lakbima.lk

ණයවී ගෙවීමේ අපූරු ආර්ථික ප‍්‍රතිපත්තිය

ශ‍්‍රී ලංකාව ණය ගෙවනු සඳහා අලූතින් ණය ගන්නා රටක් බවට පත්ව තිබේ. ඉකුත් සඳුදා එනම් ජනවාරි 14 වැනිදා ජාත්‍යන්තරයෙන් ලබා ගෙන තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල ගෙවා දැමීය. එම මුදල ගෙවීම සඳහා මෙරට විදේශ විනිමය සංචිතය භාවිත කර ඇත. වසරේ පළමු කාර්තුව අවසන් වනවිට තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 ක මුදලක් ජාත්‍යන්තරයට ගෙවන්නට නියමිතය. ඒ සඳහා අපනයන, විදේශගත ශ‍්‍රමිකයන් එවන මුදල්, ආයෝජන හෝ සංචාරක ව්‍යාපාරයෙන් උපයන විනිමය වැය කළ යුතුය. රටට ලැබෙන විනිමය ආදායම එපමණ පොහොසත් නැත. තාවකාලිකව සංචිතයේ විනිමය වලින් ණය ගෙවන අතර පසුව වසරේ ඉතිරි කාලසීීමාවට අවශ්‍ය විදේශ විනිමය සඳහා ජාත්‍යන්තරයෙන් ණය ගැනීමට සූදානම්ය.

ආණ්ඩුව වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න සහ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු නියෝජිත පිරිසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධාන කාර්යාලය පිහිටි වොෂින්ටන් නගරයට පිටත්ව ගියේය. ගමනේ අරමුණ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක තවකාලික ණය සංචිතයක් අනුමත කරගැනීමය. 2016 වසරේ දී වසර දෙකක කාලයක් සඳහා ලබාගත් ණය සංචිතය හා එයට අදාළ එකඟතා අවසානයක් කරා ගෙන ගිය නොහැකි වූ රජය සිය පාලන කාලය තුළ දෙවන වතාවටත් මූල්‍ය අරමුදලේ සහය පැතීම විශේෂ සිදුවීමකි. තාවකාලික ආණ්ඩුවක් පිහිටුවන බලපෙරැළිය හෙයින් රජයේ සැලසුම් ව්‍යවර්ථ වූ බව පෙන්වන්නට හැකිය. නමුත් දින පනස් එකක කාලය තුළ මාස විසි හතරක සැලසුමක් විනාශ වූ බවට කරන සඳහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥයෝ විශ්වාස කරන්නේ දැයි සැක සහිතය.

මූල්‍ය අරමුදලේ ණය මුදලට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන තුන් සියයක ණය මුදලක් චීන බැංකුවෙන් අපේක්ෂා කරයි. අවශ්‍යතාවක් වෙතොත් එම ණය ඇමෙරිකානු ඩොලර් බිලියනය දක්වා වැඩි කරගත හැකි බව රජයේ අදහස වන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණි. ඉන්දියානු රජය ද හදිසි සංචිතයක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් රටට ලබා දී ඇත. එය ද ඇමෙරිකානු ඩොලර් බිලියනයක් තෙක් නැංවිය හැකි බව ප‍්‍රකාශ වී තිබේ. මහ බැංකු අධිපතිවරයා පසුගිය වසරේ අග ප‍්‍රකාශ කරන ලද පරිදි අවුරුද්දක් පාසා ඇමෙරිකානු ඩොර් බිලියන හතර බැගින් විදේශ ණය ගෙවන අභියෝගයක් රටට තිබේ. එය වසර 2022 තෙක් බලපවත්වනු ඇත.

එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය කරන විනිමය සොයා ගැනීම රටට පහසු  නැත. ඩොලර් ඉල්ලූම ඉහළ යන තරම එහි වටිනාකම නැංවෙන ස්වභාවයෙන් වැටහේ. වැඩි දිනක් නොගොස් ඇමෙරිකානු ඩොලරයක මිල රු. 200 ඉක්මවන්නට ඉඩ තිබේ. එය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය බලවත් දුෂ්කරතාවකට පත්කරනු ඇත. අද වන විට රටට විදේශ ධනය උත්පාදනය කරන මාර්ග සීමා සහිතය. එසේ තිබිය දී ණය ගෙවීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. එය කොපමණ අසීරුද යන්න දේශපාලනඥයෝ දන්නේ නැත. විදේශ සම්පත් ණය වශයෙන් ලබාගැනීමට කඩදාසි පිිළියෙල කරන නිලධාරීන්ට එය කොපමණ අසීරු හා ණය නිකුත් කරන සංවිධාන ඉදිරිපත් කරන කොන්දේසි සමාජයට කොපමණ දැනෙන සුලූ ඒවා ද යන්න හොඳින් අවබෝධයක් ඇත. වසර ආරම්භයේ දී විදේශ ණය ගෙවා දැමීම අරමුණ ඇතිව ඇමරිකානු ඩොලර් මිලියන 750 ක මුදලක් රාජ්‍ය බැංකු මගින් සොයා ගැනීමට සැලසුමක් තිබුණි. ණය ලබා ගැනීම නොව වාර්ෂිකව ඊට ගෙවන සියයට හතක පමණ පොලි අනුපාතය රටට දරාගත නොහැකිය. වෙනත් කළ හැකි යමක් නැති අවස්ථාවක වාණිජ ණය වෙත නැඹුරු වනු හැර වෙනත් විකල්පයක් නැත.

වොෂින්ටන් නගරයේ දී පවත්වන සාකච්ඡුාවල දී සිදුවී ඇත්තේ කුමක්ද? විදේශ වත්කම් දියුණු කරගන්නා තෙක් මෙරට විනිමය අවශ්‍යතා වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය සංචිතයක් අනුමත කරන්නට සූූදානම් බව ප‍්‍රකාශ වී තිබේ. එය යම් සහතිකයකි. ඉදිරි සති තුන හතර ඇතුළත මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණ ආර්ථිකයේ ස්වභාවය ගැන සාකච්ඡුා කර අවසාන එකඟතාවයකට එන බව අනාවරණය වෙයි. මූල්‍ය අරමුදලේ පොලී අනුපාත සාපේක්ෂව අඩුය. බොහෝ දුරට එය සියයට  තුනකට අඩු පොලී අනුපාතයකි. එම පොලී අනුපාතය සමග රටේ ඇති කරන වෙනස්කම් ආර්ථිකය දියුණුවක් කරා නැඹුරු කරනු ඇත. එය මෑත කාලයේදී  මෙරට ණය ගෙවීමේ හැකියාව යම් මට්ටමකින් අඩු වූ බව ප‍්‍රකාශ කරන ලද ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට උත්තරයකි. මූල්‍ය අරමුදලේ සංචිතය, ඉන්දියානු හා චීන ණය සහන සමග යම් තාවකලික හුස්ම ගැනීමේ පහසුවක් රජයට ඇති කරගත හැකිය. වැදගත් කාරණයක් තිබේ. 2022 දක්වා මෙම පැවැත්ම වෙනසකින් තොරව ආරක්ෂා කරගත හැකි ද යන්නය. ඉදිරි වසරවල දී ද මෙම ආකාරයටම මූල්‍ය අරමුදල හා දන්නා රටවලට ආමන්ත‍්‍රණය කර තාවකාලිකව ලැබෙන සහන වලින් සමාජයක් ජීවත් කිරීම රටට ලැබිය යුතු සාර්ථක රාජ්‍ය පාලනයක් නොවේ.

ශ‍්‍රී ලංකාවේ පැවැති ආණ්ඩු 1965 අවුරුද්දේ සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කර තිබේ. පළමුවෙන්ම 1965දී ඇමෙරිකානු ඩොලර් මිලියන 22,500 ක ණයක් අනුමත කරගෙන ඇතිබව දැක්වෙයි. පසුගිය වසරේ  2016 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් ලබා ගෙන තිබුණි. ගණන් හදා බලන විට සම්පූර්ණ කාල වකවානුව  තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.42 ක පමණ ණය ප‍්‍රමාණයක් ලබා ගෙන ඇත. මේවා නිසි පරිදි උපයෝගී කරගත්තේ නම් රට අද වෙනස් තැනකය. දියුණු වෙමින් පැවැති කාලයේ ලෝක බැංකුව සහ මැදි ආදාය මටට්මට පත් වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන උපදෙස් අනුගමනය කළේ නම් ශ‍්‍රී ලංකාව අද පවතින දුෂ්කර ආර්ථිකයේ නොවේ. නිසි වැඩ පිළිවෙළකට අනුව රටේ නිෂ්පාදනය දියුණු කර අපනයන නංවන සැලසුමක් අනුගමනය කළ හැකි වූයේ නම් ශ‍්‍රී ලංකාව සංවර්ධිත රටවල් අතර හොඳ තැනකය. අසාර්ථකත්වයට හේතුව කුමක්ද? පටු දේශපාලනය බලවත් සාධකයක් වූ බව නිැසකය. කොතැනකින් හෝ මුදලක් ණයට ගෙන ජනතාවට සහ දෙන ආණ්ඩු වලින් රටක් ගොඩනගන්නට හැකියාවක් නැත.

2019 අවුරුද්දේ දී ජනතාවට සහන දෙන බව ආණ්ඩුව දැනටමත් කියා ඇත. හේතුව ඡුන්ද වසරක් වීම බව සඳහන් කළ යුතුය. නැවත නැවතත් බලය තහවුරු කරගනු සඳහා රාජ්‍ය සම්පත් බෙදා දෙන අතර ඒවා නිෂ්පාදනය නංවන ඒවා නොවේ. එය රට තවත් ණය ගැති කරන බව රජය කල්පනා කරන්නේ නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය සංචිතය සමග රටට කොන්දේසි පැනවීය. සහනාධාර ක‍්‍රම කපා හරින අතර ආදායම හා වියදම පාලනය කරගන්නා මග පෙන්වා දී තිබේ. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකකරණය ගැන තදින් අවවාද කර ඇත. ඒවා පැත්තකට කරන ආණ්ඩු ණය ගැනීමෙන් පසු ජනතාව මත බදු පනවා ණය ගෙවන ක‍්‍රම හදා ගන්නා අතර රට දියුණු කරන අලූත් ප‍්‍රතිපත්ති ගැන හිතන්නේ නැත. එය බලවත් වරදකි. ශ‍්‍රී ලංකාව තරගකාරී ආර්ථික ප‍්‍රතිපත්තිවලට මග පාදාගත යුතුය. නිති පතා ණය ගැනීමෙන් සිදුවන්නේ අයහපතකි. ගන්නා ණය ආයෝජනය හෝ අලූත් ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජනය නොකරන පරිභෝජනයට වියදම් කිරීමෙන් දරුණු අයහපතක් සිදුවෙයි.

අලූතින් ණය දෙන්නට රටට එන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගේ අලූත් කොන්දේසි ගැන ද අවධානය යොමු කළ යුතුය. පසුගිය 2016 වසරේ දී ඛනිජ තෙල් මිල සූත‍්‍රයක් යෝජනා කර ජනතාව ඉතාම දුෂ්කර තැනකට පත් කළේය. එපමණක් නොව විදුලිය බල ගාස්තු මිල සූත‍්‍රයක් ද මූල්‍ය අරමුදලේ කොන්දේසි අතර තිබුණි. තාවකාලික ආණ්ඩුවක් පිහිටුවන සන්ධාන ආණ්ඩුව බිඳ වැටීම ජනතාවට වාසියක් වූ අතර විදුලිය බිල මිල සූත‍්‍රය අමතක කළේය. ලබන පෙබරවාරියේ දී මූල්‍ය අරමුදලේ නිලධාරීන් ගේ යෝජනා පහුගිය වතාවට වඩා දරුණු විය හැකිය. ඒවා ඉදිරි පළාත් පාලන, ජනාධිපතිවරණ හෝ ඉනික්බිතිව පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට බලපාන්නේ කෙසේදැයි කල්තබා අනතුරු ඇ`ගවීම සුදුසු නැත. අද ආණ්ඩුවේ අවශ්‍යතාවය විනිමය හැර අනෙකක් නොවේ. එයට අනුව කොන්දේසි තර විය හැකි අතර  ඕනෑම යෝජනාවකට අවනතවීමට ඉඩ තිබේ. ජනතාව මෙම පැති පුළුල්ව සාකච්ඡුා කළ යුතුය.

ජී.කේ.ජී. සරත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.