දුන්නේය. ඉනික්බිතිව අමරපුර සංඝ සභාවත් ඔහුට ගරු සම්මානයක් දුන්නේය. 
 
ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරි වෙලාවේ කථානායකවරයා ලෙස ඔහු කටයුතු කළ ආකාරය සිවිල් සංවිධානවලද ප්‍රසාදයට  පත්විය. එම අවස්ථාවේදී විපක්ෂය චෝදනා කළේ කරු ජයසූරිය ඊළඟ ජනපතිවරණයේ ‍පොදු අපේක්ෂකයා වීමට උත්සාහ ගන්නා බවය. එහෙත් කරු ජයසූරිය ද ප්‍රසිද්ධ වී ඇත්තේද රනිල් දුන්නොත් ගන්නවා ජාතියේ මිසක් අනවරත චරිතයක් ලෙස නොවේ. 
 
කෙසේ නමුදු මේ කවුරු ජනපති අපේක්ෂකත්වයට සිහින තබාගෙන සිටියද එජාපයේ ජනපති අපේක්ෂකයාට පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතුය. එහි බහුතර බලය ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහට බව අමතක නොකළ යුතුය. එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය දෙදහස් දහයේදී සරත් ෆොන්සේකාටද දෙදහස් පහළොවේදී මෛත්‍රීපාල සිරිසේනටද කැමැත්ත දුන්නේ රනිල් එම යෝජනාවලට කැමැති වූ නිසාය. එසේ බලන විට එජාපයේ කැමැත්ත යනු පක්ෂයේ කැමැත්ත නොව රනිල්ගේ කැමැත්තය.
 
මිහිරි ෆොන්සේකා
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.