lakbima.lk

ඇමෙරිකානු පුරවැසිභාවය ගැන ගෝඨා තවමත් කල්මරන්නේ ඇයි?

 
මේ දිනවල මුළු රටේම කතා කරන ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ගැනය. ඒ ගැන රටුන් අතරේ උනන්දුවක් ඇති වුණේ ඔහු ඊළඟ ජනාධිපතිවරණයේදී ‍පොහොට්ටුවේ අපේක්ෂකයා වන බවට පැවැසෙන නිසාය. එහෙත් ඔහුට ජනපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් තිබේ. ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පවතින එකම බාධාව වන්නේ ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවයයි. එම බාධාව එල්ල වන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුවය. 
 
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත්  වීමට අවශ්‍ය නම් ගෝඨාභය රාජපක්ෂ සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත යුතුය. ඔහු ඇමෙරිකන් පුරවැසිකම ලබා ගත්තේ යුද හමුදාවෙන් ඉවත් වී බොහෝ කලකට පසුවය. මුලින්ම යුද හමුදා සංඥා බළකා නිලධාරියකු ලෙසද පසුව ගජබා රෙජිමේන්තුවේ රාජකාරි කළ ඔහු දෙවැනි ඊළාම් යුද්ධය ඇරඹුණු 1992දී යුද හමුදාවෙන් විශ්‍රාම ලබන විට නිලයෙන් ලුතිනන් කර්නල්වරයෙකි.
 
ඉන් අනතුරුව ඔහු ඇමෙරිකාවේ පදිංචියට ගියේය. එහි සිටින කාලයේදී ඇමෙරිකානු පුරවැසිභාවයට ඉල්ලුම් කරන ඔහුට පුරවැසිභාවය හිමි වන්නේ 2003 වසරේදීය. ඇමෙරිකානු පුරවැසියකු ලෙස කටයුතු කරද්දී සිය සහෝදරයාගේ ජනාධිපතිවරණ ක්‍රියාදාමයට උදව් කිරීම සඳහා 2005 වසරේදී මෙරටට පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ, මුලින්ම මහින්ද රාජපක්ෂ අගමැති ධුරය දැරූ කාලයේ ඔහුගේ ආරක්ෂක උපදේශකයා විය. මහින්ද ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ආරක්ෂක ‍ලේකම් ලෙස පත්වන්නේ ගෝඨාභය රාජපක්ෂය. 
 
සිවුවන ඊළාම් සටන ආරම්භ වී අවසන් වන්නේ ඔහු ආරක්ෂක ‍ලේකම් ලෙස කටයුතු කරන වකවානුවේදීය. එකල ශ්‍රී ලංකාවේ නීතිය ප්‍රකාරව ඔහුට ද්විත්ව පුරවැසිභාවය (ච්භචත ඛිඪබඪලඥදඵඩඪන) ලබාදීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය.
 
ශ්‍රී ලංකාවේ ආරක්ෂක ‍ලේකම් ලෙස කටයුතු කළද ඔහුගේ පළමු පුරවැසිභාවය වූවේ ඇමෙරිකානු පුරවැසිභාවයයි. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජයට පත්වීමත් සමග ගෝඨාභය රාජපක්ෂටද ආරක්ෂක ‍ලේකම් ධුරය අහිමි විය. ‍ලේකම් ධුරය අහිමි වී වසර කිහිපයකට පසු ඔහු ඇතුළු විශ්‍රාමික ඉහළ හමුදා නිලධාරීන් එක්ව සංවිධානයක් පිහිටුවා ගත් අතර එම සංවිධානය හරහා ඔවුන් මෙරට ආරක්ෂක හමුදා සෙබළුන් ගැන මෙන්ම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද කතිකා කරන්නට පටන් ගත්හ.
 
එළිය ලෙස නම් කරනු ලැබූ මෙම සංවිධානය සිය මෙහෙයුම මැතිවරණය ඉලක්ක කර ගත් මෙහෙයුමක් බවට පත් කර ගන්නේ 2018 පැවැති පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුවය. ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ පත් කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ මෙන්ම ඔවුන්ගේ අනුගාමිකයන්ගේ මතයන් පළ වන්නේද මේ කාරණයත් සමගය.
 
නමුත් ඔහුට ඇති බාධාව ඇමෙරිකානු පුරවැසිභාවයයි. එක්සත් ජනපදය තම රටේ රැකියා සොයා එන විද්වතුන්ට හා වෘත්තිකයන්ට සිය රටේ නවාතැන් දීමට කැමැත්තේය. එසේම දේශපාලනික වශයෙන් ජීවිත තර්ජන ඇති බවට පැහැදිලිවම පෙනෙන තැනැත්තන්ටද එරට රැකවරණය ලබාදේ. එසේත් නැතිනම් ඇමෙරිකාවට වටිනා රට පිළිගත් පුරවැසියෙක් යම් විදේශිකයකුට අනුග්‍රහය දක්වන්නේ නම් ඒ පුද්ගලයාටද ඇමෙරිකානු පුරවැසිභාවය හිමිවේ. මීට අමතරව ග්‍රීන් කාඩ් ක්‍රමය හරහාද එරට ස්ථීර පදිංචිය සඳහා අවසර දෙන නමුත් එය වසරින් වසර අලුත් කළ යුතු වේ. එම කාලය තුළ ඔවුන්ට පුරවැසිභාවයට අයැදුම් කළ හැක.
 
ඇමෙරිකා එක්සත් ජනපදය එරට පුරවැසිභාවය ලබා දෙද්දී පනවන ප්‍රධාන කොන්දේසිය වන්නේ ඔහු හො ඇය සිය උපන් රටේ පුරවැසිභාවය අත්හැරිය යුතු වීමය. ඊට අමතරව සම්මුඛ පරික්ෂණයකට මුහුණ දීමට සිදුවන අතර එහිදි ඇමරිකානු ඉතිහාසය හා ප්‍රජාචාරය පිළිබඳව වාචික විභාගයකටද මුහුණ දීමට සිදුවේ. ඊට අමතරව ඉංග්‍රිසි භාෂා විභාගයටද පෙනී සිටිය යුතුය. එම සියලු පරීක්ෂණ සමත්වීමෙන් පසු ඔවුන් නියම කරනා ගාස්තුවක්ද ඇමෙරිකන් රජයට ගෙවිය යුතුය.
 
අවසානයේ සියලු කටයුතු සම්පූර්ණ වීමෙන් පසු ඇමෙරිකාවට මුළු හදවතින්ම පක්ෂපාත වන බවට දිවුරුමක්ද දිය යුතුය. එම දිවුරුම් ප්‍රතිඥාව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වබේ අඩවියේ පළව ඇති අතර එය මෙසේය.
 
(මින් පෙර යම් විදෙස් කුමරෙකුගේ, නායකයකුගේ, රටක හෝ ස්වෛරිත්වයක යටත් වැසියෙකු හෝ පුරවැසියෙකු වී නම් ඒ සියල්ල මුළුමනින්ම හා සම්පූර්ණයෙන්ම අත් හරින බවටත්, සියලු විදේශීය හා දේශීය සතුරන්ට එරෙහි වෙමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට හා නීතින්ට සහාය දෙමින් ඒවා ආරක්ෂා කරන බවටත්, ඒවාට අවංකවම විශ්වාසී හා පක්ෂපාතී වන බවටත් නීතියෙන් කියන විටකදී එක්සත් ජනපද හමුදා සේවය වෙනුවෙන් යුද නොවන සේවාවක් ඉටු කරන බවටත්, නීතියෙන් කියන පරිදි සිවිල් මග පෙන්වීම යටතේ ජාතිකමය වශයෙන් වැදගත් ක්‍රියාකාරකම් ඉටු කරන බවටත් මම ප්‍රතිඥා දෙමි.)
 
සෑම රටකම පුරවැසිභාවය දෙද්දි මෙවැනි දිවුරුමක් ලබා ගන්නා අතර ගෝඨාභය රාජපක්ෂ සේම ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගත් බැසිල් රාජපක්ෂද එය ලබා දුන් බවට සැකයක් නැත. එසේම ඔවුන්ද පුරවැසිභාවය ලබාගනිද්දී මෙම පිළිගත් ක්‍රමවේදය කරන පිළිවෙත අනුගමනය කළ බවටද සැකයක් නැත.
 
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට කතා පැවතියද තවමත් ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ  ‍ලේඛන මෙරට තානාපති කාර්යාලය වෙත භාරදී නැත. නමුත් මේ කාරණය සම්බන්ධයෙන් හිටපු ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් සමග සාකච්ඡා කළ බවට නම් එවකට මාධ්‍ය වාර්තා පළව තිබූ අතර අතුල් කේෂාප්ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබුණි.
 
පුරවැසිභාවය ගන්නා ආකාරයටම පුරවැසිභාවය අත්හැරීම සම්බන්ධයෙන්ද නීති රීති ඇමෙරිකා එක්සත් ජනපදය සකස් කර ඇත. ඒ පිළිබඳවද ඇමෙරිකානු නිල වබේ අඩවියේ සඳහන් වේ. යමෙකුට තමන්ගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය දැනට ජීවත් වන රටේ ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා ඉල්ලීමක් කළ යුතුය. ඉන් පසු ඔහු හෝ ඇය පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ඉල්ලුම් පත නීතිඥවරුන් මගින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලබාදිය යුතුය. පරික්ෂණයකින් පසු පුරවැසිභාවය අහෝසිවීමේ සහතිකය නිකුත් කෙරේ.
 
නමුත් ඉල්ලුම් පතක් ඉදිරිපත් වූ පමණින් එය ඉවත් කරනා කාල සීමාව ගැන ඔවුන් සඳහන් කර නොමැත. එය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අභිමතය පරිදි සිදු කරන්නකි. අවශ්‍ය නම් පුරවැසිභාවය ඉවත් නොකර සිටීමේ අයිතියද ඔවුන් සතුවේ. පුරවැසිභාවය ඉල්ලුම් කළද ඊට අවස්ථාව නොදුන් අවස්ථා ඇමෙරිකානු ඉතිහාසයේ ඇති තරම් තිබේ.
 
කෙසේ නමුත් ස්වකැමැත්තෙන් ඇමෙරිකානු පුරවැසිභාවය අත්හළ අයෙකුට යළිත්  ඔහුගේ හෝ ඇයගේ ජිවිත කාලයටම ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගත නොහැක.
 
කෙසේනමුදු ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමේ කතාබහත් සමග ගෝඨාභය රාජපක්ෂට ඇමෙරිකානු අධිකරණයක් ඉදිරියේ නඩු දෙකක්ද ගොනු වන්නේය. ඒ ඔහු දෙසතියකට ඉහතදී ඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටින අවස්ථාවේදීය. පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු වෙනුවෙන් යැයි කියමින් ගෝඨාභය රාජපක්ෂ ඉකුත් මාර්තු මස 26 දා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියේය.
 
ඒ අතරතුරදී, ඝාතනයට ලක්වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග තම පියාගේ මරණයට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ යැයි කියමින් කැලිෆෝනියා ෆෙඩරල් අධිකරණයේ නඩු පවරන්නේ වන්දි ඉල්ලමින්ය. ඊට අදාළ සිතාසිය ගෝඨාභය රාජපක්ෂට බාර දෙනු ලබන්නේ ඇමෙරිකාවේ නිර්මාංශ ආහාර අලෙවියේ ප්‍රමුඛ අවන්හලක් වන ට්‍රේඩර්ස් ජෝ  අවන්හ‍ලේ රථ ගා‍ලේදීය. 
 
කැලිෆෝනියාවේ නීතිය අනුව එම සිතාසිය පෞද්ගලිකවම විත්තිකරුට බාරදිය යුතුය. ඇමෙරිකාවේ එවැනි සිතාසි බාරදීම කරනුයේද පෞද්ගලික සමාගම් විසිනි. ඔවුන් සිතාසිය බාරදුන් බවට සාක්ෂියක් ලෙස එහි පින්තුරයක් ගෙන තිබුණි.
 
ඊට අමතරව 2007 වසරේදී තවත් ශ්‍රී ලංකා පුරවැසියකුව සිටි කාලයේ අත්අඩංගුවට ගෙන වසර තුනක කාලයක් රඳවා ගනිමින් වදහිංසා කළා යැයි කියමින් දැන් කැනඩාවේ පුරවැසියකු වන රෝයි සමානාගම් නමැති පුද්ගලයාද ගෝඨාභය රාජපක්ෂගෙන් වන්දි ඉල්ලා කැලිෆෝනියා අධිකරණයේ නඩු පවරා තිබේ.
 
මෙම නඩු දෙකම ප්‍රිමියර් ගෲප් ඉන්ටර්නැෂනල් ආයතනයට අනුබද්ධ ආයතනයක් වන අයිඩියල් ඉන්වෙස්ටිගේටර්ස් ආයතනය හා එක්ව ගොනු කර ඇත. ප්‍රිමියර් ගෲප් යන ආයතනය විමර්ශන, තර්ජනාත්මක ස්වභාවය ඇගයීමේ සහ අවදානම් කළමනාකරණය යන අංශ පිළිබඳ කටයුතු කරන ආයතනයකි. මෙම නඩු දෙකෙහිම නීතිඥයා ලෙස කටයුතු කරන්නේ ප්‍රකට මානව හිමිකම් නීතිඥයෙකු වන ස්කොට් ගිල්මෝර්ය.
 
යුද අපරාධවලින් අගතියට පත් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිට ජයග්‍රහණය කළ නීතිඥයෙකු ලෙස මොහු ලොව ප්‍රකටය.
 
ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු දෙකක් ගොනු කර ඇත. අවස්ථාවක ඔහුගේ පුරවැසිභාවය ඉවත් කිරීමට ගැටලුවක් මතු වේද යන ප්‍රශ්නය උද්ගත වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ මේනක හරන්කහ කියන්නේ එය බාධාවක් නොවන බවය.
 
එසේ වුවද එවැනි තත්ත්වයක් මත පුරවැසිභාවය ඉවත් නොකරන්නැයි ඉල්ලීමක් කළ හැකි බවටද මතයක් ඉදිරිපත්ව තිබේ. එසේ වුවහොත් ගැටලුවක් මතු වීම වැළැක්විය නොහැක. 2014දී සෝනියා ගාන්ධිට එරෙහිවද ඇමෙරිකානු අධිකරණයේ නඩුවක් ගොනු කළේ ඉන්දිරා ගාන්ධි ඝාතනයෙන් පසු සික් ජාතිකයන්ට එල්ල වූ ප්‍රචණ්ඩත්වයට නායකත්වය දුන් පක්ෂ නායකයන් ආරක්ෂා කළ බව කියමිනි. එම නඩුව විභාග කර  මාස 6කට පසු කරුණු ප්‍රමාණවත් නැතැයි කියමින් ඇමරිකානු අධිකරණය එය ප්‍රතික්ෂේප කළේය.
 
නඩුව ප්‍රතික්ෂේප කිරීමට මාස 6ක කාලයක් ගත වනවාය යන්නෙහි අරුථ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ගැන ගෝඨාභයට ගැටලුවක් මතුවීමට ඉඩ ඇති බවය. කෙසේ නමුත් ජනාධිපතිවරණය පැවැත්වීමට තව ඇත්තේ දින 179ක කාලයක් පමණකි. ඒ අනුව ඔක්තෝබර් 21 දා නාමයෝජනා කැඳවිය යුතු අතර දෙසැම්බර් මස 7 දා වන විට ජනාධිපතිවරණය පැවැත්විය යුතුවේ. ජනපතිවරණ කාලසටහන මෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිකම ඉවත් කර ගැනීමට ගතවන කාලය අතර ප්‍රශ්නයක් ඇති විය හැකි බවට දැන් අනාවැකි පළවෙමින් තිබේ. ඒ ගැන ‍පොහොට්ටුවේ නායකයන්ගේ කනස්සල්ල පළ කර ඇති බවද පැවැසේ.
 
පුරවැසිභාවය ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට ගෝඨාභය රාජපක්ෂ ඉකුත් මාර්තු 26 දා ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. එහිදී ඔහු පදිංචි කැලිෆෝනියාවට මුලින් ගිය ගෝඨාභය රාජපක්ෂ ඉන් අනතුරුව ඇමරිකාවේ කැවිනෝ ජනපදය ලෙස ප්‍රකට නොවාඩා ප්‍රාන්තයේද සංචාරය කළේය. ඒ මිතුරන් හමුවීමටය. එහිදී ඔහු ගීත ගායනා කරමින් සතුටු වන ආකාරයේ විඩියෝ පටද අන්තර්ජාලයේ ප්‍රදර්ශනය විය.
 
ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු සංචාරය නිමවා ලංකාවට පැමිණි පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනු ලැබුවේ තමන් පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ ලියකියවිලි තවමත් බාරදී නැති බවය. නමුත් ඊට අදාළව නීතිඥයන් සමග සාකච්ඡා කළ බව ඔහු කීවේය. 
 
එය සාර්ථක බවද ඔහු පැවසීය. එහෙත් පුරවැසිභාවය අත්හැරිමේ ලිපි ‍ලේඛන ඔහු තවමත් බාර නොදෙන්නේ මන්ද යන ගැටලුවට ඔහුගේ පාර්ශ්වයෙන් තවමත් හරිහමං උත්තරයක් දී නැත. එම උත්තරය ගෝඨාභයගේ පාර්ශ්වයට පමණක් නොව ජනපතිවරණය ගැන බලා‍පොරොත්තු දල්වාගෙන සිටින අනෙකුත් පාර්ශ්වයන්ටද එක සේ වැදගත් බව රහසක් නොවේ.
 
 ලසන්ත වීරකුලසූරිය
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.