lakbima.lk

හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් මාර්තු 28දා

 

හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2019 තරගාවලියේ ආරම්භය ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් මාර්තු මස 28 වනදා DIMO 800 ශ්‍රවණාගාරයේදී ප්‍රකාශයට පත් කෙරිණි. ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR), ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය (AMRC), සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්‍රීඩා සමාජය (CMSC) මෙන්ම මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකවන හච් සමාගම ද, සම අනුග්‍රාහකයන්වන Stafford Motors HONDA, McLarens Lubricants MOBIL සහ Promowatch සමාගම් ද නියෝජනය කරමින් නිලධාරීහු රැසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. තරගාවලිය අවසානයේදී දක්ෂත ම මෝටර් රථ ධාවකයාට සහ යතුරුපැදි ධාවකයාට Stafford Motors සමාගමේ අනුග්‍රහයෙන් Honda වර්ගයේ යතුරුපැදිය බැගින් පිරිනැමේ.

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස්, කැවල්රි සුපර්ක්‍රොස්, කමාන්ඩෝ චැලේන්ජ් සුපර්ක්‍රොස්, කටුකුරුන්ද තරගාවලිය, කලම්බෝ සුපර්ක්‍රොස් සහ ශා. ජේම්ස් හිල් ක්ලයිම්බ් යන තරගාවලි අටකින් හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2019 තරගාවලිය සමන්විත වේ. 2019 දෙසැම්බර් මසදී මෙහි ප්‍රධාන ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතය.

කෙසේවෙතත්, ආධුනිකයන්, නවකයන් මෙන්ම ප්‍රවිණයන්ද අමන්දානන්දයට පත් කරමින් එතෙක් මෙතෙක් ඉතිහාසයේ දැවැන්තම ත්‍යාග මල්ල  පිරිනැමීමමින් මෝටර් රථ ක්‍රීඩාව නව මානයකට යොමු කළ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයට (SLARDAR) මෑතකදී පනවන ලද තහනම මෝටර් රථ ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම තරගකරුවන්ගේ ද අප්‍රසාදයට ලක්ව තිබේ. හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් 2019 තරගාවලියේ ශූරයන් දෙදෙනා සඳහා මෝටර් රථ දෙකක් පිරිනැමීමට මුලදී සැලසුම් කර තිබුණ ද, මෙම තහනම හේතුවෙන් අනුග්‍රාහක භවතුන් කිහිප දෙනෙක් සිය තීරණ වෙනස් කිරීම නිසා පෙර පරිදි එම මෝටර් රථ දෙක පිරිනැමීමට නොහැකිවී ඇතැයි එම සංගමය පැවසුවේය.

මෙම තහනම අධිකරණයේදී අභියෝගයට ලක් කෙරුණු අතර අධිකරණය විසින් එම තහනම ඉවත් කරන ලදි. මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් සමාගම කටයුතු කරන අතර එම තරගාවලිය ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය (AMRC) සහ සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්‍රීඩා සමාජය (CMSC) සමග එක්ව සංවිධානය කෙරේ.

Honda 1-make තරග කාණ්ඩය මෙවර හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් තරගාවලියේ සුවිශේෂී ඉසව්වකි. යතුරුපැදි ධාවන තරග සඳහා පිවිසීමට අපේක්ෂා කරන නවක ක්‍රීඩකයන් වෙනුවෙන් ම වෙන්වූ මෙම ධාවන ඉසව්ව Stafford Motors Honda විසින් අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කෙරේ. පූර්ණ අනුග්‍රාහකත්වය ලද යතුරුපැදි 16ක් වෙනුවෙන් මෙම අනුග්‍රාහකත්වය හිමිවන අතර එම යතුරිපැදි ධාවකයන් හට තරගාවලියේදී ධාවනය කිරීමට Honda 1-make යතුරුපැදිය බැගින් පිරිනැමේ.

මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ (SLARDAR) සභාපති කමිල් හුසේන් මහතා සඳහන් කළේ, මෙරට සියලු ජනතාව ආදරය කරන මෙම ක්‍රීඩා ඉසව්ව රැක ගැනීම සඳහා දරන ලද මාස ගණනක ප්‍රයත්නයෙන් අනතුරුව යළි එය ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳ තම සංගමය බෙහෙවින් සතුටුවන බවත් මෙම තරගාවලිය පුරාම තමන් හට ශක්තියක් වෙමින් අපගේ ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස සම්බන්ධ වුණු හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් සහ Stafford Motors Honda සමාගම්වලට සිය කෘතඥතාව පළ කර සිටින බවත්ය.

"අභියෝග රැසක් සාර්ථකව ජය ගැනීමට අප සමත් වුණා. ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය (AMRC) සහ සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්‍රීඩා සමාජය (CMSC) පෙර පරිදිම මෙරට මෝටර් රථ ක්‍රීඩාව ජාත්‍යන්තර තලය දක්වා ගෙන යාමට ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) සමග සමීපව කටයුතු කරනවා. ශ්‍රී ලාංකේය ධජය ජාත්‍යන්තර වේදිකා මත ලෙලදීමට සමත් වූ මෝටර් රථ ධාවකයන් රැසක් මෙරටින් බිහිවී ඇතත් ඔවුන් එම ජයග්‍රහණ කරා ගමන් කළේ ස්වශක්තියෙන්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය තම පුද්ගලික සහ දේශපාලන න්‍යායපත්‍ර පසෙකලා විශිෂ්ට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බිහි කිරීම සඳහා කැපවිය යුතුයි" යනුවෙන් ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජයේ සභාපති දිනේෂ් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මෙම තරගාවලිය සඳහා ධාවන පථ ලබාදෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මෙරට මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දැඩි සේ කැපවන පිරිස් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. මෝටර් රථ ධාවකයන් සහ යතුරුපැදි ධාවකයන් විශාල පිරිසක් හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් තරගාවලිය සඳහා සිය සහයෝගය ලබාදී ඇති අතර තරගාවලියේ සාර්ථකත්වය සඳහා ඔවුන්ගෙන් ලද දායකත්වය බෙහෙවින් වැදගත් වේ.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.