lakbima.lk

අනාගත ව්‍යවසායකයන් සවිබලගන්වමින් IIT Trailblazers 2019 උළෙල සාර්ථකව පැවැත්වේ




ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම මෙරට ප්‍රමුඛත ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාරික අධ්‍යාපන පරිශ්‍රයක්වන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) ආයතනය විසින් සංවිධානය කරන ලද Trailblazers 2019 වෘත්තීය මාර්ගෝපදේශන උළෙල සාර්ථකව පැවැත්වුණු අතර ඒ සඳහා දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් නියෝජනය කරමින් සිසුහු 200කට අධික පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලාංකේය අනාගත නායකයන් උනන්දු කරවීමත් ඔවුන් නවෝත්පාදන චින්තකයන් සහ නැවුම් දෑ අත්හදා බලන්නන් බවට පත්කිරීමේ අරමුණ පෙරදැරිව IIT ආයතනයේ රොටරැක්ට් සමාජය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි. "නායකත්වය, කණ්ඩායම් හැඟීම සහ ව්‍යවසායකත්වය" යන තේමාව ඔස්සේ සංවිධානය කෙරුණු මෙම වැඩසටහන දිනක් පුරා පැවති අතර මේ හරහා කොළඹ සහ මහනුවර ප්‍රදේශවල ප්‍රමුඛ පෙළේ පාසල්වල සිසුන් සඳහා වෘත්තීය මාර්ගෝප දේශන පැවැත්විණි.

මෙරට තරුණ ව්‍යවසායිකාවක් විසින් ආරම්භ කරන ලද සම්මානිත වෘත්තීය මාර්ගෝපදේශ සමාගමක් වන CareerMe සමාගම සමග අත්වැල් බැඳ ගනිමින් එම සැසි සංවිධානය කෙරිණි. මෙහිදී පැවැත්වුණු අන්තර් ක්‍රියාකාරී සැසි මගින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් හට එක් එක් අදියරවලදී තම අනාගතය සම්බන්ධව ගත යුතු තීරණාත්මක තීරණ ගැනීම පිළිබඳ මගපෙන්වීමක් ලබා දෙන ලදි.

සාමාන්‍ය පෙළ සිසුන් හට තමන් උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ කුමන විෂය ධාරාවෙන් ද යන්න තීරණය කිරීමට සිදුවන අතර උසස් පෙළ සිසුන් හට තම වෘත්තීය ගමන්මග පිළිබඳ තීරණය කිරීමට සිදුවේ. එක් එක් සිසුවාගේ පෞරුෂත්වය, දක්ෂතාව සහ දුර්වලතා අනුව සෑම සිසුවෙකුට ම තමන් පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමටත් ඒ අනුව තම අනාගතය පිළිබඳ ගත යුතු තීරණය කුමක්ද යන්න පිළිබඳ අවබෝධ කර ගැනීමටත් මෙම සැසිය අවසානයේදී අවස්ථාව උදා විය.

Nable ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී පීටර් දි අල්මේදා සහ ලෝක ටෝස්ට්මාස්ටර් තරගාවලියේ අවසාන වටයට සුදුසුකම් ලැබූ කියිශිකා රොද්‍රිගෝ දෙපලමෙහි ප්‍රධාන ආරාධියන් ලෙස සිසුන් අමතමින් නායකත්වයේ ඇති වැදගත්කම අවධාරණය කළෝය. සෑම පුද්ගලයෙකු සතුවම කුසලතාවක් පවතින බවත්, එය සමාජයේ උන්නතිය සඳහා යොදාගත හැකි ආකාරයත් ඔවුහු මෙහිදී සඳහන් කළෝය.

මීට සමගාමීව අන්තර් ක්‍රියාකාරී මණ්ඩල සාකච්ඡාවක් ද පැවැත්වුණු අතර ඒ සඳහා තාල රූප අධ්‍යක්ෂ සහ විධායක නිෂ්පාදක රන්ධිර් විතාන, Dif සභාපති/කළමනාකරණ අධ්‍යක්ෂ දනූ ඉන්නසිතම්බි සහ Surge Global ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ භානුක හරිස්චන්ද්‍ර යන මහත්වරු සහභාගී වූහ. මණ්ඩල සාමාජිකයෝ තිදෙනෙක් සිසුන් දිරිමත් කිරීම සඳහා සිය සාර්ථකත්වයේ ගමන පිළිබඳ ද මෙහිදී සඳහන් කළෝය.


අරමුදල් එක්රැස් කරමින් අවශ්‍යතා සහිත පිරිසට උපකාර කිරීමට මෙන්ම තරුණ මිතුදම් සංවර්ධන උළෙල සහ වෘත්තීය සංවර්ධන වැඩසටහන් සංවිධාන කිරීම සඳහා IIT ආයතනයේ රොටරැක්ට් සමාජය ආරම්භ කරන ලදි. සෑම වසරකම වාහන සේදීමේ වැඩසටහන්, විලාසිතා ප්‍රදර්ශන, නර්තන වැඩමුළු, ක්‍රිකට් තරගාවලි ආදිය හරහා සුබසාධක කටයුතු වෙනුවෙන් අරමුදල් රැස් කිරීම සඳහා වාර්ෂික ක්‍රියාකාරකම් සැලැස්මක් සකස් කෙරේ. 2017-18රොටරි වසරේ "විශිෂ්ටත ම අන්තර් ක්‍රියාකාරී ව්‍යාපෘතිය" ලෙස Trailblazers 2018වැඩසටහන ලෙස ද සම්මානයට පාත්‍ර වෙයි.


1990වසරේදී IIT ආයතනය ආරම්භ වූයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහව්‍යාපාර අංශවල කීර්තිමත් බ්‍රිතාන්‍ය උපාධි පිරිනමන මෙරට ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනය ලෙසය. IIT ආයතනය, එක්සත් රාජධානියේ වෙස්ට්මින්ස්ටර් සහ රොබර්ට් ගෝඩ්න් විශ්වවිද්‍යාල වලින් අභ්‍යන්තර පශ්චාද් උපාධි සහ සාමාන්‍ය උපාධි පිරිනමන සම්මානනීය උසස් අධ්‍යාපන ආයතනයකි.

මෙම උපාධිධාරීහු තොරතුරු තාක්ෂණ/ව්‍යාපාර අංශ ඔස්සේ දෙස්-විදෙස් ආයතන සහ රාජ්‍ය අංශවල සාර්ථකත්වයට පත්ව සිටිති. ආරම්භයේ පටන් IIT ආයතනය උපාධිධාරීන් දහස් ගණනක් බිහිකර ඇති අතර ඔවුහු ලොව පුරා ආයතන සිය ගණනක සාර්ථක වෘත්තීය දිවියකට හිමිකම් කියති.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.